Sunday, November 27, 2011

අපිට වැරදුනු තැන : තුන්වන කොටස[3] (ජේ. ආර් හා ඔහුගේ බෑනලා, දරුවෝ හා මුණුබුරෝ)



පසුගිය ලිපි දෙකෙන්ම මා ලාංකීය දේශපාලනයේ යුග දෙකක් ගැන විස්තර කළෙමි. මේ ලිපියෙන් දේශපාලනය ගැන ඒ එහි හොඳ නොහොඳ ගැන ලියූ ලිපි පෙළ අවසන් වේ.

අඩු කාලයක් තුල ඉතාම විශාල වෙනසකට රට පත්කල යුගයක් ලෙස මේ තුන්වන යුගය හැඳින්විය හැක. මෙහි පුරෝගාමියා එවකට අගමැතිකම (පසුව විධායක ජනාධිපති) හොබවූ ජේ ආර් ජයවර්ධන මහතාය. ලාංකීය දේශපාලනය හා සමාජ ක්‍රමය තුල වැඩිම වෙනස්කම් සිදුකළ පාලකයා වශයෙන් ජේ ආර් හැඳින්වීමට කැමැත්තෙමි. ජයවර්ධන මහතා රටේ සමාජ දේශපාලනික හා ආර්ථික තත්වය මූලික කාරනා කීපයකින් වෙනස් කලේය. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වදීම, සමානුපාතික  ඡන්ද ක්‍රමය ඇතිකිරීම හා විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීම ඒවාය. ජයවර්ධන මහතාට ලැබුනු විශාල ජනවරමින් එතුමා උපරිම ප්‍රයෝජන ගත්තේය. 5/6 ක බහුතරය නිසා විපක්ශය නිහඬ කර තමන්ට අවශය් ආකාරයට මුලු රටම වෙනස් කිරීමට එතුමාට හැකිවිය. ජයවර්ධන මහතාම පවසන ආකාරයට එතුමාට රකින්නට පරපුරක්ද නොමැත නමුත් එතුමා කළ කී දේ නිසා අනාගත දේශපාලන පරපුරට තමන්ගේ ගෝල බාලයන් මෙන්ම තමන්ගේ පවුලේ සාමාජිකයින් රජකරවීමට හැකිවිය මා ඉහත කී ජේ ආර් ජයවර්ධන මහතා හඳුන්වාදුන් මූලික වෙනස්කම් වලට සාධාරණ හේතු නැතුවාද නොවේ. නමුත් ඒවා තුලින් පසුකාලයේ ඇතිවිය හැකිව තිබූ භයානක ප්‍රතිඵල එතුමා නොදැන සිටියාද යන්න ගැටලුවකි.

මුලින්ම එතුමා සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීම ගැන විමසා බලමු. සමානුපාතික ඡන්ද ක්‍රමය නිසා ජයවර්ධන මහතා  අරමුණු දෙකක් සපුරාගත්තේය. ඒකක් නම් කෙදිනකවත් ඉතා විශාල බහුතරයකින් රජයක් පවතවාගැනීම සීමා කිරීමයි. එවිට එතුමා 5/6 ක බහුතරයකින් හඳුන්වාදුන් දේශපාලනික ප්‍රතිපත්ති වෙනස් කිරිම ඉතා අපහසු වේ. මෙය කෙනෙක් හිර කූඩුවක සිරකොට කූඩුවේ අගුල ගඟට දැමීමක් වැනිය. 
සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීමට අනෙක් හේතුව නම් ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ශයක් සරල බහුතර ඡන්ද ක්‍රමය නිසා ඉතාම අඩු බලයක් හිමිකරගැනීමට හැකියාවක් තිබීමයි. එවිට උතුරු නැගෙනහිර ජනයාගේ අවශ්යතා ඉටුකරන මූලික දේශපාලන ධාරාවට තර්ජනයක් වන පක්ෂ විපක්ෂයේ නායකත්වයට පත්වීමයි. එය පැලැස්තට විසඳුමක් වුවත් දෙමල සන්ධානය වැනි පක්ශ ක්‍රියාකරන ආකාරය ගැන වර්ථමානයේ පවා සලකා බැලීමේදී එය තරමක් බුද්ධිමත් පියවරක් ලෙස දැක්විය හැක. නමුත් සුලු ජාතීන් තවත් යටපත් කර ගැනීම කාලෝචිත නොවන බවද කිව යුතුය. ජේ ආර් ජයවර්ධන මහතාගේ කාලයේ තර්ස්තවාදයේ මුල්ම ගිනි සිළුව දැල්වුන බවද අමතක නොකල යුතුය. එය වැඩිදුර පැතිරෙන්නේ නැතිව පාලනය කළ හැකිව තිබුනේද ජයවර්ධන මහතාටය. එමෙන්ම ත්‍රස්තවාදයක් දක්වා මේ ජනවාර්ගික ගැටලුව ඔඩු දිවීම වැළක්විය හැකිව තිබුනේද එතුමාටය නමුත් එය එසේ නොසිදුවුනි.

