Monday, August 27, 2012

මොවුනට අපි කුමක් කරමුද ?

(ඡායාරූපය lankacnews.com වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි)


මීට දින කීපයකට කලින් බෞද්ධයින් වශයෙන් අපට දරුණු හිත් රිදීමක් ඇතිවෙන ආකාරයේ සිදුවීමක් අසන්නට ලැබුණි. ඒ ප්‍රංශ ජාතිකයින් කිහිපදෙනෙක් ඇම්බැක්කේ දේවාලයේදී බුදුරජාණන් වහන්සේට අපහාස වන අයුරින් ඡායාරූප ගැනීමේ සිද්ධියකි. සමහර ඡායාරූපවල විදේශ තරුණියක් බුදු පිළිමයක් සිප ගන්නා දර්ශනද ඇතුලත් විය. අවසානයේදී මෙම ඡායාරූප මුද්‍රණය කරන අවස්ථාවේදී ඒ ඡායාරූප ශාලාවේ හිමිකරු පොලීසියට කල පැමිනිල්ලක් අනුව මෙම විදේශ පිරිස අත්තඩංගුවට ගැනීමට හැකිවිය. එය බෞද්ධ ජනයාට සැනසුම් සුසුම් හෙලීමට කාරණයක් වූවද මෙම සිද්ධිය එවැනි පළමු හා එකම සිද්ධියද නොවේ. එමෙන්ම අවසාන සිද්ධියද නොවිය හැක.

 බුදුදහමට අපහාස කිරීමේ සිදිධ් ලංකාවෙන් වාර්ථා වෙන්නේ සුදු අධිරාජ්‍ය සමයේදී සිටමය. මෙරට යටත් කරගන්නා බ්‍රිතාන්‍යයන් ඔවුනට දරුණු අභියෝගයක් එල්ල කල සිංහල බෞද්ධයන්ගේ කොඳු නාරටිය කඩා දැමීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක විය. සිංහල බෞද්ධයාගේ හදවත හා ශක්තිය රැඳී ඇත්තේ බෞද්ධාගමේ නිසා එය යම් අයුරකින් විනාශ කිරිමට සැලසුම් සකස් කල බව පැහැදිලි වේ.

 මින් කාලයකට පසු ලංකාව නිදහස ලැබී බුදුදහම රටේ ගාමක බලවේගය වුවත් බෞද්ධාගමට අපහාස කිරීම ලංකාව තුල නැවතී නැත. ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම වැඩියෙන්ම අපහාසයට හා නොසලකාහැරීමට ලක්වන්නේ බෞද්ධාගමයි බුදුදහමට සෑම අතින්ම පහරදීමට හා අපහාසයට ලක්වීමට හේතුව එහි තාර්කික හා බුද්ධියට ආමන්ත්‍රණය කිරීම ලෙස පැහැදිලි කරගත හැක. එවැනි දර්ශනයක් පුද්ගල ආධිපත්‍යයක් හෝ දේවාදිපත්‍යයක් රඳවාගෙන තබාගන්නා අනෙක් ආගම් වලට ප්‍රබල අභියෝගයක් වේ.

 බෞද්ධයන්ගේ ශාතෲවරයා වන බුදුරජාණන් වහන්සේට හා පොදුවේ බුද්ධාගමට අපහාස වන අයුරින් හැසිරෙන කොටස් දෙකක් ඇත. පළමු කොටස නම් බෞද්ධාගම ගැන බුදුරජාණන් වහන්සේ ගැන ඇත්ත කරුණු කාරණා නොදන්නා නිසා අපහාසයක් සිදුවන අයුරින් කටයුතු කිරීමය. උදාහරණයක් ලෙස බටහිර රටවල බුදු පිළිම විසිතුරු භාන්ඩයක් ලෙස තබාගැනීමයි. බෞද්ධ නොවන බොහෝ පිරිස් බුද්ධ රූපයට සාමාන්‍ය පෙරදිග පිලිමයක් ආකාරයටම සලකයි. එයට තවත් හේතුවක් වී ඇත්තේ බුද්ධ රූපය විවිධ අර්ථකතනයන් වලට හා විවිධ හැඩයන් වලට නිර්මාණය වී තිබීමය. එවන් ඕනෑම පිළිමයක් 'බුද්ධා' ලෙස සැලකීමට කරුණු කාරණා නොදන්නවුන් සලකයි. උදාහරණයක් ලෙස 'ලාෆින් බුද්ධා' නැමැති පිළිමය හැඳින්විය හැක. බටහිර චිත්‍රපට වල සමහට දර්ශන වලද බුදු පිළිමය හා බෞද්ධාගමට වක්‍රාකාරයෙන් අපහාස වන දර්ශන පවතී. මෙහෙදී නැගෙන ප්‍රධානම ගැටලුව වන්නේ අපහාසයක් සිදුවීම හා කරුණු කාරණා නොදන්නාකමින් යමක් සිදුවීම වෙන්කරගන්නා නිර්නායක නොමැතිවීමය. 

