Sunday, November 27, 2011

අපිට වැරදුනු තැන : තුන්වන කොටස[3] (ජේ. ආර් හා ඔහුගේ බෑනලා, දරුවෝ හා මුණුබුරෝ)



පසුගිය ලිපි දෙකෙන්ම මා ලාංකීය දේශපාලනයේ යුග දෙකක් ගැන විස්තර කළෙමි. මේ ලිපියෙන් දේශපාලනය ගැන ඒ එහි හොඳ නොහොඳ ගැන ලියූ ලිපි පෙළ අවසන් වේ.

අඩු කාලයක් තුල ඉතාම විශාල වෙනසකට රට පත්කල යුගයක් ලෙස මේ තුන්වන යුගය හැඳින්විය හැක. මෙහි පුරෝගාමියා එවකට අගමැතිකම (පසුව විධායක ජනාධිපති) හොබවූ ජේ ආර් ජයවර්ධන මහතාය. ලාංකීය දේශපාලනය හා සමාජ ක්‍රමය තුල වැඩිම වෙනස්කම් සිදුකළ පාලකයා වශයෙන් ජේ ආර් හැඳින්වීමට කැමැත්තෙමි. ජයවර්ධන මහතා රටේ සමාජ දේශපාලනික හා ආර්ථික තත්වය මූලික කාරනා කීපයකින් වෙනස් කලේය. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වදීම, සමානුපාතික  ඡන්ද ක්‍රමය ඇතිකිරීම හා විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීම ඒවාය. ජයවර්ධන මහතාට ලැබුනු විශාල ජනවරමින් එතුමා උපරිම ප්‍රයෝජන ගත්තේය. 5/6 ක බහුතරය නිසා විපක්ශය නිහඬ කර තමන්ට අවශය් ආකාරයට මුලු රටම වෙනස් කිරීමට එතුමාට හැකිවිය. ජයවර්ධන මහතාම පවසන ආකාරයට එතුමාට රකින්නට පරපුරක්ද නොමැත නමුත් එතුමා කළ කී දේ නිසා අනාගත දේශපාලන පරපුරට තමන්ගේ ගෝල බාලයන් මෙන්ම තමන්ගේ පවුලේ සාමාජිකයින් රජකරවීමට හැකිවිය මා ඉහත කී ජේ ආර් ජයවර්ධන මහතා හඳුන්වාදුන් මූලික වෙනස්කම් වලට සාධාරණ හේතු නැතුවාද නොවේ. නමුත් ඒවා තුලින් පසුකාලයේ ඇතිවිය හැකිව තිබූ භයානක ප්‍රතිඵල එතුමා නොදැන සිටියාද යන්න ගැටලුවකි.

මුලින්ම එතුමා සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීම ගැන විමසා බලමු. සමානුපාතික ඡන්ද ක්‍රමය නිසා ජයවර්ධන මහතා  අරමුණු දෙකක් සපුරාගත්තේය. ඒකක් නම් කෙදිනකවත් ඉතා විශාල බහුතරයකින් රජයක් පවතවාගැනීම සීමා කිරීමයි. එවිට එතුමා 5/6 ක බහුතරයකින් හඳුන්වාදුන් දේශපාලනික ප්‍රතිපත්ති වෙනස් කිරිම ඉතා අපහසු වේ. මෙය කෙනෙක් හිර කූඩුවක සිරකොට කූඩුවේ අගුල ගඟට දැමීමක් වැනිය. 
සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීමට අනෙක් හේතුව නම් ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ශයක් සරල බහුතර ඡන්ද ක්‍රමය නිසා ඉතාම අඩු බලයක් හිමිකරගැනීමට හැකියාවක් තිබීමයි. එවිට උතුරු නැගෙනහිර ජනයාගේ අවශ්යතා ඉටුකරන මූලික දේශපාලන ධාරාවට තර්ජනයක් වන පක්ෂ විපක්ෂයේ නායකත්වයට පත්වීමයි. එය පැලැස්තට විසඳුමක් වුවත් දෙමල සන්ධානය වැනි පක්ශ ක්‍රියාකරන ආකාරය ගැන වර්ථමානයේ පවා සලකා බැලීමේදී එය තරමක් බුද්ධිමත් පියවරක් ලෙස දැක්විය හැක. නමුත් සුලු ජාතීන් තවත් යටපත් කර ගැනීම කාලෝචිත නොවන බවද කිව යුතුය. ජේ ආර් ජයවර්ධන මහතාගේ කාලයේ තර්ස්තවාදයේ මුල්ම ගිනි සිළුව දැල්වුන බවද අමතක නොකල යුතුය. එය වැඩිදුර පැතිරෙන්නේ නැතිව පාලනය කළ හැකිව තිබුනේද ජයවර්ධන මහතාටය. එමෙන්ම ත්‍රස්තවාදයක් දක්වා මේ ජනවාර්ගික ගැටලුව ඔඩු දිවීම වැළක්විය හැකිව තිබුනේද එතුමාටය නමුත් එය එසේ නොසිදුවුනි.

ජයවර්ධන මහතාගේ ඉතාම විප්ලවකාරී ක්‍රියාමාර්ගය වන්නේ විවෘත ආර්ථිකය ගෙන ඒමයි. මීට පෙර බණ්ඩාරණායක යුගයේ පැනවූ දැඩි ආර්ථික ප්‍රතිපත්ති නිසා පීඩාවට පත් ජනයා යම් සහනයක් ලැබුවත් විවෘත ආර්ථිකය නිසි ලෙස කළමණාකරණය කිරීමට එවකට පැවැති රජය අපොහොසත් වූ බව හොඳින්ම පෙනී යයි. බණ්ඩාරනායකවරුන් විසින් ගෙන එන ලද ආර්ථික ප්‍රතිපත්ති වාගේම ඉතාම කඩිනමින් බරපතල වෙනසකට රට ලක්කිරීමට මෙයට හැකිවීම නිසා දැඩි පීඩනයකට  ලක්වූ සොරොව්වක් සම්පූර්ණයෙන්ම විවෘත කිරීම වාගේ ජනයාට මෙම ආර්ථික වෙනස යහපත් ආකාරයට ග්‍රහනය කරගැනීමට නොහැකි වීම දරුණු සමාජ සංස්කෘතික විනාශයක පෙරනිමිති පහල කලේය. ලාංකීය සමාජය අද පවා අත්විඳින්නේ  77 දී ගෙන ආ ආර්ථික ප්‍රතිපත්ති නිසි ආකාරයෙන් කළමණාකරණය නොකිරිමේ ප්‍රතිවිපාකයි.

ආර්ථිකයේ යම් විවෘත භාවයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි නමුත් වෙළඳපල මතම පාලනයකින් තොරව ආර්ථිකය රඳා පැවැතීම ඉතාම භයානකය. ඇමරිකාව ඇතුලු ලිබරල් ආර්ථික ක්‍රමයක් ඇති රටවල් වලට හැමු ආර්ථික කුණාටුව වෙළඳපල ආර්ථිකයේ නරක පැත්ත අප සැමටම පසක් කරයි. එමෙන්ම ජනජීවිතයට මේ විවෘත ආර්ථිකය මගින් දැඩි බලපෑමක් ඇති කලේය. පෞද්ගලික ආයතන බිහිවීමත් එමෙන්ම සෑම දෙයම මුදලට යට වීම යටතේ ජනයා තුල ආත්මාර්ථකාමි හැඟීම ලියලා වැඩුනි. 77න් පසු බිහිවූ රටේ නූතන පරපුර මේ නිසා සාර්ධර්ම සංකෘතිය අමතක කර මුදල් සෙවීම පමණක්ම ජීවිතයේ එකම කාර්යය බවට පත් කරගෙන තිබේ. අසූව දශකයේ අනූව දශකයේ පරපුර මෙය වැඩියෙන්ම ඉටුකරමින් පවතී.

අදටත් රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් විධායක ජනාධිපති ක්‍රමය ජයවර්ධන මහතාගේ අනෙක් හඳුන්වාදීමයි. ඊට හේතු දැක්වීමත් ඒ මහතා එතුමාගේ යන “Men and Memories” ග්‍රන්තයේ ලියා තිබේ ජයවර්ධන මහතාගේ මූලික තර්කය වනාහී රටට වැඩදායක ඒකාධිපති පාලනයක් රටේ සංවර්ධනයට දායක වන බවයි. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය උදාහරණයක ගෙන ඒ මහතා ජනාධිපති ක්‍රමය සාධාරණීකරණක කිරීමට උත්සාහ ගත්තේය. නමුත් එතුමාගේ විවෘත ආර්ථික ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමයේ යම් වාසි තිබුනත් මේ ජනාධිපති ක්‍රමයේ පෙනෙන තරම් වාසියක් රටට හා ජනතාවට නැත. 