ජයවර්ධන මහතාගේ ඉතාම විප්ලවකාරී ක්‍රියාමාර්ගය වන්නේ විවෘත ආර්ථිකය ගෙන ඒමයි. මීට පෙර බණ්ඩාරණායක යුගයේ පැනවූ දැඩි ආර්ථික ප්‍රතිපත්ති නිසා පීඩාවට පත් ජනයා යම් සහනයක් ලැබුවත් විවෘත ආර්ථිකය නිසි ලෙස කළමණාකරණය කිරීමට එවකට පැවැති රජය අපොහොසත් වූ බව හොඳින්ම පෙනී යයි. බණ්ඩාරනායකවරුන් විසින් ගෙන එන ලද ආර්ථික ප්‍රතිපත්ති වාගේම ඉතාම කඩිනමින් බරපතල වෙනසකට රට ලක්කිරීමට මෙයට හැකිවීම නිසා දැඩි පීඩනයකට  ලක්වූ සොරොව්වක් සම්පූර්ණයෙන්ම විවෘත කිරීම වාගේ ජනයාට මෙම ආර්ථික වෙනස යහපත් ආකාරයට ග්‍රහනය කරගැනීමට නොහැකි වීම දරුණු සමාජ සංස්කෘතික විනාශයක පෙරනිමිති පහල කලේය. ලාංකීය සමාජය අද පවා අත්විඳින්නේ  77 දී ගෙන ආ ආර්ථික ප්‍රතිපත්ති නිසි ආකාරයෙන් කළමණාකරණය නොකිරිමේ ප්‍රතිවිපාකයි.

ආර්ථිකයේ යම් විවෘත භාවයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි නමුත් වෙළඳපල මතම පාලනයකින් තොරව ආර්ථිකය රඳා පැවැතීම ඉතාම භයානකය. ඇමරිකාව ඇතුලු ලිබරල් ආර්ථික ක්‍රමයක් ඇති රටවල් වලට හැමු ආර්ථික කුණාටුව වෙළඳපල ආර්ථිකයේ නරක පැත්ත අප සැමටම පසක් කරයි. එමෙන්ම ජනජීවිතයට මේ විවෘත ආර්ථිකය මගින් දැඩි බලපෑමක් ඇති කලේය. පෞද්ගලික ආයතන බිහිවීමත් එමෙන්ම සෑම දෙයම මුදලට යට වීම යටතේ ජනයා තුල ආත්මාර්ථකාමි හැඟීම ලියලා වැඩුනි. 77න් පසු බිහිවූ රටේ නූතන පරපුර මේ නිසා සාර්ධර්ම සංකෘතිය අමතක කර මුදල් සෙවීම පමණක්ම ජීවිතයේ එකම කාර්යය බවට පත් කරගෙන තිබේ. අසූව දශකයේ අනූව දශකයේ පරපුර මෙය වැඩියෙන්ම ඉටුකරමින් පවතී.

