Saturday, July 23, 2011

නැවත කෘෂිකර්මයට (Back to Agriculture)



අද ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම ආර්ථිකය උඩු යටිකුරු වී තිබේ. විවිධ කාල වලදී කෙටි කාලීන ලෙස යම් යම් ආර්ථික අර්බුද පැවතුනද නූතනයේ පවතින ආර්ථික අර්බුදය එතරම් පහසුවෙන් නිමාකිරීමට හැකි එකක් නොවන බව ලෝකයටම ඒත්තු ගැන්වී හමාරය. එක්තරා භාන්ඩයක් හෝ සේවාවක් සමහ බැඳී පවතින ආර්ථික ගැටලුවකට වඩා නූතන සමාජයේ රඳාපැවැත්මට සෘජුවම බලපෑම් කරන ගැටලුවක් බවට මෙය ක්‍රමක්‍රමයෙන් පත්ව තිබේ. ආහාර අර්බුද, දේශගුනික විපර්යාස ආදිය මූලික කරගෙන අනාගතයේ මුලු ලොවේ පැවැත්මට බලපෑම් කරන නූතන ලෝකයේ ආර්ථික රටාව එතරම් සුභදායක අවසානයක් කරා මානව සංහතිය රැගෙන නොයන බව මනාව පසක් වේ.අන් රටවලටත් වඩා ලංකාවේ රැකියා අර්බුද, දුප්පත්කම, ආහාර ගැටලු ආදිය දැන් පැන නැගී තිබේ. රටක් ලෙස අප යන ආර්ථික ගමන් මාර්ගය විප්ලවීය වෙනසක් කරා හැරවිය යුතුව ඇත.

රට දුප්පත්කමින් ගලවා ගැනීමටත් ආහාර අර්බුද හා ඉන්ධන ගැටලු සඳහා හොඳම විසඳුම නම් කෘෂිකාර්මික පිබිදීමක් රට තුල ඇතිකිරීමයි. මේ මගින් රටේ ආහාර අවශ්යතාව රටතුලම සම්පූර්ණ කරගැනීමත් විකල්ප ඉන්ධන නිපදවීමත් කල හැක. නමුත් වර්ථමානයේ සහල්, පොල් පවා පිටරටින් ගෙන්වීමට සිදුවී ඇත්තේ රටේ නියමාකාරයෙන් ආහාර නිෂ්පාදනය කළමණාකරණය කර ගැනීමට නොහැකි වීම නිසාය.

අතීතයේ ශ්‍රී ලංකාවේ 99% ජනයා ගොවියෝ වූහ. පිය උරුමයෙන් ලැබුනු අගනා දායාදයක් ලෙස අතීතයේ සැලකූ ගොවිතැන අද වනවිට ඉතාම පහත් තත්වයට පත්වී තිබේ. ගොවිතැන වනාහී පහත් රැකියාවක් ලෙස සමාජෙයේ ප්‍රචලිත කර වෙනත් රැකියා කරා ජනතාව යොමුකරලීම දශක කීපයකම පැවතුණි. නූතනයේ එය බරපතල ආකාරයට සිදුවේ. අවසානයේ ලංකාවේ ජනප්‍රිය/උසස් යැයි සම්මත රැකියා කරන්නන් පමණක් ඉතිරි වී ගොවිතැන යල් පැනගිය රැකියාවක් පමණක් විය හැක. එවිට රටේ ආහාර නිෂ්පාදනය අඩුවී ආර්ථිකය උඩුයටිකුරු වීම වැලක්විය නොහැක.

ආහාර නිෂ්පාදනය අඩාල වීම හා ගොවියන් ගේ හිඟකම ලංකාවට පමණක් නොව, දියුණු යැයි සම්මත ඇමරිකාව වැනි රටවලද දක්නට ලැබේ. නමුත් ආහාර හා අනෙකුත් කෘෂි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සලකා බලා ඇමරිකානුවන් නැවතත් වාසිදායි රැකියාවක් ලෙස නැවතත් කෘෂිකර්මය තෝරාගැනීම පිළිබඳ ලිපියක් ටයිම්ස් සඟරාවේ ලිපියක් මෑතක දක්නට ලැබුනි. ඒ ලිපියට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ බැංකු කරුවෙක් තමන්ගේ රැකියාවෙන් අස්වී කෘෂිකර්මික කටයුතු වල නියැලේ. එමෙන්ම එය ඉතා වාසි දායක බවද විශාල පිරිසක් කෘෂිකාර්මික කටයුතු වලට නැඹුරු වීමේ කැමැත්තෙන් සිටින බවද වාර්තාවේ. ජෛව ඉන්ධනයක් ලෙස එතනෝල් නිපදවීම ඉන්ධන අර්බුධයට. යම් තරමක හෝ විසඳුමක් ලෙස සැලකිය හැක.