තමන්ට රකින්නට  පරපුරක්, දරුවෙක් නැතැයි කියා ජනාධිපති ක්‍රමය ගෙන ආ ජයවර්ධන මහතා තමන්ගේ අනුගාමිකයන්ට ඔවුන්ගේ පවුල් හා හිතමිත්‍රාදීන් රජකරවන පාලනයකට ඉඩ හසර සලසා දීම එක අතකර දෛවයේ සරදමක් මෙනි. නීතියේ ආධිපත්යයට යට නොවී රටේ පාලනය තමන්ගේ ගෝලබාලයන් අත තබාගෙන බල කාමයෙන් යුතුව පාලනය ගෙන යාමට හා බලයේ රසය දන්නා නිසා එම වරප්‍රසාද කෙදිනකවත් අත් නොහරින ප්‍රතිපත්තියක් ජේ ආර් ගෙන් පසුව හා සියලු දෙනාම අනුගමනය කලෝය. ජේ ආර් ජයවර්ධන මහතාගෙන් පසුව එතුමාගේ බෑනලා මාමාගේ දර්ශනය අකුරටම අනුගමනය කිරීමට ක්‍රියා කලෝය. එමෙන්ම ඔහුගේ දේශපාලන දරුවෝ හා මුනුබුරෝ  තමන්ගේ මුතුන්මිත්තාගේ වැඩපිලිවෙළ ඔහුටත් වඩා හොඳට කරගෙන යති. නීතිය මෙන්ම රාජ්ය සේවයද දේශපාලනයේ දඬු අඬුවට හිරවී ඇත. මේ දේශපාලන සංස්කෘතිය ඉදිරියටත් පවතින බවට නම් විශ්වාසය. විකල්ප දේශපාලන ධාරාවක් මේ රටේ නැත. එවන් එකක් අවශ්යද නොවේ. එමෙන්ම දේශපාලන පක්ෂ වෙනස්වීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය
නිදහසින් පසු ලංකාවේ දේශපාලනයේ මූලික යුග තුන තුල රට ගොඩනැගීමට අවස්ථා රැසක් තිබුණි. 

ලෝකයේ අනෙක් රටවල් වලට වඩා අවස්ථා අතින් අපේ රට ඉතාම පොහොසත්ය. ඒවා ඊයේත් ලැබුනි, අද ලැබෙමින් පවතී. හෙටත් ලැබෙනු ඇත ඒවායින් නිසි ප්‍රයෝජනය ගැනීම සඳහා ස්ථිරසාර රාජ්ය ප්‍රතිපත්තියක් නිදහසින් පසු අපට නොතිබුනි. විවිධ කාලවල පටු දේශපාලනික ඇජෙන්ඩා නිසා රට ආගාධයට වැටුනු බව පැහැදිළිය. මේ නරාවලෙන් රට ගොඩගැනීම කළ හැක්කේ රටේ පාලකයන්ට පමණය. නිවැරදි මාවතකට රට ගෙනයා හැකි පාලන තන්ත්‍රයක් හා පාලක පන්තියක් අපට අවශ්යය. අවාසනාවකට එය තවම ඉටුවූ බවක් නොපෙනේ. අපට වැරදුනු තැන එයයි

Thursday, November 10, 2011

අපිට වැරදුනු තැන : දෙවන කොටස [2] (බණ්ඩාරනායක යුගය හා එහි හොඳ නරක)


පළමු කොටසට මෙතැනින් පිවිසෙන්න

මේ ලිපියේ මුල් කොටසෙන් දැක්වෙන්නේ නිදහසින් පසු මේ රටේ නායක කාරකාදීන් හා ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිලිබඳවයි. 1956 මේතෙක් පැවැති දේශපාලන දර්ශනය යම් වෙනසකට ලක්විය. එනම් එවකට පැවැති ඉංග්‍රීසි සිරිත් විරිත් හා ඔවුන්ගේ චර්යා ධර්ම මූලික කොටගෙන පැවැතුනු දේශපාලන දර්ශනයක් වෙනුවට ජාතිකත්වය මූලික කොටගෙන සමාජයේ දුපපතා කෙරෙහි අවධානයක් යොමුකිරීම කරන දේශපාලනයක් බිහිවීමයි.

මෙහි මූලික අඩිතාලම ඒස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක මැතිතුමා ආරම්භ කළ බැවින් 1956 සිට 1977 දක්වා බණ්ඩාරණායක යුගය යැයි කියමු. 1956 න් පසුවත් වරින්වර පළමු යුගයේ දේශපාලන නායකත්වය හෙබවූ ඩඩ්ලි සේනානායක වැනි නායකයින් බලයට පැමිනියද ලාංකීය දේශපාලනය තුල මේ යුගයේ පැවැතියේ බණ්ඩාරණායක ආභාශය යැයි කිවයුතුය. මෙකල අප රටේ ආර්ථික ක්‍රමයේ හා සමාජ ක්‍රමයේ මහා පෙරළියක් සිදුවිය. මුල් යුගයේ ඩී ඇස් සේනානායක වැන්නන් කෘශිකර්මය නගාසිටුවා ලංකාවේ ආර්ථික සංවර්ධනයේ මූලික අඩිතාලම දැමූවද පාලනය කෙරෙහි ජනතාවගේ සහභාගීත්වය අවම විය, එමෙනම සාමාන්ය ජනතාවට ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනමය වශයෙන් දැනෙන පරිදි පාලනයක් ගෙනයාමට මුල් යුගයේ නායකයින් අපහොසත් වූහ. බණ්ඩාරනායක මහතා ඒ සියල්ල වෙනස් කලේය. දේශීයත්වයට මුල් තැන දෙමින් ලාංකීය සමාජයේ බහුතරය දේශපාලන ධාරාවට අනියුකත කරගැනීමට ඒ මහතා සමත්විය. මේ කෙසේ වුවත් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ඉංග්‍රීසිකාරයන් ලෙස ජීවත්වූ මුල් යුගයේ නායකයින් හා බණ්ඩාරණායකවරුන් අතර කිසිඳු වෙනසක් නැත. ටේල් කෝට්, ටොප් හැට් දමාගත් ඩී ඇස් ලා හා ටේල් කෝට්, ටොප් හැට් සුදු රෙදි වල රෝල් කරගත් බණ්ඩාරණායකවරුන් එකම සමාජ පැළැන්තියක, එකම අධ්‍යාපන මට්ටමක පැවැතියෝ වෙති. නමුත් බණ්ඩාරණායකවරුන් තමන්ගේ බිම් මට්ටමේ දේශපාලන නායකත්වය ලෙස දේශීය සංස්කෘතිය හා බැඳුනු පිරිසක් තෝරාගත්හ. එයින් බොහෝ දෙනෙක් අතීතයේ බටහිර පන්නයට සිටි කෙටසක් බවද කිවයුතුය.

සිංහලය රාජ්ය භාෂාව කිරීම, නිදහස් අද්‍යාපනය ඇතිකිරීම, දේශීය දේවල් වලට පමණක් මූලිකත්වය දීම මේ යුගයේ කැපී පෙනෙයි. බණඩාරණායක මහතාගේ දේශපාලන දර්ශනය එතුමාගේ මැතිනිය වූ සිරිමා බණ්ඩාරණායක ඉදිරියට ගෙන ඒම තුලින් ජාතික අදහස් වල වර්ධනයක් මේ යුගයේ ඇතිවිණි.  මේ යුගයේ ආර්ථික හා සාමාජීය ප්‍රතිපත්ති ප්‍රායෝගිකද ? අපට ඒ කෙරෙහි යම පමණකට එකඟ වියහැක. ජාතික ආර්ථිකයක් තුලින් රටේ සංවර්ධනය ඇතිකිරීම ඉතාම යහපත් ඒකකි නමුත් එකල රටේ සාමාජීය වෙනස්කම් සිදුකර වේගය නම් එතරම ගැලපෙන්නේ නැත. යම් රටකට ඉතාම වෙනස් සාමාජීය ආර්ථික පරිවර්ථන ගෙන ඒමේදී යම කාලයක් තිස්සේ සෙමෙන ඒවා හඳුන්වා දිය යුතුය. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල පැරැණි සෝවියට් ක්‍රමයේ ආර්ථික ප්‍රතිපත්ති ගෙනහැර දැක්වීමේදී එල්ලවන පීඩනය දරාගැනීමට තරම් ශක්තිමත් ආන්ඩුවක් එකල නොපැවැතින. හාල් පෝලිම් රෙදි පෝලිම වල සිටිමින් කූපන් වලට අත්‍යාවශ්‍ය භාන්ඩ ලබගනිමින් "අපේ අම්මා ඉන්නවා නම් ඕන දුකක් විඳගන්නම්" (මෙහිදී අම්මා යනුවෙන මැතිනියව හඳුන්වයි )යනුවෙන් සිරිමාවෝ රජයේ ආර්ථික පීඩනය ඉවසම්න් ක්‍රියාකල ජනතාව වැඩිකලක් එලෙස සිටීමට සූදානම් නැතිබව රජය එකල තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි.

සමකාලීන විරුද්ධ පක්ෂ දේශපාලකයින් වූ ජේ ආර් ජයවර්ධන මහතා පවතින රජයේ ආර්ථික ප්‍රතිපත්ති සෝවියට් රටවල් පවා අතහැර දැමූවන් බව පෙන්වා දුන්නේය. ලාංකීය දේශපාලනයේ දෙවන අවදියේ ඇතිවූ දේශපාලන කැරැලි ආදියට යම් තරමකින් සාර්ථකව මුහුනදීමට පැවැති රජය සමත්වුවද එහි අහිතකර ප්‍රතිඵල නම් රජය කෙරෙහි ඉතා දරුණු ලෙස බලපෑවේය.