අදටත් රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් විධායක ජනාධිපති ක්‍රමය ජයවර්ධන මහතාගේ අනෙක් හඳුන්වාදීමයි. ඊට හේතු දැක්වීමත් ඒ මහතා එතුමාගේ යන “Men and Memories” ග්‍රන්තයේ ලියා තිබේ ජයවර්ධන මහතාගේ මූලික තර්කය වනාහී රටට වැඩදායක ඒකාධිපති පාලනයක් රටේ සංවර්ධනයට දායක වන බවයි. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය උදාහරණයක ගෙන ඒ මහතා ජනාධිපති ක්‍රමය සාධාරණීකරණක කිරීමට උත්සාහ ගත්තේය. නමුත් එතුමාගේ විවෘත ආර්ථික ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමයේ යම් වාසි තිබුනත් මේ ජනාධිපති ක්‍රමයේ පෙනෙන තරම් වාසියක් රටට හා ජනතාවට නැත. 

තමන්ට රකින්නට  පරපුරක්, දරුවෙක් නැතැයි කියා ජනාධිපති ක්‍රමය ගෙන ආ ජයවර්ධන මහතා තමන්ගේ අනුගාමිකයන්ට ඔවුන්ගේ පවුල් හා හිතමිත්‍රාදීන් රජකරවන පාලනයකට ඉඩ හසර සලසා දීම එක අතකර දෛවයේ සරදමක් මෙනි. නීතියේ ආධිපත්යයට යට නොවී රටේ පාලනය තමන්ගේ ගෝලබාලයන් අත තබාගෙන බල කාමයෙන් යුතුව පාලනය ගෙන යාමට හා බලයේ රසය දන්නා නිසා එම වරප්‍රසාද කෙදිනකවත් අත් නොහරින ප්‍රතිපත්තියක් ජේ ආර් ගෙන් පසුව හා සියලු දෙනාම අනුගමනය කලෝය. ජේ ආර් ජයවර්ධන මහතාගෙන් පසුව එතුමාගේ බෑනලා මාමාගේ දර්ශනය අකුරටම අනුගමනය කිරීමට ක්‍රියා කලෝය. එමෙන්ම ඔහුගේ දේශපාලන දරුවෝ හා මුනුබුරෝ  තමන්ගේ මුතුන්මිත්තාගේ වැඩපිලිවෙළ ඔහුටත් වඩා හොඳට කරගෙන යති. නීතිය මෙන්ම රාජ්ය සේවයද දේශපාලනයේ දඬු අඬුවට හිරවී ඇත. මේ දේශපාලන සංස්කෘතිය ඉදිරියටත් පවතින බවට නම් විශ්වාසය. විකල්ප දේශපාලන ධාරාවක් මේ රටේ නැත. එවන් එකක් අවශ්යද නොවේ. එමෙන්ම දේශපාලන පක්ෂ වෙනස්වීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය
නිදහසින් පසු ලංකාවේ දේශපාලනයේ මූලික යුග තුන තුල රට ගොඩනැගීමට අවස්ථා රැසක් තිබුණි. 

ලෝකයේ අනෙක් රටවල් වලට වඩා අවස්ථා අතින් අපේ රට ඉතාම පොහොසත්ය. ඒවා ඊයේත් ලැබුනි, අද ලැබෙමින් පවතී. හෙටත් ලැබෙනු ඇත ඒවායින් නිසි ප්‍රයෝජනය ගැනීම සඳහා ස්ථිරසාර රාජ්ය ප්‍රතිපත්තියක් නිදහසින් පසු අපට නොතිබුනි. විවිධ කාලවල පටු දේශපාලනික ඇජෙන්ඩා නිසා රට ආගාධයට වැටුනු බව පැහැදිළිය. මේ නරාවලෙන් රට ගොඩගැනීම කළ හැක්කේ රටේ පාලකයන්ට පමණය. නිවැරදි මාවතකට රට ගෙනයා හැකි පාලන තන්ත්‍රයක් හා පාලක පන්තියක් අපට අවශ්යය. අවාසනාවකට එය තවම ඉටුවූ බවක් නොපෙනේ. අපට වැරදුනු තැන එයයි

