Sunday, November 4, 2012

මතු රැකෙනා ශිල්පයමයි උගතමනා (Preparing for the Future)



මාතෘකාව නම් ටිකක් අමුතුයි වගේ. අපි පොඩිකාලේ ඉගෙනගෙන තියෙන කවියක "උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" කියලා තිබ්බ පලියට ඒක කඩපාඩම් කරගත්තාට තේරුම ගැන හිතුවේ නෑ නේද ? ශිල්පයක් ඉගෙනගැනීමෙන් අනාගතය යහපත් වේ කියලා එදා කිව්වාට අද ඒ තත්වය ටිකක් වෙනස් වෙලා. අද කෙනෙක්ට සිදුවෙන්නේ අනාගතයේ කරන්නට තිබෙන, වෙළඳපලක් තිබෙන රැකියාවකට අවශ්‍ය ශිල්ප ඉගෙනගැනීම. කුමක් හෝ හොඳින් ඉගෙන ගෙන එය අනාගතයේ පිහිටට එයි කියලා හිතන එක අද අවලංගු වෙලා ඒක වෙනුවට අනාගතයේ රැකියා ඉලක්ක කරලා අදම ඉගෙනීම කරන්න අපට සිදුවෙලා.

ඒකට මූලික හේතුව තමයි අද තිබෙන රැකියා වෙළඳපල හා මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල ගියපු එක. ලංකාවේ රැකියා වෙළඳපල වසර 2000 න් පස්සේ ලොකු වෙනසකට භාජනය වුනා. ඊට පෙර ලංකාවේ රැකියා ක්ශේත්‍රයේ තිබුනේ සීමිත රැකියා අංශ කීපයක්. උදාහරණයක් විදිහට වෛද්‍ය, ඉන්ජිනේරු, නීති යන මූලික රැකියා අවස්ථාත් රජයේ සංස්ථා හා බැංකු වල රැකියා ප්‍රමාණයක් තමයි තිබ්බේ. නමුත් අද වානිජ ක්ෂේත්‍රයේ හා විශේෂයෙන්ම තාක්ෂණික ක්ශේත්‍රයේ රැකියා අවශ්‍යතා විශාල ප්‍රමාණයක් බිහිවෙලා. මීට අමතරව ජාත්‍යන්තර සම්බන්ධතා, කාර්මික ක්ෂේත්‍රයේ රැකියාත් පෞද්ගලික අංශයෙන් බිහිවෙලා තිබෙනවා. එන්න එන්නම රටේ රැකියා වෙළඳපල වේගයෙන් වෙනස්වෙනවාඑන්න එන්නම රටේ රැකියා වෙළඳපල වේගයෙන් වෙනස්වෙනවා ඒකත් හොඳින් විමසාබලන්න ඕන කාරණයක්. 


දෙවෙනි හේතුව තමයි ලංකාවේ තරුණ ප්‍රජාවේ අධ්‍යාපන මට්ටම දියුණුවීම. අතීතයේ රැකියා සුදුසුකමක් විදිහට තිබුනේ 8 වසර පාස් වීම. ඊට පස්සේ ඒක සාමාන්‍යපෙල හා උසස් පෙළ සමත්වීම දක්වාත් මෑතකාලයේදී උපාධියක් සමත්වීම දක්වාත් ඉහල ගිහිල්ලා. නමුත් නූතනයේදී උපාධිය කියන දේටත් රැකියාවක් සුරක්ෂිත කිරීමට නොහැකිවෙලා තිබෙනවා. 


රටේ උගත් යැයි සුදුසුකම් ලැබූ පිරිස වැඩිවීම ලංකාවේ වර්ධනයවෙමින් පවතින රැකියා වෙළඳපලටත් දරාගන්න බැරිවෙලා. සමහර කෙනෙක් කියන්න පුලුවන් රැකියා තිබෙනවා සුදුසුකම් ඇති පිරිස නෑ කියලා. ඒකත් ඇත්ත. මොකද අපේ රටේ තරුණ පිරිස අධ්‍යාපනය ලබන ආකාරය හා රටේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු ගැටලු තිබෙනවා. නමුත් ඒ අධ්‍යාපන ක්‍රමය හදන්න ඔබටවත් මටවත් එක දවසින් කරන්න බෑ. ඒක නිසා අනාගතයට ගැලපෙන රැකියාවක් ලබාගන්න නම් වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා 

උපාධිකාරයොන්ට රැකියා නැද්ද ?

