Sunday, December 19, 2010

ධනාත්මක චින්තනය : සත්යය හා මිත්යාව


මම මේ ලිපිය ලිවීමට අදහස් කලේ බොහෝ කාලයක සිටය. නමුත් ඒ සඳහා අවශ්ය කරුණු එක් රැස් කරගෙන නොතිබුනු නිසා එය කල් දැමීමට සිදුවුනි. කෙසේ වෙතත් ඔබ සැමගේ අවධානය පිණිස කල් පසුවී හෝ මෙය ඉදිරිපත් කරන්නෙමි.

ධනාත්මක චින්තනය ගැන අද රටේ බොහෝ දෙනෙක් කථාකරති. ප්‍රායෝගික මනෝ විද්යාව නමින් අලුත්ම පොත් පත් විශාල ප්‍රමාණයක්ද අද වෙළඳපලේ පවතියි. අලුත් චින්තනයක් තුලින් දියුනුවේ මංපෙත සලසා ගැනීම ගැන උපදෙස් ලබාදීම මේවා වල මූලික අරමුණයි. ධනාත්මක චින්තනය අද රැල්ලක් ආකාරයෙන් රටේ පැතිරෙනු දක්නට හැක. ප්‍රායෝගික මනෝ විද්යාව තුලින් ධනාත්මක චින්තනයෙන් තම ජීවිතය ජය ගැනීම ඉතාම වැදගත්. මම මීට පෙර "ජීවිතය ජයගන්නේ මෙහෙමයි" යන ශීර්ෂය යටතේ පුද්ගල සංවර්ධනය ගැන ලිපියක්ද ඉදිරිපත් කර ඇත.

මෙහි තිබෙන බරපතලම ගැටලුව නම් කරුණු කාරනා හරිහැටි නොදැන තමන්ට නොගැලපෙන පොත් කියැවීමට්, උපදෙස් වලට සවන්දීමට යාම නිසා බොහෝ අය අමාරුවේ වැටීමයි. එවන් අයගෙන් මුදල් කඩාවඩා ගැනීමට වෙර දරන කූට වෙලඳුන් බොහෝ පිරිසක්ද සිටිති. මොවුන්ට අසු නොවී පුද්ගල සංවර්ධනය ගැන නිවැරදි මූලාශ්‍ර පරිහරණය කිරීම අප සැමගේ වගකීමයි.

පුද්ගල සංවර්ධනය සඳහා ප්‍රායෝගික මනෝවිද්යා පොත් රචනාකරන පිරිස් අද ඕනෑ තරම් සිටිති. ඇත්ත වශයෙන්ම ඔවුන් ඒ සඳහා පුහුනුවක් හෝ පළපුරුද්දක් ලබා ඇති දැයි සලකා බැලීම වටී. මා පෞද්ගලිකව හඳුනන දිවයිනේ සිටින ප්‍රවීන මනෝවිද්යා උපදේශක වරයෙක් සමග අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව පැහැදිලි වුන ප්‍රධානතම කාරණය නම් කිසිඳු පුහුනුවක් හෝ පලපුරුද්දක් නැති මනෝවිද්යා දෙශකයන් යැයි කියාගන්නා පුද්ගලයින් විසින් ලබාදෙන වැරදි උපදෙස් නිසා තම ජීවිතය අඳුරු කරගත් පුද්ගලයන් විශාල පිරිසක් සිටින බවයි.

මූලිකවම ප්‍රායෝගික මනෝවිද්යාව ගැන උපදෙස් ලබාදෙන, පොත් පලකරන කාන්ඩ 3 අපරටේ සිටිති. ඉන් පලමු කාන්ඩය නම් නිසි ආකාරයෙන් මනෝවිද්යාව ඉගෙනගත් දෙශකයන් හා වෛද්යවරුය. මේ පිරිස ඉතාම වැදගත් හා වටිනා උපදෙස් අඩංගු පොත් පළකරති. මිනිස් මනස ගැන නිවැරදි වැටහීමකින් හා මානසික උපදේශන සේවයේ අත්දැකීම් වලින් පරිනතව පොත් පළකරන නිසා ඔවුන් ලබාදෙන උපදෙස් ඉතාම නිවැරදිය.
ඒවා අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීමට වැඩි ඉඩකඩක් තිබේ.

දෙවන කාන්ඩය නම් මනෝවිද්යාව පිලිබඳ ඉගෙනීමක් කර නැතත් තම අත්දැකීම වලින් හා සාර්ථක පුද්ගලයන් ඇසුරු කිරීමෙන් දැනුම ලැබූ අයයි. ඉතාම ප්‍රායෝගික ලෙස මොවුන් උපදෙස් ලබාදෙයි. ව්යාපාර ක්ශේත්‍රයේ, අධ්යාපන ක්ශේත්‍රයේ ප්‍රවීනත්වයට පත්වුනු මේ කාණ්ඩය රචනා කරන පොත් ඉතා වටිනා ඒවාය. සමහර කාලවලදී රූපවාහිනියේ පවා මෙම දේශකයන් දක්නට ලැබේ. මෙවුන් රචනා කරන පොත් පත් පරිහරණය කිරීමේ වරදක් නැත.

තුන් වැනි කාන්ඩය වනාහී කෙසේ හෝ යම් කරුණු ටිකක් පොතකට පිටපත් කොට තම මඩිය තරකරගැනීමට මාන බලන වංචා කාරයන්ය. කිසිඳු පුහුනුවක් හෝ අත්දැකීම නැති අනුන් ලියන අදහස් යම් ආකාරයෙන් වෙනස් කොට මූල්යමය පදනම මත පමණක් පිහිටා පොත්පත් රචනා කිරීම මොවුන්ගේ ස්වභාවයයි. ලේඛන කලාවේ එතරම අඩුපාඩු නොතිබුනත් මේ තුන්වන කාන්ඩයට අයිතිවන පිරිස විසින් ලියන ලද පොත්පත් හා කරන ලද දෙශන වල බරපතල ලෙස වැරදි උපදෙස් ලබාදිමක් දක්නට ලැබේ.

එමෙන්ම මේ පොත්පත් ලාභදායී මිලට ලබාදීමද බාල තත්වයෙන් මුද්‍රණය කිරීමද බොහෝවිට දැකගත හැක. සෑම විටම ප්‍රායෝගික මනෝවිද්යා පොතක් තෝරාගැනීමේදී එය ලියන ලද ලේඛකයාගේ තොරතුරු සැලකිල්ලට ගන්න. සමාජයේ පිළිගත්, ප්‍රසිද්ධ හා සාර්ථක ලෙස නමක් රැන්දු පුද්ගලයෙක් විසින් රචනා කරන ලද පොත් පත් පමණක් පරිහරණය කරන්න.

ධනාත්මකව සිතීම ගැන සමාජය තුල පවතින වැරදි අදහස් රාශියක් ඇත. දියුනුව වනාහී බොහෝ කාලයක් උත්සාහ කර ලබාගතයුතු දෙයකි. එයට කෙටි මාර්ග ආදිය නැත. එමෙන්ම තමන් දියුනුවට පත්වෙනවා යැයි සිත සිතා සිටීමෙන් පමණක් දියුණුව ලඟා කරගැනීමට නුපුලුවන. උදාහරණයක් ලෙස ස්ව පණගැන්වීම නොමැති එන්ජිමක් ගන්න (Manual Starting). එහි ඉන්ධන පුරවා ඇතත් එය වෙහෙසවී පණ ගැන්වූයේ නැතිනම් එයින් ලැබෙන ප්‍රයෝජනය ලබාගත නොහැක. ඉන්ධන සමාන කර හැක්කේ ධනාත්මක චින්තනයටයි. ධනාත්මක චින්තනය පමණක් තිබී පලක් නැත. උනන්දුවෙන් හා කැපවීමෙන් තමන්ට අවශ්ය දෙය ලබාගැනීමට වීර්ය කිරීමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

අද ලංකාවේ සිංහල භාෂාවෙන් ලියැවුනු මනෝවිද්යා පොත්පත් බොහෝමයක් බටහිර රටක ලේඛකයෙක් විසින් ලියන ලදුව සිංහලට පරිවර්ථනය කරන ලද ඒවාය. එම පොත්පත් වල තිබෙන් බොහෝ කරුණු අප රටට නොගැලපේ. අප රටේ සමාජයට හා ව්යාපාර සංස්කෘතියට (Cooperate Culture )නොගැලපෙන අදහස් අනුගමනය කිරීම භයානක ප්‍රතිඵල අත්කර දෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුනු පොත් පරිහරනය කිරීමේදි එම අදහස් අපට ගැලපෙනවාදැයි සොයාබැලීම අනිවාර්ය වේ.