කොතරම් ගැටලු පැවතියත් මේ දෙවන යුගයේ දේශපාලකයින් ඊට පෙර සිටි පිරිස මෙන්ම ඉතාම වැදගත්, අවංක පිරිසක් වූහ. බොහෝ දෙනා රදල කුලයේ නොවුනත් තමන්ගේ ප්‍රදේශයේ ප්‍රභූවරු වූහ. එමෙන්ම එංගලන්තයේ විශ්ව විද්‍යාල වලින් උපාධි නොලැබුත් ජීවිතය නැමැති තක්සලාවෙන් හොඳන් උගත්තෝ වූහ. දේශපාලනය සේවාකක් කරගත් ඔවුන් මැරබලය හා මුදල් බලය පිලිකෙව් කලහ. ටී බී ඉලංගරත්න, කන්නන්ගර වැනි උතුමන්ගේ නම් අද පවා අපේ මතකයේ නොනැසෙන ලෙස පවතින්නේ ඔවුන් මහත්මා දේශපාලනය තමන්ගේ ලේ ඇට මස් නහර වලට වද්දාගත් නිසාවෙනි. මේ අතරම සමසමාජ පක්ෂය වැනි විකල්ප දේශපාලන දහරා වල සිටි දේශපාලාඥයින් අප අමතක නොකය යුතුය. ඇන් ඇම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, පීටර් කෙනමන් වැනි මහා දැවැන්ත පෞරුෂ අද දේශපාලනයේ කොතැනකවත් සොයාගත් නොහැක.

සමස්ථයක් ලෙස ගැනීමේදී එකල පවා රට දියුනුවේ නව මාවතක් කරා යාමේ ලකුණු පහල කර තිබුණි. දූෂණය, වංචාව වැනි දෑ ඉතා අවම වී තිබුණි. එවකට පැවැති රජය තවත් කල්පනාකාරී වූවා නම් තරමක් දුරට තමන්ගේ බලය හා ආර්ථිකය ප්‍රතිපත්ති අංශක 180 ක් දක්වා හැරැවූ 1977 පසු එලැඹුනු දේශපාලනයේ තුන්වන යුගයේ බලපෑම මදක් අවම කරගත හැකිව තිබිණ. තුන්වන යුගය ගැන මීලඟ ලිපියෙන් සාකච්චා කරමු

Wednesday, November 9, 2011

අපිට වැරදුනු තැන : පළමුවන් කොටස [1] (නිදහසින් පසු මුල් යුගය)

 

පළමු කොටස 

මේ බ්ලොග් අඩවියේ ආරම්භයේදීම මා දේශපාලනික හා ජාතින්, ආගම් ගැන කි‍යැවෙන බ්ලෝග් ලියවිලි නොදැමීමට ස්වයo වාරණයක් ඇතිකරගත්තෙමි. නමුත් කනගාටුවෙන් වුවත් එම වාරණය නොතකා. දේශපාලනය ගැන ලිපියක් ලිවීමට සිතුනේ තවත් දෑත් බැඳගෙන බලාසිටීමට නොහැකි නිසාය. ශ්‍රී ලoකාව නම් වූ දේශයට අද ඇතිවී තිබෙන අභාග්ය සම්පන්න ඉරණමට වගකිවයුතු දේශපාලනය නැමැති සාධකය ගැන දීර්ඝ විවරණයක් නොකලහොත් එය ලාoකිකයෙකු වශයෙන් මගෙන් රටට සිදුවිය යුතුු මහඟු යුතුකමක් පැහැරහැරීමක් ලෙස මට හැඟේ.මෙය තරමක් දීර්ඝ ලිපියක් නිසා කොටස් කීපයකින් දැමීමට කැමැත්තෙමි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 වසරේ අප රට නිදහස ලබන ආසියාවේ දෙවන විශාල ආර්ථිකය අප සතුව තිබුණි. එමෙන්ම ආසියාවේ යුද්ධයෙන් භෞතික සම්පත් විනාශයද අප රටේ අවම විය. එවකට ආසියාවේ දැවැනත්යන් ලෙස වැජබුනු ජපානය හා චීනය පවා දෙවන ලෝක යුද්ධය නිසා සම්පූර්ණ විනාශයට පත් වුනු නමුත් අප රට හානියට පත් නොවීම නිසාත් රටේ නිශ්පාදන හැකියාව නොනැසී පැවැතුනු නිසාත් අපට ආර්ථික සමෘධිය සඳහා අවස්ථාවන් රාශියක් විවර වී තිබුනත් ඒවා දීර්ඝ සැලැසුමකින් ක්‍රියාවට නැවීමට පාලකයේ අපෙහොසත් වූහ. මෙම විනාශයට මූලික හෙතුව නම් නිදහසින් පසු මේ රටේ බිහිවූ නායකයන් ගේ අදක්ශකම, ප්‍රතිපත්ති රහිත භාවය හා දූෂණයයි. ඉහත නම් කල දුර්වලතා සියල්ලම එක ආකාරයකය 1948 සිට අද දක්වා පාලනය කල පුද්ගලයන් තුල තිබුනා නොවේ. පාලකයින් කිහිපදෙනෙක් සාධනීය මට්ටමකට පාලනය ගෙන ගියත් ඔවුන්ගෙන් පසු එය නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවුනි. එහි වරද ඇත්තේද ඔවුන් අතය.

නිදහසින් පසු ලාංකීය දේශපාලනය යුග තුනකට බෙදිය හැක. ඒ 1948 සිට 1956 දක්වා යුගය, 1956 සිට 1977 දක්වා යුගය හා 1977 සිට අද දක්වා ක්‍රියාත්මක වන දේශපාලන යුගය යනුවෙනි. ලාංකීය දේශපලනය නිදහසට බොහෝ කලින් පැවැතියද රටේ සෘජු පාලනයට ඒවායින් සිදුවුනු මෙහෙය ප්‍රමානාත්මක වශයෙන් අවමය.කෙසේ වෙතත් අපේ රටට නිදහස ලබා ගැනීමට අප රටේ විවිධ දේශපාලන සංවිධාන එකමුතු වූ බව නම් කිව යුතුය. එහෙත් අවසාන අවධියේ මේ මූලික දේශපාලනික සංවිධාන තමන්ගේ එකිනෙකට වෙනත් අරමුණු වලට පෙලගැසීමක් දක්නට හැකිවිය.

මේ කෙසේ වෙතත් බ්‍රිතාන්යයින්ගෙන් නිදහස්වීම කෙරෙහි නම් මේ මූලික දේශපාලනික සංවිධාන අතර පොදු එකඟත්වයක් ඇතිවුනි. එමෙන්ම නිදහස ලබාගැනීමට යන මාර්ගය ගැන ඉතා පැහැදිළි අවබෝධයක් ඇතුව එම සංවිධාන ක්‍රියා කල බවද කිව යුතුය. මෙම සංවිධාන වල සිටි නායකයින් සමාජයේ ප්‍රභූ පන්තිය නියෝජනය කල ඉතා ධනවත් හා කුලවත් ක්පිරිසක් වූහ. ඔවුන් නියෝජනය කලේ සමාජයේ ඉංග්‍රීසි උගත් කලු සුද්දන්ගේ පන්තියයි. ඩී ඇස් සේනානායක වැනි සිංහල නායකයින් මෙන්ම දෙමළ ජාතික ප්‍රරභූවරුද කලු සුද්දන් ගනයට වැටේ.

නිදහසින් පසු පූර්ව දේශපාලනික කන්ඩායම් රටේ නායකත්වයට පත්වීම නව නව පිටුවක් පෙරලීමක් බඳුවිය. රටේ ආර්ථික හා සාමාජීය දියුනුව කෙරෙහි යන මාවත් නිසි ලෙස විවර වී තිබින. තේ රබර් හා පොල් යන අපනයන බෝග හා සුලු ඛනිජ තුලින් ආදායම ලැබූ ප්‍රාථමික ආර්ථික ක්‍රමයක් අප රටේ තිබුනද රටේ දියුනුවට යන මූලික මාර්ගය ලෙස එක කළමනාකරණය කිරීමට එකල නායකයෝ සමත් වූහ. අපනයන සංවර්ධනය මෙන්ම කෘෂිකර්මයේ නැගීම සඳහාද නිදහසින් පසු මූලික අවධියේ  පාලනය නියමාකාරයෙන් ක්‍රියා කලහ
යම යම් කාලවල ආර්ථික ගැටලු තිබුනද සමස්ථයක් වශයෙන් රට ස්ථාවර තත්වයක පැවතුනි. වරින්වට ආර්ථික අර්බුධ නොතිබුනාද නොවේ. මේ කාලයේ දේශපාලකයින් වචනයේ පරිසමාප්ත අර්ථියෙන්ම මහත්මයින් වූහ. මහත්මා දේශපාලනය ගුරු කොටගත් ඔවුහු දේශපාලනය යනු රැකියාවකට වඩා සේවයක් ලෙස සැලකූහ. අද කාලයේ වාගේම දේශපාලන ගැටුම් පැවතියහ. පක්ශ අභ්යන්තරයේද නොයෙකුත් ගැටුම් පැවතියද ඒවා උපක්‍රමශීලීව හා සිවිල් සමාජයට ගැලපෙන ශිෂ්ටසම්පන්නව විසඳා ගැනීමට ඒ නායකයින් තුල පැවති හැදියාව අද කාලයේ දේශපාලන අංකුර වලට හොඳ ආදර්ශයක් වේ. එදා අද මෙන් නොව දේශපාලනය සෑම කෙනෙකුටම කල හැකි දෙයක් නොවුනි. එය සමාජයේ උගත්, ධනවත් හා ගරුබුහුමන් ලැබූ ඉතා සුලු පිරිසක් විසින් සිදුකල දෙයකි. නීතිය අකුරට රැකූ හා නීතියට ප්ටින් නොගිය අධිකරණයේ බලය තම සියතට නොගත් උදාර මිනිසුන් පිරිසකගෙන් පාලනයට වීමට තරම් එදා ජනයා පින් කර තිබුනි.