වෙනත් කිසිම ආගමකට වඩා බුදුදහම වාණිජකරනය වීම හා වෙනත් පෙරදිග ආගම් හා දර්ශනයක් අතරට බුදුදහමේ කොටස් එකතුවීම මෙයට තවත් හේතුවකි මෙයට පිලියම් සෙවීමට නම් බටහිර රටවල අයට බුදුදහම ගැන යථාර්ථවාදී අවබෝධයක් ලබාදීම කලයුතුය. බුදුදහම යනු යෝග ක්‍රමයක් හෝ ඉන්ද්‍රජාලික දෙයක් නොව ඉතා ගැඹුරු හා හරවත් දර්ශනයක් බවට ලෝක ජනමතයක් ගොඩනගා ගතහොත් එයින් බුදුදහමට ආරක්ශාවක් වාගේම සුවහසක් ජනයාට බුදුදහමේ ආලෝකය ලැබීමක්ද වේ

 බුදුදහමට අපහාස කරන දෙවැනි කාණ්ඩය වන්නේ සිතාමතාම බුදුදහම විනාශ කිරීමේ අදහසින් ක්‍රියාකරන පිරිසය. ලංකාවේ එවැනි පිරිස් ඕනෑතරම් සිටිති. ප්‍රංශ ජාතිකයින් තිදෙනා මෙන්ම මීට මාස කිහිපයකට කලින් අවුකන ප්‍රදේශයේ අශෝභනව හැසිරුනු ශ්‍රී ලාංකික පිරිස මෙන්ම ඇඳුම් පැලඳුම් වලට බෞද්ධ සලකුනු දමා ඒවා විකිණීමට තැත්කරන අන්‍ය ආගමික පිරිස් ද මේ කාණ්ඩයට අයත්වේ

 බුද්ධ කාලයේද මෙවැනි අපහාස උපහාස ගලා ආවද බුදු රජාණන් වහන්සේ පවා ඒවා ගනන් නොගෙන නොසිට කරුණු කාරණා වලින් ඒවාට පිළිතුරු දී ධර්මයට සිදුවෙන කැලැල මකා ගැනීමට උපදෙස් දුන් සේක. එමනිසා මෙවැනි ක්‍රියා වලට විරුද්ධව වහාම ක්‍රියාත්මක විය යුතුය. 

 (ඡායාරූපය lankacnews.com වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි)

 ප්‍රංශ ජාතිකයින් සම්බන්ධ සිද්ධියේදී වඩාත්ම හාස්‍යජනක කාරණය වන්නේ ඔවුනට දුන් දඬුවමේ ස්වභාවයයි. අත්හිටවූ සිරදඬුවම් මෙනම රුපියල් 1500 ක දඩය මෙවැනි වරදකට කෙසේවත් සෑහෙන්නේ නැත. මැදපෙරදිග රටක මෙවන් සිදිධියක් ඇතිවුවහොත් සිදුවන තත්වය හා දෙන දඬුවම් ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. නීතිමය ප්‍රතිපාදන සැපයීම මෙහිලා ඉතාමත් අවශ්‍ය වේ සිර දඬුවම්, විශාල දඩ මුදල් මෙන්ම පන්සල් වල සමාජ සේවයේ යෙදීමත් දඬුවම් ලෙස ලබාදිය හැක. බෞද්ධාගමේ උන්නතිය හා ආරක්ශාව රටේ ව්‍යවස්ථාවෙන්ම සහතික වී ඇති නිසා මෙවැනි නෛතික ප්‍රතිපාදන යුගයේ අවශ්‍යතාවයකි