ගොවිතැනට මෙතරම් ඉල්ලුමක් ලෝකයේ මෙන්ම මෙරටද විශාල ඉල්ලුමක් පැවතියත් ගොවිතැනට නැඹුරු වීම මෙරට ඉතාම අඩු මට්ටමක පැවතේ. එයට මූලික හේතුවක් වන්නේ ගොවිතැන පහත්, අපහසු හා අසීරු රැකියාවක් ලෙස සැලකීමයි. නමුත් එය මේ රටේ ජනතාවට බලෙන් කාවැද්දූ දෙයකි. අතීතයේ පටන්ම ලංකාවේ ජනයාගේ ජානවල ගොවිතැන පැවතුනි. "මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු" බව පිළිගත් ජාතියක් ගොවිතැන පිළිකුල් කිරීම ඉතා සෝචනීය තත්වයකි.

ගොවිතැන උරුම කරගත් ගොවි පවුල්වට නූතන පරම්පරාව පවා ගොවිතැන අතහැර වෙනත් රැකියා කරා සංක්‍රමණය වීම ලංකාවේ ගොවිතැනේ මළගමට ප්‍රධාන හේතුවක් වී ඇත. තම පියා ඉතා ආදරයෙන් රැක බලාගත් ඉඩම් කඩම් ආදිය කුනු කොල්ලයට විකුනා දමා ගොවිතැන අතහැරීමට බොහෝ ගොවි දරුවන් පසුබට නොවෙති. එමෙන්ම නූතන නාගරික සංස්කෘතිය අනුව හැදුනු දරුවෝ බොහෝ දෙනෙක් කමතක්, පැලක්, වී බිස්සක් කවරදාවත් දැක නැත. Facebook වෙබ් අඩවියේ Farmtown ක්‍රීඩා කරන මෙරට බොහෝ තරුණ දරු දැරියන් කවරදාකවත් කුඹුරකට ගොස් නැති බව ඉතා වේදනාවෙන් වුවද කිව යුතුය.

මේ අභාග්යයට විසඳුමක් ලෙස රටේ කෘෂිකර්ම විප්ලවයක් ඇරඹිය යුතුය. ආකල්ප වල වෙනසක් ක්‍රමානුකූලව ඇතිකල යුතුය. මීට කලින් විප්ලව සිදු කරන්නට ගොස් ඒවා අසාර්ථක විය. ඊට මූලික හේතුව ජනතාව මත බලෙන් කෘෂිකර්මය පැටවීමයි. රීට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කරමින් කෘෂිකර්මය ඉතා ආකර්ෂණීය හා ගෞරවාන්විත රැකියාවක් බවට පත්කිරීමෙන් ස්වභාවිකවම එයට ඉල්ලුමක් නිර්මාණය වේ.

කෘෂිකර්මය සඳහා උසස් අධ්යාපන අවස්ථාවන් වැඩිකිරීම හා කෘෂිකර්ම උපාධිධාරීන්ට රැකියා අවස්ථා වැඩිකිරීම මූලික අවශ්යතාවයකි. නියමාකාර අධ්යාපනයක් තුලින් නූතන දැනුමින් හා පාරම්පරික කෘෂිකාර්මික වත්පිලිවෙත් වලින් සන්නද්ධ ගොවි පරපුරක් රටේ බිහිවීමෙන් වාසි රැසක් සැලසේ

කෘෂි තාක්ෂණය වැඩි දියුනු කිරීම අනෙක් වැදගත් කාරණයයි.  අපේ රටට ගැලපෙන, අඩු ජල ප්‍රමාණයක් අවශ්යවන කෙටි කාලීන වැඩි අස්වැන්නක් ලබාගත හැකි බෝග අප රටේම නිපදවීම තුලින් බහුජාතික සමාගම් වලින් අපේ ගොවි පරපුර බේරා ගැනීමට හැකිවේ. මේ සියල්ලටත් වඩා මූලිකවම අවශ්ය වන්නේ ජන්ප්‍රිය දෙශපාලන න්යායපත්‍ර වලට යට නොවී රටේ අනාගතය ගැන හිතන දේශපාලන හා නිලධාරී පිරිසකි.

