Tuesday, February 21, 2012

මේ ගීතය තහනම් කරමුද ?


ගීතය හා තහනම් කිරීම යන වචන ඔබ දකිද්දීම මේ ලිපියේ අරමුණ කුමක්දැයි පැහැදිළි වෙනවා ඇති. මෙකල මහත් ආන්දෝලනයට තුඩු දුන් ගීතයක් ලෙස ඩැඩී සංගීත කණ්ඩායමේ ටිකෙන් ටික නැමැති ගීතය හඳුන්වා දිය හැක. වසර 2011 නොවැම්බර් මාසයේදී පමණ නිකුත්වූ මේ ගීතයට දැඩි විරෝධයක් එල්ල වී අවසානයේ ප්‍රශ්ණය සංස්කෘතික අමාත්‍යන්ශය දක්වා දුරදිග ගියේය. ගීතයට පක්ෂව හා විපක්ෂව විවිධ පාර්ශව තර්ක ඉදිරිපත් කල අතර ඒවා තුලනාත්මකව බැලීම හා හරි වැරැද්ද කුමක්දැන් අපක්ෂපාතීව වීමසා බැලීමට මා හැකිතරම් උත්සාහ කර ඇත. ගීතයට පක්ෂව හා විපක්ෂව විවිධ පාර්ශව තර්ක ඉදිරිපත් කල අතර ඒවා තුලනාත්මකව බැලීම හා හරි වැරැද්ද කුමක්දැන් අපක්ෂපාතීව වීමසා බැලීමට මා හැකිතරම් උත්සාහ කර ඇත.

ගීතය සංගීත සංයෝජනය මෙන්ම පද රචනා අතින් ද සාර්ථික බවක් පෙන්නා නැත. විශාල මුදලක් වියදම් කලත් ඩැඩී කණ්ඩායමේ පෙර ගීත මෙන් මෙම ගීතයේ කිසිඳු හරයක් නැත. ඒ අතින් "අරාබිය" වැනි ගීත තරමක් සාර්ථක වූ බව කිව යුතුය. මේ ගීතයට විරෝධය එල්ල වූයේ මෙහි 1.39 සිට 2.00 දක්වා වූ කොටසේ "භවතු සබ්බ මංගලම් යන පාඨය පසුබිමින් ඇසීමයි. එම කොටසට අදාල රූප රචනයේ නිරූපකයා හා නිරූපිකාව යම් ආලිංගනයට යෙදෙන බවක් ද පෙනෙයි. වරින් වර එම දර්ශනය වෙනස්වී. සංගීත කණ්ඩායම වාදනය කරන දර්ශනද මෙම තත්පර 20ක් වැනි කාලයට ඇතුලත් වේ. තත්වය මෙසේ වුවද ගීතයට එල්ල වූ චෝදනා ලෙස "ජය මංගල ගාථා රැප් කිරීම" හා "පල්ලියේ කොන්ත්‍රාත්තුවකට බුදු දහමට අපහාසකිරීම" යන දේවල් ද ඇතුලත් විය. මේවා දඩ මීමා කරගනිමින් සිංහල බෞද්ධ ජනපදනමක් ඇති පක්ශද අවි අමෝරා සිටිනු දක්නට ඇත.

මේ ගීතයට විරෝධය එල්ල වීමට පසුබිම සැකසුනේ මීට යම් කලකට පෙර ගීතයකට විරෝධය එල්ල වී එය තහනම් කිරීමට තීරණය කිරීමෙනි. එම ගීතය ඉරාජ් වීරරත්න ගේ "සිත්ති මනීලා" ය. එක්තරා ආගමික කණ්ඩායමක තරුණියක් සමග පෙමින් වෙලෙන සිංහල තරුණයෙකුගේ කතාවක් මෙහි අන්තර්ගත වේ. මෙය ප්‍රචාරය වීමෙන් අනතුරුව. පෙරකී ආගමික කණ්ඩායම දැඩි විරෝධයක් දක්වමින් කියා සිටියේ තම ආගමේ යාඥා ඛන්ඩ ගීතයට යොදා ගැනීමයි. එමෙන්ම කාන්තාවකගේ "වේලය" නිරාවරණය කිරීමේ දර්ශණයක්ද එයට ඇතුලත් විය. මේ කාරණා දෙක මුල්කරගෙන ආගමික කණ්ඩායමක් විසින් විරෝධයක් එල්ල කලත් ඇත්ත වශයෙන්ම එම විරෝධය එල්ල වූයේ පෙර කී කාරණා දෙකට පමණක් නොවේ. උපතින් සිංහල බෞද්ධයෙක් වන ඉරාජ් වීරරත්න විසින් වෙනත් ආගමකට අයත් තරුණියක් සමග සම්බන්ධතාවක් ඇතිකරගැනීම ගීතයේ තේමාව කරගැනීම විරෝධය එල්ලවීමට මූලිකම හේතුවයි. විරෝධය එල්ල කල ආගම ලංකාවේ තිබෙන්නේ සුලුතරයක් වශයෙන් වුවත් කේවල් කීරීමේ හැකියාව හා ආක්‍රමණශීලීත්වය අතින් අනෙකුත් කණ්ඩායම් වලට වඩා ඉදිරියෙන් ඉන්නා නිසා සිත්ති මනීලා ගීතය තහනම් කිරීමට හැකිවිය.

