Sunday, November 27, 2011

අපිට වැරදුනු තැන : තුන්වන කොටස[3] (ජේ. ආර් හා ඔහුගේ බෑනලා, දරුවෝ හා මුණුබුරෝ)



පසුගිය ලිපි දෙකෙන්ම මා ලාංකීය දේශපාලනයේ යුග දෙකක් ගැන විස්තර කළෙමි. මේ ලිපියෙන් දේශපාලනය ගැන ඒ එහි හොඳ නොහොඳ ගැන ලියූ ලිපි පෙළ අවසන් වේ.

අඩු කාලයක් තුල ඉතාම විශාල වෙනසකට රට පත්කල යුගයක් ලෙස මේ තුන්වන යුගය හැඳින්විය හැක. මෙහි පුරෝගාමියා එවකට අගමැතිකම (පසුව විධායක ජනාධිපති) හොබවූ ජේ ආර් ජයවර්ධන මහතාය. ලාංකීය දේශපාලනය හා සමාජ ක්‍රමය තුල වැඩිම වෙනස්කම් සිදුකළ පාලකයා වශයෙන් ජේ ආර් හැඳින්වීමට කැමැත්තෙමි. ජයවර්ධන මහතා රටේ සමාජ දේශපාලනික හා ආර්ථික තත්වය මූලික කාරනා කීපයකින් වෙනස් කලේය. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වදීම, සමානුපාතික  ඡන්ද ක්‍රමය ඇතිකිරීම හා විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීම ඒවාය. ජයවර්ධන මහතාට ලැබුනු විශාල ජනවරමින් එතුමා උපරිම ප්‍රයෝජන ගත්තේය. 5/6 ක බහුතරය නිසා විපක්ශය නිහඬ කර තමන්ට අවශය් ආකාරයට මුලු රටම වෙනස් කිරීමට එතුමාට හැකිවිය. ජයවර්ධන මහතාම පවසන ආකාරයට එතුමාට රකින්නට පරපුරක්ද නොමැත නමුත් එතුමා කළ කී දේ නිසා අනාගත දේශපාලන පරපුරට තමන්ගේ ගෝල බාලයන් මෙන්ම තමන්ගේ පවුලේ සාමාජිකයින් රජකරවීමට හැකිවිය මා ඉහත කී ජේ ආර් ජයවර්ධන මහතා හඳුන්වාදුන් මූලික වෙනස්කම් වලට සාධාරණ හේතු නැතුවාද නොවේ. නමුත් ඒවා තුලින් පසුකාලයේ ඇතිවිය හැකිව තිබූ භයානක ප්‍රතිඵල එතුමා නොදැන සිටියාද යන්න ගැටලුවකි.

මුලින්ම එතුමා සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීම ගැන විමසා බලමු. සමානුපාතික ඡන්ද ක්‍රමය නිසා ජයවර්ධන මහතා  අරමුණු දෙකක් සපුරාගත්තේය. ඒකක් නම් කෙදිනකවත් ඉතා විශාල බහුතරයකින් රජයක් පවතවාගැනීම සීමා කිරීමයි. එවිට එතුමා 5/6 ක බහුතරයකින් හඳුන්වාදුන් දේශපාලනික ප්‍රතිපත්ති වෙනස් කිරිම ඉතා අපහසු වේ. මෙය කෙනෙක් හිර කූඩුවක සිරකොට කූඩුවේ අගුල ගඟට දැමීමක් වැනිය. 
සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීමට අනෙක් හේතුව නම් ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ශයක් සරල බහුතර ඡන්ද ක්‍රමය නිසා ඉතාම අඩු බලයක් හිමිකරගැනීමට හැකියාවක් තිබීමයි. එවිට උතුරු නැගෙනහිර ජනයාගේ අවශ්යතා ඉටුකරන මූලික දේශපාලන ධාරාවට තර්ජනයක් වන පක්ෂ විපක්ෂයේ නායකත්වයට පත්වීමයි. එය පැලැස්තට විසඳුමක් වුවත් දෙමල සන්ධානය වැනි පක්ශ ක්‍රියාකරන ආකාරය ගැන වර්ථමානයේ පවා සලකා බැලීමේදී එය තරමක් බුද්ධිමත් පියවරක් ලෙස දැක්විය හැක. නමුත් සුලු ජාතීන් තවත් යටපත් කර ගැනීම කාලෝචිත නොවන බවද කිව යුතුය. ජේ ආර් ජයවර්ධන මහතාගේ කාලයේ තර්ස්තවාදයේ මුල්ම ගිනි සිළුව දැල්වුන බවද අමතක නොකල යුතුය. එය වැඩිදුර පැතිරෙන්නේ නැතිව පාලනය කළ හැකිව තිබුනේද ජයවර්ධන මහතාටය. එමෙන්ම ත්‍රස්තවාදයක් දක්වා මේ ජනවාර්ගික ගැටලුව ඔඩු දිවීම වැළක්විය හැකිව තිබුනේද එතුමාටය නමුත් එය එසේ නොසිදුවුනි.