Thursday, November 10, 2011

අපිට වැරදුනු තැන : දෙවන කොටස [2] (බණ්ඩාරනායක යුගය හා එහි හොඳ නරක)


පළමු කොටසට මෙතැනින් පිවිසෙන්න

මේ ලිපියේ මුල් කොටසෙන් දැක්වෙන්නේ නිදහසින් පසු මේ රටේ නායක කාරකාදීන් හා ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිලිබඳවයි. 1956 මේතෙක් පැවැති දේශපාලන දර්ශනය යම් වෙනසකට ලක්විය. එනම් එවකට පැවැති ඉංග්‍රීසි සිරිත් විරිත් හා ඔවුන්ගේ චර්යා ධර්ම මූලික කොටගෙන පැවැතුනු දේශපාලන දර්ශනයක් වෙනුවට ජාතිකත්වය මූලික කොටගෙන සමාජයේ දුපපතා කෙරෙහි අවධානයක් යොමුකිරීම කරන දේශපාලනයක් බිහිවීමයි.

මෙහි මූලික අඩිතාලම ඒස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක මැතිතුමා ආරම්භ කළ බැවින් 1956 සිට 1977 දක්වා බණ්ඩාරණායක යුගය යැයි කියමු. 1956 න් පසුවත් වරින්වර පළමු යුගයේ දේශපාලන නායකත්වය හෙබවූ ඩඩ්ලි සේනානායක වැනි නායකයින් බලයට පැමිනියද ලාංකීය දේශපාලනය තුල මේ යුගයේ පැවැතියේ බණ්ඩාරණායක ආභාශය යැයි කිවයුතුය. මෙකල අප රටේ ආර්ථික ක්‍රමයේ හා සමාජ ක්‍රමයේ මහා පෙරළියක් සිදුවිය. මුල් යුගයේ ඩී ඇස් සේනානායක වැන්නන් කෘශිකර්මය නගාසිටුවා ලංකාවේ ආර්ථික සංවර්ධනයේ මූලික අඩිතාලම දැමූවද පාලනය කෙරෙහි ජනතාවගේ සහභාගීත්වය අවම විය, එමෙනම සාමාන්ය ජනතාවට ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනමය වශයෙන් දැනෙන පරිදි පාලනයක් ගෙනයාමට මුල් යුගයේ නායකයින් අපහොසත් වූහ. බණ්ඩාරනායක මහතා ඒ සියල්ල වෙනස් කලේය. දේශීයත්වයට මුල් තැන දෙමින් ලාංකීය සමාජයේ බහුතරය දේශපාලන ධාරාවට අනියුකත කරගැනීමට ඒ මහතා සමත්විය. මේ කෙසේ වුවත් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ඉංග්‍රීසිකාරයන් ලෙස ජීවත්වූ මුල් යුගයේ නායකයින් හා බණ්ඩාරණායකවරුන් අතර කිසිඳු වෙනසක් නැත. ටේල් කෝට්, ටොප් හැට් දමාගත් ඩී ඇස් ලා හා ටේල් කෝට්, ටොප් හැට් සුදු රෙදි වල රෝල් කරගත් බණ්ඩාරණායකවරුන් එකම සමාජ පැළැන්තියක, එකම අධ්‍යාපන මට්ටමක පැවැතියෝ වෙති. නමුත් බණ්ඩාරණායකවරුන් තමන්ගේ බිම් මට්ටමේ දේශපාලන නායකත්වය ලෙස දේශීය සංස්කෘතිය හා බැඳුනු පිරිසක් තෝරාගත්හ. එයින් බොහෝ දෙනෙක් අතීතයේ බටහිර පන්නයට සිටි කෙටසක් බවද කිවයුතුය.