එකල ලෝකයේ හා මෙරට තිබුනු සමාජ ආර්ථික වටපිටාවට ගැලපෙන පරිදි ලංකාවේ පාලයයෝ නිදහසින් පසු ආර්ථිකය හැසිරූහ. ඇමරිකාව හෝ සෝවියට් දේශය මෙන් කර්මාන්ත ආර්ථිකයක් මෙරට ඇතිකිරීම ප්‍රායෝගික නොවූයෙන් කෘෂි ආර්ථිකයකින් හා මූලික අපනයන බෝග වලින් සුසැදි අර්ථ ක්‍රමයන් එකල පාලකයින් විසින් ඇතිකිරිම එකලට අනුව සාධාරණිකරනය කල හැක. නමුත් කර්මාන්ත ක්ශේත්‍රයට මූලික අඩිතාලම එකල වැටුනා නම් 1970 පමණ වන විට තරමක නූතන ආර්ථිකයක්  ලඟා කරගැනීමට හැකියාව තිබුනා යැයි සිතිය හැක. මෙකල දේශපාලකයින් තුල දුර්වලතා කීපයක් වූහ. අවංක හා දූෂණයෙන් තොර වූවත් කල් පවත්නා ලෙස ලෝකයේ ආර්ථික ප්‍රරවණතා හඳුනාගැනීමේ නොහැකියව මේ අවස්ථාවේ කැපී පෙනෙයි. එමෙන්ම විකල්ප දේශපාලන ධාරාව නියමාකාරයෙන් කළමනාකරණය කරගැනීමේ දුශ්කරතාව තවත් මූලීකාංගයක් ලෙස සැලැකේ.

නිදහසින් පසු ලංකාවේ ප්‍රථම යුගය හොඳ ආරම්භයක් ලෙස සැලකිය හැක. මන්දයත් ඒවනවිට ලෝකයේ පැවැතුනු තත්වයන් හා සසඳා බලනකල ඉතා ස්ථාවර ආර්ථික දේශපාලනික හා සාමාජීය වටපිටාවක් පැවැති නිසාය. නමුත් මේ ප්‍රරථම යුගයේ දේශපලනය ලංකාවේ බහුතරයක් වන නූගත් දිලිඳු පන්තියේන් නියෝජනය නොවීම නිසා 1956න් පසුව නව දෙශපාලන පරිවර්ථනයක් ලංකාවේ සිදුවිය.

ලාංකීය දේශපාලනයේ දෙවන යුගය ගැන මීලඟ ලිපියෙන් සාකච්ජා කෙරේ ....

Monday, October 31, 2011

බටහිර වියරුව



අද ලෝකය දෙස බැලූ කල අපට දැකගත හැකි වන්නේ දරුණු දේශපාලනික හා යුධමය අර්බුධයකි. අර්බුධය යන්න නිර්වචනය කරනවානම් ඒ වනාහී ඉකමනින් විසඳුම් සෙවිය යුතු එමෙන්ම විසඳුම් සෙවීම ඉතාම අපහසු බරපතල ගැටලුවකි. මූලිකවම අර්බුධයකට විසඳුමක් ඉදිරිපත් කිරීමට පෙර අර්බුධයේ මූලය සෙවීම කාලෝචිත වේ. ලෝකය වෙලාගත් මේ දේශපාලනික අස්ථාවරත්වයට මැදපෙරදිග කලාපය හා සංකෙන්ද්‍රනය වී ඇති බව මතුපිටින් පෙනුනත් රීට ගැඹුරින් මුලු ලෝකයටම බලපෑම් ඇතිකල හැකි මට්ටමටම ලඟාවි ඇත.

අර්බුධයේ මූලය ලෙස බටහිර යටත්විජිතවාදය හඳුන්වා දිය හැක. බටහිර වනාහී යුරෝපීය, උතුරු ඇමරිකානු හා ඕශනියානු රටවල් පමනක් නොව එම රටවල් හා බැඳී තිබෙන සමාජ ආර්ථික කරුණු වේ. මූලිකවම කිවහොත් බටහිර දර්ශනය මුලු ලෝක්යම විනාශ්ය කරා ගෙනයාමට අඩිතාලම දමයි.

මිනිසාගේ පරිනාමයේ සිට මධ්යකාලීය යුගය දක්වා ලෝකයේ විවිධ අධිරාජ්ය, පාලන තන්ත්‍ර ගොඩනැගී තිබුනද ඒවා මුලු ලෝකයේ ජීවන රටාව කෙරෙහි කල බලපෑම ඉතාම අල්පය. රෝමවරුන්, ග්‍රීකයන් මෙන්ම අතීත චීන ජනයාද තම තමන්ගේ සංස්කෘතියට ආවේනික ආකාරයට තම ජීවන රටාව ගෙන ගියා මිස ගෝලීය සංස්කෘතියක් තිබී නැත. නමුත් මේ සියල්ල නාවික ගමනාගමනය හා තාක්ෂණයේ දියුනුවත් සමගම වෙනස් විය. ලෝකයේ සුපිරි බලවතුන් බිහිවන්නට වූ අතර ලෝකය පාලනය කිරීම සඳහා තරඟයක් ඇතිවිය.

මෙසේ සටනට අවතීර්ණ වූ සියලුම රටවල් යුරෝපා මහද්වීපයට අයිති රටවල් වේ. ලෝකයේ අධිරාජ්ය සෑදීම යුරෝපා ජාතීන්ට පමණක් සීමාවූ එකක් නොවුනත් පෙර නොවූ විරූ ලෙස ක්‍රමවත් සැලස්මකින් ලෝක පාලනය සඳහා සුපිරි බලවේග වල සටනක් ඇතිවිය.

පෘතුගාලය, ස්පාඥ්ඥය වැනි රටවල් මාරුවකින් පසු බ්‍රිතාන්යය ලෝක පාලකයා බවට පත්වීම ඉතිහාසගතවන්නකි. මන්දයත් අනාගත ලෝකයට ඇතිවෙන්නට තිබූ බරපතල අර්බුද රැසක ආරම්භය එය වන බැවිනි. මූලික වශයෙන්ම බටහිර ජාතීන්ට ලෝකය තමන්ට හැකි ආකාරයට පාවිච්චි කරන්නට, ලෝකය අල්ලාගන්නට උදව්වූ කාරණයක් තිබින. ඒ දෙවියන් මිනිසා සඳහාම මේ ලෝකය මැව්වා යන්නයි. ආගමික විශ්වාසයක් ලෙස මුල් බැසගත් මෙහි ලෝකය මැවීම කෙසේ වුවත් එය මිනිසාගේ පරිහරණයට තිබෙන භාන්ඩයක් ලෙස හැඳින්වීම ඉතා සාවද්යයි.

තන්හාවෙන් වියරු වැටී මේ බටහිර ජාතීහු ලෝකය පුරා තමන්ගේ අණසක පතුරුවමින් අන් ජාතීන් හා සංස්කෘතීන් විනාශ කරමින් බටහිර කොලනි නිර්මාණය කලහ. ස්පාඥ්ඥය,පෘතුගාලය දකුණු ඇමරිකාව තම භාරයට ගත් අතර බ්‍රිතාන්යය විසින් ආසියාව හා අප්‍රිකාවේ කොටසක් තමන් සන්තකයට ගෙන හිරු නොබසින අධිරාජය තැනූහ. ආයුධ බලයෙන් මෙන්ම රාජ්ය තාන්ත්‍රික උපක්‍රම මාර්ගයෙන්ද තමන් අධිරාජ්යය විශාල කරගැනීමට මෙම අධිරාජ්යවාදීහු ක්‍රියාකලහ.

විසිවස සියවස ආරම්භයෙදී ලෝකය බටහිර ජාතින්ට නතුවී තිබුණි. දෙවන ලෝක යුද්ධය හමාරවීමත් සමග අධිරාජ්යවාදීන් සතුව තිබුණු රටවල් රාශියක් නිදහස ලබාගත්තත් එය දේශ්පාලන වශයෙන් රට පාලනය කිරිමේ නිදහස පමණකි. ආර්ථික හා සාමාජීය නිදහස යටත්වීජිත වලට හිමිවී නැත. අදටත් බටහිට අඳුරු සෙවනැලි වලින් ගැලවීමක් ඔවුනට නැත.

බටහිර බලවතුන් මෑත යුගයේද ක්‍රියා කරන්නේ තමන් යටත් විජිත හිමිකරුවන් ලෙසය. ලෝකේ සුපිරි බලවතා වන ඇමරිකාව ඉතාම නිහීන ආකාරයට ලෝකයේ ඇමරිකානු විරෝධය තඹ සතේකට මායිම් නොකරමින් තම හිතූමනාපයට ලෝකය පාලනය කරයි. අපේ භාෂාවෙන් කියනවානම් "චන්ඩි පාට්" දමයි. තමන්ට අවනත නොවන රටවල් ආන්ඩු මට්ටු කරයි. යුධමය වශ්යෙන් නේටෝ සංවිධානය හරහාද ඔත්තු සේවා මගින් කුමන්ත්‍රණ කිරීමෙන්ද බටහිර විරෝධී නායකයන් ඉවත් කරති.

