Thursday, December 19, 2013

ඔයා හුඟක් වෙනස් වෙලා





"ඔයා හුඟක් වෙනස් වෙලා " මේක අපි හැම කෙනෙක්ම වගේ අපේ ජීවිත කාලය තුල එක් වරක් හෝ තවකෙකුට පවසන දෙයක්. සමහර විට දුකකින්, කෝපයකින් නැත්තන් ලොකු කළකිරීමකින් මේ වගේ දෙයක් කියන්න ඇති. ඒ තමන්ගේ සහකරුවාට, සහකාරියට, මිතුරෙකුට නැත්නම් තමන්ගේ දරුවාට වෙන්න ඇති. කෙනෙකුට බැඳිලා ඒ කෙනා තමන් කෙරෙහි දක්වන ආකල්පයේ වෙනසීම අපි බොහෝ දෙනෙකුට දරාගන්න අමාරු දෙයක්. විශේෂයෙන්ම ඒ පුද්ගලයා තමන්ට සමීපත්වය වැඩි නම් දුකත් වැඩියි.

ලෝකයේ තියෙන දුක් වලින් අප්‍රිය සම්ප්‍රයෝගයත්, ප්‍රිය විප්‍රයෝගයත් අනිත් අය නිසා අපට විඳින්නට වෙන දුක්. ඒ වගේම ප්‍රියයන් ගේ වෙනස් සෘණාත්මක වෙනස්වීම පවා දුකක්. මිනිසා සමාජ සත්වයෙක්. නිතරම හුදෙකලා නොවී තමන්ගේ වර්ගයා සමග ජීවත් වෙනකොට අනෙකුත් අය අපේ ජීවිතයට ලොකු බලපෑමක් කරනවා. ලෝකයේ අනෙකුත් කිසිම සතෙකුට වඩා මිනිසා අනෙකුත් මිනිස් වර්ගයා මත යැපෙනවා.  ඒක නිසාම ළදරු කාලයේ මවගෙන්, ළමා කාලයේ මව පියා හා සහෝදර සහෝදරියන්ගෙන් ඉන් පසු මිතුරු මිතුරියන්ගෙන් වගේම තමන් සහකරු/සහකාරිය කරගන්න ඉන්න කෙනාගෙන් අපි ආදරය, සෙනෙහස හා රැකවරණය බලාපොරොත්තු වෙනවා. ඊට හිලව්වක් විදිහට අපි පෙරලා සෙනෙහෙවන්ත වෙනවා.

වෙනස්වීම කියන දේ ලෝකයේ පොදු ධර්මතාවයක්. "වෙනස්වීම" හැරෙන්නට අනිත් සියලුම දේවල් වෙනස් වෙනවා. මිනිසාටත්, මිනිස් සිතටත් ඒකෙන් ගැලවීමේ මගක් නෑ. අපේ සිත වේගයෙන් වෙනස් වෙනකොට අපි වටේ ඉන්න අය ගැන අපේ ආකල්ප ධනාත්මකව හරි සෘණාත්මකව හරි වෙනස් වෙන්න පුලුවන්. එක එක කාලයට අපේ ජීවිතයට එන පුදගලයන් නිසාත් අපේ ආකල්ප වෙනස් වෙනවා.



අපි අනෙකුත් අය ඇසුරු කරනකොට එක එක කාලෙට සමීපවම ඇසුරු කරන අය විවිධයි. පාසලේදී, උසස් අධ්‍යාපන ආයතනයේදී, රැකියාවේදී අපට නිතර මුනගැහෙන, අපි නිතරම ගැටෙන අයත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. උදාහරණයකට අපි පාසලේ හම්බවෙන යාලු මිත්‍රාදීන් විශ්ව විද්‍යාලයේදී හම්බ නොවෙනවා ඒ වගේම රැකියාවේදි හම්බවෙන්නේ ඊටත් වඩා වෙනස් පිරිසක්. අපි අපේ සමාගමයට පිරිස හදාගන්නේ විශ්වාසය මත. ජීවිතයට අලුතින් සමීප වෙච්ච කෙනෙක්ගේ එකතුව තහවුරු වෙන්නේ විශ්වාසය නිසාමයි. විශ්වාසවන්ත කම නිසාම තමන්ගේ පෞද්ගලික ජීවිතය පවා ඒ අයත් එක්ක බෙදාගන්න, ඒ අය තමන්ගේ ජීවිතේම කොටසක් කරගන්න අපි පුරුදු වෙලා. මේ අචල විශ්වාසවන්ත කමටත් "වෙනස්වීමේ" ධර්මතාවයෙන් ගැලවෙන්න නම් බැහැ. විශ්වාසය උනත් කාලයත් එක්ක පලුඳු වෙන්න පුලුවන්.

"කලෙකදි රස කලෙකදි වස වෙනවා" වාගේම තමන් වටේ ඉන්න අය 
අපෙන් ඈත් වෙනවා වාගේම අපිත් අපේ කිට්ටුවන්තයන්ගෙන් ඈත් වෙන්න පුලුවන්. අපෙන් ඈත් වෙන අය වෙනුවට වෙනම පිරිසක් අපේ ජීවිතයට එකතු වෙනවා. අපේ ජීවිතේ ඔහේ ගලා යනවා. ඒ ජීවිතේ දිහා ආයේ හැරිලා බලපුවහම අපි කීදෙනෙකුගේ හිත් පාරලා ඇද්ද ? කීදෙනෙක් අපි හින්දා හිතින් දුක් විඳින්න ඇද්ද ? කිදෙනෙක් අපි බලෙන්ම අපේ ජීවිතෙන් ඈත් කරලා ඇද්ද ?. පිරිසක් එකතු කරගන්න එක ලේසියි. නමුත් ඒ පිරිස අපි ලඟ තියාගන්න එක තමයි අමාරු. ලෝකේ එන්න එන්නම විශ්වාසවන්තයෝ අඩු වෙනවා, මිනිස්සු ආත්මාර්ථකාමී වෙනවා. ඒක නිසා හැම කෙනෙක්වම අතේ දුරින් ආශ්‍රය කරන එක හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්. 


මානව සම්බන්ධතා පිලිබඳ "බස්" න්‍යාය.



(Photo courtesy : Tahir Pirbhay)


"ලෝකය බස් එකක් වැනිය. අපි එහි මගීන් වෙමු" . හිතන්න අපි බස් 

රථයක යන මගීන් පිරිසක් කියලා. ජීවිතේ අපි පටන් ගන්නේ බස් රථයට නැගලා. අපිත් එක්ක බස් රථයේ ලඟන්ම ඉන්න මගීන් පිරිස අපේ සමීපතමයන් වගේ. එක එක කාලෙට ඒ එක එක පුද්ගලයින් අපේ ලඟ වාඩි වෙනවා. කල් යනකොට ඒ අය අපෙන් ඈත් වෙලා දුර ආසන වලට යනවා. එහෙම ඈත් වෙලා යන්න ලං වෙනකොට තමයි අපිට හිතෙන්නේ "දැන් එයා වෙනස් වෙලා" කියලා. ඒ වගේම් සමහර අය අපේ ජීවිතෙන් සදාකාලිකවම ඈත් වෙලා යන්නේ බස් රථයෙන් කෙනෙක් බහිනවා වගේ. අවසානේ කවදා හරි අපේ ජීවිතේ අවසානයේ අපිටත් බස් රථයෙන් බැහැලා යන්නට වෙනවා වෙනවා මයි. 

අපේ ජීවිතය හරිම කෙටියි. ඒ කෙටි ජීවිත කාලයේදී විශ්වාසවන්ත මිතුරෙක්, මිතුරියක්, සහකාරයෙක්, සහකාරියක් වීම තමයි වැදගත්. තමන්ට එන පීඩා තමන් වටේ ඉන්නා අයගේ පිටින් යවන එක තමයි නරකම දේ. ඒ වගේම තමයි තමන්ගේ හිතේ තියෙන සංහිඳියාව්, සතුට, යහපත් කම බාහිර අය නිසාම වෙනස් කරගන්න එකත් හොඳ නැහැ. තමන්ගේ වටේ ආරක්ෂක පලිහක් හදාගන්න උත්සාහ කරගන්න දුෂ්ට අයගෙන් වෙන උවඳුරු හමුවේ නොසැලී ඉන්න, නොවෙනස් ව ඉන්න. 
එතකොට ඔබත් ලස්සන වෙයි, ලෝකයත් මීට වඩා යහපත් තැනක් වෙයි. 




Friday, November 15, 2013

CHOGM - විමසා බැලීම



අද  පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඇරැඹිණි. 1976 දී පැවැත්වූ නොබැඳි රාජ්‍ය නායකයන්ගේ සමුළුවට පසුව මෙරට පැවැත්වෙන විශාලම ජාත්‍යන්තර සමුළුව මෙය වේ. මේ සමුළුවට රටක් වශයෙන් විශාල කැපකිරීම් කරමින්, කොළඹුන් තමන්ගේ ජීවන රටාවන් පවා වෙනස් කරමින් ක්‍රියා කල නිසාම මෙයින් ලැබෙන ප්‍රයෝජන හා මෙයින් පසු ලංකාව ගැන විමසීම වටී.

පොදුරාජ්‍ය මණ්ඩලය යනු අතීත බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල් 53 කින් සැදි ජාත්‍යන්තර සංවධානයකි. එය ලෝක ජනගහනයෙන් 1/4 ක් නියෝජනය කරයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය දැන් අවසන් වී බොහෝ කල් නිසාම හා ලෝක බලවතෙක් ලෙස බ්‍රිතාන්‍යය සතු තත්වය හීන වී ඇති නිසා පොදු රාජ්‍ය මණ්ඩලය යනු එතරම් බලවත් සංවිධානයක් හෝ වැදගත් සංවිධානයක් නොවේ. බ්‍රිතාන්‍යයට තමන් තවදුරටත් යටත් විජිත වල නායකයා කීමට හා අන් රටවල් වලට තමන් "හිරු නොබසින අධිරාජ්‍යයේ" කොටස්කරුවන් බව කියාපෑමට හැරෙන්නට මේ සංවිධානයෙන් ප්‍රයෝජනයක් නැත. පොදුරාජ්‍ය මණ්ඩලය යනු මෙකල "නොබැඳි ජාතීන්ගේ සංවිධානය" මෙන් නමට පමණක් තිබෙන්නා වූ සංවිධානයක් මිස ජාත්‍යන්තර වශයෙන් කිසිඳු වැදගත්කමක් හිමි සංවිධානයක් නොවන බවත් මෙහිලා කිව යුතුය.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ශ්‍රී ලංකාව මෙතරම් උනන්දුවක් දැක්වීමට හේතු කාරණා රැසක් ඇත. යුද්ධය අවසාන වීමත් සමගම සාර්තක රාජ්‍යයක් ලෙස ඉදිරියට එන බව ලෝකයට කීමට අවස්ථාවක් අවශ්‍ය වීම ප්‍රධාන කරුණයි. යුද්ධයෙන් පසුව භෞතික සංවර්ධනය අතින් මෙරට ගව් ගණනක් ඉදිරියට ආ බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. එමෙන්ම යුද්ධයේ භෞතික බලපෑම් හා දේපල/යටිතල පහසුකම් අහිමිවීමේ පාඩුව ඉතා කෙටි කලකින් වසා ගැනීමට ලංකාව සමත්වී ඇත. අවතැන් වූවත් බහුතරයක් පදිංචි කරමින් ලබූ ජයග්‍රහනය ද අමතක කල නොහැක.