සිංහලය රාජ්ය භාෂාව කිරීම, නිදහස් අද්‍යාපනය ඇතිකිරීම, දේශීය දේවල් වලට පමණක් මූලිකත්වය දීම මේ යුගයේ කැපී පෙනෙයි. බණඩාරණායක මහතාගේ දේශපාලන දර්ශනය එතුමාගේ මැතිනිය වූ සිරිමා බණ්ඩාරණායක ඉදිරියට ගෙන ඒම තුලින් ජාතික අදහස් වල වර්ධනයක් මේ යුගයේ ඇතිවිණි.  මේ යුගයේ ආර්ථික හා සාමාජීය ප්‍රතිපත්ති ප්‍රායෝගිකද ? අපට ඒ කෙරෙහි යම පමණකට එකඟ වියහැක. ජාතික ආර්ථිකයක් තුලින් රටේ සංවර්ධනය ඇතිකිරීම ඉතාම යහපත් ඒකකි නමුත් එකල රටේ සාමාජීය වෙනස්කම් සිදුකර වේගය නම් එතරම ගැලපෙන්නේ නැත. යම් රටකට ඉතාම වෙනස් සාමාජීය ආර්ථික පරිවර්ථන ගෙන ඒමේදී යම කාලයක් තිස්සේ සෙමෙන ඒවා හඳුන්වා දිය යුතුය. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල පැරැණි සෝවියට් ක්‍රමයේ ආර්ථික ප්‍රතිපත්ති ගෙනහැර දැක්වීමේදී එල්ලවන පීඩනය දරාගැනීමට තරම් ශක්තිමත් ආන්ඩුවක් එකල නොපැවැතින. හාල් පෝලිම් රෙදි පෝලිම වල සිටිමින් කූපන් වලට අත්‍යාවශ්‍ය භාන්ඩ ලබගනිමින් "අපේ අම්මා ඉන්නවා නම් ඕන දුකක් විඳගන්නම්" (මෙහිදී අම්මා යනුවෙන මැතිනියව හඳුන්වයි )යනුවෙන් සිරිමාවෝ රජයේ ආර්ථික පීඩනය ඉවසම්න් ක්‍රියාකල ජනතාව වැඩිකලක් එලෙස සිටීමට සූදානම් නැතිබව රජය එකල තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි.

සමකාලීන විරුද්ධ පක්ෂ දේශපාලකයින් වූ ජේ ආර් ජයවර්ධන මහතා පවතින රජයේ ආර්ථික ප්‍රතිපත්ති සෝවියට් රටවල් පවා අතහැර දැමූවන් බව පෙන්වා දුන්නේය. ලාංකීය දේශපාලනයේ දෙවන අවදියේ ඇතිවූ දේශපාලන කැරැලි ආදියට යම් තරමකින් සාර්ථකව මුහුනදීමට පැවැති රජය සමත්වුවද එහි අහිතකර ප්‍රතිඵල නම් රජය කෙරෙහි ඉතා දරුණු ලෙස බලපෑවේය.

කොතරම් ගැටලු පැවතියත් මේ දෙවන යුගයේ දේශපාලකයින් ඊට පෙර සිටි පිරිස මෙන්ම ඉතාම වැදගත්, අවංක පිරිසක් වූහ. බොහෝ දෙනා රදල කුලයේ නොවුනත් තමන්ගේ ප්‍රදේශයේ ප්‍රභූවරු වූහ. එමෙන්ම එංගලන්තයේ විශ්ව විද්‍යාල වලින් උපාධි නොලැබුත් ජීවිතය නැමැති තක්සලාවෙන් හොඳන් උගත්තෝ වූහ. දේශපාලනය සේවාකක් කරගත් ඔවුන් මැරබලය හා මුදල් බලය පිලිකෙව් කලහ. ටී බී ඉලංගරත්න, කන්නන්ගර වැනි උතුමන්ගේ නම් අද පවා අපේ මතකයේ නොනැසෙන ලෙස පවතින්නේ ඔවුන් මහත්මා දේශපාලනය තමන්ගේ ලේ ඇට මස් නහර වලට වද්දාගත් නිසාවෙනි. මේ අතරම සමසමාජ පක්ෂය වැනි විකල්ප දේශපාලන දහරා වල සිටි දේශපාලාඥයින් අප අමතක නොකය යුතුය. ඇන් ඇම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, පීටර් කෙනමන් වැනි මහා දැවැන්ත පෞරුෂ අද දේශපාලනයේ කොතැනකවත් සොයාගත් නොහැක.