ප්‍රබල නායකයින් ඒකාධිපතියන් ලෙස හංවඩු ගසමින් අභ්යන්තර කැරලි ඇතිකරමින් ඔවුන්ගේ පාලන තන්ත්‍ර පෙරලා දැමීම බටහිර අධිරාජ්යවාදීන්ගේ නවතම උපක්‍රමයයි. කොක්කෙන් බැරි දේ කෙක්කෙන් වුවත් කිරීමට දක්ශ බටහිර රටවල් මීට සියවස් දෙක තුනකට පෙර නටපු නාඩගමම වෙනස් රඟමඩලක නටයි.
ඉරාකයට, රීජිප්තුවට, ලිබියාවට මෙන්ම අනාගතයේ සිරියාවට හා ඉරානයටද අතපොවන්නේ තෙල් වලට ඇති කෑදරකම නිසා මිස වෙන කුමකටද ? තම යටත්විජිත බටහිර මුතුන්මිත්තන් කල කාර්යය බටහිර ජාතීන් නූතනගේ වෙනස් ආකාරයෙන් සිදුකරති. අතීතයේ රත්තරන් සොයා දකුණු ඇමරිකාව විනාශ කල බටහිර ජාතීහු නූතනයේ කලු-රත්තන් සොයා මැදපෙරදිග යකා නටති.

බටහිර රටවල් වල නව යටත්විජිතවාදය පැරදවීමට නම් බටහිර කෙනෙහිලිකම් වලට ලක්වන රටවල් අතර දැඩි සම්බන්ධතාවයක් ඇතිකරගතයුතු වේ. නේටෝ සංවිධානය වැනි අරක්ශක සංවිධානයක් ඇතිකරගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන අතරම ආර්ථික අතින් ශක්තිමත්වීම අවශ්යයි.

බටහිර රටවල් තමන් අන් රටවල් කෙරෙහි බලය පතුරන "ගනං කාරයෙකු" (Bully) සේ කටයුතු කරන නිසා ඔවුන්ගේ ගනන් බැස්සවීමට සියලු පීඩිතයන් එකතු වියයුතුවේ. බටහිර රටවල් අතින් සූරාකෑමට ලක්වන රටවල් නිහඬව සිටින වාරයක් පාසාම බටහිර රටවල් ඔවුන්ගේ පීඩනය දැඩිකරනු ලබයි. බටහිරට අවනත කරගැනීමට විවිධ කූට උපක්‍රමද යොදයි. අද එවන් රටවලට අවශ්යව ඇත්තේ නිවැරදි නායකත්වයකි. තමන්ගේ රටේ ජනයා තමන්ට අවනතව තබාගන්නවා   වාගේම ක්‍රියාවෙන් නිවැරදිවීමත් එඩිතර වීමත් එවන් නායකයකුගේ ගුනාංග වේ. මෙහිදී ඒකාධිපතියෙක් වීම අදහස් නොකෙරේ බටහිරට අභියෝගයක් කරන්නට හැකි සියලුම නායකයින් පාහේ ඒකාධිපති ලක්ශන පෙන්වීම නිසා බටහිරට එවැන් නායකයන්ගේ තර්ජන අවසන් කිරීමට පහසු වේ.

බටහිර රටවල කෙනෙහිලිකම් වලට මුහුනදීමේදී පාලනය කරන පුද්ගලයා වැදගත් නොවන, පාලනය ක්‍රමය පමනක් වැදගත් වන පද්ධතියක් සැකසීම අත්යාවශ්යය
තමා ගැන නොසිතා, තම රටේ අනාගත පරපුර ගැන සිතා නූතන බටහිර වහලුන් වෙනවාද නැතහොත් නිදහස් ලොවක නිදහස් මිනිසුන් වෙනවාද යන්න අද දිනයේ අප සැම තීරණය කල යුතු වේ.

Wednesday, August 17, 2011

තවත් එක් ටියුශන් කතාවක්


ලංකාවේ ටියුශන් සහ අධ්යාපනය ගැන ලිපියක් මට ලියන්න හිතුන වාර අනන්තයි. ලඟදි දවසක ඒකට හොඳ ප්‍රවේශ්යක් ලැබුනා. මගේ ඥාති සහෝදරිය දවසක් අපේ ගෙදර ආවා. එයා අගනුවර ජනප්‍රිය යැයි කියාගන්නා ඉස්කෝලෙක තවම 10 වසරේ ඉගෙනගන්න කෙනෙක්. පුංචි අම්මත් එක්ක ආපු එයා ගොඩක් වෙහෙසට පත් වෙලයි හිටියේ කාලෙකින් දැක්කේ නැති නිසා ඇත්තටම මේ ඉස්සර හිටිය පුංචි නංගිද කියල මටවත් හිතාගන්න බැරිවුනා.

එයා තනිකර වෙනස් වෙලා නිකන් ඇවිදින මලමිනියක් වගේ. එයාටත් වඩා එයාගේ අම්මා, ඒ කියන්නේ මගේ පුංචි අම්මා විඩාපත් වෙලා. "කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි වුනා නේ. ඒකයි මේ ආවේ. දැන් තියෙන වැඩ කන්දරාවේ හැටියට කොහෙ තියෙන වෙලාවක් ද ?" පුංචි අම්මාගේ හැමදාම කියන වචන සේට් එක මට ඇහුනා.

"හැමදාම මෙයාට පන්ති. දන්නේ නැද්ද ඉතින් කොහොම හරි ඕ ලෙවල් ගොඩදාගන්න එපැයි". පුංචි අම්මා එහෙම කිව්වත් ඇත්තටම මගේ ඥාති සහෝදරී ඉතාම දක්ශ ලමයෙක්. එයාට ඕ එලෙවල් ගොඩ දාගන්නවා කියල එක ඒ හැටි කජ්ජක් නෙවෙයි.
අන්තිමට හොයලා බලනකොට නංගී ටියුශන් පන්ති හැට හුටාමාරකට යනවා. ඒවා අහලා මට නම් පිස්සු වගේ. ගනන් තියරි පන්තියයි, ගනන් හදන පන්තියයි. විද්යාව, ඉංග්‍රීසි, ඉංග්‍රීසි සාහිත්යය පන්ති දෙකයි. සිංහල, සංගීතය ඔන්න ඔය වගේ මහා පතරංග ජාතකය වගේ පන්ති ලිස්ට් එකකට එයා යනවා. තාම දහය වසරේ පොඩි එකාට මෙච්චර පන්ති තොගයක්!!!!.

පන්ති විතරක් නෙවෙයි නංගීට ගෙදරින් හරි පීඩනයක් දෙනවා කියලා මට හිතුනා. පන්තියේ පලවෙනියා වෙන්න විතරක් නෙවෙයි අනිත් ලමයි පහුකරගෙන අස්ප රේස් දුවන්නත් බලකරනවා. දැන් බලන් යනකොට පොඩි ලමයි අස්පයෝ. උන්ව දුවවන අම්මලා තමයි ජොකියෝ. අනේ හැබෑට !!!! ඔටිටු දාන එක විතරයි අඩු.

මට තියෙන ගැටලුව වෙන්නේ ඕ ලෙවල් වලට ඇත්තටම ඔච්චර පාඩම් කරන්නයි, පන්ති යන්නයි මහන්සි වෙන්නයි ඕනෙද කියලයි. මෙගේ ඥාති සහෝදරීට ඕ ලෙවල් විභාගෙන් යන්න තව හොඳ ඉස්කෝලයක් ලංකාවේ නැත්නම්, ඕ ලෙවල් කියන එක ඒ ලෙවල් වලට වඩා ඉතාම ලේසි නම්. ඇයි මේ වගේ අශ්ව රේස් එකකට දාලා එයාගේ ආත්මය නැති කරන්නේ ? ළමයාව අනිවාර්යයෙන්ම ඉගෙනීමට යොමුකල යුතුයි නමුත් ඉගෙන ගන්න එක වදයක් බවට පත්කර ගන්නේ ඇයි ? ඒ ලෙවල් කියන්නේ ඉතාම වෙනස් විභාගයක්. කවුරු කිව්වත් නැතත් ළමයෙක්ගේ ජීවිතය තීරණය කරන්නේ ඒකෙන්. ඒ ලෙවල් වලට දෙන්න ඕනේ පීඩනය වගේම වැඩ කන්දරාව ඕ ලෙවල් වලින්ම කුඩා ළමයෙක් තුලට ඇතුල් කලොත් ඒක ඉතාම භයානක වෙන්න පුලුවන්. නියමිත කාලයට නියමිත ඉගෙනීම් ක්‍රම යොදාගන්නේ නැත්තම් ඒ අධ්යාපනයේ තියෙන ප්‍රයෝජනය මොකක්ද ? අවසානයේ සහතික ටිකක් විතරක් අතින් අරගත්ත නිර්මාණශීලීත්වය මොට වෙච්ච ගොන්නු රැලක් බිහිවෙනවා.