පෙර කී ආගමික පිරිස අන් ජාතීන් සමග මේ ආකාරයෙන් මුහුවීමට මෙන්ම ආගමික සංහිඳියාවක් ඇතිකරගැනීමට ස්වභාවයෙන්ම මැලිකමක් දක්වයි. එමනිසා පැමිණි විරෝධය හමුවේ පසුබෑමක් ඇතිවූවේ ඉරාජ් වීරරත්නටත් වඩා රටේ බහුතරයක් සිටින සිංහල බෞද්ධ ජනතාවටයි. සිංහලයෙක් විසින් නිර්මාණය කල ගීතයක් සුලුජාතික විරෝධය හමුවේ අකුලා ගැනීම සිංහල බෞද්ධ පරාජයක් ලෙස සැලකීම නිසා "ටිකෙන් ටික" ගීතයෙන් හෝ තම බලය පෙන්වීමට සිංහල බෞද්ධ බලවේගය උත්සාහ ගත්තා විය යුතුය.

"ටිකෙන් ටික" ට විරෝධය දැක්වූවන් සඳහන් කල තවත් කාරණාවක් වන්නේ මධුසමයක දර්ශනයක් තුලට පසුබිමින් "භවතු සබ්බ මංගලම්" යෙදීමයි. පසුබ්ම්න් ඇසීම සිදුවන තත්පර 20 ක් පමණ කාලය තුල අපට දැකගත් හැකි වන්නේ නිරූපිකාව හා නිරූපකයා තරමක් ලංවී සිටිනා අයුරුය. අඩුමතරමේ සිපගැනීමේ දර්ශයක් වත් අඩංගු නොවේ. පිටින් බලන කල මෙය මධුසමයක් දැයි සිතාගැනීමට නොහැකි වුවත්. විරෝධය පලකරන්නන් කියා සිටියේ එවැනි දර්ශනයකට ජයමංගල ගාථා යෙදූ බවය. සැබවින්ම සිදුවී ඇත්තේ රූප රචනයේ ඇති දර්ශන වලටත් එහා දර්ශන තමන්ගේ හිතේ මවාගෙන එයට මුලින් කී ජයමංගල ගාථාව ඇතුලත් කර ගැනීමයි. උදාහරණයක් ලෙස රූප රචනයේ ජයමංගල ගාථාව වාදනය වෙන්නේ තරුණිය තරුණයාට ලංවී සිටින දර්ශනයේ නම් තමන්ගේ සිතින් එය දැඩි ආලිංගනයක් දක්වා ද සිප ගැනීමක් දක්වාද අවසානයේ මධුසමයක අපේක්ශා කරන කාර්යය දක්වාද සිතින් රූප ගොඩනගා ඒවාට පසුබිමින් "භවතු සබ්බ මංගලම්" යොදා තිබෙන ගීතයක් ලෙස මෙය හංවඩු ගැනීමයි. නමුත් ගීතයේ තත්පර 20 ක නියම අන්තර්ගතය දෙස බලා ඉහත කී චෝදනා එල්ල කල නොහැකි බව නම් සත්‍යයකි. තවද මේ කොටස ගීතයේ කොටසක් ලෙස නොව රූප රචනාවේ කොටසක් ලෙස සැලකිය හැක. හදිසියේ වත් සජීවීව මේ ගීතය ගයාන් ඇතුලු පිරිස ගායනය කලහොත් "භවතු සබ්බ මංගලම්" පසුබිමින් ඇසේ යැයි සිතිය හැකිද ?.

ගීතයට විරෝධයපෑමෙන් නොනැවතී ගයාන් පෙරේරාටද ඔහුගේ පියාටද ඔවුන්ගේ ආගමටද මේ ගීතය නිසාම විරුද්ධ වීමත් ගයාන් පෙරේරා අන්‍යාගමික කුමන්තරණයක කොටස්කරුවෙක් වී බෞද්ධාගමට එරෙහිව ක්‍රියාකරන්නේය යන චෝදනාව සමහරක් විසින් එල්ල කරයි. සැබැවින්ම අන්‍යාගමික කුමන්ත්‍රණයක් තිබුනේ නම් මෙවනි ගීතයක් නිර්මාණය කිරීමේ චෝදනාව එල්ල වී අවසානයේ අපකීර්තියට පත්වන්නේ ඩැඩී කණ්ඩායමමයි. මුදල් සහ වෙලඳපල ගැන ඉලක්ක තබාගන්න ඩැඩී ලා කුමන්ත්‍රණය සඳහා තමන්ගේ ජනප්‍රියත්වය බිල්ලට දීම සිදුවිය නොහැක. ඩැඩී ඉලක්ක කරන්නේ බහුතර සිංහල බෞද්ධ වෙලඳපල බවද මතක තබා ගතයුතුය.