සමස්ථයක් ලෙස ගැනීමේදී එකල පවා රට දියුනුවේ නව මාවතක් කරා යාමේ ලකුණු පහල කර තිබුණි. දූෂණය, වංචාව වැනි දෑ ඉතා අවම වී තිබුණි. එවකට පැවැති රජය තවත් කල්පනාකාරී වූවා නම් තරමක් දුරට තමන්ගේ බලය හා ආර්ථිකය ප්‍රතිපත්ති අංශක 180 ක් දක්වා හැරැවූ 1977 පසු එලැඹුනු දේශපාලනයේ තුන්වන යුගයේ බලපෑම මදක් අවම කරගත හැකිව තිබිණ. තුන්වන යුගය ගැන මීලඟ ලිපියෙන් සාකච්චා කරමු

Wednesday, November 9, 2011

අපිට වැරදුනු තැන : පළමුවන් කොටස [1] (නිදහසින් පසු මුල් යුගය)

 

පළමු කොටස 

මේ බ්ලොග් අඩවියේ ආරම්භයේදීම මා දේශපාලනික හා ජාතින්, ආගම් ගැන කි‍යැවෙන බ්ලෝග් ලියවිලි නොදැමීමට ස්වයo වාරණයක් ඇතිකරගත්තෙමි. නමුත් කනගාටුවෙන් වුවත් එම වාරණය නොතකා. දේශපාලනය ගැන ලිපියක් ලිවීමට සිතුනේ තවත් දෑත් බැඳගෙන බලාසිටීමට නොහැකි නිසාය. ශ්‍රී ලoකාව නම් වූ දේශයට අද ඇතිවී තිබෙන අභාග්ය සම්පන්න ඉරණමට වගකිවයුතු දේශපාලනය නැමැති සාධකය ගැන දීර්ඝ විවරණයක් නොකලහොත් එය ලාoකිකයෙකු වශයෙන් මගෙන් රටට සිදුවිය යුතුු මහඟු යුතුකමක් පැහැරහැරීමක් ලෙස මට හැඟේ.මෙය තරමක් දීර්ඝ ලිපියක් නිසා කොටස් කීපයකින් දැමීමට කැමැත්තෙමි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 වසරේ අප රට නිදහස ලබන ආසියාවේ දෙවන විශාල ආර්ථිකය අප සතුව තිබුණි. එමෙන්ම ආසියාවේ යුද්ධයෙන් භෞතික සම්පත් විනාශයද අප රටේ අවම විය. එවකට ආසියාවේ දැවැනත්යන් ලෙස වැජබුනු ජපානය හා චීනය පවා දෙවන ලෝක යුද්ධය නිසා සම්පූර්ණ විනාශයට පත් වුනු නමුත් අප රට හානියට පත් නොවීම නිසාත් රටේ නිශ්පාදන හැකියාව නොනැසී පැවැතුනු නිසාත් අපට ආර්ථික සමෘධිය සඳහා අවස්ථාවන් රාශියක් විවර වී තිබුනත් ඒවා දීර්ඝ සැලැසුමකින් ක්‍රියාවට නැවීමට පාලකයේ අපෙහොසත් වූහ. මෙම විනාශයට මූලික හෙතුව නම් නිදහසින් පසු මේ රටේ බිහිවූ නායකයන් ගේ අදක්ශකම, ප්‍රතිපත්ති රහිත භාවය හා දූෂණයයි. ඉහත නම් කල දුර්වලතා සියල්ලම එක ආකාරයකය 1948 සිට අද දක්වා පාලනය කල පුද්ගලයන් තුල තිබුනා නොවේ. පාලකයින් කිහිපදෙනෙක් සාධනීය මට්ටමකට පාලනය ගෙන ගියත් ඔවුන්ගෙන් පසු එය නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවුනි. එහි වරද ඇත්තේද ඔවුන් අතය.