මේවා අහන දකින කොට මට මගේ ඕ ලෙවල් කාලේ මතක් උනා. මම කොච්චර සැහැල්ලුවෙන් හිටියාද? එක අතකින් මම හරි වාසනාවන්තයි මගේ දෙමාපියෝ මට අනික් අය පාගාගෙන අස්ප රේස් දුවන්න බල කරපු නැති එකට. ඒ වගේම කවදාවක් පන්තියේ පළවෙනියා වෙන්න බලකරපු නැති එකට. ඒ වගේම මට මගේ ළමා කාලය ළමයෙක් විදිහට ගතකරන්න ඉඩ දුන්නු එකට.

මම නම් පන්ති ගියේ ගනන් වලටයි විද්යාවටයි ඉංග්‍රීසි සාහිත්යයටයි විතරයි. තව යලට මහට වගේ සිංහල වලටත් ගියා. ඒ ගියේ සිංහල කරපු ගුරුතුමා අපේ නෑදෑයෙක් වෙන නිසයි. ඒ ඔක්කොටමත් වඩා සිංහල සර් ඇදලා පැදලා කියන දෙපැත්ත කැපෙන (වල්) කතා අහන්නත් අපි හරිම කැමැත්තෙන් හිටියා. සර් අපිට හොඳ හොඳ කවි කියලා දුන්නේ. ඒවා මතක් වෙනකොටත් හිනා කාලා මැරෙනවා. මම තවමත් ඉතාම ගරුකරන කෙනත් තමයි සිංහල සර්.

ඕ ලෙවල් කාලේ මම නම් හොඳටම පිස්සු නැටුවා. ඒ වගේම තමන්ට යම් අරමුණක් තියෙන බවත් තේරුම් අරගෙන වැඩකලා. හැම තිස්සේම ඉගෙනීම ආසාවෙන් කලා. ගන්න්, විද්යාව වගේ විශයන් පොත් බදාගෙන පාඩම් කරනවාට වගේ ප්‍රායෝගිකව ඉගෙනගත්තා. ඒ වගේ දේවල් කරන්න මට මගේ ගුරුවරු පවා පුදුම සහයක් දුන්නේ.

අද ලංකාවේ තියෙන අධ්යාපන ක්‍රමය නම් අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනේ. මීට වඩා ඉගෙනීම තුලින් ප්‍රායෝගික, නූතන ලෝකයට ගැලපෙන පිරිසක් බිහිකරන්න අඩිතාලම දමන්න ඕනේ.


මම මේක ඉවර කරන්න කලින් ඕශෝ (Osho) නැමති දාර්ශනිකයා කියපු වදනක් සටහන් කරන්නම්. දෙමව්පියනි, ගුරුවරුනි, මොහොතක් මේ ගැන සිතන්න.

Very few people are accepted as creative: A few painters, a few poets -- one in a million. This is foolish! Every human being is a born creator. Watch children and you will see: all children are creative. By and by, we destroy their creativity. By and by, we force wrong beliefs on them. By and by, we distract them. By and by, we make them more and more economical and political and ambitious




Saturday, August 13, 2011

ඵලදායිතාවය ඉහල නංවා ගැනීමට උපක්රමයක්


ඵලදායිතාවය කියන එක අද ගොඩක් දෙනෙක් භාවිත කරන දෙයක්. ඒකේ තේරුම ගොඩක් දෙනෙක් දන්නේ නැති වුනාට එය අපේ ජීවිතයට ඉතා අවශ්යයි. ඵලදායිතාවය කියන එකේ තේරුම තමන්ට තිබෙන සීමිත සම්පත් වලින් විශාල වැඩකොටසක් කර ගන්න එක. සම්පත් යනුවෙන් හැඳින්වෙන්නේ කාලය, මුදල් ශ්‍රමය වැනි දේවල්. මේ ලිපියෙන් මම කාලය නිසිලෙස පාවිච්චි කරන එක තුලින් තමන්ගේ ඵලදායිතාවය වැඩිකරගන්න එක ගැන විස්තර කරනවා

කාලය ඉතාම වටිනා සම්පතක්. එය ඉතා වේගයෙන් අවසන් වෙනවා. සාමාන්යයෙන් මිනිසෙක්ගේ ආයුකාලය අවුරුදු 70 පමන වෙනවා. ඒ වගේ සීමිත කාලයක් තමයි කෙනෙක්ට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ. එම කාලයෙනුත් වැඩි කොටසක් මහලු වයස හා ලමා කාලයට ගෙවුනාම කෙනෙක්ට දියුනුව සාදා ගැනීමට තිබෙන කාලය ඉතා සීමිතයි

පුද්ගලයෙක් කාර්යාලයේ දී වුනත් ගෙදරකදී වුනත් යම් කිසි වැඩක් කරනවිට සත්ය වශයෙන්ම එම කාර්යයටම නියැලෙන්නේ මුලු කාලයෙන් සුලු ප්‍රතිශතයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ශිෂ්යයෙක් තමන්ගේ විභාගයට අවශ්ය යම් පොතක් කියවා එහි තියෙන වැදගත් කරුණු සටහන් කරගන්නවා කියා හිතන්න. කියවීමට හා කරුනු සටහන් කර ගැනීමට එම වැඩය සඳහා ගතවෙච්ච කාලයෙන් කොපමණ ප්‍රතිශතයක් වැයවුනාද කියා සොයන්න. නියත වශයෙන්ම තමන්ට යම් වැඩක යෙදෙන කාලය එයට  වෙන්කර තිබෙන කාලයට වඩා තරමක් අඩුයි. අපි කාලය ගතවීම ගැන සිතුවේ නැති වුනත් විශාල කාලයක් වෙනත් දේවල් වලට ගතවෙලා තියෙනවා. මේකට මූලික හේතුව වෙන්නේ කාලය ගතවීම හා තමන්ට තිබෙන කාලය පිලිබඳ හැඟීමක් කාර්යය කරන පුද්ගලයාගේ මනසේ නොමැතිවීමයි.

කෙනක් තමන්ට නියමිත වැඩ නියමාකරයෙන් ලයිස්තු ගතකලා කියා හිතන්න එම පුද්ගලයා ඒවාට ගතවන කල්වේලා පවා සටහන් කරගෙන සිටිනවා. නමුත් ඒ කාර්යය කරද්දී එයට ගතවන කාලය පිලිබඳ දැනීමක් එම පුද්ගලයාට ඇත්තේ නෑ. සරල විදිහට කිව්වොත් කාර්යයට නියමිතව තිබෙන කාල පරාසය පාලනය කරගැනීමට හැකියාවක් නෑ. තමන්ගේ වැඩ අපිළිවෙළට සකස් කරගෙන වැඩ සියල්ල අනාගන්නා කෙනෙක්ට වඩා ඉහත විස්තර කරපු පුද්ගලයා සංවිධනාතමකව සිටිනවා වුනත් ඔහුටත් වැඩ නිමකිරීම පිළිබඳ ගැටලු රාශියකට මුහුන දෙන්න වෙනවා.

මේ සියලු දේට මූලික හේතුව වෙන්නේ අපි මනසේ කාලය ගැන සිතාගෙන ඉන්නා ආකාරයයි. උදාහරණයකට පැයක් ගතවෙන යම් වැඩක නියැලෙන කොට එයින් විනාඩ් 40ක් ගතවුනාට පසු  අපි වැඩය කිරීමට ගතවූ විනාඩි 40 ගැන පමණක් මනසේ සටහනක් තබා ගන්න පුරුදු වෙලා සිටිනවා. එසේ නැතිව එම වැඩය නිමකිරීමට තව කොතරම් කාලයක් ඉතිරි වී තිබෙනවාද කියා අප කවදාවක් සිතනවද? විනාඩි 40ක් ගතවූ පසුව තවත් ඉතිරි වී ඇති විනාඩි 20 හා එහි අඩුවීම ගැන මනසේ සටහන් වෙනවාද ?

ඉතිරි වී ඇති කාලය ගැන අපි යම් යම් අවස්ථාවලදී සටහන් කරනවා. ඒ කෙසේ වෙතත් කාලය ගත්වීම හෝ අවසන් වීම ගැන සෑම විටම අපේ දැනීමක් නෑ. උදාහරණයකට තව පැය 24 කින් අවසන් කලයුතු වැඩක පැය ගනන අවසන් වීම පිලිබඳ අපි විමසිලිමත් ද ?. නැත මන්දයත් අපි කාලය ගනන් කරන්නේ ආරෝහණ ආකාරයෙන් මිස අවරෝහණ ආකාරයෙන් (countdown) නොවන නිසාය.

අවරෝහණ ගනනයෙන් (counting down)තමන්ට කාලය අවසන්වීම පිළිබඳ මනා හැඟීමක් දැනෙනවා. ඒ වගේම යම් කිසි වැඩක් අවසන් කිරීම පිලිබඳ යම් ආතතියක්ද හිත තුල ඇතිවෙනවා. සාමාන්යයෙක් මධ්යම ප්‍රමාණයට ආතතිය තමන්ගේ හිත තුල තිබෙන එක ධනාත්මකව කෙනෙක් තුල බලපානවා. ඒ වගේම. අනවශ්ය වැඩ නවත්වා තමන් කරන කාර්යය කෙරෙහි මනා සිහිය පවත්වා ගැනීමටත් මෙයින් ඉඩ සැලසෙනවා.