මෙරට අවස්ථා ගනනාවක ම මානව හිමිකම් කඩවීම ගැන පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ගැටලු රාශියකට මුහුන දුන් රටකි. මීට පෙර දෙවතාවක් ම මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සම්මත කර තිබුණි. අපේ අසල්වාසී රටවල් පවා ඒ අවස්ථා වලදී අපට පිටුපෑවෝය. ලංකාවට මේ අවස්ථාවේදී ජාත්‍යන්තර පිළිගැනීම අත්‍යාවශ්‍ය නිසාම මෙවැනි සමුළුවක් පැවැත්වූවා කියා සිතිය හැක. ජාත්‍යන්තර ආයෝජන හා සංචාරක ව්‍යාපාරය අනෙක් අරමුණු ය.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වෙන දවස් කීපයේ හා ඊට පෙර සූදානම ට අති විශාල ධනස්කන්ධයක් වියදම් කිරීමට අපට සිදුවේ. කොළඹ නගරය සම්පූර්ණයෙන්ම වාගේ අලංකරණය කෙරේ. පාරවල් අලුතින් තාර දමා පදික වේදිකා වලට ගල් අතුරා මිහිබට සුරපුරයක් මෙන් අලංකාර කර තිබේ. සම්මන්ත්‍රණ ශාලා වල සිට අනෙකුත් ඉදිකිරීම් සඳහා වියදම් කල මුදල සුළුපටු නැත. නවීන පන්නයේ බෙන්ස් රථ ගෙන්වීමට රාජ්‍ය නායකයින් මෙන්ම අනෙකුත් අමුත්තන්ගේ ගමන් පහසුව, ආරක්ශාව, පරිපාලන කටයුතු වලට අති විශාල ධනයක් වියදම් වී තිබේ. මෙවැනි සමුළුවකට මුදල් වියදම් කරන්නට වෙන බව සැබෑව. නමුත් ලංකාවේ සෑම ව්‍යාපෘතියක් මෙන් ම මේ සමුළුව ද අකාර්යක්ෂමතාවෙන්, මුදල් යටිමඩි ගැසීමෙන්, නාස්තියෙන් පිරී පවතී. කුළී පදනමකින් තොරව නවීන වාහන මිලදී ගැනීමෙන්, මල් වෙඩි වලට කෝටි ගනන් වියදම් කිරීමෙන් හා රුපියල් 15000 කින් නිමකර ගැනීමට තිබුණු නිල වෙබ් අඩවියට ලක්ෂ 15 ක් වියදම් කිරීමෙන් හා තවත් එකී මෙකී නොකී ක්‍රම රාශියකින් ඒ බව ඔප්පු වේ.

පොදු රද මඩල සමුළුවෙන් අපි අපේක්ෂා කල ප්‍රයෝජන හා ඒවා ඇත්තටම ලැබෙන්නේ ද යන්න ගැන දැන් විමසා බලමු. ජාත්‍යන්තර වශයෙන් එතරම් ප්‍රභල නොවුනද ලංකාව ජාත්‍යන්තරයේ ගනුදෙණු කරල ප්‍රධාන රටවල් පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇත. එවැනි රටවල් වල පිළිගැනීම අනාගතයේ අපට වැදගත් වේ. නමුත් ඉන්දීය අගමැතිවරයාගේ නොපැමිණීම හා කැනඩාවේ වර්ජනය නිසාම සමුළුව පටන් ගන්නත් කලියෙන්ම ලංකාව ගැන පැතිරුනේ හොඳ ආකල්පයක් නොවේ.

බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදීන්ට ලංකාවට පැමිණීමට වීසා ලබාදීමෙන් රජය දැඩි අපහසුතාවයකට පත් විය. චැනල් 4 එන්නේ පොදු රද සමුළුව වාර්ථා කරීමට නම් නොවන බව ඕනෑම කෙනෙකුට තේරුම් යන කරුණකි. ලංකාව පීරමින් ඕපාදූප සොයා, ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණය වෙනවා යැයි ජාත්‍යන්තරය ට කීමට් මොවුන් සැදී පැහැදී සිටිති. යාපනයට යාමට ගිය එම නාලිකාවේ මාධ්‍ය කණ්ඩායමට අනුරාධපුරයේදී එල්ලවූ ප්‍රහාරය ඔවුනට තවත් ආශිර්වාදයක් ම විය. අවසානේ "කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ" කියන්නා වගේ ම රජයටත් පොදුවේ ලංකාවටත් සිදුවෙන්නේ තව තවත් ජාත්‍යන්තරය අහිමුව හෑල්ලුවට ලක්වීම ය.

ජාත්‍යන්තර සමුළුවකට අවශ්‍ය පහසුකම් හා අදාල පරිසරය සකස් වීම අනිවාර්ය ය. අප කොතරම් පාරවල් හැදුවත්, නගර අලංකාරණය කලත් සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයින් හා අදාල නිලධාරීන් ලංකාව කෙරෙහි ඇතිකරගන්නා ආකල්පයේ වෙනසක් වෙන්නේ ද නැත. අප භෞතික වශයෙන් කොතරම් දියුණු වුවත් එයින් අපේ රටට මිසක් ජාත්‍යන්තර ප්‍රජාවට වැදගත් කමක් නැත්තේ ය. අපට ලැබුණු එකම වාසිය කොළඹ පුරවරයේ යම් කොටසක් අලංකාර වීම පමණ ය.

ලෝක ආර්ථිකය ආගාධයක වැටී තිබෙන මේ යුගයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ බලවත් රටවල් සියල්ලම පාහේ වැටී ඇත්තේ බරපතල ආර්ථික අර්බුදයක ය.පොදු රාජ්‍ය මණ්ඩලයේ බලවත් රටවල් (ඉන්දියාව හැරුණු කොට.) ණය බරින් මිරිකී අභ්‍යන්තර ප්‍රශ්න වැලක පැටලී ඇත. මහා පරිමාණ ආයෝජන එවැනි රටවලින් බලාපොරොත්තු විය නොහැක. ආයෝජන ලබා ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක් තැබිය යුතු යැයි කොන්දේසියක් නොමැති නිසාත් සමුළුවක් අතරතුරදී නොව වෙනත් මාර්ග වලින් ද්වී පාර්ශික සාකච්චා වලින් ආයෝජන ලබා ගැනීම ඵලදායී වන නිසාම මේ සමුළුවෙන් ලැබෙන විදේශ ආයෝජන වාසි අවම වේ.

එමෙන්ම සංචාරක ව්‍යාපාරය නංවා තැබීමට සම් තල්ලුවක් මෙයින් ලැබුනත් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක් වැනි මහා ව්‍යාපෘතියකට වියදම් කල මුදලට සාපේක්ෂව සංචාරක ව්‍යාපාරයේ මහා වර්ධනයක් දැකිය නොහැක. සමුළුව අතරතුරේදී සිදුවූ සංසිද්ධි හා ලංකාවේ බලපෑම් කණ්ඩායක් වල සෘණාත්මක ක්‍රියාකලාපය නිසාම සංචාරයකින් නොපැමිණීමට ඉඩකඩක් ඇත. දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව පිරුණු සංවිධාන යාන්ත්‍රණයක් නිසා මේ සමුළුවට වියදම් කල මුදල සැලසුම් කල මුදලට වඩා වැඩි විය හැක. එමෙන්ම ඉදිකල යටිතල පහසුකම්, ගෙන්වූ වාහන නියමාකාරයෙන් රටේ ප්‍රයෝජනයට ගන්නවාට වඩා දේශපාලකයින් තමන්ගේ ප්‍රයෝජනය සඳහා පාවිච්චි නොකරතියි කිව හැක්කේ කාහට ද ?

ජාත්‍යන්තර සමුළු පැවැත්වීම රටට යහපත් වන බව ඇත්තකි. නමුත් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අඳුරු යුගයක් පසුකරන ලංකාව මේ අවස්ථාවේ අනවශ්‍ය අවධානය ලබා නොගෙන සූක්ෂමව ක්‍රියා කල යුතු වේ. තමන් ගැන මහා ඉහලින් වර්ණනා කරගන්නවාට වඩා සත්‍ය වශයෙන් යහපාලනයට යොමු වීම වඩාත් ප්‍රතිඵලදායක ය. මුහුද හත් ගව්වක් තිබියදී අමුඩ ගසන්නා සේ රටේ තව සංවර්ධන ව්‍යාපෘති වලට වියදම් කිරීමට තිබූ මුදල් වලින් තමන්ට ලැබෙන වාසි අවම වන සමුළුවක් පැවැත්වීම කොතරම් උචිත වන්නේ දැයි තවදුරටත් සිතා බැලීම වටී

Tuesday, September 24, 2013

උතුරු පළාත් සභා මැතිවරණය ... සිදුවූයේ කුමක්ද ? ( Analysis of the Northern Provincial Council Election )




පළාත් සභා ඡන්දය ගැන විශ්ලේෂණ දෙන්නට ඕනෑ තරම් අය ඉදිරිපත් වී තිබේ. පත්තරකාර මාමලාගේ සිට බ්ලොග්කරුවන් දක්වාම ප්‍රතිඵල විග්‍රහ කිරීමට අය සිටියත් මේ ගැන මගේ අදහසත් ප්‍රකාශ කලොත් යහපතියි කියා මට සිතෙනා නිසාම මෙය ලියමි. කාලය හරස් උනත් තවත් ප්‍රමාද වීමෙන් අවැඩක් සිදුවන නිසාම මැතිවරණ ඌෂ්ණය පහව යන්නට කලියෙන් ලියන්නට අදහස් කළෙමි.