මේ කියන දේ සෑහෙන්න ඇත්තකුත් තියෙනවා. මොකද අද ලංකාවේ රැකියා ලබාගැනීමේ පහසුව යම්තරමකින් හෝ ලැබිලා තිබෙන්නේ වෛද්‍ය, ඉංජිනේරු/තාක්ශණ, නීති හා සමහර විට වානිජ/කළමණාකරන උපාධිධාරීන්ට පමණයි. එතකොල කලා අංශයේ අයට මොකද වෙන්නේ ? විශ්ව විද්‍යාලවලට කලා විෂයධාරාව කරන්න සිසුන් විශාල පිරිසක් යනවා. ඒ අයට අනෙකුත් ධාරා වල අයට වඩා රැකියා සෙවීමේ ගැටලුවක් තිබෙනවා කියලා අපි පිලිගන්න ඕන. නමුත් ඒ අයත් උපාධියක් විතරක් තියාගෙන රැකියා හොයන්න නම් සූදානම් වෙන එක නිෂ්ඵලයි. 

ඉහත කාරනේ වෛද්‍ය උපාධීධාරීන්ට ඇරෙන්න අනිත් හැම කෙනාටම අදාලයි. අද කාලේ උපාධියෙන් විතරක් රැකියා ලබාගන්න යන එක ඉබ්බන්ගෙන පිහාටු ගන්නවා වගේ දෙයක්. මොකද උපාධිකාරයින් ගනනක් රැකියාවට ආවහම ඒ සියලුදෙනාගෙන් කැපීපෙනෙන දක්ෂතා හා සුදුසුකම් ඇති කෙනාටයි රැකියාව දෙන්නේ (දේශපාලන පන්දම්කාරයොන් හා පගාවට රැකියාවට දාන අයට ඇරෙන්න.) ඒ අවස්ථාවලදී කෙනෙකුට රැකියාවක් ලබාගන්න ඕන නම් උපාධියට අමතරව සුදුසුකම් තිබෙන්න ඕන. 

රැකියාවකට සූදානම් වෙනන් පටන් ගන්න ඕන කොයි කාලෙද ?

මේක් වැදගත් ප්‍රශ්ණයක්. මේකට මම දෙන උත්තරේ තමයි කෙනෙක් ඉපදුනු දවසේ ඉඳලා කියලා. ඒක විකාර උත්තරයක් වෙන්නත් පුලුවන්. නමුත් දරුවෙක් ඉපදිච්ච දවසේ ඉඳලා අලුත් ලෝකයට හුරුකරන්න දෙමාපියෝ මතක තියාගන්න ඕන. අනාගත ලෝකයට අවශ්‍ය වෙන්නේ කඩිසර, බුද්ධිමත් හා එඩිතර පිරිස්. ඒ වගේම ආත්ම විශ්වාසයෙන් වැඩකරන්න පුලුවන් අය. එවැනි කෙනෙක් බවට තමන්ගේ දරුවන්ව පත්කරන්න දෙමාපියන් උත්සාහ කරන්න. අනාගත ලෝකය කියන්න ඉතාම තරඟකාරී තැනක්. ඒ තරඟයට බයේ හැංගෙන්න කාටවත් බෑ. කුඩාකාලේම ස්වාධීනව හිතලා වැඩකරන්න ළමයා පුරුදු පුහුණු කලේ නැත්තම් දරුවා පසුගාමී වෙනවා.
 මම මේ කරුණු කිව්වේ අනාගතයේදී මවක් වෙන්න පියෙක් වෙන්න බලාපොරොත්තු වෙන අයට පමණයි 