මූලික වශයෙන් මම මේ ලිපියෙන් ඉස්මතු කරන්නට උත්සාහ කලේ නිවැරදි මනෝ විද්යා උපදේශන මූලාශ්‍ර තෝරාගැනීම ගැනත් ධනාත්මක චින්තනය විකුනාගෙන කන රැවටිලිකාරයන්ට අසු නොවීමේ මගත් ය. ප්‍රායෝගික මනෝවිද්යාව ගැන හෝ පුද්ග්ල සංවර්ධනය ගැන ඔබ උනන්දු වනවානම් කලයුතු නැණවත්ම කාර්යය නම් සුදුසුකම් ලත් මනෝ විද්යා උපදෙශකයෙක් හෝ මනෝ වෛද්යවරයෙක් ගෙන් ඒ පිළිබඳව විමසා ගැලපෙන දේ තෝරා ගැනීමයි.

Wednesday, December 15, 2010

සුනඛයන් සමග මිතුරු වීම


සුනඛයා වනාහී මිනිසාගේ ඉතාම කිට්ටුවන්ත් මිතුරාය. ආරක්ශාව ලබාගැනීමට හා සුරතලයට සුනඛයන් ඇතිකිරීමට මිනිසුන් පුරුදු වී සිටිති. සමහර ආක්ටික් ප්‍රදේශ වල නම් කරත්ත ඇදීමට පවා සුනඛයන් යොදා ගනිති. සුනඛයන් සාමාන්යයෙන් මිනිසා සමග මිත්‍රශීලී වුවත් සමහර සුනඛයන් ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී බවක් දක්වයි. එවන් සුනඛයන් සමග මිත්‍රවීම අවදානම් සහගත ක්‍රියාවකි. මේ කෙසේ වෙතත් අලුත් සුනඛයෙක් සමග මිත්‍ර වීමේදී පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවනු නොඅනුමානය.
  • තමන් නොදන්නා සුනඛයෙක් සමග මිත්‍ර වීමේ දී සුනඛයාගේ අයිතිකරුවාගේ අනුමැතිය ලබාගන්න. සුනඛයාගේ ගතිපැවතුම් ගැන මූලික අවබෝධයක් ලබාගැනීම ඉතාම වැදගත්.
  • සුනඛයාට ලංවීමේදී ඉතාම සෙමින් තමන්ගේ අතේ පසුපස කොටස ඉදිරියට දිගුකරන්න. මෙවිට තමන්ගේ ශරීර ගන්ධයට සුනඛයා හුරුවෙනු ඇත.
  • තමන්ගේ අත ඉවකිරීමට සුනඛයාට ඉඩ දෙන්න. සුනඛයන් අන් අයව හඳුනාගැනීමේදී සුවඳ කෙරෙහි සැලකිලිමත් වේ.
  • ආගන්තුක සුනඛයෙක් ව මුලින්ම ස්පර්ශ කිරීමේදී සුනඛයාගේ පපු පෙදෙස, උරහිස් හා බෙල්ලේ උඩ කොටස මෘදු ලෙස ස්පර්ශ කරන්න. එවැනි ප්‍රෙදේශ ස්පර්ශ කරනවාට සුනඛයන් ඉතාම කැමැත්තක් දක්වයි.
  • සුනඛයා මුලින්ම නිදාගන්නා විට හෝ කෑම කන විට ඔහුට ලංවීම නොකරන්න.
  • මුලින්ම සුනඛයා ඔබවෙතට ලං වුවහොත් ශරිරය චලනය කිරීමේන් වැලකී නිසොල්මන්ව සිටින්න. එමෙන්ම සුනඛයා දෙස කෙලින්ම බැලීම නොකරන්න.

  • බොහෝ දෙනෙක් සිදුකරන වැරදි ක්‍රියාවක් නම් ආගන්තුක සුනඛයෙකුගේ හිස ස්පර්ශ කිරීමයි. නන්නාඳුනන පුද්ගලයෙකුගේ එවන් හැසිරීමක් ආක්‍රමණශිලී ලෙස සුනඛයා වටහා ගෙන සපාකෑමේ වැඩි ඉඩක් තිබේ.
  • සුනඛයා ආක්‍රමනශීලී වනවානම් ක්ශනික චලනයක් සිදුනොකරන්න. සුනඛයන් සන්සුන් කිරීමට හේතුවන ඇස්පිල්ලන් ගැසීම හා සිහින් උරුවම් බෑමක් සිදුකරන්න. ඉන්පසු සෙමින් තමන්ගේ අත් චලනය කරන්නේ නැතිව එතනින් ඉවත්වෙන්න. සුනඛයා දෙසට තම පසුපස හරවා දිවයාම ඉතා භයානකයි.


බොහෝ සුනඛයන් මිනිසුන් සමග ඉතාම මිත්‍රශීලියි. සුනඛයෙක් සමග මිතුරු වීමේදී ඔබට ඔහු සමග මිතුරු වීමට තිබෙන උවමනාවට වඩා ඔහුට ඔබ සමග මිතුරු වීමේ ආශාව බලවත් බව මතක තබාගන්න. ඔවුනට නිතරම කරුණාවෙන්, ආදරෙයෙන් සලකන්න එවිට ඔවුන්ගේ ආදරය ඔබට ලැබේවි.








Sunday, December 12, 2010

දෙවන ලෝක යුද්ධය ගැන පසු වදනක්


දෙවන ලෝක යුද්ධය වනාහී මිනිස් ඉතිහාසය තුල සිදුවුනු ඉතාම දරුණු සංග්‍රාම වලින් එකක්. එංගලන්තය, ඇමෙරිකාව, රුසියාව ඇතුලු මිතුරු පාර්ශවය හා ජර්මනිය ඉතාලිය ජපානය ප්‍රමුඛ සතුරු පාර්ශවය යනුවෙන් කල්ලි 2 කට බෙදී සිදුවුනු මෙම සටන නිසා මිලියන ගනනක් ජනතාව මරණයට පත්වුණි. දෙවන ලෝක යුද්ධයේ බිහිසුනු මතකයන් අද පවා බෙහෝ දෙනෙක් තුල රැඳී තිබේ. මේ මහා යුද්ධයට තුඩු දුන් කාරණා බොහොමයක් අද වියැකී ගොස් ඇති නමුදු මෙහි ප්‍රතිඵලය වෙනස් වීමට බොහෝ ඉඩ තිබුනු බව නම් පැහැදිලිය.


හිට්ලර් ප්‍රමුඛ සතුරු පාර්ස්චවය යුද්ධය පරාජය විම කෙරෙහි බලපෑ සාධක රාශියක් තිබේ. මූලික වශයෙන් ඒවා දේශපාලනික, උපක්‍රමික හා තාක්ශනික වශයෙන් කොටස් 3 කට බෙදා දැක්විය හැක. මේවා එකිනෙක ගැඹුරුන් ඉදිරියේදී විස්තර කෙරෙනු ඇත.

දේශපාලනික වශයෙන් සලකා බැලූ විට දෙවන ලෝක යුද්ධයේ අරමුණ ඉතාම වැරදි සහගත හා අමන ක්‍රියාවකි. එය කිසිසේත්ම ප්‍රායෝගික නොවන අරමුනක්. නව පාලන තන්ත්‍රයක් (තුන්වන රාජ්යය.) වසර 1000 ක් පවතින ලෙස නිර්මාණය කිරීමටත් වඩා සතුරු පාර්ස්ච්වීය නායකයන්ගේ අරමුණ වී තිබුනේ යුදෙව්වන් සමූල ඝාතනය කිරීමටයි. යුද්ධ කිරීම හා යුදෙව්වන් සමූල ඝාතනය කිරීම යන ක්‍රියා මාර්ග දෙකම එකවිට කරන්න යාම නිසා නිකරුනේ ජාත්යන්තර අරගල වලට ජර්මනිය තල්ලු වී ගියේය.

සත්යය නම් යුදෙව්වන් සමූල ඝාතනය කිරීම ඉතාම සූක්ෂමව කිරීමට හිට්ලර්ට හැකියාව තිබූ බවයි. තුන්වන රාජ්ය සංකල්පය මුල්බැසගත් නාසි ආන්ඩුවට ජාත්යන්තරය එරෙහි වුනේ යුදෙව්වන් ගැන අනුකම්පාවෙන් නොව නාසි ආන්ඩුව යුරෝපා බල තුලනයට බාධාවක් වීම නිසාය. ජර්මනියට ශක්තිමත් මිතුරු පාර්ස්චවයන් නොතිබීම අවසාන කාලයේ දී දැඩි අවාසි සහගත තත්වයක් නිර්මාණය කලා. නමුත් එංගලන්තය ප්‍රමුඛ මිතුරු පාර්ශවයට රුසියාව හා ඇමෙරිකාව වැනි ලෝක බලවතුන් රාශියක් හා බ්‍රිතාන්ය යටත් විජිත විශාල ප්‍රමාණයක සහය ලැබුනා.

