Thursday, November 10, 2011

අපිට වැරදුනු තැන : දෙවන කොටස [2] (බණ්ඩාරනායක යුගය හා එහි හොඳ නරක)


පළමු කොටසට මෙතැනින් පිවිසෙන්න

මේ ලිපියේ මුල් කොටසෙන් දැක්වෙන්නේ නිදහසින් පසු මේ රටේ නායක කාරකාදීන් හා ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිලිබඳවයි. 1956 මේතෙක් පැවැති දේශපාලන දර්ශනය යම් වෙනසකට ලක්විය. එනම් එවකට පැවැති ඉංග්‍රීසි සිරිත් විරිත් හා ඔවුන්ගේ චර්යා ධර්ම මූලික කොටගෙන පැවැතුනු දේශපාලන දර්ශනයක් වෙනුවට ජාතිකත්වය මූලික කොටගෙන සමාජයේ දුපපතා කෙරෙහි අවධානයක් යොමුකිරීම කරන දේශපාලනයක් බිහිවීමයි.

මෙහි මූලික අඩිතාලම ඒස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක මැතිතුමා ආරම්භ කළ බැවින් 1956 සිට 1977 දක්වා බණ්ඩාරණායක යුගය යැයි කියමු. 1956 න් පසුවත් වරින්වර පළමු යුගයේ දේශපාලන නායකත්වය හෙබවූ ඩඩ්ලි සේනානායක වැනි නායකයින් බලයට පැමිනියද ලාංකීය දේශපාලනය තුල මේ යුගයේ පැවැතියේ බණ්ඩාරණායක ආභාශය යැයි කිවයුතුය. මෙකල අප රටේ ආර්ථික ක්‍රමයේ හා සමාජ ක්‍රමයේ මහා පෙරළියක් සිදුවිය. මුල් යුගයේ ඩී ඇස් සේනානායක වැන්නන් කෘශිකර්මය නගාසිටුවා ලංකාවේ ආර්ථික සංවර්ධනයේ මූලික අඩිතාලම දැමූවද පාලනය කෙරෙහි ජනතාවගේ සහභාගීත්වය අවම විය, එමෙනම සාමාන්ය ජනතාවට ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනමය වශයෙන් දැනෙන පරිදි පාලනයක් ගෙනයාමට මුල් යුගයේ නායකයින් අපහොසත් වූහ. බණ්ඩාරනායක මහතා ඒ සියල්ල වෙනස් කලේය. දේශීයත්වයට මුල් තැන දෙමින් ලාංකීය සමාජයේ බහුතරය දේශපාලන ධාරාවට අනියුකත කරගැනීමට ඒ මහතා සමත්විය. මේ කෙසේ වුවත් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ඉංග්‍රීසිකාරයන් ලෙස ජීවත්වූ මුල් යුගයේ නායකයින් හා බණ්ඩාරණායකවරුන් අතර කිසිඳු වෙනසක් නැත. ටේල් කෝට්, ටොප් හැට් දමාගත් ඩී ඇස් ලා හා ටේල් කෝට්, ටොප් හැට් සුදු රෙදි වල රෝල් කරගත් බණ්ඩාරණායකවරුන් එකම සමාජ පැළැන්තියක, එකම අධ්‍යාපන මට්ටමක පැවැතියෝ වෙති. නමුත් බණ්ඩාරණායකවරුන් තමන්ගේ බිම් මට්ටමේ දේශපාලන නායකත්වය ලෙස දේශීය සංස්කෘතිය හා බැඳුනු පිරිසක් තෝරාගත්හ. එයින් බොහෝ දෙනෙක් අතීතයේ බටහිර පන්නයට සිටි කෙටසක් බවද කිවයුතුය.