ජයවර්ධන මහතාගේ ඉතාම විප්ලවකාරී ක්‍රියාමාර්ගය වන්නේ විවෘත ආර්ථිකය ගෙන ඒමයි. මීට පෙර බණ්ඩාරණායක යුගයේ පැනවූ දැඩි ආර්ථික ප්‍රතිපත්ති නිසා පීඩාවට පත් ජනයා යම් සහනයක් ලැබුවත් විවෘත ආර්ථිකය නිසි ලෙස කළමණාකරණය කිරීමට එවකට පැවැති රජය අපොහොසත් වූ බව හොඳින්ම පෙනී යයි. බණ්ඩාරනායකවරුන් විසින් ගෙන එන ලද ආර්ථික ප්‍රතිපත්ති වාගේම ඉතාම කඩිනමින් බරපතල වෙනසකට රට ලක්කිරීමට මෙයට හැකිවීම නිසා දැඩි පීඩනයකට  ලක්වූ සොරොව්වක් සම්පූර්ණයෙන්ම විවෘත කිරීම වාගේ ජනයාට මෙම ආර්ථික වෙනස යහපත් ආකාරයට ග්‍රහනය කරගැනීමට නොහැකි වීම දරුණු සමාජ සංස්කෘතික විනාශයක පෙරනිමිති පහල කලේය. ලාංකීය සමාජය අද පවා අත්විඳින්නේ  77 දී ගෙන ආ ආර්ථික ප්‍රතිපත්ති නිසි ආකාරයෙන් කළමණාකරණය නොකිරිමේ ප්‍රතිවිපාකයි.

ආර්ථිකයේ යම් විවෘත භාවයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි නමුත් වෙළඳපල මතම පාලනයකින් තොරව ආර්ථිකය රඳා පැවැතීම ඉතාම භයානකය. ඇමරිකාව ඇතුලු ලිබරල් ආර්ථික ක්‍රමයක් ඇති රටවල් වලට හැමු ආර්ථික කුණාටුව වෙළඳපල ආර්ථිකයේ නරක පැත්ත අප සැමටම පසක් කරයි. එමෙන්ම ජනජීවිතයට මේ විවෘත ආර්ථිකය මගින් දැඩි බලපෑමක් ඇති කලේය. පෞද්ගලික ආයතන බිහිවීමත් එමෙන්ම සෑම දෙයම මුදලට යට වීම යටතේ ජනයා තුල ආත්මාර්ථකාමි හැඟීම ලියලා වැඩුනි. 77න් පසු බිහිවූ රටේ නූතන පරපුර මේ නිසා සාර්ධර්ම සංකෘතිය අමතක කර මුදල් සෙවීම පමණක්ම ජීවිතයේ එකම කාර්යය බවට පත් කරගෙන තිබේ. අසූව දශකයේ අනූව දශකයේ පරපුර මෙය වැඩියෙන්ම ඉටුකරමින් පවතී.