අනාගතයේ මෙරට හමුවේ පවතිය අභියෝග හමුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට කෘෂිකර්මයට නැඹුරු වීමට සිදුවේ. මෙයින් විරැකියාව, ආහාර/ඉන්ධන අර්බුද යම් තරමකින් හෝ සමනය කර ගැනීමට හැකිවනු ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ අතීතයේ ගොවි රජවරුන් බිහිකල ප්‍රෞඩ ජාතියක නියම උරුමය සොයා යාමට කාලය එලඹ ඇති බව පමණි.


2 comments:

  1. මේක කියන එක ලේසිය්. නමුත් කරන එක තම අමාරු. ලංකාවේ වෙළඳපොල පාලනය වන්නේ මුලික ආර්ථික මුලධර්ම වලට නොවේ. සහල් මිල පාලනේ කරන්නේ මුදලාලිලා කීප දෙනෙක් මිසක් නිදහස් වෙළඳපොල නොවේ. ඊට අමතරව මේවාට දේශපාලකොයොත් අතදානවා කොමිස් ගහන්න. ගොවියෝ අස්වෙන්න නෙලන කාලෙට පිටරටින් සහල් ගෙන්වනවා. ලංකාවේ එළවලු පලතුරු වලින් 60% ටත් වැඩිය ගොවිපොළේ සිට වෙළඳ පොළ දක්වා එන ගමනේදී විනාශ වෙනවා කියල මම සමීක්ෂණයක දැක්ක.
    ලංකාවේ දේශීය නිෂ්පාදනය දියුණු කරන්න අවංක රාජ්‍ය මැදිහත් වීමක් අප දැක්කේ 70-77 කාලපරිච්චේදෙදි. ඒක අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි උනා. ඇට අටක බොරු පොරොන්දුවකට මිනිස්සු රැවටුනා. මට මතකය් කඳුරට පළාත් වල උක් වගාවෙන් සාමාන්‍ය මිනිස්සු ගොඩක් සල්ලි හම්බ කළා. ඒත් කතිරේ ගැහුවේ අලියට. යාපනේ ළුනු ගොවියෝ විතරය් මැතිනිට චන්දෙ දුන්නේ. ලෝකේ කොහෙවත් නැති විදිහේ නිදහස් ආර්තිකෙන් දේශීය නිෂ්පාදකයෝ අනාත උනා. ඇමෙරිකාවේ කෘෂි කර්මාන්තයට රාජ්‍ය මැදිහත් වීමක් තියනවා. වෙළඳ පොලේ මිල හුඟක් පහල යනවා නම් ගොවියන්ට ආධාර දීල වගා කරන ප්‍රමාණය තාවකාලිකව අඩු කරනවා. මේක ඒක උදාහරණයක් පමණය්.
    අපේ වී අලවි මණ්ඩලය, සතොස, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වගේ ආයතන ඉතා දුර දිග බලල පිහිටවපු ඒවා. අද මේ සේරම විනාශ කරලා. එන් එම්, ටී බී ඉලංගරත්න වගේ අවංක දේශපාලකයෝ අපිට නැවත හම්බු වෙඉද?
    සෙල්ලන්සේන

    ReplyDelete
  2. @Anonymous : ඔබ කිව්ව දේවල් නිවැරදියි. ඒකයි මම අවසානයට ලිපියේ සඳහන් කලේ නිවැරදි දේශපාලන ප්‍රතිපත්තියන් නැතුව කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැතිබව. ලංකාව කෙතරම් දියුනු වෙන්නට හැදුවත් දේශපාලනය නිසා තවමත් එකතැන පල් වෙනවා. දේශපාලනය මුදල් හෙවීමක් ලෙස සලකන අය සිටිනකන් අපේ රටට ගැලවීමක් නෑ වගෙයි

    ReplyDelete