සිංහලය රාජ්ය භාෂාව කිරීම, නිදහස් අද්‍යාපනය ඇතිකිරීම, දේශීය දේවල් වලට පමණක් මූලිකත්වය දීම මේ යුගයේ කැපී පෙනෙයි. බණඩාරණායක මහතාගේ දේශපාලන දර්ශනය එතුමාගේ මැතිනිය වූ සිරිමා බණ්ඩාරණායක ඉදිරියට ගෙන ඒම තුලින් ජාතික අදහස් වල වර්ධනයක් මේ යුගයේ ඇතිවිණි.  මේ යුගයේ ආර්ථික හා සාමාජීය ප්‍රතිපත්ති ප්‍රායෝගිකද ? අපට ඒ කෙරෙහි යම පමණකට එකඟ වියහැක. ජාතික ආර්ථිකයක් තුලින් රටේ සංවර්ධනය ඇතිකිරීම ඉතාම යහපත් ඒකකි නමුත් එකල රටේ සාමාජීය වෙනස්කම් සිදුකර වේගය නම් එතරම ගැලපෙන්නේ නැත. යම් රටකට ඉතාම වෙනස් සාමාජීය ආර්ථික පරිවර්ථන ගෙන ඒමේදී යම කාලයක් තිස්සේ සෙමෙන ඒවා හඳුන්වා දිය යුතුය. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල පැරැණි සෝවියට් ක්‍රමයේ ආර්ථික ප්‍රතිපත්ති ගෙනහැර දැක්වීමේදී එල්ලවන පීඩනය දරාගැනීමට තරම් ශක්තිමත් ආන්ඩුවක් එකල නොපැවැතින. හාල් පෝලිම් රෙදි පෝලිම වල සිටිමින් කූපන් වලට අත්‍යාවශ්‍ය භාන්ඩ ලබගනිමින් "අපේ අම්මා ඉන්නවා නම් ඕන දුකක් විඳගන්නම්" (මෙහිදී අම්මා යනුවෙන මැතිනියව හඳුන්වයි )යනුවෙන් සිරිමාවෝ රජයේ ආර්ථික පීඩනය ඉවසම්න් ක්‍රියාකල ජනතාව වැඩිකලක් එලෙස සිටීමට සූදානම් නැතිබව රජය එකල තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි.

සමකාලීන විරුද්ධ පක්ෂ දේශපාලකයින් වූ ජේ ආර් ජයවර්ධන මහතා පවතින රජයේ ආර්ථික ප්‍රතිපත්ති සෝවියට් රටවල් පවා අතහැර දැමූවන් බව පෙන්වා දුන්නේය. ලාංකීය දේශපාලනයේ දෙවන අවදියේ ඇතිවූ දේශපාලන කැරැලි ආදියට යම් තරමකින් සාර්ථකව මුහුනදීමට පැවැති රජය සමත්වුවද එහි අහිතකර ප්‍රතිඵල නම් රජය කෙරෙහි ඉතා දරුණු ලෙස බලපෑවේය.

කොතරම් ගැටලු පැවතියත් මේ දෙවන යුගයේ දේශපාලකයින් ඊට පෙර සිටි පිරිස මෙන්ම ඉතාම වැදගත්, අවංක පිරිසක් වූහ. බොහෝ දෙනා රදල කුලයේ නොවුනත් තමන්ගේ ප්‍රදේශයේ ප්‍රභූවරු වූහ. එමෙන්ම එංගලන්තයේ විශ්ව විද්‍යාල වලින් උපාධි නොලැබුත් ජීවිතය නැමැති තක්සලාවෙන් හොඳන් උගත්තෝ වූහ. දේශපාලනය සේවාකක් කරගත් ඔවුන් මැරබලය හා මුදල් බලය පිලිකෙව් කලහ. ටී බී ඉලංගරත්න, කන්නන්ගර වැනි උතුමන්ගේ නම් අද පවා අපේ මතකයේ නොනැසෙන ලෙස පවතින්නේ ඔවුන් මහත්මා දේශපාලනය තමන්ගේ ලේ ඇට මස් නහර වලට වද්දාගත් නිසාවෙනි. මේ අතරම සමසමාජ පක්ෂය වැනි විකල්ප දේශපාලන දහරා වල සිටි දේශපාලාඥයින් අප අමතක නොකය යුතුය. ඇන් ඇම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, පීටර් කෙනමන් වැනි මහා දැවැන්ත පෞරුෂ අද දේශපාලනයේ කොතැනකවත් සොයාගත් නොහැක.