පාසල් අධ්‍යාපනය

දරුවා ටිකක් වැඩුනාම අප පාසලකට ඇතුලත් කරනවා. බොහෝ දෙමාපියන් කුඩාකල සිටම දරුවාව යොමුකරන්නේ පොත පතේ වැඩවලට පමණයි. මේක ඉතාම වැරදි දෙයක්. අද ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තිබෙන්නේ කටපාඩම් කරලා විභාග සමත්වෙන පොත්ගුල්ලන් පිරිසක් බිහිකරන්න මිසක් වෙන දේකට නෙවෙයි. පොතපතේ දැනුම දෙන්න අවශ්‍යයි. නමුත් ක්‍රීඩා කටයුතු හා විශය බාහිර කටයුතු පිළිබඳව ළමයා උනන්දු කිරීම ඉතාම ගොඩක් හොඳයි. මොකද කෙනෙකුට අවශ්‍ය නායකත්ව හැකියාව, ජය පරාජය විඳ ගැනීම, එඩිතරකම ඉවසීම වගේ දේවල් වර්ධනය වෙන්නේ ක්‍රීඩාවලින්. ඒ වගේම බාහිර සමාජය සමග කඩයුතු කිරීමේ හැකියාව, වගකීම් දැරීමේ හැකියාව වගේ දේවල් වර්ධනය වෙන්නේ පොතේ දැනුමෙන් නෙවෙයි බාහිර කටයුතු වලින්. 

අද කාලේ උසස් සමාගම් වලින් විධායක තනතුරු වලට තෝරාගන්නා විට ඉල්ලන ප්‍රධානම සුදුසුකම තමයි ක්‍රීඩා හා විශය බාහිර කටයුතු. ඒවා නොමැති කෙනෙක් ගැන ඔවුන් උනන්දුවෙන්නේවත් නෑ. එමනිසා පාසල් වල ඉන්නා පිරිස වගේම දෙමාපියනුත් දරුවාගේ අනාගතය උදෙසා ක්‍රීඩා හා විෂය බාහිර කටයුතු වලට අනිවාර්යයෙන්ම දරුවන්ව යොදවන්න. ඒක කවදාවත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නෑ 

වෘත්තීය හා අනෙකුත් සුදුසුකම් වල වැදගත්කම 

උපාධියට පමණක් රැකියාවන් නෑ වගේම හොඳ රැකියාවක් ලබාගන්න උපාධියක් අවශ්‍යම නෑ. මෙන්න මේ කරුණ තමයි වැදගත්ම. මෙතනදී වෘත්තීය සුදුසුකම් අවශ්‍ය වෙනවා. අද රටේ විවිධ වෘත්තීය සුදුසුමක් ලබාගන්න හැකියාවන් තිබෙනවා. අද සාමාන්‍යපෙල සමත්වෙලා උසස් පෙල කරනකොට හැමෝම කරන කුඩා පරිගණක පාඨමාලා කරනවාට වඩා පිළිගත් ආයතනයට ලොකු පාඨමාලාවක කොටසක් හදාරන්න පුලුවන්. උදාහරනයක් විදිහට ගත්තොත් වානිජ විශය හදාරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔහුට ගිණුම්කරණ, අලෙවිකරන සහතික පත්‍ර පාඨමාලාවක් හදාරන්න පුලුවන්. බොහෝ වෘත්තීය සුදුසුකම් වලදී මුලු පාඨමාලාව කොටස් වලට බෙදලා තිබෙන නිසා මූලික අදියර උසස් පෙලට කලින්ම නිමකරන්න පුලුවන්. මේ වගේ පාඨමාලා උසස් පෙල ගනිත අංශයෙන් කරන්නට සූදනම් වෙන අයට වගේම කලා අංශයේ අයටත් කරන්න පුලුවන්. කාලය කාදමනවාට වඩා මේ වගේ අර්ථාන්විත දෙයක් කරනවා නම් ගොඩක හොඳයි .ඒ වගේම උසස් පෙල අවසන් වුනාම කලින් කරපු පාඨමාලාවේ ඉතිරි අදියට නිමකරන්නත් පුලුවන්. සෑම විටම ටිකෙන් ටික මේ සුදුසුකම් තමන් තුල ඇතිකරගන්නවා කියන්නේ අනිත් අයට වඩා ලොකු වාසියක්. 