කාලයේ අවරෝහණ ගනන් කිරීම තමන්ගේ සාමන්ය වැඩකටයුතු වලට යොදාගන්න අවශ්ය වන්නේ ඉතා සුලු සම්පත් ප්‍රමාණයක්. මූලිකවම මේ සඳහා countdown clock එකක් අවශ්ය වෙනවා. යම් කාර්යයක් සඳහා අවශ්යවන කාලය නියමාකරයෙන් ඇස්තමෙන්තු කරගත්තාට පසු තමන් වැඩයෙ නියැලෙද්දී තමන්ට නියමිත කාලය අවසන් වීම පිලිබඳ එකෙන් දැනගැනීමට සැලැස්සෙන ආකාරයට ක්‍රියා කරන්න. තමන්ගේ කාර්යය ඉතාමත් විශාල වුනත් වැඩි කාලයක් ඇස්තමෙන්තු කලත් එකේ මිලි තත්පර වල පවා වෙනසක් ඇතිවන ලෙස සකස් කරන්න. සරලව පැහැදිළි කලොත් කාලය අවසන් වීම තමන්ට දැනෙන්නට සකස් කිරීම අවශ්ය වෙනවා..

මෙම ක්‍රමය ඉතා සරල දෙයක්. නමුත් මානසික වශෙයෙක් කෙනෙකුට විශාල ධනාත්මක බලපෑමක් මේකෙන් ඇතිවෙන්න පුලුවන්. අප දන්නා ආකාරයට ක්‍රීඩාවල පමණක් නොව ඉතා විශල වපසරියට රැකියාවලට හා කාර්යයන් නිමකිරීමට මේ සරල ක්‍රමය යොදගන්න පුලුවන්. රියදුරෙකුට තමන්ගේ ගමනාන්තයට ලඟාවීමට නියමිත කාලයේ වෙනස්වීම පිලිබඳ මේ ක්‍රමයෙක් දැනගන්න පුලුවන්. එවිට නියමිත කාලයට ගමනාන්තයට ලඟාවීමට එය විශාල උදව්වක්. ඉදිකිරීම් ක්ශේත්‍රයට, අධ්යාපනයට ආදී අංශ රැසකටම මේ ක්‍රමය යොදාගන්න පුලුවන්.

ඉතාම සරල අදහසකට ලොකු වෙනසක් කරන්න පුලුවන්. මේ ක්‍රමය පාවිච්චි කරලා කාලය නියමාකාරයෙන් යොදාගෙන ඵලදායිතාවය වැඩිකරගත් අය ගොඩක් දෙනක් ඉන්නවා. ඔබත් මේ අවරෝහණ කාල ගනනය (counting down) යොදාගෙන බලන්න. සමහර විට ඔබගේ ජීවිතය වෙනස් කිරීමට මෙය හේතුවෙයි.










Saturday, July 23, 2011

නැවත කෘෂිකර්මයට (Back to Agriculture)



අද ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම ආර්ථිකය උඩු යටිකුරු වී තිබේ. විවිධ කාල වලදී කෙටි කාලීන ලෙස යම් යම් ආර්ථික අර්බුද පැවතුනද නූතනයේ පවතින ආර්ථික අර්බුදය එතරම් පහසුවෙන් නිමාකිරීමට හැකි එකක් නොවන බව ලෝකයටම ඒත්තු ගැන්වී හමාරය. එක්තරා භාන්ඩයක් හෝ සේවාවක් සමහ බැඳී පවතින ආර්ථික ගැටලුවකට වඩා නූතන සමාජයේ රඳාපැවැත්මට සෘජුවම බලපෑම් කරන ගැටලුවක් බවට මෙය ක්‍රමක්‍රමයෙන් පත්ව තිබේ. ආහාර අර්බුද, දේශගුනික විපර්යාස ආදිය මූලික කරගෙන අනාගතයේ මුලු ලොවේ පැවැත්මට බලපෑම් කරන නූතන ලෝකයේ ආර්ථික රටාව එතරම් සුභදායක අවසානයක් කරා මානව සංහතිය රැගෙන නොයන බව මනාව පසක් වේ.අන් රටවලටත් වඩා ලංකාවේ රැකියා අර්බුද, දුප්පත්කම, ආහාර ගැටලු ආදිය දැන් පැන නැගී තිබේ. රටක් ලෙස අප යන ආර්ථික ගමන් මාර්ගය විප්ලවීය වෙනසක් කරා හැරවිය යුතුව ඇත.

රට දුප්පත්කමින් ගලවා ගැනීමටත් ආහාර අර්බුද හා ඉන්ධන ගැටලු සඳහා හොඳම විසඳුම නම් කෘෂිකාර්මික පිබිදීමක් රට තුල ඇතිකිරීමයි. මේ මගින් රටේ ආහාර අවශ්යතාව රටතුලම සම්පූර්ණ කරගැනීමත් විකල්ප ඉන්ධන නිපදවීමත් කල හැක. නමුත් වර්ථමානයේ සහල්, පොල් පවා පිටරටින් ගෙන්වීමට සිදුවී ඇත්තේ රටේ නියමාකාරයෙන් ආහාර නිෂ්පාදනය කළමණාකරණය කර ගැනීමට නොහැකි වීම නිසාය.

අතීතයේ ශ්‍රී ලංකාවේ 99% ජනයා ගොවියෝ වූහ. පිය උරුමයෙන් ලැබුනු අගනා දායාදයක් ලෙස අතීතයේ සැලකූ ගොවිතැන අද වනවිට ඉතාම පහත් තත්වයට පත්වී තිබේ. ගොවිතැන වනාහී පහත් රැකියාවක් ලෙස සමාජෙයේ ප්‍රචලිත කර වෙනත් රැකියා කරා ජනතාව යොමුකරලීම දශක කීපයකම පැවතුණි. නූතනයේ එය බරපතල ආකාරයට සිදුවේ. අවසානයේ ලංකාවේ ජනප්‍රිය/උසස් යැයි සම්මත රැකියා කරන්නන් පමණක් ඉතිරි වී ගොවිතැන යල් පැනගිය රැකියාවක් පමණක් විය හැක. එවිට රටේ ආහාර නිෂ්පාදනය අඩුවී ආර්ථිකය උඩුයටිකුරු වීම වැලක්විය නොහැක.

ආහාර නිෂ්පාදනය අඩාල වීම හා ගොවියන් ගේ හිඟකම ලංකාවට පමණක් නොව, දියුණු යැයි සම්මත ඇමරිකාව වැනි රටවලද දක්නට ලැබේ. නමුත් ආහාර හා අනෙකුත් කෘෂි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සලකා බලා ඇමරිකානුවන් නැවතත් වාසිදායි රැකියාවක් ලෙස නැවතත් කෘෂිකර්මය තෝරාගැනීම පිළිබඳ ලිපියක් ටයිම්ස් සඟරාවේ ලිපියක් මෑතක දක්නට ලැබුනි. ඒ ලිපියට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ බැංකු කරුවෙක් තමන්ගේ රැකියාවෙන් අස්වී කෘෂිකර්මික කටයුතු වල නියැලේ. එමෙන්ම එය ඉතා වාසි දායක බවද විශාල පිරිසක් කෘෂිකාර්මික කටයුතු වලට නැඹුරු වීමේ කැමැත්තෙන් සිටින බවද වාර්තාවේ. ජෛව ඉන්ධනයක් ලෙස එතනෝල් නිපදවීම ඉන්ධන අර්බුධයට. යම් තරමක හෝ විසඳුමක් ලෙස සැලකිය හැක.

ගොවිතැනට මෙතරම් ඉල්ලුමක් ලෝකයේ මෙන්ම මෙරටද විශාල ඉල්ලුමක් පැවතියත් ගොවිතැනට නැඹුරු වීම මෙරට ඉතාම අඩු මට්ටමක පැවතේ. එයට මූලික හේතුවක් වන්නේ ගොවිතැන පහත්, අපහසු හා අසීරු රැකියාවක් ලෙස සැලකීමයි. නමුත් එය මේ රටේ ජනතාවට බලෙන් කාවැද්දූ දෙයකි. අතීතයේ පටන්ම ලංකාවේ ජනයාගේ ජානවල ගොවිතැන පැවතුනි. "මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු" බව පිළිගත් ජාතියක් ගොවිතැන පිළිකුල් කිරීම ඉතා සෝචනීය තත්වයකි.

ගොවිතැන උරුම කරගත් ගොවි පවුල්වට නූතන පරම්පරාව පවා ගොවිතැන අතහැර වෙනත් රැකියා කරා සංක්‍රමණය වීම ලංකාවේ ගොවිතැනේ මළගමට ප්‍රධාන හේතුවක් වී ඇත. තම පියා ඉතා ආදරයෙන් රැක බලාගත් ඉඩම් කඩම් ආදිය කුනු කොල්ලයට විකුනා දමා ගොවිතැන අතහැරීමට බොහෝ ගොවි දරුවන් පසුබට නොවෙති. එමෙන්ම නූතන නාගරික සංස්කෘතිය අනුව හැදුනු දරුවෝ බොහෝ දෙනෙක් කමතක්, පැලක්, වී බිස්සක් කවරදාවත් දැක නැත. Facebook වෙබ් අඩවියේ Farmtown ක්‍රීඩා කරන මෙරට බොහෝ තරුණ දරු දැරියන් කවරදාකවත් කුඹුරකට ගොස් නැති බව ඉතා වේදනාවෙන් වුවද කිව යුතුය.