රජය සලාක ක්‍රමයට මෙවරද උතුර, මධ්‍යම හා වයඹ පළාත් වල පුංචි ඡන්දය පවත්වන ලදී. මධ්‍යම හා වයඹ පළාත් වල සාමාන්‍යයෙන් සිදුවන බොරු පොරොන්දු, මනාප පොර, දන්සැල් ආදියෙන් සපිරි මැතිවරණයක් පැවැත්වූ නිසාත් ප්‍රතිඵලය අප හොඳින්ම දන්නා නිසාත් ඉහත කී පළාත් දෙකේ මැතිවරණ ගැන හෝ ඒවායේ ප්‍රතිඵල ගැන පසු විපරමක් මා නොකරන්නෙමි. නමුත් උතුරු පළාත් සභා මැතිවරණය අංශ කීපයකින් අපට වැදගත් වන නිසාම මෙතැන් සිට එහි විග්‍රහය අරඹමි.

උතුරේ මැතිවරණය පහත කරුණු නිසාම සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වැදගත් වේ.


  • අවුරුදු 26 කට පසුව උතුරු පළාත් සභාවේ පැවැත්වූ මැතිවරණය වීම ( ඉන්දියානු මැදිහත්වීම මත පළාත් සභා ක්‍රමය ඇතිකලත් උතුරේ ජනතාවට නිදහසේ තම මතය ඉදිරිපත් කිරීමට මේ මැතිවරණයේදී හැකි වුනු බව මගේ මතයයි. )
  • ත්‍රස්තවාදය යුධමය ආකාරයෙන් පරදවා ප්‍රථම වතාවට යුද්ධයෙන් පීඩිත උතුරේ ජනතාවගේ ජනමතය ප්‍රජාතන්ත්‍රවාදීව උරගා බැලීමට ලැබුණු ප්‍රථම අවස්ථාව නිසා.
  • දකුණේ අතිශයින්ම ජනප්‍රිය ආණ්ඩුවක් ගැන උතුරේ ජනතාවගේ ජනමතය දැන ගැනීමට හැකිවීම නිසා.
  • දෙමළ සන්ධානයෙන් ඉදිරිපත් කළ දේශපාලකයෙක් නොවන හිටපු විනිසුරුතුමා ගැන උතුරේ ජනතාවගේ මතය දැනගැනීමට හැකිවීම නිසා.

උතුරේ යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජයට දේශපාලන විසඳුමක් උදෙසා ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැඩි බලපෑම් එල්ල විය. උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වීම එහි ප්‍රධාන අංගයකි. විශේෂයෙන් ඉන්දියාවෙන් එල්ල වුනු බලපෑම් හමුවේ තමන්ට අවාසි වන බව දැන දැනත් ආණ්ඩුව උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උත්සුක වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පෙනී සිටීමට ද විය හැක. මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් වුවත් ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවේ සහය මේ අවස්ථාවේ හිමිවූයේ රජයට නොව දෙමළ සන්ධානයට බව නම් පැහැදිළිය.

උතුරේ ඡන්දයට ඉදිරිපත් කල අපේක්ෂකයින් සලකා බැලීමේදී ශක්තිමත් අපේක්ෂකයින් පිරිසක් තරඟ බිමට දැමීමට එ.ජ.නි.ස අපොහොසත් වී තිබුණි. විශේෂයෙන්ම මහ ඇමති අපේක්ෂකයා ලෙස දෙමළ ජනයා ආකර්ෂණය කර ගත හැකි නායකත්වයක් සොයාගැනීමේ අපහසු කම මෙහිදී දක්නට ලැබුණු අතර දෙමළ සංධානය විශිෂ්ට ලෙස ඉතා ආකර්ෂණීය චරිතයක් වන හිටපු විනිසුරු විග්නේෂ්වරන් මහතාව මහ ඇමති අපේක්ෂකයා ලෙස යෝජනා කලාය. දෙමළ සංධානයෙන් ඕනෑම අයෙක් මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවත් ඔවුන්ට ඡන්දය දිනීමේ හැකියාව තිබුනද ජාත්‍යන්තර ප්‍රජාව සමග මෙන්ම ලංකාවේ මධ්‍යම ආණ්ඩුව සමග ද හොඳින් ගනු දෙනු කල හැකි සුජාත භාවයකින් යුක්ත පුද්ගලයෙක් තෝරා ගැනීම සාධනීය ලක්ෂණයකි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ හා දෙමළ සංධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙස බැලීමේදී පැහැදිළි වෙනසක් දක්නට ලැබුණි. වඩුක්කෝඩෙයි සම්මුතියේම පිටපතක් යැයි කෙනෙකුන් තර්ක කරනා ආකාරයට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් දෙමළ සංධානය උතුර යනු දෙමළ ජනයාගේ සාම්ප්‍රධායික නිජ භූමිය යැයි ප්‍රකාශ කරයි. පොලිස් හා ඉඩම් බලතල ඉල්ලා සිටීමත් 13 න් වන ව්‍යවස්ථා සංශෝධනය අවසාන විසඳුම නොවන බවත් ඔවුන් පවසන අතරම මේ සියලු ඉල්ලීම ඒකීය රටක් තුලම ලබා ගන්නා බවට පරස්පර විරෝධී මත එල්ල කරයි. අවතැන් වූ මුස්ලිම් ජනයා උතුරු පළාතට පිළිගන්නා බව පවසන දෙමළ සංධානය උතුරින් පලා ආ සිංහල ජනයා ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.

අනෙක් අතට ආණ්ඩුවට සංවර්ධන "කාඩ් එක" සෙල්ලම් කරනවා ඇරෙන්නට වෙන මාර්ගයක් නොතිබුණි දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩුවේ එක එක පාර්ශවයන්ට ඇත්තේ එකිනෙකට වෙනස් අරමුණු නිසාම එවැනි දෙයක් ජනතාව අතරට ගෙන යාමට නිදහස් සංධානය අපොහොසත් විය. සංධාන රජය උතුරේ මැතිවරණය පැවැත්වූයේ නොතියාම බැරි නිසා බව මෙයින් පෙනී යයි.

ඡන්ද ප්‍රතිඵලය නම් බොහෝ දෙනා අපේක්ෂා කල පරිදි ම විය. 84% ක ඡන්ද ප්‍රතිශතයකින් දෙමළ සංධානය ජයගෙන විග්නේෂ්වරන් මහතාට මහ ඇමති වීමට ඉඩ සලසා දෙනු ලැබීය. එ.ජ.නි.ස 14%  ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන දෙවන ස්ථානයට පත්විය. ආසන 30 ක් දෙමළ සංධානය ලබාගන්න විට එ.ජ.නි.ස යට ලබාගත හැකි වූයේ ආසන 7 ක් පමණි. කෙසේ වෙතත් දෙමළ ජනතාව ගෙන් කොටසක් හෝ සිංහල බහුතරයකින් සමන්විත වූ රජයක් කෙරෙහි විශ්වාසය තබා ඡන්දය දීම විශේෂ වේ.

මේ ප්‍රතිඵලය තුලින් අපට නිගමන රාශියක් ගත හැක. ඉන් පලමුවැන්න නම් කොතරම් සංවර්ධනය දුන්නත් උතුරේ ජනතාවගේ ඉල්ලීම වන්නේ තමන්ට යම් ආකාරයකින් ස්වයං පාලනය ලබාදිය යුතු බවයි. නිර් ජාතීය පක්ෂයක් ලෙස සටන් වැදුනු නිදහස් සංධානය පරදවා දෙමළ ජාතිවාදය මුල් කරගනිමින් මැතිවරණ ප්‍රචාරණයේ යෙදුනු දෙමළ සංධානය ජයග්‍රහනය කරවීමෙන් දෙමළ ජනයා ගේ ජාතිවාදී හැඟීම් තවමත් සමනය වී නොමැති බවක් ද හැඟේ. මේ ප්‍රතිඵලයෙන් දකුණේ සිංහල ජනතාව කනස්සල්ලට පත්වන බව නොඅනුමනය. දකුණේ ජනතාවගේ බදු මුදල් වලින් උතුර සංවර්ධනය කරන්නේ මන්ද යැයි ඇතැමෙක් ප්‍රශ්න නගති.

කෙසේ වෙතත් අහිනව පළාත් ආණ්ඩුව ඉදිරියට කුමක් කරයි ද යන්න සැමට ගැටලුවකි. ඉඩම් හා පොලිස් බලතල ලබා ගැනීම මූලික කරගෙන පළාත් සභාවේ වැඩ ඇරඹීමට විග්නේෂ්වරන් මහ ඇමති වරයා සූදනම් වන බව නම් නොරහසකි. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවත් සමග ( විශේෂයෙන්ම ඉන්දියාවත් සමග ) සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවට අපි විශ්වාස කරමු. ජාත්‍යන්තර ප්‍රජාවත් උතුරේ ප්‍රාදේශීය ආණ්ඩුව කෙරෙහි වැඩි ඇඟෑලුම් කමක් පවත් වනු ඇත. එය නම් මධ්‍යම ආණ්ඩුව රුස්සන්නේ නැති දෙයකි. ජාත්‍යන්තර ප්‍රජාවට ඕනෑම දෙයක් කරගන්නට යැයි කියා රතු ඉර පැන්නහොත් උතුරු පළාත් සභාව විසුරුවා හැරීමට රජය ක්‍රියා කරනු ඇත. එම නිසාම මධ්‍යම ආණ්ඩුව සමග "හීන් නූලෙන්" වැඩකිරීමට පළාත් රජය උත්සාහ ගනු ඇත.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් මධ්‍යම ආණ්ඩුවත් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට දෙමළ සංධානය ට සිදුවේ. දෙමළ ජාතිවාදි මාර්ගයක නොයා සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට ඔවුන් ක්‍රියා කරන්නේ නම් යහපති. කොළඹ ආණ්ඩුව සමග මෙන්ම රටේ බහුතර සිංහල ජනයා සමග විශ්වාසය ගොඩ නගා ගැනීමට දෙමළ සංධානයේ සාම්ප්‍රධායික ජාතිවාදී දේශපාලනය උපකාරී නොවේ. රජයේ සංවර්ධන වැඩපිළිවෙළට සහය දක්වමින්, උතුරේ සිංහල හා මුස්ලිම් ජනයා කෙරෙහිද දෙමළ ජනයාට දක්වන සැලැකිල්ලම දක්වමින් ඒකීය රටක් තුල දෙමළ ජනයාට එකඟ විය හැකි විසඳුමක් කෙරෙහි ලඟා වෙනවා හැරෙන්නට දෙමළ සංධානයට වෙන මගක් නැත. දේශපාලකයෙකු නොවන උගත් ජාත්‍යන්තරය ද පිළිගන්නා විග්නේෂ්වරන් හිටපු විනිසුරු වරයා මෙහිදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. අනෙකුත් දෙමළ දේශපාලකයින් මෙන් නොව සමස්ථ දේශපාලන තත්වය අවබෝධ කරගත  හැකි නායකයෙක් ලෙස එතුමාට ඉදිරියට ඒමට හැකි නම් එය යහපත් දෙයකි.