යුදෙව් විරෝධී අප්‍රිකානු හා මැදපෙරදිග රටවල් වලින් නියමාකාරයට සහල ලබා ගැනීමට හිට්ලර් ට නොහැකි වුනා. මෙවන් තත්වයක් ඇති නොවීමට කළයුතුව තිබුනේ නාසි ආන්ඩුව බලයට පත්වූ විගසම ආසියා, අප්‍රිකා හා ලතින් ඇමරිකා රටවල් සමග වෙනම දේශපාලන බලමුලුවක් නිර්මාණය කරගැනීමයි. ස්වභාවයෙන්ම හිට්ලර් වනාහී සූක්ෂම දේශපාලනික ක්‍රියා වලට වඩා යුද්ධයට ප්‍රිය කල කෙනෙකි. නමුත් යුද්ධ කරනවාට වඩා වැඩි වාසියක් සාකච්චා මාර්ගයෙන් ලබාගැනීමට හැකි බව නාසීන්ට වැටහුනේ ඔවුන්ගේ විනාශයේ අසබඩයි. එවිට දේශපාලන විසඳුමකින් පලක් නොවේ.

මිනිස් බලයෙන් හා සම්පත් වලින් අනූන ඉන්දියාව හා චීනය වැනි රටවල් කෙරෙහි හිට්ලර්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් ජර්මනියට සතුරන් කිහිපදෙනෙකු සමග ඒකවිට සටන් කිරීමට සිදුවිය. ඉතාලිය හා ජපානය පමනක් නොව සතුරු පාර්ස්චවයට ලතින් ඇමෙරිකාව, චීනය, අප්‍රිකාව වැනි ප්‍රදේශ වල සහය ලැබුනා නම් ලෝක ඉතිහාසය සහමුලින්ම වෙනස් වනු නොඅනුමානය.

සතුරු පාර්ශවයට බාහිර දේශපාලනික අර්බුධ පමනක් නොව අභ්යන්තර අර්බුධ පවා නොඅඩුව තිබිණ. මූලික වශයෙන් ඒක කේන්ද්‍රීයව නාසි පක්ශයේ බලය පැතිරීම හේතුවෙන් නායකත්වය කෙරෙහි සතුරන් වැඩිවීමක් පෙන්නුම් කෙරුනා. නායකත්වය කෙරෙහි මහජන අප්‍රසාදය වැඩිවීමද වේගයෙන් සිදු වුනා. හිට්ලර්ව ඝාතනය කිරීමට නාසි පක්ශය තුලින්ම උත්සාහයන් දැරීමද අමතක නොකල යුතුය.

යුද උපක්‍රම අතින්ද ජර්මනියට කොතරම් වාසි සහගත වුවද ඒවයින් නිසි ප්‍රයෝජන ගන්නට සමත් පාලකයන් නොසිටියහ. නමුත් අවාසිය වාසියක් කරගනිමින් දක්ෂ ලෙස යුද්ධය මෙහෙය වූ මොන්ටිගොමරි, පැටන්, අයිසන්හවර් වැනි යුද නායකයන් සිටීම නිසා මිතුරු පාර්ශවයට සීමිත වාසි සහගත අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකිවිය.
දෙවන ලෝක යුද්ධයේ සතුරු පාර්ශවය කල බරපතලම යුධ උපක්‍රමික වැරදි 3 ක් ඇත. මූලිකම කාරණය වන්නේ පර්ල් වරායට බෝම්බ දැමීමයි. එය ඇමෙරිකාව නැමති නිදාසිටි යෝධයා අවධි කිරීමකි. මෙතෙක් කල් ආධාර සැපයීමට පමණක් සීමාවූ ඇමරිකාවේ යුධ දායකත්වය සක්‍රිය යුද්ධ ක්‍රියාමාර්ගය දක්වා වර්ධනය වුනේ මේ නිසාය.

දෙවැන්න නම් බ්‍රිතාන්යයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමයි. මාස කීපයක් තිස්සේ ගුවන් ප්‍රහාට එල්ල කරත් පලක් නැති නිසා හිට්ලර් විසින්ම මෙහෙයුම අවලංගු කර දැමීය. නමුත් හිට්ලර් නොදැන සිටි එක දෙයක් විය. එයම් රාජකීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තියයි. බ්‍රිතාන්ය යුද්ධයේ අවසාන භාගය වනවිට එය බරපතල ලෙස විනාශ වී තිබිණි. එක මොහොතක රාජකීය ගුවන් හමුදාව සතුව පැවතියේ ගුවන් යානා 150 ක් පමණයි. බ්‍රිතාන්ය යුද්ධ හමුදාව ද  දැඩි සේ දුර්වල වී ඇති මෙවැනි අවස්ථාවක ක්ශනික ප්‍රහාරයකින් බ්‍රිතාන්ය අධිරාජ්යය දනගැස්සවිය හැකිව තිබිණි. එසේනම් රෝම වරුන්ගෙන් පසුව බ්‍රිතාන්යය යටත් කරගන්නා එකම ජාතිය වීමටද ජර්මිනියට ඉඩ තිබිණ. දෛවයේ සරදමකට මෙන් හිට්ලර්ගේ වැරදි තීරණ නිසා අවසානයේ යුද්ධයේ වාසිය මිත්‍ර පාර්ශවය අතට පත්විය.

බ්‍රිතාන්ය යුද්ධය අතහැරීමෙන් නොනැවතී තවත් අමන ක්‍රියාවක් හිට්ලර් සිදු කලේය. ඒ බාබරෝසා මෙහෙයුම මගින් රුසියාවත් සමහ පැවති සාම ගිවිසුම ඒක පාර්ස්චවිකව කඩා දමා යුද්ධයකට මුලි පිරීමයි. බාබරෝසා මෙහෙයුමින් ජර්මනියට අන්ත පරාජයක් අත්විය. මෙතුවක් කල් යුද්ධයට සම්බන්ධ නොවී සිටි රුසියාව ජර්මනියට එරෙහිව යුධ වැදීම නිසා වසර දහසක් පවතින් ලෙස නිර්මාණය කල තුන්වන රාජ්යය වසර 5 ක් වැනි කාලයකදී විනාශ වීමට මුල පිරුණි.

මිත්‍ර පාර්ශවයට වඩා සිය ගුණයකින් තාක්ශනික අංශයෙන් ඉදිරියට ගොස් තිබුනද ඒවා නියමාකාරයෙන් කළමනාකරණය කරගැනීමට ජර්මානුවන්ට නොහැකි විය. ලෝකයේ පළමු බැලස්ටික් මිසයිලය හා පලමු පරමානු බෝම්බ ආකෘතිය නිපදවූයේ ජර්මානුවන් වග අමතක නොකල යුතුයි. නමුත් සාර්ථක තාක්ශනයක් වැඩිදුර නිපදවනවාට වඩා ජර්මානුවන් සිදු කලේ අසාර්ථක නිර්මාණ රාශියක් ගැන පරීක්ෂණ සිදු කිරීමයි. යුද්ධ කාලයේ අනවශ්ය පරීක්ෂණ වලට මුදල් හා කාලය නාස්ති කරනවාට වඩා එවකට පැවති සාර්ථක අවි ආයුධ මහා පරිමාණයෙන් නිපදවීම සිදුකිරීමට තිබුණි.

වසර ගනනක් පැරණි ME 109 ප්‍රහාරක ගුව්න් යානය වැඩිදියුනු කිරීම, Tiger සහ Panzer යන යුද්ධ ටැංකි ඉක්මනින් නිපදවීම, MP 44 ප්‍රහාරක අවිය මහා පරිමානයෙන් නිපදවීම සහ පරමාණු බෝම්බ තාක්ෂණය වැඩිදියුනු කිරීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් පහසුවෙන් යුද්ධයේ ගමන්මග ජර්මානුවන් වෙත හරවා ගැනීමට හැකියාව තිබුනත් එය සිදු නොවුණි.

අවසාන වශයෙන් කිව හැක්කේ ජර්මනියට යුද්ධයෙන් ජයගැනීමට සෑම විටම මාවතක් විවර වී තිබුනු බවයි. නමුත් නියමිත සැලසුමකින් තොරව යුද්ධයට අවතීර්ණ වූ නිසා ඒ අවස්ථා සියල්ලම මගහැරුණු බව නම් කිවයුතුය

Friday, December 10, 2010

කාල කළමනාකරණය.


