Sunday, December 19, 2010

ධනාත්මක චින්තනය : සත්යය හා මිත්යාව


මම මේ ලිපිය ලිවීමට අදහස් කලේ බොහෝ කාලයක සිටය. නමුත් ඒ සඳහා අවශ්ය කරුණු එක් රැස් කරගෙන නොතිබුනු නිසා එය කල් දැමීමට සිදුවුනි. කෙසේ වෙතත් ඔබ සැමගේ අවධානය පිණිස කල් පසුවී හෝ මෙය ඉදිරිපත් කරන්නෙමි.

ධනාත්මක චින්තනය ගැන අද රටේ බොහෝ දෙනෙක් කථාකරති. ප්‍රායෝගික මනෝ විද්යාව නමින් අලුත්ම පොත් පත් විශාල ප්‍රමාණයක්ද අද වෙළඳපලේ පවතියි. අලුත් චින්තනයක් තුලින් දියුනුවේ මංපෙත සලසා ගැනීම ගැන උපදෙස් ලබාදීම මේවා වල මූලික අරමුණයි. ධනාත්මක චින්තනය අද රැල්ලක් ආකාරයෙන් රටේ පැතිරෙනු දක්නට හැක. ප්‍රායෝගික මනෝ විද්යාව තුලින් ධනාත්මක චින්තනයෙන් තම ජීවිතය ජය ගැනීම ඉතාම වැදගත්. මම මීට පෙර "ජීවිතය ජයගන්නේ මෙහෙමයි" යන ශීර්ෂය යටතේ පුද්ගල සංවර්ධනය ගැන ලිපියක්ද ඉදිරිපත් කර ඇත.

මෙහි තිබෙන බරපතලම ගැටලුව නම් කරුණු කාරනා හරිහැටි නොදැන තමන්ට නොගැලපෙන පොත් කියැවීමට්, උපදෙස් වලට සවන්දීමට යාම නිසා බොහෝ අය අමාරුවේ වැටීමයි. එවන් අයගෙන් මුදල් කඩාවඩා ගැනීමට වෙර දරන කූට වෙලඳුන් බොහෝ පිරිසක්ද සිටිති. මොවුන්ට අසු නොවී පුද්ගල සංවර්ධනය ගැන නිවැරදි මූලාශ්‍ර පරිහරණය කිරීම අප සැමගේ වගකීමයි.

පුද්ගල සංවර්ධනය සඳහා ප්‍රායෝගික මනෝවිද්යා පොත් රචනාකරන පිරිස් අද ඕනෑ තරම් සිටිති. ඇත්ත වශයෙන්ම ඔවුන් ඒ සඳහා පුහුනුවක් හෝ පළපුරුද්දක් ලබා ඇති දැයි සලකා බැලීම වටී. මා පෞද්ගලිකව හඳුනන දිවයිනේ සිටින ප්‍රවීන මනෝවිද්යා උපදේශක වරයෙක් සමග අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව පැහැදිලි වුන ප්‍රධානතම කාරණය නම් කිසිඳු පුහුනුවක් හෝ පලපුරුද්දක් නැති මනෝවිද්යා දෙශකයන් යැයි කියාගන්නා පුද්ගලයින් විසින් ලබාදෙන වැරදි උපදෙස් නිසා තම ජීවිතය අඳුරු කරගත් පුද්ගලයන් විශාල පිරිසක් සිටින බවයි.

මූලිකවම ප්‍රායෝගික මනෝවිද්යාව ගැන උපදෙස් ලබාදෙන, පොත් පලකරන කාන්ඩ 3 අපරටේ සිටිති. ඉන් පලමු කාන්ඩය නම් නිසි ආකාරයෙන් මනෝවිද්යාව ඉගෙනගත් දෙශකයන් හා වෛද්යවරුය. මේ පිරිස ඉතාම වැදගත් හා වටිනා උපදෙස් අඩංගු පොත් පළකරති. මිනිස් මනස ගැන නිවැරදි වැටහීමකින් හා මානසික උපදේශන සේවයේ අත්දැකීම් වලින් පරිනතව පොත් පළකරන නිසා ඔවුන් ලබාදෙන උපදෙස් ඉතාම නිවැරදිය.
ඒවා අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීමට වැඩි ඉඩකඩක් තිබේ.

දෙවන කාන්ඩය නම් මනෝවිද්යාව පිලිබඳ ඉගෙනීමක් කර නැතත් තම අත්දැකීම වලින් හා සාර්ථක පුද්ගලයන් ඇසුරු කිරීමෙන් දැනුම ලැබූ අයයි. ඉතාම ප්‍රායෝගික ලෙස මොවුන් උපදෙස් ලබාදෙයි. ව්යාපාර ක්ශේත්‍රයේ, අධ්යාපන ක්ශේත්‍රයේ ප්‍රවීනත්වයට පත්වුනු මේ කාණ්ඩය රචනා කරන පොත් ඉතා වටිනා ඒවාය. සමහර කාලවලදී රූපවාහිනියේ පවා මෙම දේශකයන් දක්නට ලැබේ. මෙවුන් රචනා කරන පොත් පත් පරිහරණය කිරීමේ වරදක් නැත.