අවුරුදු තිහක යුද්ධයකින් බැට කෑ දෙමළ සිංහල මුස්ලිම් සියලු ජනතාවට නැවත යුද්ධ බිය ඇති නොවී අභිමානයෙන් එකට ජීවත් වීමේ අනාගතයකට මෙය මූලාරම්භය වේ යැයි අප බලාපොරොත්තු වෙමු. මතු දිනක එය එසේම සිදුවේ නම් එහි ගෞරවය යුද්ධය හමාර කල මහින්ද රාජපක්ෂ ඇතුලු දේශපාලන හා හමුදා නායකත්වයට මෙන්ම විග්නේෂ්වරන් ප්‍රමුඛ දෙමළ සංධානයටත් දෙමළ ජනතාවටත් හිමිවනු ඇත.




Friday, September 13, 2013

අන්තර්ජාලික පෞරුෂය, මරණය හා එහි නීත්යාලනුකූල භාවය.(Virtual Personality, Death and Its Legitimacy)

(Photo courtesy : http://media.bestofmicro.com)


අන්තර්ජාලික පෞරුෂය.


අන්තර්ජාලය අද අපට නැතිවම බැරි මෙවලමකි. 70 දශකයේ සීමිත වපසරියකින් ඇරැඹුණු මෙය 1991 ලෝක ව්‍යාප්ත පොදු ජාලයක් බවට පත්විය (World Wide Web). වසර 22 ක් වැනි කෙටි කාලයකදී ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට මෙයට හැකිවීම සුවිශේෂ ය. ආහාර, ජලය, ඇඳුම් පැලැඳුම් වැනි මිනිස් මූලික අවශ්‍යතාවලට සම්බන්ධකතාව හෙවත් connectivity යන්න එකතු වූයේ අන්තර්ජාලය නිසා ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්වීමෙනි. අද අන්තර්ජාලය නොමැතිනම් නූතන ලෝකය නොපවතින තරමට ම එය අපේ ජීවිතයට සමීප වී තිබේ.

අන්තර්ජාලය අපට ස්පර්ශ කරන්නට, දකින්නට හෝ භෞතික වශයෙන් විඳින්නට නොහැකි දෙයකි (virtual) . එම නිසාම අන්තර්ජාලයේ සැරිසැරීමේදි අපට අපේ භෞතික පෞරුෂයෙන් මිදී අතථ්‍ය පෞරුෂයක් (virtual personality) ගැනීමට සිදුවේ. බොහෝ විට නූතන අන්තර්ජාල සරන්නාගේ පෞරුෂය දෙබිඩි ස්වහාවයක් ගනී. තමාගේ සාමාන්‍ය අනන්‍යතාවයට වඩා හාත්පසින්ම වෙනස් සයිබර් අනන්‍යතාවයකින් අන්තර්ජාලය තුල ජීවත් වීමට අපට හැක. සමාජ හා වෘත්තික ජාල අඩවි (social and professional networking ), අන්තර්ජාලීය මූල්‍ය ගිණුම්, වෙබ් පෝටල (web portals and online forums) මෙන්ම සමහර ක්‍රීඩා ආදියේ ( Second Life etc … ) මේ දෙබිඩි පෞරුෂය හොඳින්ම නිරූපණය වීමට පුලුවන. ඔබ මා දිනපතා කියවන, ලියන බ්ලොග් අඩවි පවා සයිබර් අනන්‍යතාවකට මග පාදයි. Face book, Twitter, Google+, MySpace වැනි සමාජ ජාල අඩවි වල සයිබර් අනන්‍යතාව හා තමාගේ සජීවී අනන්‍යතාව හොඳින්ම දැකගන්න ට හැකි වන්නේ ඒවායින් අනෙකුත් පුද්ගලයින් හා සයිබර් අනන්‍යතා කරුවන් හා කෙලින්ම සම්බන්ධ වෙන බැවිනි. තමාගේ සැබෑ ජීවිතයෙන් බැහැරව අන්තර්ජාලයේ වෙනත්ම පුද්ගලයෙක්, වෙනත්ම පෞරුෂයක් ලෙස පෙනී සිටීමට බොහෝ දෙනා ප්‍රිය කරති.

ඒ මන්ද යත් තමාට රිසි ආකාරයට තම පෞරුෂය වෙනස් කිරීමට, තමාට නැති පෞරුෂයක් ආරෝපණය කර ගැනීමට ඇති පහසුව නිසාම ය. සමාජයත් සමග එක්වීමට නොහැකි කුලෑටි, බියසුලු පුද්ගලයා අන්තර්ජාලයේ වෙනස් පෞරුෂයකින් මහා දැවැන්තයෙක් ලෙස පෙනී සිටිය හැක. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලික සමාජය අතර "ෆේස්බුක් වීරයා" යන වදන ජනප්‍රිය වූයේ එහෙයිනි.

සයිබර් මරණ‍ය.


පුද්ගලයෙක් අන්තර් ජාලයේ සිටිනා කාලය තුල සාදාගන්නා අත්ථ්‍ය ලෝකයට (virtual world)ඔහුගේ සැබෑ මරණයෙන් පසුව කුමක් වේ දැයි ඔබ මොහොතකට සිතුවා ද ? ඔහුගේ භෞතික පෞරුෂය වියැකී යන මුත් අන්තර්ජාලය තිබෙනා තාක් කල් සයිබර් පෞරුෂය නම් ඒ ආකාරය ට ම නොනැසී පවතීවි. විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි වල ගිණුම් ඔහු ජීවත් ව සිටි අවසාන දිනයේ තිබූ සැටියෙන්ම බවතීවි. අන් අයට ඔහුත් සමග ගනුදෙනු කිරීමටත් හැකි වේ. කෙනෙක් මරණයට පත් වූවත් සයිබර් අවකාශයේ ඒ පුද්ගලයා ජීවත් වීම ආන්දෝලනාත්මක කාරණයකි. ඔහුගේ සයිබර් ජීවිතයට ඇතුලුවීමට දන්නා මුරපද සියල්ලම ඔහුගේ මරණයත් සමගම වැලලී යාම නිසාම සයිබර් ජීවිතය ස්වාභාවික මරණයකට පත්කිරීම අපහසු වනවා. නීත්‍යානුකූලව කෙනෙකුගේ සයිබර් ජීවිතය සැබෑ ජීවිතයට සම්බන්ධ කිරීමට ක්‍රමයක් නොමැති වීම මීට ප්‍රධානම හේතුවයි. එනම් කෙනෙකුගේ අන්තර්ජාලික ජීවිතයට මරණ සහතිකය ලියා දීමට කිසිම කෙනෙකුට බලයත් නොමැති වීමයි. ඒ නිසාම රටක් නොමැති, පිළිගැනීමක් නොමැති සයිබර් පුරවැසියා අමරණීය වේ.

පුද්ගලයෙන් මිය ගිය හොත් ඔහුගේ සමීපතමයින්ට නීත්‍යානුකූල අයුරින් ඔහුගේ රහසිගත මූල්‍ය ගනුදෙනු හා අනෙකුත් පෞද්ගලික දේපල වලට අයිතිය කීමට හැකි වනවා සේම ඔහුගේ සයිබර් ජීවිතය හා සම්බන්ධව අයිතිය නීත්‍යානුකූලව ලබා දිය යුතු බව මගේ හැඟීමයි. ඒ මන්ද යත් ඔහු මිය ගියාටත් පසුව සයිබර් ජීවිතය හැක් කිරීමට හැකි අය සිටින නිසා ය. මිය ගිය පුද්ගලයෙකු ගේ අන්තර්ජාලීය ගිණුම් වල කොල්ලකා මරණකරුවා වලෙන් නැගිට්ටවීමට හැකි  හැකර් කරුවන් සිටින නිසා කෙනෙක් මියගිය හොත් භෞතික ජීවිතයට මෙන්ම අත්ථ්‍ය ජීවිතයට ද මරණ සහතිකය ලබා දීමට ක්‍රම වේදයක් සකස් කල යුතුය. මිය ගිය කෙනාගේ සමීපතමයින්ට ඔහුගේ සමාජ ජාල ගිණුම් හා අනෙකුත් තොරතුරු වල අයිතිය පැවරීමට හැකි නම් භෞතික මිනිසාගේ මෙන්ම සයිබර් මිනිසාගේ ද අවසන් කටයුතු සමීපතමයින්ට අවශ්‍ය පරිදි සිදු කල හැක. එමෙන්ම කෙනෙක් මිය යාමට පෙර අන්තිම කැමැත්ත ලිවීමේ දී තමාගේ සයිබර් ජීවිතයේ අයිතිය නීත්‍යානුකූලව පැවැරීමට ත් ක්‍රමයක් සම්පාදනය වෙන්නේ නම් අගනේ ය.


අන්තර්ජාලය සපයන සමාගම්, සමාජ ජාල හා අනෙකුත් අත්ථ්‍ය සේවා සපයන ආයතන හා රජයන් එක් වී සයිබර් පෞරුෂයට නීතිමය පිළිගැනීමක් ලබා දීම කාලීන අවශ්‍යතාවයකි. කෙමෙන් කෙමෙන් මිනිසා භෞතික ජීවිතයෙන් දුරස් වී අන්තර්ජාලීය ජීවිතයටක පුරුදු වන නිසාම සමාජ අවශ්‍යතාවයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඒ පිළිබඳ සලකා බැලීම වැදගත් ය. ඊ ආණ්ඩු සංකල්පය ගැන දක්වන උනන්දුව තරමටම ඊ පුරවැසියා හෙවත් අන්තර්ජාලික පෞරුෂය පිළිබඳ සැලකිලිමත් වීම ඉදිරියේ දී ප්‍රයෝජනවත් වනු ඇත.

Friday, August 2, 2013

එක්ස් ඒලියන් නාඩගම (My opinion on EX-Alien song )

පසුගිය දිනෙක මාගේ මගේ මිතුරෙකු එවූ ලින්කුවක් මගින් මට අපූරු සින්දුවක් අසන්නට ලැබින. ඒ ගීතය ඔබත් අසා නොමැති නම් පහතින් අසන්න.