විශ්ව විද්‍යාලවල ඉගෙනගන්නා ගමන්ම මේ වගේ අනෙක් සුදුසුකම් ගැනීම අනිවාර්යයෙන් කල යුතුයි. මොකද රැකියාවක් ලැබීම හා නොලැබීම තීරණය වෙනේ ඔබ විශ්ව විද්‍යාලයේදී ගන්නා තීරණ මත. මේ වගේ වෘත්තීය සුදුසුකම් ගන්නවා වගේම විශ්ව විද්‍යාල උපාධියට අමතරව් බාහිර තාක්ෂණික උපාධි හදාරන පිරිස් අද ඕනෑතරම් ඉන්නවා 

Internships (මෙහි සිංහල තේරුම නම් නොදනී- බොහෝවිට සීමාවාසික පුහුණුව විය යුතුය)

මේකත් ඉතාම වැදගත් දෙයක්. කෙනෙක් උපාධිය හදරන අතරේ ඒ සමබන්ධ පුහුණුව හා අත්දැකීම ලබාගන්නට මෙය අවස්ථාවක් කරගන්න පුලුවන්. සමහර උපාධිවල මෙම පුහුණුව අනිවාර්යයි. අනෙක් උපාධි වල ඒසේ නෑ. නමුත් අනාගත රැකියාවකට මෙය කෙසේ හෝ කල යුතුය. තාක්ෂණික හෝ ඉංජිනේරු උපාධි වලදී නම් මෙය බොහෝ විට ලැබෙනවා වුවත් කලා හා වානිජ උපාධිවලට ගැලපෙන පුහුණුවක් ලබාසිටීම වැදගත්. නූතනයදී උපාධියටත් වඩා පුහුණුව වැදගත් නිසා සීමාවාසික පුහුණු වලට අයදුම් කිරීම නුවනැති පියවරක්. අද රැකියා වෙළඳපලේ තිබෙන දැඩි තරඟය නිසා රැකියාවක් ලබාගැනීම ඉතාම අසීරු වෙන්න පුලුවන්. නමුත් ඉගෙනගන්නා කාලයේදී පටන් එයට සූදානම් වීමෙන්, තමන් දක්ෂයෙක් බව පෙන්වීමෙන් උපාධියක් ලබාගන්න හැකියාව තිබෙනවා. 

ලෝකය දැඩි තරඟකාරී තැනක් අතීතයේ තිබ්බ සංහිඳියාවක් අද නෑ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ නූතන ලෝකයට අපිට හැඩගැහෙන්න වෙනවා. ඒක අනිවාර්යයි. තමන්ගේ සුරැකීම හෝ විනාශ වීම තියෙන්නේ තමන් ලඟමයි. තමන් කරන දේ හා ගන්නා තීරණ මත තමන්ගේම අනාගතය ලියැවෙනවා. සතුන් කෑම සොයාගන්න සටන් කරනවා වාගේම මිනිසාටත් තමන්ගේ අනාගතය සුරක්ෂිත කිරගැනීම සඳහා තමන් වටා ඉන්න අනෙක් පිරිස් සමග සටන් කරන්න වෙලා තියෙනවා. එසේ අනාගතය සඳහා, රැකියාව සඳහා, අධ්‍යාපනය සඳහා සටන් කිරීමේ හැකියාව නැත්තන් ඔහු ලෝකයට ගැනපෙන්නේ නෑ.


