( Photo courtesy http://www.hindustantimes.com/ || http://colombogazette.com )
පළාත් සභා
ඡන්දය ගැන විශ්ලේෂණ දෙන්නට ඕනෑ තරම් අය ඉදිරිපත් වී තිබේ. පත්තරකාර මාමලාගේ සිට
බ්ලොග්කරුවන් දක්වාම ප්‍රතිඵල විග්‍රහ කිරීමට අය සිටියත් මේ ගැන මගේ අදහසත් ප්‍රකාශ
කලොත් යහපතියි කියා මට සිතෙනා නිසාම මෙය ලියමි. කාලය හරස් උනත් තවත් ප්‍රමාද
වීමෙන් අවැඩක් සිදුවන නිසාම මැතිවරණ ඌෂ්ණය පහව යන්නට කලියෙන් ලියන්නට අදහස් කළෙමි.
රජය සලාක ක්‍රමයට
මෙවරද උතුර, මධ්‍යම හා වයඹ
පළාත් වල පුංචි ඡන්දය පවත්වන ලදී. මධ්‍යම හා වයඹ පළාත් වල සාමාන්‍යයෙන් සිදුවන
බොරු පොරොන්දු, මනාප පොර,
දන්සැල් ආදියෙන් සපිරි
මැතිවරණයක් පැවැත්වූ නිසාත් ප්‍රතිඵලය අප හොඳින්ම දන්නා නිසාත් ඉහත කී පළාත් දෙකේ
මැතිවරණ ගැන හෝ ඒවායේ ප්‍රතිඵල ගැන පසු විපරමක් මා නොකරන්නෙමි. නමුත් උතුරු පළාත්
සභා මැතිවරණය අංශ කීපයකින් අපට වැදගත් වන නිසාම මෙතැන් සිට එහි විග්‍රහය අරඹමි.
උතුරේ
මැතිවරණය පහත කරුණු නිසාම සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වැදගත් වේ.
- අවුරුදු 26 කට පසුව උතුරු පළාත් සභාවේ පැවැත්වූ මැතිවරණය වීම ( ඉන්දියානු මැදිහත්වීම මත පළාත් සභා ක්‍රමය ඇතිකලත් උතුරේ ජනතාවට නිදහසේ තම මතය ඉදිරිපත් කිරීමට මේ මැතිවරණයේදී හැකි වුනු බව මගේ මතයයි. )
- ත්‍රස්තවාදය යුධමය ආකාරයෙන් පරදවා ප්‍රථම වතාවට යුද්ධයෙන් පීඩිත උතුරේ ජනතාවගේ ජනමතය ප්‍රජාතන්ත්‍රවාදීව උරගා බැලීමට ලැබුණු ප්‍රථම අවස්ථාව නිසා.
- දකුණේ අතිශයින්ම ජනප්‍රිය ආණ්ඩුවක් ගැන උතුරේ ජනතාවගේ ජනමතය දැන ගැනීමට හැකිවීම නිසා.
- දෙමළ සන්ධානයෙන් ඉදිරිපත් කළ දේශපාලකයෙක් නොවන හිටපු විනිසුරුතුමා ගැන උතුරේ ජනතාවගේ මතය දැනගැනීමට හැකිවීම නිසා.
උතුරේ යුද්ධය
අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජයට දේශපාලන විසඳුමක් උදෙසා ජාත්‍යන්තර ප්‍රජාවෙන්
දැඩි බලපෑම් එල්ල විය. උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වීම එහි ප්‍රධාන අංගයකි.
විශේෂයෙන් ඉන්දියාවෙන් එල්ල වුනු බලපෑම් හමුවේ තමන්ට අවාසි වන බව දැන දැනත් ආණ්ඩුව
උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උත්සුක වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටක්
ලෙස ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පෙනී සිටීමට ද විය හැක. මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ
ලක්ෂණයක් වුවත් ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවේ සහය මේ අවස්ථාවේ හිමිවූයේ
රජයට නොව දෙමළ සන්ධානයට බව නම් පැහැදිළිය.