සාමාන්‍යයෙන් EX යන වදන දමන්නේ කලින් තිබුණු දැන් නොමැති තනතුරක්, පුද්ගලයෙක් හෝ තත්වයක් හැඟවීමටයි (Ex wife, Ex soldier etc) . ඒ නයින් මේ ගීතයට Ex Alien යන නම දැම්මද එහි Alien ගතිය කිසිසේත් අත්හැරී නොමැති බව නම් පෙනේ. ගීතය අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එහා සිටිනා පිටසක්වල ජීවියෙකු ඇසුවහොත් එහි අර්ථය වටහා ගැනීමට හැකිවනු ඇති බව මගේ විශ්වාසය යි.

ගීතය ගයන්නේ අවුරුදු 15 ක් පමණ වයසැති ගැහැණු දරුවෙකි. ඇයගේ youtube ගිණුමේ වෙනත් ගීත ඇත්තේ ද නැත. ඇය කල එකම ගීතය මෙය විය හැක. කෙසේ වෙතත් මාස 10 ක් පමණ පැරණි මෙම ගීතය එක් වරම කරළියට පැමිණියේ Social Networking අඩවි හා Online Forums හරහාය. මුලින් 2000 ක් පමණ hits තිබූ මෙම ගීතයට සතියක් දෙකක් ඇතුලත 200,000 ඉක්මවා hits ලබා දීමේ Social Networking බලය නිසාම ලැබුනකි. වෙනත් රටවල විප්ලව පවා ඇතිකිරීමට ප්‍රභල වූ Social Networking තුලින් මේ ගීතය ලැව් ගින්නක් සේ පැතිරීම පුදුමයට කාරණයක් ද නොවේ.

මේ ගීතයේ බැලූ බැල්මටම වැරැද්දක් ඇත. ඒ මෙය අසා ඉන්නට නොහැකි කමයි. මේ ගීතයට ප්‍රතිචාර ලෙස බල්ලන් කුලප්පු වන ආකාරය පෙන්වන විකට වීඩියෝ පවා youtube එහෙකි ඇත. බල්ලන් සින්දුවට උඩුබුරලූවත් නැතත් සින්දුව නම් අසා ඉන්නටම බැරිය. බල්ලන් නොව මිනිසුන්ට උන් හිටි තැන් අමතක කරවන තාලේ ප්‍රභල ගීතයකි මෙය.



ගීතයේ තනුව මේධානී විසින්ම සෑදූවක් වුවත් එහි වරදක් නැත, කිසිම විශේෂත්වයක් හෝ අලංකාරයක් මෙහි නැත. එය සංගීත විශාරදයෙකු ට පමණක් නොව රස විඳීමට හැකි ඕනෑම මිනිස්/සත්ව කොට්ටාශයකට තේරේ. තනුව නම් අසා ඉන්නට හැක්කේ ය.

ගීතය එකම විලාපයක් ලෙස අපට ඇසුනද ඇත්තෙන්ම මෙහි ගී පද මාලාවක් ද ඇත. එයත් මේධානී ගේ ය. ඇය විසින්ම ගී පද මාලාව සඳහා වූ ලින්කුව අප වෙත් එවන ලදී. මීට කලින් මා පල කල ගී පද වෙනත් අයෙක් විසින් පල කල එකක් වන අතර නිවැරදි ගී පද පහතින් දැක්වේ. 


How I wonder when I see ur face with blue eyes they're shimmering-wow
And I wanna be with u my baby u know what am saying –wow
When I want u..i'll give hints by ma eyes
And then I'll wait for u…come with zephyr with no shy
(above part is repeated)

All I want is u-never turn back-what am I todo-am gonna die now oh//
Gonna die now oh//
Go-go-gonna d-d-die now wo-o-o
Wo-o-o///

Hey-Ex-alien,where iz ma exaltation
Why u make me exasperated
And know u r exceptional

Oh no no no no no 



ගී පද නම් අන්ද මන්ද කරවන සුලුය. ගායිකාව ගේ සිතේ වූ යම් කිසි කාරණයක් හෝ කාරණා රාශියක් ගීතයට පදනම් වුනේද යන්න නොදනිමි. කෙසේ වෙතත් අර්ථයක් සිංහල හෝ ඉංග්‍රීසි යන දෙයාකාරයෙන් ම ගත් විට නැති බව හොඳින්ම පැහැදිළි වේ. නූතන සිංහල රැප් කලාවේ සිංහලෙන් කියන්නට තියෙන දේවල් එළිපිටම කිව්වද ඒවායේ සරල බව නිසාම අහන් ඉන්නට හැක. 

ඉරාජ් වීරරත්න බවා මුලින්ම රැප් කල ඉංග්‍රීසි රැප් එක පවා අර්ථයෙන් හීන වුවත්, සමහර ලාංකීය තරුණ ගායකයින් උජාරුවට ඉංග්‍රීසියෙන් අමු තිත්ත කුණුහැරප කියුවත් කිසිම ගනනක් නැතුව අසා ඉන්නට අපට හැකිවුනත් අවුරුදු 15 ක් පමණ වන ගැහැණු දරුවෙක් ගේ "සිඟිති ආතල්" නම් අසා ඉන්නටම බැරිය. එයට හේතුවක් ඇත. එය නම් වචන හා සංගීතයේ නියමාකාර එකතුවක් මේ ගීතයේ නැති වීමයි. ඉංග්‍රීසි කුණුහැරප පවා සංගීතයට එක්කාසු කිරීමට අනෙකුත් ගායකයින්ට හැකිවවද අත්දැකීම් අඩුකම හා නොදන්නා කම නිසාම සින්දුව අච්චාරුවක් කරගත් බව නම් සැබෑ ය. 

මෙම ගීතය නරඹන (මියුසික් වීඩියෝ එක නොමැතිව මම ගීතය ඇසීම ඉතාම අන්තරාදායකයි.) සියලුම දෙනා පාහේ සිංහල රසික රසිකාවියන් ය. ඔවුනට සිංහලත් නැති ඉංග්‍රීසි ත් නැති ඒලියන් භාෂාවකින් ගායනා කිරීම අයෝග්‍යය. අඩුම තරමේ මේ ගීතයේ ඕඩියන්ස් එක මුලින්ම හඳුනා ගැනීමට ගායිකාවට හැකි වූවා නම් තත්වය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුනි. 

වෙනස් ආරේ ගීත වලට අපේ අය බොහෝ දෙනෙක් කැමතිය. "ගෙම්බා" නමින් නුවන් හා කොලින් විසින් ඉදිරිපත් කල ගීත එකතුව වෙනස්ම අමුතුම එකක් වුවත්, එහි පද හා කටහඬ කොතරම් ආගන්තුක වුවත් එය අපේ තරුණ පරපුර විසින් වැලඳ ගත්තේ නැතත් ප්‍රතික්ශේප කලේද නැත. කොතරම් "අප්සට්" වුවත් ටාසන් බාප්පාගේ විකට ගීත ඉතාම ජනප්‍රිය ය අපට දැනෙනා ආකාරයට ජෝක් එකක් වුවත් ඉදිරිපත් කරන්නේ නම් රසිකයින් එය ප්‍රතික්ශේප නොකරයි. 

මේ ගායිකාව අනුකාරකවාදිනියෙකි. මැය Nicki Minaj නැමැති ගායිකාවගේ ගායන ශෛලිය අනුකරනය කරන බව ලේඛකයාගේ හැඟීමයි. මේ ගීතයම මේ තනුවම වෙනත් කටහඬකින් ගායනා කලා නම් සින්දුවෙන් වන හානිය අඩුය.
වෙන් වෙන්ව ගත්විට පද මලාව, සංගීතය හා ගායිකාව යන තුනෙහි ගැටලුවන් නැති වුවත් ඉහත කොටස් තුන එකතු වී සෑදෙන Ex Alien ගීතය නැමැති මූලද්‍රව්‍යය නම් විසකුරු හා මිනිසුන් හා සතුන් පිස්සු වට්ටන එකකි.

වැඩියෙන්ම dislikes ලද ලාංකික වීඩියෝව ලෙස youtube ඉතිහාසයට එක්වන මේ වීඩියෝවේ කොමෙන්ට් කිරීමට ඇති පහසුකම් හුදී ජන පහන් සංවේගය උදෙසාම එම ගායිකාව විසින්ම ඉවත් කරන ලදී. 

ගායිකාව අවුරුදු 15 ක් දැරියක් බව සැබෑව. නමුත් තමන්ට හිතෙන හැම හැම දේම ලෝකයට පෙන්නට අන්තර් ජංජාලෙහි එබීමට පෙර එයින් තමන්ගේ ආත්ම ගරුත්වයට වෙන හානිය ගැන සිතීම නුවණට හුරුය. තමන් මහා අමුතු "ඩයල් එකක්" සේ ලෝකයට "ගොං ෂෝ" දැමීමෙන්ම තමන් පිරිහීමට ලක්වන බව මේ ගායිකාව නොදැනීම කණගාටුවට කරුණකි.  

අත්දැකීම් අඩු කමින් තමන් කල දේ සමාජය පිළිකෙව් කරන විට එය ඉවත් කර නොගැනීම මහා ලොකු වීර කමක් ලෙස සමහරක් නපුංසකයින්ට පෙනේ. ඔවුන් මේ දැරියව වීරවරියක් කිරීමද ප්‍රයත්න දරයි. එයට කම් නැත. කෙසේ වෙතත් අලුත් දෙයක් කරනවා, සමාජයේ උඩුගං බලා යනවා යැයි කියා ගනිමින් කෙනෙක් ඇඳුම් උනා නිරුවතින් ගමන් කරනවා යැයි සිතන්න. එය සමාජය නොපිළිගනී. විවේචන හමුවේ නොසැලෙන්නටයි කියා දිගටම නිරුවතින්ම ගමන් කිරීම සුදුසු ද ?. එසේ ගමන් කිරීම ආත්ම ශක්තිය ද ? මේ ගායිකාව කරන්නේ ද එයමයි. 