ඉදිරියේත් මෙවැනි අපහාස කිරීම නින්දිත ක්‍රියා විදේශිකයින් විසින් මෙන්ම ලාංකික බෞද්ධ අබෞද්ධ උභය පාර්ශව වලින්ම ඇතිවිය හැක. එයට සංවිධානව සිටීම බෞද්ධාගමේ උන්නතියට හා රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතාම අවශ්‍ය වේ

6 comments:

  1. සමහර මිනිස්සු ඉන්නවා හරක් කියලා පෙන්නන්න උම්බෑ ගානවා. මේ ප්‍රංශ ජාතිකයොත් ඒ වගේ. මොන ආගමකටවත් නිගා කිරීම අපරාධයක්. මෙවැනි අයව රටින් පිටමන් කරන්න ඕනේ ආයෙමත් කිසිම දවසක අඩිය තියන්නවත් බැරි කරලා

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. සංචාරක කර්මාන්තය හෝ අපේ රටේ ප්‍රතිරූපය ගැන හිතලා ආගම පාවාදෙන එක හොඳ වැඩක් නෙවෙයි. නමුත් නීතිමය ප්‍රතිපාදන වල ගැටලුවක් තිබෙන නිසා මෙවගේ පිරිස බේරී පලායනවා

      Delete
  2. මැද පෙරදිග තියන ම්ලේච්ඡ දඬුවම් දෙන එක බෞද්ධ රටකට ගැලපෙන්නේ නැ , කොහොම වුනත් මේ දේවල් නතර කරන්න නම් ලංකාවට එන සංචාරකයින්ට ලංකාවේ ජනතාවට අදාල සංවේදි වටිනා කම් පිලිබඳ යම් පැහැදිලි කිරීමක් කල යුතුයි

    හැබැයි මීට වඩා බරපතල වැරදි බෞද්ධ නාමය විකුණාගෙන බෞද්ධයින්ම කරන බව නම් කියන්න අවශ්‍යයි

    ReplyDelete
    Replies
    1. මැරපෙරදිග විදිහට නම් ප්‍රශ්න විසඳන්න බැරි බව තේරෙනවා. නමුත් සුදුසු දඬුවමක් දිය යුතු වෙනවා. කෙසේ වෙතත් සංචාරකයින්ව දැනුවත් කිරීම ගැන ඉතාම අවශ්‍යයි. සමහර රටවල ශ්‍රීලාංකික තානාපති කාර්යාල හා විදේශ අංශ මගින් ඒ දෙය ඉටුවෙනවා. නමුත් බහුතරයක් එහෙම ඉටුවෙන්නේ නෑ. ලංකාවේ කල නොකල යුතු දේවල් ගැන පැහැදිලි කිරීමක් ගුවන් තොටේදීම සංචාරයකින්ට ලැබෙනවා නම් හරි.

      කෙසේ වෙතත් හිතාමතාම මේ වගේ වැඩ කරන අමනයින්ට නම් කිසිම සමාවක් දිය යුතු නැත

      Delete
  3. බුදු දහමට සිදුවන නියම අපහාස මේවාය.

    "අපේ ලංකාවේ යම්තාක් දේවාල තියනවා නම්, ඒ සියළුම දේවාල අතුරින් ශාසනේටත්, ජනතාවටත්, දෙවියන්ටත් වැඩ කරන එකම දේවාලය හැටියට සඳහන් කරන්න පුළුවන්කම තියනවා ගාල්තැන්නේ කාලි දේවාලය" - අස්ගිරි නාහිමි

    http://www.gossip9.com/2012/08/blog-post_3124.html

    “ආනන්ද, මාගේ ශාසනය විනාශ වන්නේ සුලගෙන් ගින්දරෙන්,ජලයෙන් නොව මෙහිම පැවිදි වන දුසිල් වත් මහණුන්ගෙනි“ - බුදුරජාණන් වහන්සේ

    ReplyDelete
  4. මේවට විරුද්ධව අනිවාර්යෙන්ම දැඩි පියවර ගත යුතුමයි.මේ වගේ අවස්ථා වලදිත් සමහර බෞද්ධයෝ ඇස් කන් පියාගෙන ඉන්න එක ගැනනම් ඇත්තටම දුකයි

    ReplyDelete