අදටත් රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් විධායක ජනාධිපති ක්‍රමය ජයවර්ධන මහතාගේ අනෙක් හඳුන්වාදීමයි. ඊට හේතු දැක්වීමත් ඒ මහතා එතුමාගේ යන “Men and Memories” ග්‍රන්තයේ ලියා තිබේ ජයවර්ධන මහතාගේ මූලික තර්කය වනාහී රටට වැඩදායක ඒකාධිපති පාලනයක් රටේ සංවර්ධනයට දායක වන බවයි. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය උදාහරණයක ගෙන ඒ මහතා ජනාධිපති ක්‍රමය සාධාරණීකරණක කිරීමට උත්සාහ ගත්තේය. නමුත් එතුමාගේ විවෘත ආර්ථික ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමයේ යම් වාසි තිබුනත් මේ ජනාධිපති ක්‍රමයේ පෙනෙන තරම් වාසියක් රටට හා ජනතාවට නැත. 

තමන්ට රකින්නට  පරපුරක්, දරුවෙක් නැතැයි කියා ජනාධිපති ක්‍රමය ගෙන ආ ජයවර්ධන මහතා තමන්ගේ අනුගාමිකයන්ට ඔවුන්ගේ පවුල් හා හිතමිත්‍රාදීන් රජකරවන පාලනයකට ඉඩ හසර සලසා දීම එක අතකර දෛවයේ සරදමක් මෙනි. නීතියේ ආධිපත්යයට යට නොවී රටේ පාලනය තමන්ගේ ගෝලබාලයන් අත තබාගෙන බල කාමයෙන් යුතුව පාලනය ගෙන යාමට හා බලයේ රසය දන්නා නිසා එම වරප්‍රසාද කෙදිනකවත් අත් නොහරින ප්‍රතිපත්තියක් ජේ ආර් ගෙන් පසුව හා සියලු දෙනාම අනුගමනය කලෝය. ජේ ආර් ජයවර්ධන මහතාගෙන් පසුව එතුමාගේ බෑනලා මාමාගේ දර්ශනය අකුරටම අනුගමනය කිරීමට ක්‍රියා කලෝය. එමෙන්ම ඔහුගේ දේශපාලන දරුවෝ හා මුනුබුරෝ  තමන්ගේ මුතුන්මිත්තාගේ වැඩපිලිවෙළ ඔහුටත් වඩා හොඳට කරගෙන යති. නීතිය මෙන්ම රාජ්ය සේවයද දේශපාලනයේ දඬු අඬුවට හිරවී ඇත. මේ දේශපාලන සංස්කෘතිය ඉදිරියටත් පවතින බවට නම් විශ්වාසය. විකල්ප දේශපාලන ධාරාවක් මේ රටේ නැත. එවන් එකක් අවශ්යද නොවේ. එමෙන්ම දේශපාලන පක්ෂ වෙනස්වීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය
නිදහසින් පසු ලංකාවේ දේශපාලනයේ මූලික යුග තුන තුල රට ගොඩනැගීමට අවස්ථා රැසක් තිබුණි. 

ලෝකයේ අනෙක් රටවල් වලට වඩා අවස්ථා අතින් අපේ රට ඉතාම පොහොසත්ය. ඒවා ඊයේත් ලැබුනි, අද ලැබෙමින් පවතී. හෙටත් ලැබෙනු ඇත ඒවායින් නිසි ප්‍රයෝජනය ගැනීම සඳහා ස්ථිරසාර රාජ්ය ප්‍රතිපත්තියක් නිදහසින් පසු අපට නොතිබුනි. විවිධ කාලවල පටු දේශපාලනික ඇජෙන්ඩා නිසා රට ආගාධයට වැටුනු බව පැහැදිළිය. මේ නරාවලෙන් රට ගොඩගැනීම කළ හැක්කේ රටේ පාලකයන්ට පමණය. නිවැරදි මාවතකට රට ගෙනයා හැකි පාලන තන්ත්‍රයක් හා පාලක පන්තියක් අපට අවශ්යය. අවාසනාවකට එය තවම ඉටුවූ බවක් නොපෙනේ. අපට වැරදුනු තැන එයයි

No comments:

Post a Comment