කාලෙන් කාලේට එක් එක් රැළි පැමීනෙන්නා සේම මේ වීඩියෝවේ උණුසුම ඉක්මනින්ම මැකෙනු ඇත. ඉන්පසු එයට හා විවෙචන නැතුව යනු ඇත. මේ ගායිකාවගේ ගායනයට ස්වාභාවික මරණයක් කාලයාගේ ඇවෑමෙන් හිම්වනු ඇති බව ලේඛකයාගේ විශ්වාසයයි. එම නිසාම ගායිකාවට යලි යලි සිතීමට කරුණු රාශියක් තිබේ. ඉල්ලුමට සරිලන ලෙස සැපයීම හා නව ඉල්ලුමක් නිර්මාණය කිරීම යන කාරණා දෙකෙන් එකක්වත් නොමැතිව තම ගීතය සයිබර් අවකාශයේ අලෙවි කිරීමට යාම නිසා හොට බිම ඇනගත් ගායිකාව යලි එවන් මෝඩ වැඩ නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි 

Saturday, July 20, 2013

මකරාගේ දඬු අඬුවෙන් ගැලවීමට නම් (Growing Chinese Influence in Sri Lanka)

(Photo courtesy : whatson.cityofsydney.nsw.gov.au )

ලෝකයේ අද වඩාත් කතාබහට ලක්වන රට කුමක්දැයි ඇසුවහෝත් ඔබගේ නිසැක උත්තරය "චීනය" යි. දෙවැනි විශාලතම ආර්ථිකයත් විශාලම ජනගහනයකිනුත් හෙබි චීනයේ ආර්ථික හා දේශපාලනික බලපෑම ලෝකයටම දැනේ. චීනය දැවන්ත මකරෙකු සේ ලෝකයට වෙලාගෙන සිටින විට ශ්‍රී ලංකාවටත් මකරාගේ ඌෂ්ණයෙන් ගැලවීමට ඉඩ නොලැබී ඇත. 

අතීතයේ සිටම චීනය ලොව බලවතෙකුවී සිටියා. අධිරාජ්‍යයන් යටතේ විශාල භූමි ප්‍රදේශයක් පුරා එහි අණ්සක පැතිරුනා. විද්‍යාව හා තාක්ශණය අතින් ඉහල තැනක සිටි චීන්නු වෙඩි බෙහෙත් හා මුද්‍රණ ශිල්පය ලොවට හඳුන්වා දුන්නා. දක්ශ දේශ සංචාරකයින් ව සිටි චීන්නු විසින් කොලොම්බස් ට කලින් ඇමරිකාව සොයාගත්තා යැයි මතයක් පවතිනවා. පළමු ලෝක යුද්ධයෙන් පසුව දැඩි ලෙස කාර්මීකරණය වූ ජපාන අධිරාජ්‍යයේ බලයට යටත් වූ චීනය දෙවන ලෝක යුද්ධයෙනුත් පසුවයි ඒකීය රටක් ලෙස ඉදිරියට යාමට පටන් ගත්තේ. මාවෝ සේතුං ගේ විප්ලවයෙන් පසුව කොමියුනිස්ට් රටක් ව පැවැති චීනය කාර්මීකරණය වූ යේ මීට දශක දෙකකට පමණ පෙරය. ලෝකයේ නිෂ්පාදන කේන්ද්‍රස්ථානය ලෙස ජපානයට තිබූ තැන චීනය විසින් අද හිමිකරගෙන ඇත. 


(Photo courtesy :  www.themaninchina.com )

මානව සම්පත හා අමුද්‍රව්‍ය තිබීම නිසාම චීනය ට තමනුත් ස්වයං පෝෂිත වී ලෝකයටම කාර්මික හා කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමට හැකි වී තිබේ. එමෙන්ම ජාත්‍යන්තර වෙලඳාමට ප්‍රවිශ්ට වී තුන්වන ලෝකයේ රටවල් වල ව්‍යාපාර ආරම්භ කර එහි ලාභය නැවැත චීනයට ගෙනයාමට චීන්නුන් නූතනයේ දී කටයුතු කරයි. මානව සම්පත හා අමුද්‍රව්‍ය තිබීම නිසාම චීනය ට තමනුත් ස්වයං පෝෂිත වී ලෝකයටම කාර්මික හා කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමට හැකි වී තිබේ. එමෙන්ම ජාත්‍යන්තර වෙලඳාමට ප්‍රවිශ්ට වී තුන්වන ලෝකයේ රටවල් වල ව්‍යාපාර ආරම්භ කර එහි ලාභය නැවැත චීනයට ගෙනයාමට චීන්නුන් නූතනයේ දී කටයුතු කරයි. එහෙයින් අප බිය විය යුත්තේ චිනයේ සමාජවාදයට නොවේ එහි ධනවාදයටයි. කොමියුනිස්ට් රටක් ලෙස රජ්‍ය පාලනය හා හමුදා කටයුතු තබාගෙන අති ධනවාදී ආර්ථිකයක් වෙත චීනය ප්‍රවිශ්ට වීම නිසාමය ඔවුනට ලෝකය ආර්ථික වශයෙන් පාලනය කිරීමට හැකිවී ඇත්තේ.  

චීනයත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන රාජ‍ය සම්බන්ධතා ඇරඹෙන්නේ බණ්ඩාරණායක යුගයේ වුවත් ඊටත් කලින් චීනය අපත් සමග යුධ වැදී සිටි බව ඔබට විශ්වාස කිරීමට පුලුවන් ද ? වර්ෂ 1410 දී "මින්ග්" රාජවංශයට අයත් නාවික හමුදාවක් "චෙන් හේ" සෙන්පතියාගේ ප්‍රධානත්වයෙන් ලංකාවේ කෝට්ටේ රාජධානිය යටත් කරගෙන එහි පාලක අලකේෂ්වර රජුව බලයෙන් පහ කලේය .


(Photo courtesy :  )

කෙසේ වෙතත් නූතනයේ චීනය අපේ ඉතාම ලබැඳි මිතුරෙක් ලෙස සිටී. වරාය, විදුලි බලාගාර මෙන්ම උතුරු අධිවේගී මාර්ගය ආදී දැවැන්ත ව්‍යාපෘති කිරීමට ආධාර හා ඉදිකිරීම කරන්නේ චීනයයි. යුධායුධ ආදියත් චීනයෙන් හා පකිස්තානයෙන් ලබාගත් නිසාම අපට ඊලාම් යුද්ධය දිනීමට හැකිවූ බවද කිව යුතුය. චීනය සමග වෙළඳ ගිවිසුමක් ද ලඟදී අත්සන් තැබීමට නියමිත ය. 

චීන ශ්‍රී ලංකා සම්බන්ධතාවය මතුපිටින් යහපත් වුවත් මෙ ආකාරයෙන් චීනයත් සමග සම්බන්ධතා පැවැත්වීම චීනයට කෙසේ වෙතත් ලංකාවට අහිතකර ය. චීනය වනාහී අප මතුපිටින් දකිනා හෘද්‍යාංගම මිතුරා නොවේ. චීනා කරන්නේ "බිස්නස්" එකකි. සෑම අතින්ම ඔවුනට වාසිදායක වන ආකාරයෙන්, ජාත්‍යන්තර වෙළඳාම හා නිෂ්පාදනය පාලනය කරමින් ආර්ථික වශයෙන් යටත් විජිතවාදයක් ඇතිකිරීම  චීනා ගේ අරමුනයි. Win Win situations එහි නැත. ඇත්තේ ෂයිලොක් නම් යුදෙව්වා වාගේ චීනා සෑම විමට මස් කුට්ටියම ඩැහැ ගැනීම පමණි. 


(Photo courtesy :  http://1426.blogspot.com/)

ඔවුන් මෙය අප්‍රිකාවේ හොඳින්ම සිදුකරයි. නැමීබියාවේ, කෙන්යාවේ හා කොන්ගෝවේ පතල් කටයුතු වලින් චීන්නු අධික ලාබ ලබයි. අස්ථාවර අප්‍රිකානු ආණ්ඩු ගොනාට අන්දවා කුණු කොල්ලෙට පතල් කටයුතු වලට ඉඩම් බදු ගෙන එහි සියලුම අමුද්‍රව්‍ය චීනය ට පටවයි. බැලූ බැල්මට එහි කිසිම වැරැද්දක් නැත. නීත්‍යානුකූල නමුත් චීනය ලෝක වෙළඳාම හා නිෂ්පාදනය සියතට ගතහොත් ලෝක බල තුලනයට එය බාධාවක් වේ.කඩා වැටෙන බටහිර ආර්ථිකය හා ආසියානු කලාපයේ චීනයේ බලපෑම නිසාම චීනයට ලෝකය පාලනය කිරීමට හොඳින්ම අවකාශ තිබේ. 


(Photo courtesy :  uhrp.org )

චීන්නු සාන්තුවරුන් නොවේ. අප්‍රිකානු රටවල සේවකයින් ගේ ශ්‍රමය සූරා කමින් දේශීය වෙළඳාම් කරුවන් පාරට ඇද දමමින් චීන එම රටවල වෙළඳාම පාලනය කරයි. රටක ආර්ථිකය පාලනය කලහොත් මුලු රටේම බලය ඇල්ලිය හැකි නිසා අප්‍රිකාවේ, ආසියාවේ, ලතින් ඇමරිකාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකය චීන විසින් අල්ලේ නැටවීමට උත්සාහ කරයි. චීනා ටිබෙට් බෞද්ධයින්ට කල විනාශය සුලු පටු නොවේ. ටිබෙට් ආණ්ඩුව බලයෙන් පහකර, ටෙබෙටයේ "හන්" ජාතික චීන්නු පදිංචි කරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන බෞද්ධ යැයි කියාගන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඇස් කන් පියාගෙන සිටිති. ඒ ආගමට වඩා තමන්ගේ රටේ බඩ වියත වටිනා නිසාම ය. 

චීනාත් සමග ගනුදෙණු කල යුත්තේ පරිස්සමෙනි. චිනයෙන් අවශ්‍ය මූල්‍ය ආධාර හා තාක්ෂණය ලබාගත්තත් චීන්නු ලවා මෙරට ඉදිකිරීම් කරගැනීමේ දී පරිස්සම් විය යුතුය. චීනයෙන් ලබාගන්නා මුදල් වලින් චීන කම්කරුවන් හා ඉංජිනේරුවන් යොදාගෙන කරන ඉදිකිරීම් වලට අප නැවත චීනයටම මුදල් ගෙවති. චීන තාක්ෂණය වෙනත් රටවලට වඩා මිල අඩු වුවද එහි පැවැත්ම ගැන ඇත්තේ සැකයයි. "නොරච්චෝලේ" බලාගාරයේ අවාසනාවන්ත ඉරණම මේ සම්බන්ධයෙන් සාක්ෂියකි. 