මම මේ ලියමන ඉවර කරන්න කලින් ඇඩොල්ෆ් හිට්ලර් වරක් ප්‍රකාශ කරපු කියමනක් ලියන්නම්



Those who want to live, let them fight, and those who do not want to fight in this word of eternal struggle do not deserve to live.
"කෙනෙකුට ජීවත් වෙන්න අවශ්‍ය නම් ඒ සඳහා සටන් කරන්න. ජීවිතය සඳහා, පැවැත්ම සඳහා සටන් කිරීමට අකමැති කෙනෙක් ජීවත්වීමටත් සුදුසු නැත"










ප.ලි. : මේ ජීවිතය කියන්නේ අතුරේ යනවා වගේ වැඩක්. එක අඩියක්වත් වරදියට තිබ්බොත් ආයේ කවදවත් හදන්න බැරි විදිහට ජීවිතය අඳුරු වෙනවා. කෙනෙක් අතීතයේ ගත්ත තීරණවලින් ආපු නරක ප්‍රතිඵල නැති කරන්න නම් එක්කෝ එයා මැරිලා ඉපදෙන්න ඕන නැත්තන් අතිතයට යන්න ඕන. ඒ කිසිම දෙයක් කරන්න බැරි නම් එයාට කරන්න ඉතුරු වෙලා තියෙන එකම දේ තමයි තමන්ට වැරදිච්ච තැන අනිත් අයට කියලා දීමත් ඔවුන්ට ජීවිතයේ වරදින්නේ නැතුව ගමන් කරන්න උපකාර කරන එක. මම කරන්නෙත් ඒකයි 













6 comments:

  1. දැන් තත්වය ටිකක් වෙනස්. ජොබ් මාර්කට් එක ගැන උනන්දු විය යුතුයි.
    ඒ නිසා එය මෙසේ වෙනස් විය යුතුයි.
    " මතු රැකෙනා ශිල්පය මයි උගත මනා" කියල.

    ReplyDelete
  2. මමත් කියන්නෙ නිහාල් අයියා කියපු දේම තමයි.
    නමුත් ලංකාවෙ තත්ත්‍වය ගත්තාම ජොබ් මාර්කට් එක ඒ තරම් ඉක්මනට වෙනස් වෙන්නෙ නැහැ... ඒ කියලා රැකියාවක් නොලැබෙන තත්ත්‍වයේ දෙයක් ඉගෙන ගැනීමත් පාඩු වැඩක්... උදාහරණයක් ගත්තොත්, දැන් බොහෝ විට සංචාරක ක්‍ෂෙත්‍රය, හෝටල් වගේ තැන්වල රැකියා වැඩි වෙනවා.. ඒ වගේම පාඨමාලාත් තිබෙනවා.. මේ වගේ තැනක ඉගෙන ගෙන හෝටලයකට ගියොත් සමහර විට පිටරටක වුනත් යන්න සුදුසුකම්, අත්දැකීම් එකතු කරගන්න පුළුවන්..
    තවමත් කාර්මික හා නිෂ්පාදන ක්‍ෂෙත්‍රවල තියෙන්නෙ පසුගාමී බවක්... ඔබ කිවුවා වගේ තමන්ට රැකියාවක් කරන්න ඕන කියන එක මතක් වෙන්න සුදානම් වෙන්න ඕන පොඩි කාළයේ ඉඳලමයි.... මගට ගියාම ඕන කරන සුදුසුකම් නැති වෙන්න පුළුවනි.
    මේක හොඳ ලිපියක්.
    දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසේ යම් හරයක් තිබෙනවා.
      බොහොම ස්තූතියි මගේ බ්ලොග් එකට ඇවිල්ලා ප්‍රතිචාර දැක්වූවාට
      දිගටම මේ බ්ලොග් එකත් එක්ක ඉන්න

      Delete
  3. අලුත් අයට තමන් යායුත් මාර්ගය තීරණය කරගැනීමට වටිනා ඔවදදන් පෙලක්.

    ReplyDelete
    Replies
    1. අපිට ඒකාලේ මේවා කියලා දෙන්න කවුරුවත් හිටියේ නෑ. ඒක නිසා අපිට වැරදුනා.
      මම කරගත්ත දේ අනිත් අය කරනොගන්න උපදෙස් දෙන්න තමයි මට පුලුවන් කම තියෙන්නේ

      Delete