කාලය රන් හා සමානයි කියා පැරණි කියමනක් ඔබ අසා ඇති. තමන් කොතරම් ප්ර්වේසම් වුවත් ගිලිහී යාමට වඩාත්ම ඉඩ ඇති වස්තුවද කාලයයි. එය නිසි පරිදි යොදාගැනීම අපි සෑම දෙනටම වැදගත් වේ. ඔබ බහුජාතික සමාගමක විධායක නිලධාරියෙක් වන්නට පුලුවන්. එසේත් නැත්නම් තවම අධ්යාපනය ලබනවා වන්නට පුලුවන්.  මේ සෑම දෙනාටම තම ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අනිවාර්යයෙන්ම පුරුදු පුහුනු කලයුතු දෙයක් තමයි කාල කළමනාකරණය.

අප සාමාන්ය භාවිතයේදී කාල කළමනාකරණය ලෙස හැඳින්වුවද, කාලය වනාහී පාලනය කල හැකි දෙයක් නොවේ. දිනකට පැය 24 ක් ඇති බව හා එය නොවෙනස් වන බව අපි දනිමු. එසේනම් වෙනස් කල හැකි එකම දෙය වන්නේ අපේ චර්යා රටාවයි. එසේ නම් කාල කළමනාකරණයේ මූලිකම හරය වනාහී කෙටි කාලයකින් උපරිම වැඩ කොටසක් කීඊම සඳහා අපේ චර්යාවන් වෙනස් කර ගැනීම වේ.

කාලය කළමනාකරණය කිරීමටත් පෙර සිටම කල යුත්තේ තමන් කාලය අපතේ යවන අවස්ථා හඳුනා ගැනීමයි. ඔබ කරන කාර්යය  සඳහා අනවශ්ය ලෙස කාලය වැය වනවාද, නොවැදගත් දේවල් වලට ඔබ කාලය නිකරුනේ විනාශ කරනවාද යන ගැටලු වලට පිලිතුරු සෙවීමට උත්සාහ කරන්න. දවසේ සිදුකරන සියලුම වැඩකටයුතු ගැන මනා අවබෝධයක් තිබීමෙන් තමන් කරන නොවැදගත් දේවල් හා වැදගත් දේවල් අතර ඇති වෙනස් මනාව හඳුනාගැනීමට හැකි වනු ඇත. මෙය කාල කළමනාකරණය සඳහා ඇති මූලිකම පියවරයි.

කාලය අපතේ යන වැඩකටයුතු හඳුනා ගත් පසු ඒවා වලට නැවතීමේ තිත තැබීමට සැලසුම් කිරීම අවශ්යයි. උදාහරණයකට ඔබ රාජකාරි කරන වේලාවේදී පුද්ගලික දුරකථන පනිවිඩ ලබාගන්නවානම් එය නැතිකිරීම සඳහා ඉලක්කයක් තබාගන්න. " මම මෙතැන් පටන් සතියක කාලයක් අනවශ්ය දුරකථක ඇමතුම නොගනිමි" වැනි ඉලක්කයක් මූලික අවධියේ ප්‍රමානවත් ය. එය සාර්ථක වී නම් ඉලක්කයේ කාල පරාසය වැඩි කරගන්න.  සතියක් අනවශ්ය දුරකථක ඇමතුම් ලබාගැනීමෙන් වැළකුනා නම් එම කාලය සති 2 ක් දක්වා වැඩි කර ගන්න. මේ ආකාරයට දවසේ පැය 24 තුල අප විනාශ කරන කාලය එක් ‍රැස් කරගත හැක.

කාලය කළමනාකරණය කිරීමට සාමාන්ය පුදගලයෙකුට නම් දිනපොතක් හෝ Time Planner උපකරණයක් අවශ්ය නොවනු ඇත. නමුත් කාලසටහනක් පාවිච්චි කිරීම ඉතා වැදගත් වේ. තම තමන්ගේ තත්වයට අනුව කාල සටහන වෙනස් වේ. ශිෂ්යයෙකුට නම් තමන්ගේ කාලසටහනේ වැඩිම කාලයක් වෙන්කල යුත්තේ ඉගෙනීමේ වැඩවලටයි. විනෝදාත්මක වැඩ සඳහා යොදන කාලය හැකිතාක් අඩුකරමින් එම කාලය තුලත් තම් මූලික ඉලක්කය ජය ගැනීමට වැඩ කිරීම තුලින් ඉගෙනීමේ හෝ ‍රැකියාවේ සාර්ථකත්වය කරා ලඟාවිය හැක. කාල සටහනේ සමාජ කටයුතු වලට ඉඩක් වෙන් කර ගැනීම ඉතාම වැදගත් වේ. මන්දයත් සමාජයත් සමහ වැඩ කිරීම එතරම් පහසු නොවූවත් එය අනාගතයට ආයෝජනයක් වන නිසාය. 

දිනය ආරම්භයේදීම තමන් කරන වැඩ කටයුතු වල ප්‍රමුඛතා ලයිස්තුවක් සාදාගන්න. උදහරණයකට ඔබට දිනකට වැඩකටයුතු 20 ක් සිදුකිරීමට තිබෙනවානම් ඒවායේ වැදගත්කම පදනම් කරගෙන ලයිස්තු ගතකරන්න.  එයින් ඇත්ත වශයෙන්ම සිදුකරගතයුතු කාර්යයන් කීයක් තිබෙනවාද ?  ඉතාම වැදගත් කාර්යයන් මුලින්ම සිදුකිරීම නිසා යම් හෙයකින් අනෙක් කාර්යයන්ට යම් බාධාවක් ඇතිවුවද එයින් වන හානිය අවම වේ. තවත් කාරණයක් නම් කිසි විටක වැඩ කල් නොදැමිමයි.

ඔබේ වැඩකටයුතු අනෙක් අය අතර බෙදාගැනීමට පුරුදු වන්න. නිවසේ හෝ කාර්යාලයේ හෝ වැඩ බෙදාගැනීම මගින් තමන්ගේ කාලය ඉතුරු වෙනවා වගේම වැඩ කීපයක් එක විටම නිමකිරීමටද හැක.

සෑම විටම කාලය අපතේ යන ස්ථාන වලදී කරන්නට යම් වැඩ කොටසක් සූදානම් කරගන්න. උදාහරණයක් ලෙස යම් ආයතනයකට ගියවිට තරමක් වේලා බලාසිටීමට සිදුවෙනවා නම් පෙතක් වැනි දෙයක් ‍රැගෙන යන්න. වැඩක් නොමැතිව කිසි විටකත් බලා නොසිටින්න. තමන් අධ්යාපනය ලබනවානම් කෙටි සටහන් වැනි දේවල් කියවීම පිනිස අපතේ යන කාලය කැප කරන්න.

අපට ජීවත් වීමට  ඇත්තේ කෙටි කාලයකි. ඒ කාලය තුල උපරිම වැඩ කොටසක් කිරීමට සෑම දෙනාම උත්සාහ කල යුතුය. ලෝකයේ සාර්ථකම පුද්ගලයාටත්, අසාර්ථකම පුද්ගලයාටත් තිබෙන්නේ දිනකට පැය 24 ක් පමණයි. නමුත් ඔවුන්ගේ සාර්ථක අසාර්ථක බවට හේතුව නම් කාලය ප්‍රයෝජනයට ගන්න ආකාරයයි.  ඔබේ තේරීම වන්නේ සාර්ථක ජීවිතයක්ද ? එසේ නම් මේ මොහොතේ සිටම කාලය කළමනාකරණය කරගන්න.

Friday, December 3, 2010

මුදල් ඉතිරිකර ගැනීම


වර්ථමානයේ ලෝකයේ ආර්ථික තත්වය ඉතාම නරක තත්වයකට වැටිලා කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑ. හැම කෙනාටම සල්ලි අතින් යම් යම් අමාරුකම් තියෙන කාලයක් මේක. ලංකාවට විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ දෙනෙකුට ආර්ථික අර්බුදය නිසා කරදර විඳින්න සිදුවෙලා තියෙනවා. සමහර අය රස්සා වලින් පාරට වැටෙනවා. ලංකාවේ විතරක් 50000 කට වඩා රැකියා (සියලුම අංශ වල.) ආර්ථික අර්බුදය නිසා නැතිවුනා කියලා පහුගිය කාලේ අහන්න ලැබුනා. එක අතකින් බඩුමිල අහස උසට යනවා.

ආන්ඩුව වගේම පෞද්ගලික අංශයත් විශාල පඩිවැඩිවීමකට ඉඩදෙන්නේ නැති නිසා දවසෙන් දවස ජීවත්වීම අමාරුවෙනවා කියලයි මගේ හැඟීම. මේ කාරණා කොහොම උනත් අරපිරිමැස්මෙන් කටයුතු කලොත් නම් කොච්චර ආර්ථික අපහසුකම් තිබුනත් තමන්ගේ ආදායම, වියදම හොඳන් පවත්වාගන්න පුලුවන් කියන එක නම් කියන්න ඔනේ.සුලු සුලු කාරණා වලින් උනත් මුදල් ඉතිරි කරගන්න පුලුවන්. පහත දැක්වෙන යෝජනා හැම කෙනාටම අදාල වෙන්නේ නැතිවුනත් බහුතරයක් දෙනාට කිසි අපහසුවක් නැතිව ක්‍රියාත්මක කරන්න පුලුවන්. ඒ වගේම ඒවා ගොඩක් දෙනෙක් සාර්ථක ලෙස අත්හදා බලලා තියෙනවා.