නිදහසින් පසු ලාංකීය දේශපාලනය යුග තුනකට බෙදිය හැක. ඒ 1948 සිට 1956 දක්වා යුගය, 1956 සිට 1977 දක්වා යුගය හා 1977 සිට අද දක්වා ක්‍රියාත්මක වන දේශපාලන යුගය යනුවෙනි. ලාංකීය දේශපලනය නිදහසට බොහෝ කලින් පැවැතියද රටේ සෘජු පාලනයට ඒවායින් සිදුවුනු මෙහෙය ප්‍රමානාත්මක වශයෙන් අවමය.කෙසේ වෙතත් අපේ රටට නිදහස ලබා ගැනීමට අප රටේ විවිධ දේශපාලන සංවිධාන එකමුතු වූ බව නම් කිව යුතුය. එහෙත් අවසාන අවධියේ මේ මූලික දේශපාලනික සංවිධාන තමන්ගේ එකිනෙකට වෙනත් අරමුණු වලට පෙලගැසීමක් දක්නට හැකිවිය.

මේ කෙසේ වෙතත් බ්‍රිතාන්යයින්ගෙන් නිදහස්වීම කෙරෙහි නම් මේ මූලික දේශපාලනික සංවිධාන අතර පොදු එකඟත්වයක් ඇතිවුනි. එමෙන්ම නිදහස ලබාගැනීමට යන මාර්ගය ගැන ඉතා පැහැදිළි අවබෝධයක් ඇතුව එම සංවිධාන ක්‍රියා කල බවද කිව යුතුය. මෙම සංවිධාන වල සිටි නායකයින් සමාජයේ ප්‍රභූ පන්තිය නියෝජනය කල ඉතා ධනවත් හා කුලවත් ක්පිරිසක් වූහ. ඔවුන් නියෝජනය කලේ සමාජයේ ඉංග්‍රීසි උගත් කලු සුද්දන්ගේ පන්තියයි. ඩී ඇස් සේනානායක වැනි සිංහල නායකයින් මෙන්ම දෙමළ ජාතික ප්‍රරභූවරුද කලු සුද්දන් ගනයට වැටේ.