උතුරේ ඡන්දයට
ඉදිරිපත් කල අපේක්ෂකයින් සලකා බැලීමේදී ශක්තිමත් අපේක්ෂකයින් පිරිසක් තරඟ බිමට දැමීමට
එ.ජ.නි.ස අපොහොසත් වී තිබුණි. විශේෂයෙන්ම මහ ඇමති අපේක්ෂකයා ලෙස දෙමළ ජනයා ආකර්ෂණය
කර ගත හැකි නායකත්වයක් සොයාගැනීමේ අපහසු කම මෙහිදී දක්නට ලැබුණු අතර දෙමළ සංධානය
විශිෂ්ට ලෙස ඉතා ආකර්ෂණීය චරිතයක් වන හිටපු විනිසුරු විග්නේෂ්වරන් මහතාව මහ ඇමති
අපේක්ෂකයා ලෙස යෝජනා කලාය. දෙමළ සංධානයෙන් ඕනෑම අයෙක් මහ ඇමති අපේක්ෂකයා ලෙස
ඉදිරිපත් වුවත් ඔවුන්ට ඡන්දය දිනීමේ හැකියාව තිබුනද ජාත්‍යන්තර ප්‍රජාව සමග මෙන්ම
ලංකාවේ මධ්‍යම ආණ්ඩුව
සමග ද හොඳින් ගනු දෙනු කල හැකි සුජාත භාවයකින් යුක්ත පුද්ගලයෙක් තෝරා ගැනීම සාධනීය
ලක්ෂණයකි.
එක්සත් ජනතා
නිදහස් සංධානයේ හා දෙමළ සංධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙස බැලීමේදී
පැහැදිළි වෙනසක් දක්නට ලැබුණි. වඩුක්කෝඩෙයි සම්මුතියේම පිටපතක් යැයි කෙනෙකුන් තර්ක
කරනා ආකාරයට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් දෙමළ සංධානය උතුර යනු දෙමළ
ජනයාගේ සාම්ප්‍රධායික නිජ භූමිය යැයි ප්‍රකාශ කරයි. පොලිස් හා ඉඩම් බලතල ඉල්ලා
සිටීමත් 13 න් වන ව්‍යවස්ථා
සංශෝධනය අවසාන විසඳුම නොවන බවත් ඔවුන් පවසන අතරම මේ සියලු ඉල්ලීම ඒකීය රටක් තුලම
ලබා ගන්නා බවට පරස්පර විරෝධී මත එල්ල කරයි. අවතැන් වූ මුස්ලිම් ජනයා උතුරු පළාතට
පිළිගන්නා බව පවසන දෙමළ සංධානය උතුරින් පලා ආ සිංහල ජනයා ගැන නිහඬ පිළිවෙතක්
අනුගමනය කරයි.
අනෙක් අතට
ආණ්ඩුවට සංවර්ධන "කාඩ් එක" සෙල්ලම් කරනවා ඇරෙන්නට වෙන මාර්ගයක් නොතිබුණි
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩුවේ එක එක පාර්ශවයන්ට ඇත්තේ එකිනෙකට වෙනස්
අරමුණු නිසාම එවැනි දෙයක් ජනතාව අතරට ගෙන යාමට නිදහස් සංධානය අපොහොසත් විය. සංධාන
රජය උතුරේ මැතිවරණය පැවැත්වූයේ නොතියාම බැරි නිසා බව මෙයින් පෙනී යයි.
ඡන්ද ප්‍රතිඵලය
නම් බොහෝ දෙනා අපේක්ෂා කල පරිදි ම විය. 84% ක ඡන්ද ප්‍රතිශතයකින්
දෙමළ සංධානය ජයගෙන විග්නේෂ්වරන් මහතාට මහ ඇමති වීමට ඉඩ සලසා දෙනු ලැබීය. එ.ජ.නි.ස 14% ක
ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන දෙවන ස්ථානයට පත්විය. ආසන 30 ක් දෙමළ සංධානය ලබාගන්න විට එ.ජ.නි.ස යට
ලබාගත හැකි වූයේ ආසන 7 ක් පමණි. කෙසේ වෙතත්
දෙමළ ජනතාව ගෙන් කොටසක් හෝ සිංහල බහුතරයකින් සමන්විත වූ රජයක් කෙරෙහි විශ්වාසය තබා
ඡන්දය දීම විශේෂ වේ.
මේ ප්‍රතිඵලය
තුලින් අපට නිගමන රාශියක් ගත හැක. ඉන් පලමුවැන්න නම් කොතරම් සංවර්ධනය දුන්නත්
උතුරේ ජනතාවගේ ඉල්ලීම වන්නේ තමන්ට යම් ආකාරයකින් ස්වයං පාලනය ලබාදිය යුතු බවයි.