ඔයගොල්ලනුත් මේවා අත්හදා බලන්න. එතකොට ඔයාලගේ ජීවිතය ගොඩක් වෙනස් වේවි.
මුලින්ම ඔයාලගේ ජීවිතයේ ආශාවන් හා අවශ්යතාවයන් නියමාකාරයෙන් හඳුනාගන්න ඔනේ. ආහාර, ඇඳුම් වගේ දේවල් අනිවාර්යයෙන්ම අවශ්යයි. නමුත් විදේශ සංචාර, මිල අධික වාහන හා විනෝදාත්මක දේවල් නැතිවුනත් අපිට ජීවත් වෙන්න පුලුවන්. එහෙම ජීවත් වෙන එක යම් අපහසුවක් වුනත් දැනට තිබෙන ආර්ථික තත්වය නිසා ඒක වලක්වන්න බෑ. හැඟීම් පාලනය කරගැනීමයි ඉතාම අවශ්ය දෙය. වෙළඳ දැන්වීම වල කියන තාලේ අධිපරිභෝජනවාදී ආර්ථිකයක් කියන එක ෆැන්ටසියක් විතරයි. මිනිස්සුන්ගේ හැඟීම් කුළුගන්නලා කොහොම හරි තමන්ගේ භාන්ඩ විකුණාගන්නයි වෙළඳ ආයතන වලට ඔනේ. එවැනි දේවල් වලට අසු නොවී ඉන්න එක බොහොම වැදගත්.

සකසුරුවම් ලෙස ජීවත් වෙන්න නම් මුලින්ම ගෙදර අයවැය හදාගන්න ඔනේ. මාසයක කාලයකට ගෙදරට ආදායම ලැබෙන මාර්ගයයි වියදම් වෙන මාර්ගයයි නිස්චිතව දැනගෙන ඉන්න එක බොහෝම ප්‍රයෝජනවත්. හැමදාම තමන්ට වියදම් වෙන හැම සතයක්ම (හිඟන්නන්ට දෙන මුදල පවා) පොතක සටහන් කරන්න. මේ ක්‍රමය නිසා අපිට මාසයක් ඇතුලට තමන් වියදම් කරපු දේවල් වල වලංගු භාවය බලාගන්න පුලුවන්. මගේ ආච්චි අම්මා ඉස්සර ඉඳන්ම මෙහෙම ආදායම් හා වියදම් ගැන සටහන් තබාගන්නවා. ඇය ගෙන් ඒ පුරුද්ද මගේ අම්මාත් ඉගෙනගත්තා. මේ වගේ හොඳ පුරුදු පරපුරෙන් පරපුරට යන එක ඉතාම වටිනවා. මාසික වියදම් විස්තරයෙන් අපිට හොයාගන්න පුලුවන් අපි කරපු වැදගත් වියදම් මොනවාද, නාස්තිකාර වියදම් මොනවාද කියලා. ඒ වගේ වියදම් ඊලඟ මාසයේ නොකර ඉන්න අධිෂ්ඨාන කරන්න. මේ විදිහට ටික කාලයක් කරනකොට ඉබේටම ඉතාම අවශ්ය දේවල් වලට පමණක් වියදම් කරන්න පුලුවන්.

ණය කාඩ්පත් (Credit Cards) භාවිතය නතර කරන්න. ඒක කරන්න බැරිනම් තමන් නීතියක් හදාගන්න අත්යාවශ්ය දේවල් පමණක් ණය කාඩ්පතින් ගන්නවා කියලා. ඇත්තටම අපේ රටේ බොහෝදෙනෙක් ණය කාඩ්පත් වලින් තමන්ගේ සීමාව දන්නේ නැතිව වියදම් කරන්න ගිහිල්ලා අමාරුවේ වැටිලා තියෙනවා. මුලින්ම තමන්ගේ වැටුපේ ප්‍රමාණයට ණය සීමාව බැංකුව විසින් නීර්ණය කරත් කාලයක් යද්දී ණය සීමාව ඉහල දමන්නට ඔවුන් කටයුතු කරනවා. පොලියත් එකතු වෙන නිසා පහුවෙන කොට ලොකු අමාරුවක් වැටෙන්න පුලුවන්. මම ණය කාඩ්පත් ගැන වෙනම ලිපියක් ඉදිරියේ පලකරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ණය කාඩ්පත් වල හොඳ හා නරක ගැන කරුනු දක්වන්නම්.

සාප්පු සවාරි යන එක නතර කරන්න උත්සාහ කරන්න. ස්වයං පලනයක් නැති අය අතින් සාප්පු සවාරියේදී නිස්කාරනේ මුදල් වියදම් වෙන්න පුලුවන්. ඒ වගේම ගෙදරට එක එක බඩු විකුණන්න එක වෙළඳ නියෝජිතන්ගේන් ගැලවෙන්න ඉගෙනගන්න එක ලොකු දෙයක්. කොහොමත් අලවිකරණය ගැන හොඳ අත්දැකීම තියෙන වෙළඳ නියෝජිතයෙක් ගෙන් ගැලවෙන්න අපහසු වුනත් තමන්ට අවශ්ය දේවල් මොනවාද කියලා මුලින්ම තීරණයක් ගන්න. සෑම විටම වෙළඳ නියෝජිතයන්ව ප්‍රතික්ශේප කරන එකත් යහපත් දෙයක් නෙවෙයි. සමහර වෙලාවට ඔවුන්ගෙන් ඉතාම ලාබෙට අවශ්ය දේවල් ගන්නත් පුලුවන්.

අනිවාර්යයෙන්ම බඩු ගන්න යනකොට බඩු ලේඛනයක් (List එකක්.) හදාගෙන යන්න. ඊට පිටින් කිසිඳු දෙයක් ගන්න එපා. ගෙදර මුලුතැන්ගෙයට අවශ්ය දෙවල් වල inventory record එකක් තබාගන්න. මාසයටම එකම මොහොතක බඩු ගන්න. තොගයට බඩුගන්නකොට සමහර වෙළඳ ආයතන වල යම් මිල අඩුකිරීමක් කරන බව අමතක කරන්න එපා.

ජලය, විදුලිය දුරකථන හා අන්තර්ජාල බිල්පත් හැකිතරම් අඩුකරගන්න උත්සාහ කරන්න. විදුලි බුබුලු හැකි සෑම තැනටම යොදන්න. දැන් LED විදුලි බුබුලු වෙළඳපොලට පැමින තිබෙනවා ඒවායින් විදුලිය වැයවීම අඩුයි වගේම වැඩිකාලයක් පවතිනවා. පුලුවන් හැම වෙලාවකම අනවශ්ය දුරකථන ඇමතුම් ගන්න එක සීමාකරන්න. අන්තර්ජාල පහසුකම් තිබෙනවානම් Skype වැනි සේවාවක් භාවිත කර පිටරට ඇමතුම් ගැනීම මගින් මුදල් විශාල ප්‍රමානයක් ඉතිරි වෙනවා. අන්තර්ජාල සම්බන්ධය ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා. ලංකාවේ පවතින සම්බන්ධතා ගැන නම් කිසිසේත්ම සතුටු වෙන්න බෑ. තමන්ට අවශ්ය අන්තර්ජාල පැකේජය තෝරගන්න. සමහර වෙලාවට විනෝදාත්මක කටයුතු අමතක කරලා මිල අඩු පැකේජයකට මාරුවීමේ හැකියාව ගැනත් සලකා බලන්න.

හැම වෙලාවකම කෑම ගෙදරම හදාගන්න බලන්න. පිරිසිදු කම වගේම ඒක පොකට් එකටත් වාසියක්. ක්ෂණික ආහාර වලට කවදාවක් හුරුවෙන්න එපා. ඒවා වලින් සිරුරට වන හානිය බොහොමයි.