(Photo courtesy :  www.ft.lk - )

අපට කිරීමට හැකි වැඩ අපම කරගෙන චීනාගෙන් මුදල් පමණක් ලබාගත යුතුය. එමෙන්ම චීනාට තම අධෝමුඛය පරිත්‍යාග කිරීමට පෙර අපේ අසල්වැසි ඉන්දියාව "ශේප්" කර ගැනීම අනිවාර්ය කරුණකි. එසේ නැතහොත් ජේ ආර් ඇමරිකාවට ලංවී කරගත්තාටත් වඩා විනාශයක් අප චීනාට ලංවී කරගනු ඇත. චීනයෙන් එන සෑම දෙයක්ම බිලී බාගන්නවා ට වඩා ශ්‍රී ලංකාවට වාසිදායක වන ආකාරයේ වෙළඳ ගිවිසුම් අත්සන් කරගත යුතු වේ. 

"වැඩේ සෙනේ දබරෙටයි" කියනවා වාගේ චීනා කරන කියන සෑම දෙයක්ම නුවණි විමසා බලා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දක්ශ ලෙස කටයුතු කිරීම අපේ රටේ අනාගතයට වැදගත් වේ. මකරා භයානකය. ඌ ගේ කටින් ගිනි දැල් පිටකරයි. ඌ උගේ වල්ගයෙන් මුලු ලෝකයට වෙලා ගෙන සිටියි. ඌ අභියස කුඩා කුරුම්බැට්ටියක් පමණ වන අප උපායෙන් මකරා රවටා උගේ ගිණි දැල් වලින් ආරක්ශා වී ඒවයින්ම තැටිය රත් කර රොටිය පුච්චා ගත යුතු ය. 







Wednesday, July 3, 2013

ඥානසාර හිමි VS ඩිල්කා. 360 පසුවදන
















මීට ටික කලකට පෙර ලංකාවේ මාධ්‍ය ලෝකය ඇවිලුනේ දෙරණ රූපවාහිනිය මහින් විකාශය කල සජීවී දේශපාලන/සමාජමය වැඩසටහනකට මෙරට ප්‍රභල බලපෑම් කන්ඩායමක් වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් තනතුර හෙබවූ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ගේ පැමිනීමයි. එහිදී නිවේදිකාව ඇසූ ප්‍රශ්න වලට උත්තර දීමට නොහැකි වූ ඥානසාර හිමියන් පත්වූ අපහසුතාවය බොහෝ දෙනකුගේ අවධානයට ලක්වී තිබුණි. බොහෝ දෙනෙක් ඥානසාර හිමියන්ගේ ඇත්ත ස්වභාවය හෙලි වූවා යැයි කියා ඔල්වරසන් හැඬවූ අතර සමහර දෙනෙක් ඒ නිවේදිකාව කල දේ නොහොබිනා වැඩක් යැයි කීහ.

බොදුබල සේනාවේ නැගී සිටීම පශ්චාත් යුධ සමයේ සිංහල ජාතියේ හා බුද්ධ ධර්මයේ නැගී සිටීමත් සමගම ඇතිවූවකි. බෞද්ධ ප්‍රබෝධය මින් පෙර සමහරක් භික්ෂූන් වහන්සේලා නිසා සිදුවුවද සිංහල ජාතියත් සමගම බෞද්ධ ධර්මයේ නැගීමක් හා ආගම රැකගැනීමට පෙරට ඒමක් දැකගත හැකි වූයේ මෑත කාලයේ දීය. සිංහල බෞද්ධයින් තුල වූ ජයග්‍රාහී මානසිකත්වය නිසාම ජාතියට ආගමට වින කටින අනෙකුත් ආගමික කොටස් වලට එරෙහිව නැගීසිටීමක් සිදුවුනි. එහි වරදක් දක්නට නොහැක. බෞද්ධ ආගමික නායකයින් පාර්ලිමේන්තු යන තත්වයකදී වත් නොතිබුනු උනන්දුවකින් බෞද්ධ බලපෑම් කණ්ඩායම් ක්‍රියා කරනු දැකිය හැක.
බොදු බල සේනාව බිහිවන්නේ මේ තත්වය උඩදිය. ඉස්ලාම් ආගමිකයින් හා මූලධර්මවාදින් ඉලක්ක කරගෙන මේ සංවිධානය ගෙනගිය වැඩපිළිවෙළ බහුතර බෞද්ධ ජනතාවගේ කැමත්තටත් හේතු වූ බව නොරහසකි.  බොහෝ දෙනෙක් මුවින් නොබිනූවද සිතින් බොදුබල සේනාවේ ගමනට ආශිර්වාද කලහ.

රටේ බෞද්ධයාට තිබූ තත්වය කෙමෙන් කෙමෙන් පහලට වැටෙනා විට. ත්‍රස්තවාදී උවදුරට වඩා භයානක ආකාරයෙන් ආගමික අන්තවාදී කණ්ඩායක් ලංකාවේ කඳවුරු බඳිනා විට. සුලු ජාතීන් තමන්ගේ ආත්ම ලාභය පිණිස රටේ ව්‍යාප්තවාදයක් ඇතිකිරීමට කටයුතු කරන තත්වයට සිංහල-බෞද්ධයා තුල ඇතිවූ අනාරක්ෂිතභාවය බොදු බල සේනාවන්ට පාර කැපීය. සුලු ජාතීන් හා ආගමිකයින් තුලත් බෞද්ධයා ගැන ඇති වෛරය ඇවිලෙන ගින්නට පිදුරු දැමිමක් විය. සුලු ජාතික නායකයින් මෙන්ම දේශපාලකයින් තුලද ජාතීන් ආගම් ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක් නොතිබුණි.

බොදු බල සේනාවේ ඥානසාර හිමියන් බීමත්ව රිය පදවා අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන දඬුවම් ලැබූ බවට වූ පුවත කරළියට එන්නේ මේ අතරයි. මේ බව නිවේදිකාව ලිඛිත සාක්ෂි ඇතුව විමසද්දී ඥානසාර හිමිට වැඩේ වැරදුන බව සැවොම දුටුවහ. මේ බීමත්ව රිය පැදවීමේ සිද්ධිය තරමක් පැරැණි සිදුවීමකි. මීට කලින් මෙය ප්‍රසිද්ධ වී තිබුණි. කෙසේ වෙතත් මීට වඩා ජඩ වැඩ කල දේශපාලුවන් ආඳන් සේ පෙර කී නිවේදිකාවගෙන් ලිස්සා යද්දී උපක්‍රමශීලී නොවීම නිසාම ඥානසාර හිමි අපහසුතාවට පත්වූ බව කිව යුතුමය.

නෝර්වේ මුදල්, ඇමරිකා ගමන හා මේ සිද්ධිය ගැන නිවැරදිව කරුණු පැහැදිළි නොකිරීම හා තමාට අවාසි වන ප්‍රශ්න උපක්‍රමශීලීව මහගැරීමේ දේශපාලන ඥානය ඥානසාර හිමියන්ට නොමැති වීම එහිමියන්ගේ දුර්වල දේශපාලනය කියාපායි. ආගමික සංවිධානයක නායකයෙක් අතිශයින්ම සිල්වත් විය යුතු බව අප පිළිගන්න කරුණක් නිසාම මෙහිදී එහිමියන් ගේ චරිතයට කැළැලක් ඇතිවූ බව නොරහසකි.

නියමාකාරයට කළමණාකරණය නොකිරීම හා තමන්ට එරෙහිව නැගෙන කරුණු වලට ප්‍රතිචාර දැක්වීමේ අසමත් බව බලපෑම් කණ්ඩායමක් ලෙස බොදු බල සේනාව දුර්වල වීමේ මාර්ගයකි. මෙහිදී නිවේදිකාවට හෝ රූපවාහිනී නාලිකාවට දොස් පැවැරීමෙන් පලක් නැත. මන්දයත් ඔවුන් කරන්නේ අනෙක් රාජ්‍ය හා රාජ්‍ය නොවන නාලිකා හා  දෙකයි පහසේ මාධ්‍ය කාරයෝ කරනා කුණු රසය සොයාගෙන යාම පමණම් බැවිනි. ඥානසාර හිමියන් නිසාම එකී නාලිකාවට එදා කරල පැහුනු අතරම නිවේදිකාවට ප්‍රසිද්ධියක් ද ලැබුණි.

මෙහිදී තවත් වැදගත් දෙයක් ප්‍රකාශ කල යුතුමය. බැරිවේලාවත් අන්‍යාගමික නායකයෙක් ගෙනැවිත් ඔවුන්ගේ අතීතර හාරා ඇවිස්සුවා නම් තත්වය මීට වඩා වෙනස් වීමට තිබුණි. ඉස්ලාම් ආගමික පූජක තුමෙක් ගෙනැවිත් ආගමික ව්‍යාප්තවාදය, අන්තවාදය හා ආගමික ආයතන තුලින්ම අන්තවාදී සංවිධාන වලට ආයුධ සැපයීම, තම ආගමිකයින් පදිංචි කරවීම, හා ළමා විවාහ ගැන විමසුවේ නම් එම රූපවාහිනී නාලිකාවට එරෙහිව දරුණු ප්‍රචාරයක් යනු ඇත.ආගමික අසමහිය ආ සුලු ජාතින්ගේ අයිතීන් විනාශ කරන්නේ යැයි කියා රජය ද එම නාලිකාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරනු ඇත. එයින් නොනැවදී එම නාලිකාව තහනම් කරනු ඇත. එකී නිවේදීකාව ගේ මරණ වරේන්තුව මරදානේ හෝ මාලිගාවත්තේ මැරයෙකු අතින් ලියවීමට බොහෝ ඉඩකඩ තිබේ.

බෞද්ධයාට පහර දුන් අය යහතින් සිටීමත් වෙනත් ආගමික කණ්ඩායම් වලට අතක් වත් ඉස්සීමට කිසිවෙක් ඉදිරිපත් නොවීමට් නූතනයේ බෞද්ධයාගේ දුක්ඛදායක ඉරණම කියාපායි. බොහෝ විට මේ බෞද්ධ ප්‍රබෝධය "ලත් තැනම ලොප්" වීමටත් ඉඩ තිබේ. බෞද්ධයින් මේ ගැන නුවණින් සිතීම වටී. පිරිසිදු නායකත්වයක් සමග, දැඩි විනයකින් යුතුව සටන් කරනවා නම් සටන් කල යුතුය. නො එසේ නම් වඳවී ගිය ජාතියක් ලෙස සිංහල බෞද්ධයා පත්වීම වැළැක්විය නොහැක.


