Friday, May 18, 2012

ලංකාවේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගනිමු



සෑහෙන කාලෙකට පසුව බ්ලෝග් ලිපියක් ලිවීමට සිතුනි. අපේ රටේ දේශපාලනය, කෘෂිකර්මය ගැන ලිපි ලියූ මම රටේ ස්වාභාවික සම්පත් රැකගැනීම ගැන ඔබව දැනුවත් කිරීමට මේ ලිපියෙන් උත්සාහ ගන්නෙමි.

යම් රාජ්‍යයකට තිබිය යුතු භෞතික සාධක නම් භූමිය හා ජනගහනයයි. ඒවා එම රටේ ස්වාභාවික සම්පත් වේ. රටක් දියුණු වෙන්නේ එම සම්පත් නිසි පරිදි කළමණාකරණය කරගතහොත් පමණි.

ශ්‍රී ලංකාව ගතහොත් අතීතයේ සිටම අපේ රටේ විශාල සම්පත් ප්‍රමාණයක් තිබූ බවට සාක්ෂි ලැබේ. ඒ උරුමය අද රටේ ජාතික ගීයෙහි "ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජයභූමියක් ලෙසින් දක්වා ඇත. අතිතයේ රටේ සම්පත් අතර ප්‍රධාන වූයේ කෘෂිකර්මයට සුදුසු භූමියයි. රටේ සෑම බිම් අඟලකම වසරේ සෑම කාලයකදීම බෝග වගාකිරීමට හැකියාව තිබුණි. එමෙන්ම ජල මූලාශ්‍ර විශාල ප්‍රමාණයක්ද පැවැතිනි.

මහමුහුදට යන එකඳු දිය බිඳුවක්වත් අපතේ නොයවා රට බත බුලතින් ස්වයංපෝෂිත කිරීමට එකට සිටි නරවිරුවන් ක්‍රියාකලෝය. කෙසේ වෙතත් රටේ රාජධානි වෙනස් වීම නිසා රටේ සම්පත් සියල්ලෙන්ම ප්‍රයෝජනයට ගැනීමට හා එයින් රටේ ස්ථාවරත්වයක් ඇතිකිරීමට අනුරාධපුර, පොලොන්නරු යුගයෙන් පසුව අපහසු විය. යටත්විජිතකරණයෙන් මිදී අප නිදහස ලැබුවද ස්ථාවර සංවර්ධන ප්‍රතිපත්තියක් නැතිවීමෙන් නිදහස්  ලංකාවේ එකඳු පාලකයෙකුටවත් රටේ සියලුම සම්පත් නිසි පරිදි කළමණාකරණය කරනවා විනා හඳුනාගැනීමටත් නොහැකිවීම රටේම අවාසනාව වේ.

මෙම තත්වය තුන්වන ලෝකයේ බොහෝ රටවල දක්නට ඇත. සම්පත් නිසි ප්‍රයෝජනයට ගැනීමත්, එයින් රටේ ජීවන තත්වය උසස් කරගැනීමටත් එම රටවලට නොහැකිවී තිබේ. මීට හොඳම උදාහරණය කොංගෝ රාජ්‍යයයි. ලෝකයේ වැඩිම ඛනිජ සම්පත් හිමි, ඉතා විශාල ජනගහනයක් ඇති මෙම රටේ තිබෙන ස්වාභාවික සම්පත්වල වටිනාකම පමණක් ඩොලර් ට්‍රිලියන 24ක් පමණ වේ. අද ලෝකයේ විශාලම ආර්ථිකය හිමි ඇමරිකාවේත් දල දේශීය නිෂ්පාදිතය ට්‍රිලියන 12ක් පමණ වේ. තමන්ගේ සම්පත් නිසි ලෙස කළමණාකරණය කිරීමට හැකිවූවානම් අද කොංගෝව ඉතාම දියුණු තත්වයකට පැමිනෙන්නට ඉඩ තිබුනි. ලංකාවේද තත්වය එයට තරමක් සමාන වේ. බාහිර හා අභ්‍යන්තර වියවුල් මෙන්ම නිසි නායකත්වයක් නොමැතිවීමට එයට බලපායි.

ලංකාවේ දියුණුවීමට අවශ්‍ය සම්පත් ලෙස නොමැත්තේ බොරතෙල් පමණි. අනෙක් සියලුම සම්පත් තිබුණද ඒවා නිසි පරිදි හඳුනාගෙන පවා නොමැත. රටේ පාවිච්චි නොකල භුමිය විශාල වශයෙන් ඇත. නමුත් සහල් හැරෙන්නට බොහෝ ආහාර පිටරටින් ගෙන්වයි. මීට වසර කිහිපයකට කලින් නම් සහල් පවා ආනයනය කෙරුනි. රටේ නිෂ්පාදනය නොකරන දේවල් පමණක් රටට ගෙන්වීමට නම් ඒවා රටතුල නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් සැපයිය යුතුය.

මෙහිදි තවත් කාරණයක් ඉස්මතු වේ. රටතුල යම් ද්‍රව්‍ය වල දේශීය අතිරික්තයක් තිබුණද විදේශවලින් ගෙන්වන එම ද්‍රව්‍යයේම මිලගනන් වැඩිවීම හා ඒවාට තැනක් ලැබීමයි.  කිරිපිරි මිළ එන්න එන්නම වැඩිවෙනවිට දේශීය කිරි ගොවියා තමන්ගේ කිරි විකුණාගැනීමට නොහැකිව කිරි ගංගාවන් පාරට මුසුකරන්නේ එම නිසාය. තමරටේ සම්පත් තිබෙද්දී ඒවා උකහා ගැනීමට කටයුතු නොයෙදීම නිසා මේ ගැටලු මතුවේ.