අරපිරිමැස්මෙන් කටයුතු කිරීම හැම අතින්ම හොඳයි. තමන්ගේ පඩියෙන් හැම මාසයකටම කීයක් හරි ඉතුරු කරන්න බලන්න. අපේ ජීවිතයේ වටිනාම පුරුද්ද තමයි ඉතිරි කරන එක. කොහොම උනත් කුනු ලෝභයෙක් වගේ ඉන්න කියන එක නෙවෙයි මම මේ ලිපිය මගින් අවධාරණය කලේ. ආදායම් හා වියදම් සමබරව තියගෙන ඉන්න එක මිනිසෙකුට මේ ජීවිතයේ ලබන්න පුලුවන් ඉහලම සතුට කියලත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක නිසා හරි ආකාරයේ මුදල් පාලනයක් තියාගෙන තමන්ගේ ජීවිතය ගතකරන්න කියලා මම අවසානයේ ඔබලාගෙන් ඉල්ලනවා


Wednesday, December 1, 2010

වෙහෙසී වැඩකරමු


විපක්ශයේ එක්තරා මන්ත්‍රීවරයෙක් ගෙනා යෝජනාවක් ඇසුරුන් මේ ලිපිය සම්පාදනය කිරීමට මට සිතුනි. එම යෝජනාව නම් ලංකාවේ නිවාඩු ගනන අඩුකර වැඩකරන පැය ගණන වැඩි කිරීමයි. එයින් ලංකාවේ අනාගතයට හා ආර්ථික වර්ධනයට ඇතිවන යහපත් ප්‍රතිඵල ගැන එම යෝජනාව ඉදිරිපත් කල මන්ත්‍රීවරයා කරුණු දැක්වුවේය. එතුමා අතීතයේ කල කී දේවල් කෙසේ වුවත් ඉහත යෝජනාව ඉතා වැදගත් මෙන්ම කාලෝචිත එක්ක බවත් කිවයුතුය.

රටක් දියුනු වන්නේ එම රටේ වටිනාම සම්පත වූ මිනිස් සම්පත නිසිපරිදි කළමනාකරණය කරගෙන ඔවුන් ජාතික ශ්‍රම බලකායට ඇතුලු කරගැනීම මගින්. කාර්යශූර ජනතාවක් සිටින රටකට අනිවාර්යයෙන්ම දියුනුවීමේ මංපෙත සලසා ගතහැක. අද අපේ රටේ මූලිකම ගැටලුවක් වෙන්නේ අකාර්යක්ෂම බවයි. රාජ්ය අංශය මින් ප්‍රධානය. රාජ්ය ආයතන වල තිබෙන වැඩකොටස් නිමකිරීමට සමහරවිට වැඩි කාලයක් ගතවේ, ඉතා සුලු වැඩක් කරගැනීමටත් බොහෝ වෙලා රස්තියාදු ගැසීමට සිදුවේ. නියමිත වේලාවට වැඩනොකිරීම මෙන්ම තමන්ගේ තමන්ගේ නියමිත පැයගනන වැඩ නොකිරීමද තවත් දුර්වලතාවයකි.
සාමාන්යයෙන් පැය 8 ක් වන රාජ්ය සේව කාලය තුල කරන්නට බැරිතටම් වැඩකොටසක් රාජ්ය ආයතන වල තිබේ. ප්‍රාදෙශීය ලේකම් කාර්යාල වල, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ථමේන්තුව හා සමහර රාජ්ය බැංකු ආදියේදී වැඩ කල් දැමීමට බොහෝදෙනා ක්‍රියා කරයි. එය ජාතියේ අවාසනාවකි. ජාතියක් වශයෙන් ගතහොත් අපි කම්මැලි ජාතියකි. වෙහෙස වී වැඩකිරීමට මෙන්ම රටේ අනාගතයට තම ශ්‍රමය වැයකිරීමට හැකි අය වෙතොත් ඒ සුලු පිරිසකි. නිලධාරීවාදයෙන් ඔද්ද්ල් වුනු රාජ්ය සේවකයා බොහෝ විට තමන්ට නියමිත වැඩකොටස අවමයෙන් ඉටුකර විවේකය ලබාගැනීමට මහත් ගිජුකමත් දක්වයි.

රාජ්ය අංශයේ තරම් නොවූවත් අනාගතයේ ආයෝජන ඉල්ලුම හා ව්යාපාර වල පිබිදීම හමුවේ ඊට ගැලපෙන ලෙස තම ආයතන වල කාලය වෙනස්කර ගැනීමට බොහෝ සේවාදයකයන් අකමැතිය. දියුනු රටවලට සාපෙක්ෂව අපේ රටේ සතියකට පුද්ගලයෙක් වැඩකරන පැය ගනන ඉතා අඩුය. ජපානය හා කොරියාව වැනි රටවල සේවකයෙක් සතියකට පැය 55-60 අතර ප්‍රමාණයක් සේවයී නියුතු වේ. ජපානය දියුනු වූයේ එරට ජනතාව තුල පැවති නොපසුබටව වැඩකිරීමේ ගුණය බව බොහෝ දෙනෙක් විශ්වාස කරන කරුණක්.

වැඩකරන අවම පැය ගණන 8 සිට 10 දක්වා වැඩිකිරීමෙන් හා සෙනසුරාදා දවස සාමාන්ය සතියේ දවසක් මෙන්ම මූලය හා වෙළඳ කරටුතු වලට යොදාගැනීමෙනි. එවිට ලංකාවේ ඒක පුද්ගල වැඩකරන පැයගණන 40 සිට ඉදිරියට වැඩිකරගත හැක. රාජ්ය ඉකමනින් මෙන්ම විශාල ලෙස ඉටුකර ගැනීමට මෙය හෙතුවනා නොඅනුමානය, රාජ්ය බැංකුවල මූල්ය කටයුතු වෙනදාට වඩා වැඩිකාලයක් පවත්වා ගැනීමෙන් මූල්ය වෙළඳපලෙන් නිසි ප්‍රයෝජනය ගත හැක.

පෞද්ගලික අංශය මගින් මෙය බොහෝ හොඳින් ඉටුකෙරුනද රාජ්ය සේවකයාගෙද සුභසාධනය ගැන එතරම් තැකීමට දක්වන්නෙ නැහැ. නමුත් සේවා ස්ථානය යහපත් හා ප්‍රියමනාප තැනක් කිරීමට කරනා ආයෝජනයට සාපේක්ශව ඉතා වාඩිදායී ප්‍රතිඵල ලබාගත හැක.

ජනතාව වශයෙන් අපි අපේ ආකල්ප වෙනස්කරගත යුතුයි. රට ගැන සිතා මෙන්ම තමාගේ අනාගත යහපත ගැන සිතා වැඩියෙන් වැඩකිරීමට අපි සූදානම් විය යුතුයි. අපිට යම යම් පෞද්ගලික වාසි හා විවේකය කැපකිරීමට සිදුවෙන එක සතයයක්. නමුත් ඒ සියල්ල විඳදරාගෙන කැපවීමෙන් යුතුව වැඩකරන එක ඉතාම වැදගත් කාරණයක්. එවිට තමයි අපි සිතන පතන ලස්සන දෙශය ගොඩනැගෙන්නේ.

Tuesday, November 30, 2010

ශිල්ප සොඳින් ගෙන



අධ්යාපනය ලැබීම අපි උපතේ සිට මරණය දක්වාම සිදුකරමු. නමුත් විධිමත් පාසල් අධ්යාපනයක් අවුරුදු 13 ක් හා උසස් අධ්යාපනයක් ඉන්පසුවද සාමාන්ය පුදගලයෙක් ලබනවා. රටෙන් රටට මෙය සුලු වශයෙන් වෙනස්වීමට හැක. විධිමත් අධ්යාපනයට වඩා අවිධිමත් අධ්යාපනය තුලින් ගතහැකි දේවල් බොහෝමයක් තිබුනත් තම රැකියාවට පාසල තුලින් හා උසස් අධ්යාපන ආයතන වලින් ලබන දැනුම මහත් පිටිවහලක් වෙනවා. රජය විසින් අනිවාර්යයෙන්ම අධ්යාපනය ලැබිය යුතු වයසක් නීර්ණය කිරීම හා නොමිලයේ අධ්යාපනය ලබාදීම නිසා අනෙකුත් රටවලට වඩා අපේ රටේ සාක්ෂරතාවය ඉතා වැඩිවී ඇත. නමුත් සාක්ෂරතාවයේක් පමනක් රටේ ජනතාවගේ බුද්ධිමත් භාවය මැනීමට නුපුලුවන. සාක්ෂරතාවය හෙවත් අකුරු ලිවීමෙ එ හා කියවීමේ හැකියාව නිර්මාණාත්මකව යොදාගත්තොත් පමණයි නියම බුද්ධිමතුන් බිහිවෙන්නේ.