සමස්ථයක් ලෙස ගැනීමේදී එකල පවා රට දියුනුවේ නව මාවතක් කරා යාමේ ලකුණු පහල කර තිබුණි. දූෂණය, වංචාව වැනි දෑ ඉතා අවම වී තිබුණි. එවකට පැවැති රජය තවත් කල්පනාකාරී වූවා නම් තරමක් දුරට තමන්ගේ බලය හා ආර්ථිකය ප්‍රතිපත්ති අංශක 180 ක් දක්වා හැරැවූ 1977 පසු එලැඹුනු දේශපාලනයේ තුන්වන යුගයේ බලපෑම මදක් අවම කරගත හැකිව තිබිණ. තුන්වන යුගය ගැන මීලඟ ලිපියෙන් සාකච්චා කරමු

2 comments:

  1. ලිපියේ මාතෘකාව අපට වැරදුන තැනයි ඉතාම හාස්‍යජනක කාරණය නම් මේ ලේඛකයා සහ ඔහු වැනි මනස්ගාත දෘෂ්ටිවාද පතුරන්නන්ට රැවටී රටේ බහුතර‍ය වරද්දාගත් හේතුව නිසාම රටට හෙන ගැසී යෑමයි. ඔලුවේ ගල්කරගෙන ඇති මතවාද තුලින් ලෝකය දෙස නොබලා ප්‍රායෝගිකව ඇස් ඇර ලෝකය දෙස බලන්න. ලෝකයේ දියුනු වූ රටවල් දියුණු වූයේ ඇයි ,සිම්බබාබ්වේ ලංකාව වැනි රටවල් ප්‍රපාතය කරා යන්නේ ඇයි යන්න ඔබගේ හිසමත දරා සිටින කුණු කන්දල් බිමින්තබා විමන්න. අනුන්ට බන දෙසන්න යෑමට පෙර තමා තුල සොයන්න. සරලව අපට වැරදී ඇත්තේ අපේ රටේ බහුතරය ඔබ වැන්නන් වීමයි.අපට වැරදුන තැන ඇත්තේ අනුන් තුල නොව තමන් තුලය. අනුන්ට බන දෙසීමට පෙර තමන්ට වැරදුන තැන සොයාගන්න. දෘෂ්ටිවාදයක් තුල සිටින විට තමන් සිටින දෘෂ්ටිවාදය තමන්ට නොවැටහෙන බව වටහාගන්න.

    ReplyDelete
  2. @Kevin Perera : මට මෙය කියවන විට ඔබතුමාගේ දෘෂ්ටිවාදය ගැන යම් අදහසක් පහලවේ. ඔබතුමා මේ කොමෙන්ටුවේ දමා ඇති සියලුම දේවල් ඔබතුමාට ද වලංගු බව කරුණාවෙන් යුතුව මතක් කිරිමට කැමැත්තෙමි. මා මේ ලිපි පෙළ ලිව්වේ රටේ මූලික දේශපාලන ධාරාවේ යුග කීපයක් ගැන මධ්යස්ථ විග්‍රහයක් කිරීමටයි. ඔබතුමා යම් දෘෂ්ටියක් ගෙන මා ලියන ලිපි ඒ දෘෂ්ටිය යටතේ බැලීම නිසා මා කුණු කන්දල් හිස මත තබාගේන යාමක් සේ ඔබතුමාට පෙනේ. එම නිසා එයින් නිදහස් වන ලෙස මා ආයාචනය කරන්නේ ඔබටමය

    ReplyDelete