නිර් ජාතීය පක්ෂයක් ලෙස සටන් වැදුනු නිදහස් සංධානය පරදවා දෙමළ ජාතිවාදය මුල්
කරගනිමින් මැතිවරණ ප්‍රචාරණයේ යෙදුනු දෙමළ සංධානය ජයග්‍රහනය කරවීමෙන් දෙමළ ජනයා ගේ
ජාතිවාදී හැඟීම් තවමත් සමනය වී නොමැති බවක් ද හැඟේ. මේ ප්‍රතිඵලයෙන්
දකුණේ සිංහල ජනතාව කනස්සල්ලට පත්වන බව නොඅනුමනය. දකුණේ ජනතාවගේ බදු මුදල් වලින්
උතුර සංවර්ධනය කරන්නේ මන්ද යැයි ඇතැමෙක් ප්‍රශ්න නගති.
කෙසේ වෙතත්
අහිනව පළාත් ආණ්ඩුව ඉදිරියට කුමක් කරයි ද යන්න සැමට ගැටලුවකි. ඉඩම් හා පොලිස් බලතල
ලබා ගැනීම මූලික කරගෙන පළාත් සභාවේ වැඩ ඇරඹීමට විග්නේෂ්වරන් මහ ඇමති වරයා සූදනම්
වන බව නම් නොරහසකි. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවත් සමග ( විශේෂයෙන්ම ඉන්දියාවත් සමග
) සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවට අපි විශ්වාස කරමු. ජාත්‍යන්තර ප්‍රජාවත් උතුරේ ප්‍රාදේශීය
ආණ්ඩුව කෙරෙහි වැඩි ඇඟෑලුම් කමක් පවත් වනු ඇත. එය නම් මධ්‍යම ආණ්ඩුව රුස්සන්නේ
නැති දෙයකි. ජාත්‍යන්තර ප්‍රජාවට
ඕනෑම දෙයක් කරගන්නට යැයි කියා රතු ඉර පැන්නහොත් උතුරු පළාත් සභාව විසුරුවා හැරීමට
රජය ක්‍රියා කරනු ඇත. එම නිසාම මධ්‍යම ආණ්ඩුව සමග "හීන් නූලෙන්"
වැඩකිරීමට පළාත් රජය උත්සාහ ගනු ඇත.
කැමැත්තෙන් හෝ
අකමැත්තෙන් වුවත් මධ්‍යම ආණ්ඩුවත් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට දෙමළ සංධානය ට
සිදුවේ. දෙමළ ජාතිවාදි මාර්ගයක නොයා සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට ඔවුන් ක්‍රියා
කරන්නේ නම් යහපති. කොළඹ ආණ්ඩුව සමග මෙන්ම රටේ බහුතර සිංහල ජනයා සමග විශ්වාසය ගොඩ
නගා ගැනීමට දෙමළ සංධානයේ සාම්ප්‍රධායික ජාතිවාදී දේශපාලනය උපකාරී නොවේ. රජයේ
සංවර්ධන වැඩපිළිවෙළට සහය දක්වමින්,
උතුරේ සිංහල
හා මුස්ලිම් ජනයා කෙරෙහිද දෙමළ ජනයාට දක්වන සැලැකිල්ලම දක්වමින් ඒකීය රටක් තුල
දෙමළ ජනයාට එකඟ විය හැකි විසඳුමක්
කෙරෙහි ලඟා වෙනවා හැරෙන්නට දෙමළ සංධානයට වෙන මගක් නැත. දේශපාලකයෙකු නොවන උගත් ජාත්‍යන්තරය
ද පිළිගන්නා විග්නේෂ්වරන් හිටපු විනිසුරු වරයා මෙහිදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු
ඇත. අනෙකුත් දෙමළ දේශපාලකයින් මෙන් නොව සමස්ථ දේශපාලන තත්වය අවබෝධ කරගත හැකි නායකයෙක් ලෙස එතුමාට ඉදිරියට ඒමට හැකි නම්
එය යහපත් දෙයකි.
අවුරුදු තිහක
යුද්ධයකින් බැට කෑ දෙමළ සිංහල මුස්ලිම් සියලු ජනතාවට නැවත යුද්ධ බිය ඇති නොවී
අභිමානයෙන් එකට ජීවත් වීමේ අනාගතයකට මෙය මූලාරම්භය වේ යැයි අප බලාපොරොත්තු වෙමු.
මතු දිනක එය එසේම සිදුවේ නම් එහි ගෞරවය යුද්ධය හමාර කල මහින්ද රාජපක්ෂ ඇතුලු
දේශපාලන හා හමුදා නායකත්වයට මෙන්ම විග්නේෂ්වරන් ප්‍රමුඛ දෙමළ සංධානයටත් දෙමළ
ජනතාවටත් හිමිවනු ඇත.