අද රටේ දරුවන්හට අධ්යාපනයෙන් තොර අනාගතයක් නැතිබව පෙනීයයි. ගොවියාගේ පුතා ගොවිතැන් නොකිරීමත් කරණවෑමියාගේ පුතා එම වෘත්තිය නොකිරීමත්, ඒ වෙනුවට දොස්තරවරු, ඉංජිනේරුවරු ආදී සමාජයේ වැඩි පිළිගැනීමක් තිබෙන රැකියාවන් වලට යොමුවීමත් දක්නට හැක. ඉහත දැක්වෙන ආකාරයේ රැකියාවන් කිහිපයකට හැර අනෙකුත් රැකියාවලට ඇති සමාජ පිළිගැනීම හා මූල්යමය වටිනාකම නොමැතිවීම මීට බලපාන ප්‍රධානතම හේතුවයි. සෑම රැකියාවකටම සමාන ලෙස සලකන සමාජයක් සෑදීමට තවම නොහැකිවීම නිසා සමාජය පිලිගත් වටිනාකමත් තිබෙන රැකියාවක් කෙරෙහි ඉලක්කයක් තබාගැනීම හා එයට අනුව ඉගෙනුම් කාර්යය සකසා ගැනීම ඉතා වැදගත් වේ.

තමන් ඉලක්ක කරගත යුත්තේ කවර රැකියාවක්ද යන්න මුලසිටම ළමා මනසේ පැලපදියම් කිරීම ඉතාමත් අවශ්ය වේ. කුඩා කාලයේ සිටම මෙවැනි බරපතල ඉලක්ක වැනි දේවල් කුඩා ලමයාගේ මනස තුලට ඇතුලු කිරීම හානිකර බවට සමහරු තර්ක කරත් ලමයාගේ අනාගතයට දැන්ම සූදානම් කිරීම ඉතාම ඵලදායක වේ. දෙමව්පියන් වටහාගතයුතු කාරණය වන්නේ ඔවුන් ජීවත්වූ ළමා කාලයට වඩා දැන් පරම්පරාව අත්විඳින ලමා කාලය සම්පූර්ණයෙන්ම වෙනස් බවයි. ලෝකය තරඟකාරී වී තිබේ. තරඟයෙන් පැරදෙන අයට විනාශය නියතයි. මෙමේ තරඟයෙන් පලායාමට වඩා එයට මුහුන දීමට දරුවා හුරුකරන්න. කුඩාකාලයේ දීම දැඩිලෙස ඉගනීමේ යොදවා ඔවුන්ගේ ලමාකාලය අහිමිකරනවා කියා සමහරෙක් කියන්නට පුලුවන්. දරුවාගේ විනෝදාත්මක කටයුතු වලට යොදන කාලයෙන් යම් කැපකිරීමක් කිරීමට සිදුවුනත් ඒ කාලය නිසිපරිදි ඉගෙනීමට යොදාගැනීම තුලින් අනාගතයට වැඩදායක කරගත හැක.

කුඩා දරුවන් පසුපස දෙමව්පියන් සෑම විටම ඉගෙනුම් කාර්යය තුල සිටිය යුතු වුවත් ද්වීතීක අධ්යාපනයේ දී හා ඉන් ඔබ්බට එවැනි දෙයක් අවශ්ය නොවේ. දෙමව්පිය ආරක්ශාව හා රැකවරණය අනිවාර්යයෙන් අවශ්ය වුවත් ළමයාට තමන්ගේ ඉගෙනීම ගැන වගකීම පැවරිය යුතුය. මේ කාලයේදි ළමයෙකුගේ සියලුම කාලය ඉගෙනීමට වැයකලයුතුය. කොතරම් රසවත්ව විශය කරුනු ග්‍රහණය කරගැනීමේ හැකියාව තිබුනත් ඉගෙනීමට අධික වෙහෙසක් හා පීඩනයක් මතුවීම ස්වාභාවිකය. "ඉගෙනීම කටු අත්තකි, එහි ඵලය මල් ඉත්තකි" යන කියමනට අනුව අනාගතයේ හොඳ තත්වයට පත්වීමට වර්ථමානයේ අසීරු අවස්ථාවලට මුහුන පෑමට පුරුදු විය යුතුය.  මේ කාලයේදී ප්‍රේම සම්බන්ධතා, අනවශ්ය කල්ලි ගැසීම යන දේවල් වලට පුරුදු නොවී යහපත් මිතුරන් ආශ්‍රය කරමින් ඉගෙනීමට වීර්ය කිරීම අනිවාර්ය වේ. සාමාන්යපෙළ හා උසස්පෙළ යන කඩඉම් ඉහලින්ම සමත්වීම ඔබ සැමගේ තිර අධිෂ්ඨානය විය යුතු වේ.

උසස් අධ්යාපනයේ සීමා මායිම් නොපවත්වා ගතයුතුවේ. "ලද දෙයින් සතුටුවීම" නැමති ගුනාංගය ඉගෙනීමට අදාල කරගත යුතු නැත. "උගතමනා ශිල්පය මයි මතු රැකෙනා" වෙනුවට "මතු රැකෙනා ශිල්පය මයි උගතමනා" යන්න අද ලංකාවේ පමණක් නොව ලොව පුරාම ප්‍රචලිත වී තිබේ. තමාග අනාගත රැකියාවකට යාමට අවශ්ය කුසලතා වර්ධනය කරගැනීමයි කලයුත්තේ. උපාධියට අමතරව වෙනත් අංශ වලින් පරිණතභාවය ලබාගැනීම ඉතාම වැදගත්. එය වැඩි පඩි ලැබෙන සමාජ පිළිගැනීම වැඩි රැකියාවකට මග පාදා දෙයි. විශ්ව විද්යාලයේ සිටිනා කාලයේදීම සුලු රැකියාවල නිරතවීමේන් බාහිර පාඨමාලා හැදෑරීමට මුදල්ද ලබාගත හැක.

ඉගෙනීම තරම් දුශ්කර දෙයක් තවත් නැත. නමුත් එයින් ඔබේ ජීවිතයට ලැබෙන ආලෝකය කියා නිමකල නොහැක. වසර 100 ක් යහතින් සිටීමට වසර 10 ක් මහන්සිවී වැඩකරන්න කියා මාවෝ සේතුන් කීවේ එබැවිනි. එමනිසා ඔබට ඉගෙනීමෙන් තොර අනාගතයක් නැති බව සිතා කල් නොයවාම ධෛර්යවන්තව ඉගෙනීමේ යෙදෙන්න. 



Thursday, November 25, 2010

අනිවාර්ය යුධ සේවය (Conscription)ලංකාවේ ඇතිකරමු


මාගේ බ්ලොග් අඩවියේ මූලික නීතියක් ලෙස දේශපාලනික කාරණා ගැන ලිපි ලිවීම නොකරයි. මගේ කිසිඳු දේශපාලන බලවේගයකට සහය දීමක් නැත. එම නිසා පහත ලිපිය දේශපාලන පදනමකින් තොරව කියවීම තුලින් මෙහි හරය නිසි ලෙස ග්‍රහනය කරගත හැකි බව සලකන්න.

අනිවාර්ය යුධ සේවය (Conscription) ලොව බොහෝ රටවල් වල තිබෙන දෙයක්. සියලුම පුද්ගලයින් යම් වයසකට පත්වූ පසු අනිවාර්යයෙන්ම රටේ හමුදාවට, පොලීසියට හෝ වෙනත් රජය මගින් ක්‍රියාත්මක වෙන පැරාමිලිටරි ආයතනයකට යම කාලයක් සේවය කිරීම එයින් හැඳින්වේ. ලංකාවේ අතීතයේ තිබුනේත් එවැනි සේවයක්. රටේ සියලුම පුරවැසියන් රටට සේවය කිරීමත්, යුද්ධ කාලයක සියලු දෙනා එක්වී සටන් කිරීමත් ආරම්භයේ සිටම පැවතුනා. නිත්ය යුධ සේවයක් පැවතියේ බොහෝ කලකට පසුයි.ලෝකයේ බලවත් ජාතීන්ට මෙරට යටත් කරගැනීමට ඉතා අපහසු වුනේ මේ හේතුවෙන්.

ඊට බොහෝ කලකට පසු අපේ රට දැන් පැමින සිටින්නේ එවන් යුගයකට. රටේ අභ්යන්තර තර්ජන බොහෝමයක් අවසන් වූ නමුත් නැවත ත්‍රස්තවාදයේ නැගිටීමක් ඇතිවිය හැක. රටේ අසමගිය වැඩිවී එකිනෙකා කුලල් කා ගන්නා තත්වයකට රට පැමින ඇත. දූශනය, භීෂණය ඉහවහා ගොසිනි. එමෙන්ම තම යුතුකම් ඉටුකිරීම, නීතිගරුක වීම, වැඩිහිටියන්ට ගුරුවරුන්ට හා සමාජයේ වගකියයුත්තන්ට ගරුකිරීම, මනා විනයක් පවත්වා ගැනීම වැනි කාරණා වලින් අප සමාජය (විශේෂයෙන්ම තරුණ පරපුර.) ඈත්වී තිබේ.