නිදහසින් පසු පූර්ව දේශපාලනික කන්ඩායම් රටේ නායකත්වයට පත්වීම නව නව පිටුවක් පෙරලීමක් බඳුවිය. රටේ ආර්ථික හා සාමාජීය දියුනුව කෙරෙහි යන මාවත් නිසි ලෙස විවර වී තිබින. තේ රබර් හා පොල් යන අපනයන බෝග හා සුලු ඛනිජ තුලින් ආදායම ලැබූ ප්‍රාථමික ආර්ථික ක්‍රමයක් අප රටේ තිබුනද රටේ දියුනුවට යන මූලික මාර්ගය ලෙස එක කළමනාකරණය කිරීමට එකල නායකයෝ සමත් වූහ. අපනයන සංවර්ධනය මෙන්ම කෘෂිකර්මයේ නැගීම සඳහාද නිදහසින් පසු මූලික අවධියේ  පාලනය නියමාකාරයෙන් ක්‍රියා කලහ
යම යම් කාලවල ආර්ථික ගැටලු තිබුනද සමස්ථයක් වශයෙන් රට ස්ථාවර තත්වයක පැවතුනි. වරින්වට ආර්ථික අර්බුධ නොතිබුනාද නොවේ. මේ කාලයේ දේශපාලකයින් වචනයේ පරිසමාප්ත අර්ථියෙන්ම මහත්මයින් වූහ. මහත්මා දේශපාලනය ගුරු කොටගත් ඔවුහු දේශපාලනය යනු රැකියාවකට වඩා සේවයක් ලෙස සැලකූහ. අද කාලයේ වාගේම දේශපාලන ගැටුම් පැවතියහ. පක්ශ අභ්යන්තරයේද නොයෙකුත් ගැටුම් පැවතියද ඒවා උපක්‍රමශීලීව හා සිවිල් සමාජයට ගැලපෙන ශිෂ්ටසම්පන්නව විසඳා ගැනීමට ඒ නායකයින් තුල පැවති හැදියාව අද කාලයේ දේශපාලන අංකුර වලට හොඳ ආදර්ශයක් වේ. එදා අද මෙන් නොව දේශපාලනය සෑම කෙනෙකුටම කල හැකි දෙයක් නොවුනි. එය සමාජයේ උගත්, ධනවත් හා ගරුබුහුමන් ලැබූ ඉතා සුලු පිරිසක් විසින් සිදුකල දෙයකි. නීතිය අකුරට රැකූ හා නීතියට ප්ටින් නොගිය අධිකරණයේ බලය තම සියතට නොගත් උදාර මිනිසුන් පිරිසකගෙන් පාලනයට වීමට තරම් එදා ජනයා පින් කර තිබුනි.

එකල ලෝකයේ හා මෙරට තිබුනු සමාජ ආර්ථික වටපිටාවට ගැලපෙන පරිදි ලංකාවේ පාලයයෝ නිදහසින් පසු ආර්ථිකය හැසිරූහ. ඇමරිකාව හෝ සෝවියට් දේශය මෙන් කර්මාන්ත ආර්ථිකයක් මෙරට ඇතිකිරීම ප්‍රායෝගික නොවූයෙන් කෘෂි ආර්ථිකයකින් හා මූලික අපනයන බෝග වලින් සුසැදි අර්ථ ක්‍රමයන් එකල පාලකයින් විසින් ඇතිකිරිම එකලට අනුව සාධාරණිකරනය කල හැක. නමුත් කර්මාන්ත ක්ශේත්‍රයට මූලික අඩිතාලම එකල වැටුනා නම් 1970 පමණ වන විට තරමක නූතන ආර්ථිකයක්  ලඟා කරගැනීමට හැකියාව තිබුනා යැයි සිතිය හැක. මෙකල දේශපාලකයින් තුල දුර්වලතා කීපයක් වූහ. අවංක හා දූෂණයෙන් තොර වූවත් කල් පවත්නා ලෙස ලෝකයේ ආර්ථික ප්‍රරවණතා හඳුනාගැනීමේ නොහැකියව මේ අවස්ථාවේ කැපී පෙනෙයි. එමෙන්ම විකල්ප දේශපාලන ධාරාව නියමාකාරයෙන් කළමනාකරණය කරගැනීමේ දුශ්කරතාව තවත් මූලීකාංගයක් ලෙස සැලැකේ.

නිදහසින් පසු ලංකාවේ ප්‍රථම යුගය හොඳ ආරම්භයක් ලෙස සැලකිය හැක. මන්දයත් ඒවනවිට ලෝකයේ පැවැතුනු තත්වයන් හා සසඳා බලනකල ඉතා ස්ථාවර ආර්ථික දේශපාලනික හා සාමාජීය වටපිටාවක් පැවැති නිසාය. නමුත් මේ ප්‍රරථම යුගයේ දේශපලනය ලංකාවේ බහුතරයක් වන නූගත් දිලිඳු පන්තියේන් නියෝජනය නොවීම නිසා 1956න් පසුව නව දෙශපාලන පරිවර්ථනයක් ලංකාවේ සිදුවිය.

ලාංකීය දේශපාලනයේ දෙවන යුගය ගැන මීලඟ ලිපියෙන් සාකච්ජා කෙරේ ....