Saturday, June 22, 2013

දඟ ළමයිව මට්ටු කරමු (Spare the Rod and Spoil the Child Part 2)



මේ ලිපියෙන් ප්රකාශ කෙරෙන කාරණාව ගැන මීට කලින් මේ බ්ලොගයේ "ශාරීරික දඬුවම් මගින් ළමා පරපුර විනයගරුක කරමු" යන මැයෙන් පලවූ ලිපියෙන් විස්තර කෙරුනත් ගැඹුරු විශයක් වූ ළමා හැදියාව පිළිඹඳව තවත් ලිපියක් ලිවීමට මට සිත් විය. පාසල් දරුවන්, ගැටවරයින් මෙන්ම කුඩා දරුවන් විනය අතින් එන්න එන්නම පිරිහෙන මේ යුගයේ නැවතත් දඬුවම මගින් විනය ඇති කිරීම සංවාදයට බඳුන් විය යුතු කාරණයක් බව මම විශ්වාස කරමි.

සමස්ථයක් ලෙස ගත හොත් නූතනයේ ශ්රී ලංකාවේ ළමා පරපුර (වයස අවුරුදු 18 අඩු පිරිස.) විනය අතින් පිරිහී ඇත. දිනපතා පුවත් පත් රැගෙන විමසුවහොත් සෑම දිනකම එක්කෝ පාසල් දරුවෙන් ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකුට පහර දුන් අවස්ථාය. සිසු ගැටුම් පොලීසිය මගින් විසඳා ගත් අවස්ථාද නැත්තෙම නොවේ. එමෙන්ම දන්සැලක් සංවිධානය කිරීමට ගොස් ඇතිවූ ගැටුමකින් කොළඹ ප්රසිද්ධ බාලක පාසලක සිසුවෙක් පිහි ඇණුම් කා මියගිය ඛේදනීය පුවතක් මෑතක දී වාර්ථා විය. විදුහල්පතිවරයාට එරෙහිව පිකට් කරන්නට පාසලෙන් එළියට බසින සිසු පිරිස ගැන අප ඇසුවේ ඉතා මෑතකදී . විද්යාලාන්තට ක්රිකට් තරඟ හා විද්යාල පාගමන් කෙලවර වෙන්නේ මහා ගැටුමකිනි. "වලියක්" නැතුව ඉවරවෙන ක්රිකට් තරඟ සෙවීම කළුනික සොයනවාටත් වඩා අසීරු . කාලයක් යද්දී මිනිසාගේ සියලු ගුණධර්ම විනාශ වීම ස්වාභාවික දෙයක් වුවත් ඉතා කෙටි කාලයක දී සිසු ප්රජාව මෙලෙස පරිහානියට පත්වීම විමසිය යුත්තකි.

දරුවන් ගේ මනස ළමා කාලයේ මෙන්ම ගැටවර අවදියේ විශාල වශයෙන් වෙනස් වීමට ලක් වේ. මනසේ වර්ධනයත් සමගම අත්හදා බැලීමේ ආශාව කල්ලි ගැසීමේ ආශාව මෙන්ම තමන් ස්වාධීන වීමට හා අනුකරණය කිරීමට දරුවන් පෙළඹේ. තීන්දූ තීරණ ගැනීමට තරම් පරිනත මනසක් මේ කාලයේදී ඔවුනට නැත. අත්දැකීම අඩුකම ප්රධාන ලක්ෂණයක් වේ. පිරිමි දරුවන් අතර ස්වාධීන වීමේ ආශාව ඉතා වැඩිය. "කොළුවා" හෙවත් තරුණයා නැමැති වදනකොළුවා => ' කෝ ඔලුවා ' හෙවත් ඔලුව නැත්තා  සේ විසන්ධි කර එක්තරා විනෝදාත්මක වැඩසටහනට උපහාසයෙන් හඳුන්වා දී තිබුණි. අඩු අත්දැකීම් සහිත හීන වූ විචාර බුද්ධියෙන් යුතු දරුවන් බොහෝ විට කරුණු කාරණා හොඳින් කියා දුන්නාට ඇහුම් කන් දෙන්නේ නැති නිසාම දඬුවමින් හෝ එය තේරුම් කරදීම අපේ වගකීමයි. ශාරීරික දඬුවම සැමටම තේරෙන භාශාවකි. අප සැවොම ශාරීරීක වේදනාවට බිය වේ. එම නිසාම ඒ බිය මාර්ගයෙන් හරි දේ කරවීම වැදගත් වේ. අප සුරතල් සතෙකු පවා හික්මවන්නේ එලෙස දඬුවම් දීමෙනි.

මෙලෙස හික්මවීමට බාධාවක් ලෙස මානව හිමිකම් සංවිධාන ප්රධාන වේ. මේ සංවිධාන බොහෝ විට බටහිර රාජ් නොවන සංවිධාන වල ඉත්තන් ලෙස කටයුතු කරයි. අධ්යාපන අමාත්යංශ, නීති ආධාර සංවිධාන වැනි රාජ් අංශ රවට්ටා ගෙන මේ නොරටුන් දරුවන්ට ශාරීරික දඬුවම් කිරීම මහා අපරාධයක් ලෙස දක්වා පාසල් වල හා ගෙවල් වල ක්රියාව කිරීම වලක්වයි. ඉන් පසු සිදුවන්නේ දඩාවතේ යන බල්ලක් රැලක් මෙන් දරුවන් හැසිරීමට පෙළඹීමයි. නියමාකාරයෙන් හික්මීමක් නැතුව මේ දරුවන් සමාජයට යාමෙන් පසුව ඉක්මනින් සමාජය විනාශ වේ.

ලංකාවේ මනෝ වෛද්යවරුන් ළමා මනස තැලීමකට ලක් වන්නේ යැයි කියා දඬුවමින් හික්මවීම බැහැර කරති. නමුත් මහත්වරුන් කුඩා කල "වේවැල් කෝටු නාරං සියඹලා අතු" වලින් හොඳින් කසාය වලඳා හික්මවී ඇති පිරිසක් වීම කණගාටුවට කරුණකි. ඔවුන් ශාරීරික දඬුවමින් නොහික්මුනේ නම් අද වෛද් වෘත්තීය කිරීමට ඔවුන්ට ඉගෙනීමට, විනය පවත්වා ගැනීමට නොහැකි වනු නිසැකය. දඬුවම් නොමැති නිසා දරුවන් අයාලේ යාම මානව හිමිකම් හොඳින්ම තිබෙන බටහිර රටවලට මහා හිසරදයක් වී ඇත. එම රටවල දරුවන් විනයක් නොමැති තම වයසට නොගැලපෙන වැඩ කරන අම්මා තාත්තා නොහඳුනන අමනුස්සයක් පිරිසකි. එවන් පිරිසක ගෙන් සමාජයට ඇතිවෙන බලපෑම ගැන බටහිර රටවල පිරිස් විස්සෝප වෙති.

බටහිර ඇන්ජීඕ හා දොස්තර හොරුන් කියනා කතා බැහැර කරමින් දඬුවමින් ළමයා හික්මවීමට දැන්ම කටයුතු කළ යුතුය. කුඩා කල සිටම විනයක් ඇතුව තම දරුවා දඬුවම් කර හෝ හදා ගැනීම සෑම දෙමාපියෙකු ගේම වගකීම වේ. නිවසේ සංස්කෘතියට අනුව හැඩගැසීම, නිවසේ තමන්ට හිමි වගකීම් ඉටුකිරීම, දෙමාපියන්ට ගරු කිරීම, අවනත වීම, තමන්ගේ වයසට නොගැලපෙන දේවල් නොකිරීම ආදිය, අපරිනත දරුවන්ට ශාරීරික දඬුවම් මාර්ගයෙන් හෝ දෙමාපියන් හා වැඩිමහල් සහෝදර සහෝදරියන් කියා දිය යුතු ය.

පාසල විනය උපරිමයෙන් තිබෙන ස්ථානයක් විය යුතුය. මන්ද යත් පාසල තුලින් ළමයා අනාගත ජීවිතයට අඩිතාලම දමන බැවිනි. ඉගෙන නොගන්නා අය ඉගෙනීමට යොමුකිරීම , ක්රීඩා නොකරන අය ක්රීඩාවට යොමු කිරීම , හැසිරීම දුර්වල අය යහපත් හැසිරීම පත්කිරීම වෙනත් ක්රම වලින් නොහැකි නම් "කෝටුව" අතට ගත යුතු වේ. සඳහා බොහෝ ගුරුවරුන් ඉතා ආශාවෙන් සැදී පැහැදී සිටින බව ඉතා සතුටින් කීමට කැමැත්තෙමි. මන්ද යත් අද ගුරුවරුන්ට ඇති ප්රධානම ගැටලුව නම් ශිෂ් විනය පිරිහිම යි.

අධ්යාපන අමාත්යංශයෙන් දරුවන් ශාරීරික දඬුවම් දීමට අදාල චක්රලේඛ ආදිය නැවැත සැකසිය යුතු . පහර දෙන කෝටුවේ ස්වභාවය, පාහරවල් ගනන, පහර දෙන ස්ථානය ආදී දේවල් හොඳින් විස්තර කර තිබුනහොත් මානව හිමිකම් සංවිධාන වලට ගුරුවරුන් චෝදනා කිරීමට නොහැකි වනු ඇත. කුඩා කාලයේ සිටම පහර දී හෝ විනයෙන් යුතුව දරුවන් හැදීමට හැකි වුව හොත් ගැටවර කාලයේ දී පහර දුන්නත් නැවැත පෙරලා පහර නොදී දඬුවම ඉවසීම දරුවා පුරුදු වෙනු ඇත.

දඬුවම් ලබා දෙන්නේ වරද කල දරුවාට පමණක් නොවේ. වරද කල කෙනා මෙන්ම අනෙකුත් ශිෂ් සමාජය පාඩමක් ඉගැන්වීම මෙය අවස්ථාවක් කර ගැනීම අවශ් වේ. උදේ රැස්වීමේ දී සියලු ළමුන් ඉදිරියේ "කෝටු මස් කිරීමේ" වැඩසටහන ඇරඹිමෙන් දඬුවම් විඳින්නා ළැජ්ජාව නිසා වරද යලි නොකිරීම වග බලා ගනියි. අනෙකුත් සිසුන් අනුව දඬුවමට බයේ විනයක් ඇතුව හැදෙනු ඇත.


දරුවන් පහර දෙන්නේ ඔවුන් කෙරේ තරහින් නොවේ. ඔවුන් විනයක් ඇතුව හැදීම තිබෙන උදාර ප්රාර්ථනාව නිසා පමණි. නිසා මේ තත්වයට හොඳින් තේරුම් ගෙන තම දරුවන් පහර දී හෝ යහ මගට ගැනීම සියලු දෙනාම උත්සාහ කල යුතු වේ.