තව උදාහරණ රාශියක් ඇත. එප්පාවල පොස්පේට් නිධියක් තිබෙන බව අප දනිමු නමුත් දේශීය පොහොර නිෂ්පාදනය ඇත්තේ ඉතාම ප්‍රාතමික මට්ටමේය. නිසි කළමණාකරනයක් නොමැතිකම මෙයට හේතුවයි. තවද රටේ තිබෙන ඛනිජ සම්පත් ගැන කුඩාකාලේ සිටම අප දැනගෙන සිටිමු. ඉල්මනයිට් වැනි ඉතා වටිනා ඛනිජ ඇත්ත අද පුල්මුඩේ වැලි කර්මාන්තශාලාවේ නිපදවීමේ ප්‍රතිශතය ඉතා පහල මට්ටමක පවතී. සත්‍යතාව ගැන නොදන්නාමුත් අපේ රටේ ඛනිජ වැලිවලින් විද්‍යුත් පරිපථ නිෂ්පාදන කම්හලක් ඉදිකිරීමට ආයෝජනය කිරීමට අවසර ඉල්ලු විදේශික ආයෝජකයෙන් රටේ තිබෙන දූෂිත පරිපාලනය නිසාම එම අදහස ඇතහැර දැමූ කතාවත් මම අසා ඇත.

ස්වාභාවික සම්පත් වලට මෙවන් ඉරණමත් අත්වෙද්දී මානව සම්පතද විශාල ලෙසින් ප්‍රයෝජනයට නොගනී. එක අතකින් ශ්‍රම ගලනය, බුද්ධි ගලනය  ගැන කතා කරයි. අනෙක් අතින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවයි. රටක වැදගත්ම සම්පත වන මානව සම්පත රටේ ප්‍රයෝජනයට නොගෙන ඉවත දැමීම තරම් අභාග්‍ය සම්පන්න දෙයක් තවත් නැත.

ජනයා රටේ සංවර්ධනයට යොදාගැනිම වෙනුවට දැන් කාලයේ ආගමික, වාර්ගික ගැටුම්වලට ජනතාව පෙලඹවීමේ යම් ප්‍රවණතාවයක්ද ඇත. එය රටකට ඉතාම අහිතකර වේ. අප රටේ සිවිල් යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන් විවිධ යුධ උපකරණ නිපදවූහ. යුද්ධ ටැංකි වැනි වාහන, ආයුධ මෙන්ම සබ්මැරීන පවා නිපදවීමට, ඒවා ගැන පරීක්ෂණ පැවැත්වීමට උගත් තරුණ පිරිස් ත්‍රස්තවාදීන් සමග කටයුතු කලහ. යුද්ධය අවසානයේ එම ත්‍රස්තවාදී පිරිස් පුනරුත්ථාපනය කිරීමකට ලක්කලත් ඔවුනගේ එම නිර්මාණාත්මක හැකියාවත් නිසි ලෙස හඳුනාගෙන අපේ රටේ දියුණුවට යොදාගන්නවා වෙනුවට ඔවුන්ව විදේශ රැකියා සඳහා යොමුකිරීමක් පසුගිය කාලයේ දක්නට ලැබුනි. නමුත් ත්‍රස්තවාදීන් ලෙස සිටි එම තරුණ තරුණියන්ගේ දක්ෂතා රටේ දියුණුවට යොදාගත්ත නම් එයින් රටේ දියුණුව මෙන්ම එවැනි පිරිස් අතර ඇති පටු ජාතිවාදී හැඟීම පසෙක දමා ශ්‍රී ලාංකිකයින් ලෙස තමන්ගේ ශ්‍රමය හා බුද්ධිය මෙරටට ලබාදීමද ඇතිවේ. එවිට වෙනම රටක් ඉල්ලා අරගල කරනු වෙනුවට එම පිරිස්ද මව්බිමේ උන්නතියට කටයුතු  කරනු ඇත.

රටට හිතැති ලෙස තීරණ ගැනීම ආණ්ඩුවට බාරදී අප අත පිසදාගෙන සිටීමට අවශ්‍ය නැත. සෑම පුද්ගලයාම දේශීය සම්පත් නිසිපරිදි කළමණාකරනය කර එය රටේ දියුණුවට යොදාගැනීමට යම් මතයක් සමාජ ගත කලා නම් රටේ පාලනයේද යම් සහයක් එයට ලැබෙනු ඇත.

ශ්‍රී ලාංකිකයින් ලෙස මෙරට ඉපදුනු සෑම කෙනෙකුටම මෙරට පිළිබඳව යම් වගකීමක් ඇත. තමාගේ දියුනුවත් සලසාගෙන රටේ දියුනුවට කටයුතුකිරීම එයයි. අප රටට අන් සෑම රටකටම වඩා දියුණු වීමේ හැකියාව හා සම්පත් ඇත. අප කලයුත්තේ එම හැකියාව වටහා ගැනීම කා කළමණාකරණය පමනි.