Thursday, November 4, 2010

නිවසේ කාර්යාල කාමරය සකසා ගැනීම


අපි සෑම දෙනාම අපේ කාලයෙන් සැලකිය යුතු කොටසක් ඉගෙනීමේ කටයුතු වලට හා රැකියා කටයුතු වලට මිඩංගු කරනවා. සමහර වෙලාවට දවසට පැය 20 පමණ ගතකරනවා. ඔබ උපධියකට හෝ උසස්පෙළ විභාගයට සූදානම් වෙන අයෙක් නම් දවසේ වැඩි කොටසක් ඔබේ මේසය අසල ගතකරනවා විය හැක. මෙසේ වැඩි කාලයක් ගතකරත් ඔබ වැඩකරන ස්ථානයේ සැකැස්ම හා පහසුකම් ගැන කෙදිනකවත් සොයා බලා තිබේද ?

අපි යෙදෙන කාර්යයේ සාර්ථක භාවයට අපේ මනසේ නිරවුල් බව හා වැඩකරන් ස්ථානයේ සැකැස්ම අනිවාර්යයෙන් බලපානවා. කාරයාලයක් සැලසුම් කිරීමේදී නිර්මාණ ශිල්පීන් සැකැස්ම ගැන අවධානයක් යොමුකරත් නිවසක පාඩම් කාමරය හෝ කාරයාලය කෙරෙහි කිසිඳු අවධානයක් නිවෙස් හිමියා හෝ ගෘහ නිර්මාණ ශිල්පියා දක්වන්නේ නැත. එසේ නම් තමන් කරන කාර්යය හෝ අධ්යාපන කරයුත්ත සාර්ථක කරගැනීමට හා මානසික ඒකාග්‍රතාවයකින් වැඩකිරීමට අවශ්ය වන පරිදි පාඩම් කාමරය/කාර්යාල කාමරය සකසා ගන්නේ කෙසේදැයි මින් ඉදිරියට සලකා බලමු.

මුලින්ම කාර්යාල කාමරයට සුදුසු තැනක් නිවසේ තෝරාගතයුතු වේ. සාමාන්යයෙන් තමන්ගේ පාඩම් කරයුතු, රාජකාරී කටයුතු නිදන කාමරයේ කිරීමට සමහර දෙනෙක් පුරුදු වී සිටිනවා. එයින් ඔබේ කාරයක්ශමතාවය අවම වෙන්න පුලුවන්. විශේෂයෙන් පාඩම් වැඩකරයුතු නිදන කාමරයේ කිරීම නිසා ඒවා නවත්වා නිදාගැනීමට සිත යොමුවීම වැලැක්විය නොහැකියි. නිවසේ සාලයේ අමුත්තන්ට නොපෙනෙන තැනක් හෝ වෙනත් කාමරයක් මේ සඳහා යොදාගන්න. මෙම කොටසට අනිවාර්යයෙන් හොඳන් වාතාශ්‍රය හා ආලෝකය ලැබිය යුතුය.


තෝරාගත් කාමරයේ තමන් වැඩකරන මේසය තැබීමේ ක්‍රම කීපයක් තිබෙනවා. ඔබ වැඩකරන කාමරය ලෙස වෙනම කාමරයක් තෝරාගන්නේ නම් හෝ රැකියා ස්ථානයේ වැඩකරයුතු වලට අදාල පුද්ගලයින් සමග නිවසේදීත් කරයුතු කරන්නේ නම්. සාමාන්ය කාර්යාලයක ආකාරයෙන් කාමරයේ තරමක් මැදට වෙන්න මේසය තැබීම කලහැක. පාඩම් කිරීමට හෝ පරිගණකයක් සමග කටයුතු කිරීම ඔබේ මූලික අරමුණ නම් කාමරයේ මුල්ලක මේසය තැබීම වඩා උචිතයි. මේසය තරමක් මුල්ලට ඇල කිරීමෙන් පරිගණකයේ වයර් ආදිය අන් අයට නොපෙනෙන සේ තැබිය හැක.

රාක්ක ගැන විශේෂ අවධානයක් යොමුකල යුතුය. පොත්, හා ලිපිගොනු සඳහා විවිධ ප්‍රමනයේ රාක්ක තෝරාගන්න. විශාල රාක්ක පද්ධතියක විවිධ ප්‍රමානයේ කවුලු තනා තිබෙනවානම් පිලිවෙළකට පොත්පත් හා ලිපිගොනු ඇසිරීම පහසු වේ. වැසිය හැකි කැබිනෙටිටුවක් වැනි දෙයක් කාර්යාල කාමරයේ අලංකාරය මෙන්ම කලාතුරකින් පාවිච්චි කරන භාන්ඩ දැමීමට ඉඩකඩ ද සපයයි.

කාරයාල කාමරයට කැරකෙන පුටුවක් ගැනීමට උත්සාහ කරන්න. පරිගණකයක් හා ලියන මෙසය යන කොටස් 2ක් ඔබේ කාර්යාල කාමරයේ ඇතිනම් කැරකෙන පුටුව වඩාත් ප්‍රයෝජනවත් වේ. එය ඔබේ නියමිත උස ප්‍රමානයට සකස්කරගත හැකිවීම තවත් වාසියකි.


කාර්යාලීය මේසයට හොඳින් ආලෝකය ලැබෙන ලෙස සකස් කරගන්න රාත්‍රී කාලයෙදී කාමරයේ සාමාන්ය විදුලි පහන නොදල්වා මේස ලාම්පුව දල්වා ගන්න. එවිට හොඳ ආලෝකයක් මේසයට ලැබේ. එබෙන්ම විදුලියද ඉතුරු කරගැනීමට හැකිවේ. එසේත් නැතිනම් Spot-Light වැනි ආලෝක පද්ධතියක් යොදාගන්න.




කාමරයට යොදන වර්ණ ගැන සැලකිලිමත්වීම ඉතාම වැදගත්. කුඩා ඉඩක පවතින කාර්යාලීය කාමරයක් සඳහා සුදු පැහැය ආලේප කිරීම ගැලපේ. එමෙන්ම උනුසුම දනවන වර්ණ (තැඹිලි, කහ සහ රතු.) මගින් මානසික උත්තෙජනයක් ඇතිකරයි. මනස එක තැන් කර නිරත් වෙන වැඩ සඳහා කොළ සහ නිල් වර්ණ යොදාගැනීම වඩාත් උචිතයි.

කාර්යාලීය මේස හා පුටු තරමක් මිලෙන් අධිකයි. නමුත් වසරකට වතාවක් ආයතන වල වෙන්දේසි පවත්වනවා. ඒවායින් ඉතාම හොඳ තත්වයේ කාර්යාලීය උපකරන අඩු මිලට මිලදී ගන්න පුලුවන්.

කෙනෙකුට තමන්ගේ ඉගෙනීම් කටයුතු, රැකියා කටයුතු හොඳින් කරගෙන යාමට වැඩකරන පරිසරය දැඩි බලපෑමක් කරයි. ගෙදර පාඩම් කාමරය, කාර්යාලීය කාමරය සුදුසු ආකාරයට සාදාගැනීම මගින් කාර්යක්ශමතාවය වැඩිකරගන්නවා සමගම තමන් කරන කාර්යයෙන් සතුටක් ලැබීමටද හැකියි

1 comment:

  1. ෂා ව‍ටින ලිපියක්. ස්තුතියි :)

    ReplyDelete