කෙසේ වෙතත් මේ ගීතය තුලින් පැහැදිලිව වරදක් සිදුවී ඇත. ඒ පිරිත්/ ජය මංගල ගාථා රැප් කිරීම වත් අන්‍යාගමික කුමන්තරණයක් වත් නොව ගායකයන්, රූප රචකයන් හා නිෂපාදකයින් මේ රටේ සිංහල ජාතියට, බෞද්ධ ආගමට හා සිංහල බෞද්ධ-සංස්කෘතියට සංවේදී නොවී නිර්මාණ කිරීමයි. මධුසමයක් ලෙස අර්ථිගැන්විය හැකි රූප කොටසකට නොදා මංගල උත්සවයේ වෙනත් තැනකට ජයමංගල ගාථා යොදා ගත්තා නම් මේ කලබගෑනිය නොවීමට තිබුනි


මීට කලකට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දඹුල්ලේ දී පැවැත්වී 20 යි 20 තරන්ගයකදී හය හතර ගසනවිට dancing girls ලා නැටීමට වෙනුවට උඩරට නැට්ටුවන් යොදාගැනීමට විරුද්ධව මහා ආන්දෝලනයක් පැවතිනි. ක්‍රිකට් ආයතනය පැවැසුවේ ලංකාවේ සංස්කෘතිකාංගයක් ලෙස මෙය ඉදිරිපත් කල බවය. නමුත් දෙවියන්ගේ ආභරණ ලෙස සලකන මේ නැටුම් උපකරණ පැලැඳගෙන dancing girls ලා  ගේ කාර්යය කිරීම නිසා නැටුමට අගෞරවයක් වූ බව ද පැහැදිලි වේ.

ඔඩෙල් ආයතනයේ ටී ෂර්ට් නිර්මාණය කිරීමද මේ හා සමාන සිද්ධියකි. සමාගම් වල තීරණ ගන්නන්ද ගීත නිෂපාදකයින්ද බොහොමයක් සිංහල බෞද්ධ සංස්කෘතිය වැලැඳගත් පිරිස නොව සංස්කෘතිය හෝ මාර්කට් කිරීමට ක්‍රියාකරන අයයි.

ගීත නිර්මාණ වල අන්තර්ගතය මැනබැලීමට කමිටුවක් පත්කරන බව සංස්කෘතික ඇමතිතුමා ප්‍රකාශ කලේය. නමුත් එයින්ද නියම කාර්යභාරයක් ඉටුවේ දැයි සැකසහිතය. කෙසේ වෙතත් "ටිකෙන් ටිකට" විරෝධය එල්ල විය යුතු නියම කාරණා ඉස්මතු නොවීම නිසා අවසානයේ සිදුවන්නේ ඩැඩී ජනප්‍රිය වීමත් විරෝධය පෑ පිරිස ආගමික අන්තවාදීන් වීමත්ය. සිත්ති මනීලා ගීතය තහනම් කිරීම තරම් සංවිධානාත්මක බලවේගයක් සිංහල බෞද්ධ පිරිසට එකතු කරගැනීමට නොහැකි වී තිබේ. නමුත් ආගමික ගැටුමක් ලෙස නොව සංස්කෘතිය සංවේදීතාවයට නොමැතිවීම යන කාරනය තුලින් "ටිකෙන් ටිකට" විරුද්ධ වූවා නම් එම විරෝධතාවය සාර්ථික වීමටත් විරෝධය පල කල පිරිස අන්තවාදීන් ලෙස හංවඩු නොගැසීමටත් හේතු වනු ඇත

6 comments:

  1. බ්ලොග් එකේ හිට්ස් මදිනම් හිගාකාපන්.. චාටර් වැඩ කරන්නෙ නැතුව...

    ReplyDelete
    Replies
    1. මට හිට්ස් නැති නිසා නෙවෙයි මේ ලිපිය පල කලේ. ගීතය ගැන නියම කාරණය පැහැදිලි කරලා දෙන්නයි

      Delete
  2. best analysis on the issue I've read so far.

    ReplyDelete
  3. good one.. so practical explanation.......

    ReplyDelete
  4. This is the best analysis that I read regarding this matter...

    ReplyDelete
  5. අන්‍ය ආගමිකයින් පන්සිල් රප් කරද්දි කතා කරන්න කවුරුත් නෑ. මෙතන නිරූපනයක් විතරක් තියෙන දේට විරුද්ද වෙන්න නම් ඕන තරම්. ඕක තහනම් කරනවනම් ඉතින් ඊට කලින් අයින් කරවන්න තව සිංදු දුසිම් ගනන් තියෙනවා, මොනා උනත් වැරද්දක් පිලි ගත්ත සංගීත කන්ඩායමට මගේ ස්තුතිය

    ReplyDelete