මේ අභාග්යයට විසඳුමක් ලෙස රටේ කෘෂිකර්ම විප්ලවයක් ඇරඹිය යුතුය. ආකල්ප වල වෙනසක් ක්‍රමානුකූලව ඇතිකල යුතුය. මීට කලින් විප්ලව සිදු කරන්නට ගොස් ඒවා අසාර්ථක විය. ඊට මූලික හේතුව ජනතාව මත බලෙන් කෘෂිකර්මය පැටවීමයි. රීට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කරමින් කෘෂිකර්මය ඉතා ආකර්ෂණීය හා ගෞරවාන්විත රැකියාවක් බවට පත්කිරීමෙන් ස්වභාවිකවම එයට ඉල්ලුමක් නිර්මාණය වේ.

කෘෂිකර්මය සඳහා උසස් අධ්යාපන අවස්ථාවන් වැඩිකිරීම හා කෘෂිකර්ම උපාධිධාරීන්ට රැකියා අවස්ථා වැඩිකිරීම මූලික අවශ්යතාවයකි. නියමාකාර අධ්යාපනයක් තුලින් නූතන දැනුමින් හා පාරම්පරික කෘෂිකාර්මික වත්පිලිවෙත් වලින් සන්නද්ධ ගොවි පරපුරක් රටේ බිහිවීමෙන් වාසි රැසක් සැලසේ

කෘෂි තාක්ෂණය වැඩි දියුනු කිරීම අනෙක් වැදගත් කාරණයයි.  අපේ රටට ගැලපෙන, අඩු ජල ප්‍රමාණයක් අවශ්යවන කෙටි කාලීන වැඩි අස්වැන්නක් ලබාගත හැකි බෝග අප රටේම නිපදවීම තුලින් බහුජාතික සමාගම් වලින් අපේ ගොවි පරපුර බේරා ගැනීමට හැකිවේ. මේ සියල්ලටත් වඩා මූලිකවම අවශ්ය වන්නේ ජන්ප්‍රිය දෙශපාලන න්යායපත්‍ර වලට යට නොවී රටේ අනාගතය ගැන හිතන දේශපාලන හා නිලධාරී පිරිසකි.

අනාගතයේ මෙරට හමුවේ පවතිය අභියෝග හමුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට කෘෂිකර්මයට නැඹුරු වීමට සිදුවේ. මෙයින් විරැකියාව, ආහාර/ඉන්ධන අර්බුද යම් තරමකින් හෝ සමනය කර ගැනීමට හැකිවනු ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ අතීතයේ ගොවි රජවරුන් බිහිකල ප්‍රෞඩ ජාතියක නියම උරුමය සොයා යාමට කාලය එලඹ ඇති බව පමණි.


Thursday, June 2, 2011

වගකීමකින් යුතුව පානය කරන්න


මම කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්නයි යන්නේ. මම මේ ලියන දේ ගැන අදහස මගේ හිතේ මීට සති කීපයක් ඉඳලම තිබුනත් වෙසක් සතිය නිසා පව්කාර වැඩ ගැන කතා නොකර ඉන්න ගත්තු තීරණය නිසා ඒක ගැන කියන එක ප්‍රමාද කලා. දැන කට්ටියම බලයි මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා. වෙන මොනවත් ගැන නෙවෙයි. අපේ ජාතික පානය නියමාකාරයෙන් බොන විදිහ ගැන.

ලංකාවේ අපි (පුරුෂ පක්ශයේ පමණයි.) තරමක් ලැජ්ජා වෙන්න ඕනේ එක් කාලයක ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය වැඩි රටවල් අතරට අපේ මේ ධර්මද්වීපයත් එකතු වුනු එක ගැන. කොහොම උනත් ඈත අතීතයේ ඉඳලම මිනිස්සු තමන්ට යම් වින්දනයක් ලබාගන්න මධ්යසාර පාවිච්චි කරලා තිබෙනවා. ලෝකයේ මුලින්ම මිනිසා වගා කරන්න පෙලඹුනේ මද්යසාර සඳහා ධාන්ය ගන්න කියලා දැන් හොයාගෙන තිබෙනවා. මිනිස්සු මේ මධ්යසාර වලට මෙච්චර කැමැත්තක් දක්වන්නේ ඒකේ තියෙන මොලයේ ප්‍රීතිය දැනෙන කොටස උත්තේජනය  කරන්න තියෙන හැකියාව නිසයි. නමුත් ඊට සාපෙක්ශව මොලයේ කථනය, සංවේදනය ආදී බොහොමයක් දේවල් අවහිර වෙනවා. මද්යසාර භාවිතය අඩුකරන එක බොහොම හොඳයි. ඒ වගේම තමන්ගේ සිහිය නියමාකාරයෙන් පවත්වාගෙන ඒවා පාවිච්චි කරන එක අපි හැමෝටම වැදගත් වෙනවා.

අපේ භාෂාවෙන් කියනවා නම් 'කරටි කැඩෙන්න ගහලා' තමන්ගේ තත්වය බාල්දු කරන එකට වඩා නියමාකාරයෙන් මධුවිත පානය කරන්න අපි කටයුතු කරන්න ඕනේ. මම පහත සඳහන් කරන්නේ ඒ සඳහා උවමනා වෙන කරුනු කීපයක්. මේවා අත්හදා බලලා ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාදුන්නු ඒවා.

මූලිකම කාරණය වන්නේ තමන්ට ලිමිට් එකක් තියාගන්න එක. මේ සීමාව නැත්නම් "ලිමිට්" පුදගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. තමන්ට අදාල මට්ටමේ රැඳිලා ඉන්න එක ගොඩක් වැදගත්. කාලයක් තිස්සේ ටිකෙන් ටික මේ සීමාව වැඩිකරගන්නත් පුලුවන්. නමුත් සම්මතය වෙලා තියෙන්නේ ඇල්කොහොල් ඒකක 21 කට වඩා ගැනීම පිරිමියෙකුට අනතුරුදායකයි කියලා. ඒකකයක් කියන්නේ මද්යසාර මිලි ලීටර 10ක් නමුත් මේ සීමාව කාන්තාවන්ට තරමක් අඩු වෙනවා. ඒ වගේම රටින් රටට තරමක් වෙනස් වෙන්න පුලුවන්. තමන්ගේ සීමාව තුල ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම දෙය.

මත්පැන් බොනකොට එකවිට එක පානයකට සීමා කරන්න. මත්පැන් කාන්ඩ දෙකකට අයිති දේවල් එකවිට උත්සාහ කරන්න එපා. උදාහරණයකට බියර් පානය කරනවා නම් වෙනත් මත්පැන් ගන්න ඒක නතර කරන්න. එක ඒක මත්පැන් වල මද්යසාර සංයුතිය වෙනස් නිසා ගැටලු ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම අලුත් මත්පැන් වර්ගයක රස බලනවා නම් තරමක් සැලකිළිමත් වෙන එක අවශ්යයි.

නිතරම වතුර පානය කරන්න. ඒකෙන් කාරණා කීපයක් ඉටු වෙනවා. මූලිකවම වෙන දෙයක් තමයි ආමාශයේ ඇල්කොහොල් සංයුතිය අඩුකරන එක. එතකොට තමන්ට දැනෙන මත් ගතිය යම් තරමකින්වත් අඩු වෙනවා. මද්යසාර ශරීරයේ තිබෙන ජල ප්‍රමාණය අඩු කරනවා. නමුත් වැඩිපුර ජලය පානය කලොත් ඒ තත්වය මගහැර ගන්න පුලුවන්. ඒක නිසා මත්පැන් බිව්වාට පසු දින ඇඟට දැනෙන අපහසුව අඩුවෙනවා.

මේ කාරණය නම් බොහෝ දෙනෙක් දන්න දෙයක්. අපි බයිට් එකට තෙල් සහිත කෑමක් ගත්තොත් තමන්ට දැනෙන මත් ගතිය නැත්තන්ම් වෙරි ගතිය වලක්වා ගන්න පුලුවන්. ඒ තෙල්, මත්පැන් වල තිබෙන ඇල්කොහොල් වල ක්‍රියාකාරිත්වය සීමා කිරීම නිසයි.

අපි ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ කෑමට පෙර මත්පැන් පානය කරන්නයි. නමුත් මත්පැන් පානය කරන්න කලින් ආහාරයක් ගත්තොත් ඒක ගොඩක් සහනයක් වෙනවා. කෑමත් නැතිව මත්පැන් පානය කලොත් වෙන අපහසුව ගැන අමුතුවෙන කියන්න ඕනේ නෑ.

සුරාවේ රසයත් - එහි ඇති මනා ගුණයත්
බොන උතුමෝ මිසක් - නොබොන අනුවණ දනෝ නොදනිත් 

යන අයුරින් සුරාව වර්ණනා කරත් නිතරම අපි ඒකේ අහිතකර පරතිඵල ගැන හිතන්න ඕනේ. ඒ වගේම මත්පැන් බොනකොට තමන්ගේ සීමාවෙන් පිට පනින්නේ නැතුව වගකීමෙන් යුතුව වැඩකරන්න අමතක කරන්න එපා. සුප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදකයෙක් වෙන Johnnie Walker ආයතනය තමන්ගේ මත්පැන් බෝතල් වල ප්‍රසිද්ධ කරන වැකියකින් මම ලිපිය අවසන් කරන්න කැමතියි. ඒ "වගකීමකින් යුතුව පානය කරන්න"  (drink responsibly) කියාය.