තුන් වැනි කාන්ඩය වනාහී කෙසේ හෝ යම් කරුණු ටිකක් පොතකට පිටපත් කොට තම මඩිය තරකරගැනීමට මාන බලන වංචා කාරයන්ය. කිසිඳු පුහුනුවක් හෝ අත්දැකීම නැති අනුන් ලියන අදහස් යම් ආකාරයෙන් වෙනස් කොට මූල්යමය පදනම මත පමණක් පිහිටා පොත්පත් රචනා කිරීම මොවුන්ගේ ස්වභාවයයි. ලේඛන කලාවේ එතරම අඩුපාඩු නොතිබුනත් මේ තුන්වන කාන්ඩයට අයිතිවන පිරිස විසින් ලියන ලද පොත්පත් හා කරන ලද දෙශන වල බරපතල ලෙස වැරදි උපදෙස් ලබාදිමක් දක්නට ලැබේ.

එමෙන්ම මේ පොත්පත් ලාභදායී මිලට ලබාදීමද බාල තත්වයෙන් මුද්‍රණය කිරීමද බොහෝවිට දැකගත හැක. සෑම විටම ප්‍රායෝගික මනෝවිද්යා පොතක් තෝරාගැනීමේදී එය ලියන ලද ලේඛකයාගේ තොරතුරු සැලකිල්ලට ගන්න. සමාජයේ පිළිගත්, ප්‍රසිද්ධ හා සාර්ථක ලෙස නමක් රැන්දු පුද්ගලයෙක් විසින් රචනා කරන ලද පොත් පත් පමණක් පරිහරණය කරන්න.

ධනාත්මකව සිතීම ගැන සමාජය තුල පවතින වැරදි අදහස් රාශියක් ඇත. දියුනුව වනාහී බොහෝ කාලයක් උත්සාහ කර ලබාගතයුතු දෙයකි. එයට කෙටි මාර්ග ආදිය නැත. එමෙන්ම තමන් දියුනුවට පත්වෙනවා යැයි සිත සිතා සිටීමෙන් පමණක් දියුණුව ලඟා කරගැනීමට නුපුලුවන. උදාහරණයක් ලෙස ස්ව පණගැන්වීම නොමැති එන්ජිමක් ගන්න (Manual Starting). එහි ඉන්ධන පුරවා ඇතත් එය වෙහෙසවී පණ ගැන්වූයේ නැතිනම් එයින් ලැබෙන ප්‍රයෝජනය ලබාගත නොහැක. ඉන්ධන සමාන කර හැක්කේ ධනාත්මක චින්තනයටයි. ධනාත්මක චින්තනය පමණක් තිබී පලක් නැත. උනන්දුවෙන් හා කැපවීමෙන් තමන්ට අවශ්ය දෙය ලබාගැනීමට වීර්ය කිරීමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

අද ලංකාවේ සිංහල භාෂාවෙන් ලියැවුනු මනෝවිද්යා පොත්පත් බොහෝමයක් බටහිර රටක ලේඛකයෙක් විසින් ලියන ලදුව සිංහලට පරිවර්ථනය කරන ලද ඒවාය. එම පොත්පත් වල තිබෙන් බොහෝ කරුණු අප රටට නොගැලපේ. අප රටේ සමාජයට හා ව්යාපාර සංස්කෘතියට (Cooperate Culture )නොගැලපෙන අදහස් අනුගමනය කිරීම භයානක ප්‍රතිඵල අත්කර දෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුනු පොත් පරිහරනය කිරීමේදි එම අදහස් අපට ගැලපෙනවාදැයි සොයාබැලීම අනිවාර්ය වේ.

මූලික වශයෙන් මම මේ ලිපියෙන් ඉස්මතු කරන්නට උත්සාහ කලේ නිවැරදි මනෝ විද්යා උපදේශන මූලාශ්‍ර තෝරාගැනීම ගැනත් ධනාත්මක චින්තනය විකුනාගෙන කන රැවටිලිකාරයන්ට අසු නොවීමේ මගත් ය. ප්‍රායෝගික මනෝවිද්යාව ගැන හෝ පුද්ග්ල සංවර්ධනය ගැන ඔබ උනන්දු වනවානම් කලයුතු නැණවත්ම කාර්යය නම් සුදුසුකම් ලත් මනෝ විද්යා උපදෙශකයෙක් හෝ මනෝ වෛද්යවරයෙක් ගෙන් ඒ පිළිබඳව විමසා ගැලපෙන දේ තෝරා ගැනීමයි.

2 comments:

  1. ඔබේ ලිපිය අද සමාජයේ බහුලව ව්‍යාප්ත වි ඇති ක්ෂේත්‍රයක් ආවරණය කිරීමට වෙර දරන පිරිසක්, එයින් මුදල් ගරන පිරිසක් හා නිවැරදි මග පෙන්වන්න් ගැන යම් අදහසක් ලබා දෙනවා. මෙය ඉතා වැදගත් ලිපියක්. ධනාත්මක චින්තනය හෝ වෙනෙත් ඕනෑම පොතක් පරිපරණය කිරීමේ වරදක් මා දකින්නේ නෑ. එය බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තකු බිහි කරනවා. එයින් අදාල ලේඛකයින් පිළිබදව මෙන්ම ඔවුන්ගේ මතයන් අපට ග්‍රහණය කර ගත හැකිය. එහෙත් ධනාත්මක චින්තනය පිළිබදව නිවැරදි තීරණයකට පැමිණීමට නම් හොද මෙන්ම බාල යන පොත් දෙවර්ගයම කියවා මැදිහත් තීරණයකට පැමිණීම හොදයයි මා සිතනවා.(හොද නරක සාපේක්ෂය)

    ReplyDelete
  2. @sudarshana බොහෝම ස්තූතියි, ඔබතුමාගේ අදහසට. නමුත් රැවටිලි කාරයන්ට හසුවී පසුතැවෙනවාට වඩා කරුණු කාරණා දැන ගන්න එක වටිනවා කියන එකයි මගේ හැඟීම

    ReplyDelete