රටට ආදරය කරන අභියෝග හමුවේ නොසැලෙන එඩිතර ජනතාවක් වෙනුවට අපට ඉතිරිව ඇත්තේ. සිහින ලෝකවල කිමිදෙන තම අපේක්ෂා ඉටුකරගැනීමට උකටලී වෙන කම්මැලි නිහීන පිරිසකි. අපේ රටේ අනාගතයට මෙවන් පිරිසකගෙන් සිදුවන විනාශය ගැන කීමට අටුවා ටීකා අවශ්ය නැත. රටට වන හානිය වලක්වා ගැනීමට ශක්තිමත්, රටට ආදරය කරන විනයගරුක ජනතාවක් රටේ ඇතිකිටීම අනිවාරය වේ.

oකාවට අනිවාර්ය යුධ සේවය වැදගත් වන ආකාරය මීලඟට සලකා බලමු. මෙමගින් රටට මෙන්ම තරුණ පුද්ගලයින්ට මගඟු සෙතක් සැලසෙනවා. සෑම දෙනාටම තමන්ගේ නායකත්ව කුසලතා, සන්නිවේදන කුසලතා වැඩිදියුනු කරගැනීමට හැකියාව ලැබෙනවා එමෙන්ම පිරිසක් සමග වැඩකරන්නේ කෙසේද යන්න ගැන කියමාකාර පුහුනුවක් මෙමගින් ලබාගන්න පුලුවන්.  ශාරීරික හා මානසික යෝග්යතාවය තවත් එක් යහපත් කාරනාවක්.  යුධ සේවයෙන් ලැබෙන සියලුම කුසලතා අනාගතයට ඉතා වැදගත්. හොඳින් අනිවාර්ය යුධ සේවය සම්පූර්ණ කලවිට පරිපූර්ණ මිනිසෙක් ගොඩනැගෙනවා. කිසිඳු වේදනාවක් දරාගන්නට බැරිව දුක් විඳින්නට නොහැකි තමන්ගේ අහියේග වලට බියවන බෝනික්කන් වැනි තරුණ පිරිසක් බිහිකරනවාද  නැතහොත් කලින් සඳහන් කල ආකාරයේ පරිපූර්ණ මිනිසෙක් බිහිකරනවාද කියා සිතීමට ඔබට බාරයි.

මෙම යුධ සේවයට සියලුම ජාතීන්ට පැමිනීම අනිවාර්ය කරන නිසා සියලුම දෙනාට තමන් ලාoකිකයන් ලෙස සිතා ජාති බේද දු‍රැලීමට අවස්ථාව ලැබෙනවා.  මෙම යුද්ධ පුහුනුව මහින් තම කායික හා මානසික යහපැවැත්ම තීරනය වනවා වාගේම වාරශිකව හෝ මාසිකව පවත්වන පුහුනු මගින් (Boot camps) ශාරීරික යෝග්යතාවය සදාකාලිකවම පවත්වා ගැනීමට හැකිවනවා.
 
මා මුලින් සඳහන් කල ආකාරයට අනිවාර්ය යුද්ධ පුහුනුව යනු ආයුධ පුහුනුව ලබාදීම පමනක් නොවේ. මනා විනයක් ඇතිකිරීම එහි එක් අoගයක්. විනය නියමිත පරිදි ඇති නිසා තමන්ගේ පුහුනුව වැරදි ආකාරයට භාවිත කිරීම වැලකෙනවා. එමෙන්ම ආයුධ සoසරණය සීමා කිරීම මගින් වඩා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරගත හැක.

අනිවාර්ය යුද්ධ සේවය (ජාතික සේවය යන්න වඩා ඵලදායි යෙදුමකි) තුලින් ප්‍රතමාධාර පුහුනුව, ආත්මාරක්ශක පුහුනුව, පාරිසර සoරක්ෂණය වැනි දේවල් ගැන දැනුම් සම්භාරයක් තමාට ලඟාකරගත හැක. එමෙන්ම ආපදා අවස්ථාවලදී කිසිඳු බියක් සැකකින් තොරව එයට මුහුන දීමට මෙම ජාතික සේවක පිරිස යොදාගත හැක. පරිසර සoරක්ෂණය, සමාජ සේවා කටයුතු ආදියට මෙවන් පිරිසකගෙන් ගතහැකි සහය නිමකල නොහැක. අනාගත ‍රැකියා වෙලඳපලට සරිලන කායික හා මානසික වශයෙන් ශක්තිමත් ජනතාවක් මේ ආකාරයෙන් නිර්මාණය කරගත හැක. අවoකත්වය තම වගකීම නිසිලෙස ඉ‍ටුකරන ශ්‍රම බලකායක අවශ්යතාව මෙමගින් සම්පූර්ණ කරගත හැක.

ජාතියක් වශයෙන් බොහෝ ඵලදායී ප්‍රතිඵල මෙයින් ලබාගත හැක.
සටන් පුහුනුව ලැබූ විශාල ජනකායක් සිටින නිසා මෙරටට තිබෙන අභ්යන්තර හා බාහිර තර්ජන පහසුවෙන් විනාශ කල හෑක. නිත්ය හමුදාවේ ප්‍රමාණය වැඩිකරනවාට වඩා මෙවන් පැරාමිලිටරි පුහුනුව ලැබූ පිරිසක් නඩත්තු කරීම පහසුයි.  ඉතා හොඳන් පුහුනුව ලැබූ ශ්‍රම බලකායකින් යුද්ධයක් නැතත් වෙනත් සේවා වලට අනියුත්ක කල හැක. රටේ ආහාර නිශ්පාදනය වැඩිකිරීමට මොවුන්ගෙන් වැඩි දායකත්වයක් ලබාගත හැක. රටේ ප්‍රචන්ඩ ක්‍රියා අඩුකිරීමට හා අපරාධ මැඩලීමට පොලීසියත් සමග මෙවන් ජාතික සේවක පිරිසක් යොදාගැනීම තුලින් අපරාධ අවම වේ.  මිලිටරි පුහුනුව මගින් ජනතාව ආරක්ශා කිරීම හා සැමට ගරුකිරීම වැනි දෙවල් නිසා සමාජ අසාධාරණය, විශ්ව විද්යාල තුල භීෂණය වැනි දේවල් වලට නැවතීමේ තිත තැබීමට පුලුවන්.

මේ සියලු දේ කිරීමට විධිමත් ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි. ශාරීරික යෝග්යතාවය සලකා බලා ජාතික සේවයට (අනිවාර්ය යුධ සේවයට) බඳවා ගතයුතුයි. ශාරීරික මට්ටම අඩු වුවත් ඔවුන් අතිරේක සේවාවන් වලට යොදාගත හැක. යුද පුහුනුව හා සේවා කාලය සීමා සහිත කාලයකට සිදුකල හැක (මාස 6 ක් හෝ අවුරුද්දක් ). යම් ආර්ථික අපහසුකම් ඇති අයට සහනක් හෝ යම් වැ‍ටුපක් ගෙවීම කලයුතුයි. පුහුනුව නිමකල අයට ‍රැකියා ලබාදීම ගැන රජයේ ආයතන හෝ පෞද්ගලික ආයතන යම් ක්‍රමවේදයක් ගොඩනගා ගත හැක.

සෑම කෙනෙකුටම කමාගැන, තම රට ගැන වගකීමක් ඇත. තරුණ පිරිසට එය වඩාත් බලපායි මන්දයක් රටේ අනාගතය ඔවුන් නිසාය. අනිවාර්ය යුධ සේවය එතරම් පහසු වන්නේ නැත. නමුත් දැඩි කැපවීමෙන් තම රට චෙනුවෙන්, සමාජය වෙනුවෙන් තමාගේ සතුට, වින්දනය හා පහසුව කැපකිරීමට අප සැම දෙනාම පුරුදු විය යුතුවේ. මිනිසා ඉපදී ඇත්තේ කෑමට, බීමට, රමණය කිරීමට හා තමන්ගේ පහසුව තකා ආත්මාර්ථකාමී වීමට නොවේ. මිනිසා හා අනෙක් සත්වයන් අතර ඇති වෙනස එයයි.

oකාව වැනි රටකට අනිවාර්ය යුධ පුහුනුවට මූල්ය ප්‍රතිපාදන සපයා ගැනීමට දුශ්කර විය හැක. නමුත් මෙරටට වඩා දුප්පත් රටවල් බොහෝමයක මෙය සිදුකෙරේ.  මූලික ප්‍රාග්ධනය සපයා ගැනීම තරමක් දුශ්කර වුවත් එයින් ලැබෙන ඵලය නම් ඉතා වටිනා කමින් ඉහලයි. අපේ රටගොඩ නැගීමට ප‍ටු අදහස් වලින් තොරව අනිවාර්ය යුද සේවයට(ජාතික සේවයට) සියලු දෙනාගේම සහය හිමිවිය යුතුයි