Monday, November 19, 2012

අහෝ අපේ ජීවිතය !!!



ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. එක වෙලාවකට ඒක ලස්සනයි, සුන්දරයි නමුත් තවත් වෙලාවකට ඒක ඉතාම අමිහිරියි. අපිට ජීවිතය කොච්චර හොඳද කියල වෙලාවකට හිතෙන්න පුලුවන්. ඒ වගේම ඒ හිතටම මේ ජීවිතයෙන් පලායන්නත් හිතෙන වෙලාවල් තියෙනවා. අපි උපන්න නිසා මියයනතුරුම ජීවත් වෙනවා. කෙනෙක් මව් කුසින් බිහිවෙච්ච ගමන්ම එයා අතින් අරන් එන දෙයක් තමයි මරණය. ඉතින් උපන් දවසේ සිට මැරෙන තුරාවට අපි කරන කියන හිතන පතන දේවල් වලට අනුව තම තමන්ගේ ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය රඳාපවතිනවා.

ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය මිනින විදිහට එකිනෙකාට වෙනස්. සමහරෙක් කියන්න පුලුවන් හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා විවාහවෙලා දරුමල්ලෝ හදලා ඊටපස්සේ එයාලගේ කටයුතු අහවරකරලා අවසානේ පිනක් දහමක් කරලා සතුටින් මැරෙන එක සාර්ථකත්වය කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුලුවන් තමන්ට නොව ලෝකයටම සේවයක් කරලා ලෝකයෙන්ම ගරුබුහුමන් ලැබීම සාර්ථකත්වය කියලා. ඒ වගේම මේ ලෝකයෙන් මිදිලා සත්‍ය සෙවීමෙන් එය කොහොම හරි ලබාගන්න එක සාර්ථකත්වය කියලා. ඇත්තටම ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳ මිම්ම හදාගන්නේ තමන් විසින්මයි. තමන්ගේ මිම්මට අනුව වැඩකරන එක තමයි හොඳම කාරනේ.

ජීවිතේ ඉදිරියට යනවා නම් ඒකට ඉලක්ක තිබෙන්න ඕන. එක එක කාලෙට කරන්න තියෙන එක එක දේවල්. ඒවා ටිකෙන් ටික ලබාගන්න එකයි ජීවිතේ ගතකරනවා කියන්නේ. කියමනක් තියෙනවානේ මුලදිම හරියට පටන් ගත්තානම් වැඩෙන් බාගයක් අවසානයි කියලා. ඒ වගේම ජීවිතේ මුලදිම සැලසුම් කරගත්තානම් ඉදිරියට යන්න ලේසියි.

ජීවිතයේ අපිට වැරදීම් වෙන්න පුලුවන්. ඒවා ඉතාම භයානකයි. සමහර කෙනෙක් කියන්න පුලුවන් වැරදි හදාගෙන ඉස්සරහට යන්න හැකියාවක් තියෙනවා නේද කියලා. ඔව් අපිට එහෙම තර්ක කරන්න පුලුවන්. උදාහරණයක් ගත්තොත් ගොල්ෆ් ක්‍රීඩාවේ පිත්ත පන්දුවේ වැදෙන කෝණය එක අංශකයකින් එහාට මෙහාට උනොත් පන්දුව යන ගමන්මාර්ගය වෙනස් වෙනවා. එක පාරක් බැරිඋනොත් අනිත් පාර හරි ගොල්ෆ් ක්‍රීඩාවේ නිවැරදි කරගන්න පුලුවන්. එක තරඟයක් පැරැදුනොත් තවත් තරඟයක් අපිට ජයගන්න පුලුවන් අපේ වැරැදි හදාගෙන අලුත් විදිහට හිතලා.

දැන් කට්ටිය හිතනවා ඇති ඇයි අපිට ජීවිතයේදීත් මේක අනුගමනය කරගන්න බැරි කියලා. ජීවිතයේදී ගොල්ෆ් ක්‍රීඩාවට බලපාන නීති සියල්ලක්ම බලපානවා. නමුත් එක දෙයක් වෙනස්. මොකද්ද ඒ. ඒක තමයි "කාලය". අපි ජීවත් වෙන්න වෙන්න කාලය ගතවෙනවා. අපිට ඒක අල්ලන්න බෑ. භෞතිකව මනින්න බෑ. නමුත් කලය ගතවෙනවා. අපිට ජීවිතයේ වෙන වැරදීම් හදාගන්න සමහර වෙලාවට පුලුවන් උනත් ඒ කාර්යයේදි කාලය කියන දේ සමහර වෙලාවට අපිට හරස් වෙන්න පුලුවන්. ක්‍රීඩාවකදී වැරදුනාම reset කරන්න පුලුවන් උනත් කවදාවත් ජීවිතය reset කරන්න බෑ. ජීවිතය ආයෙත් පටන්ගන්නවා කියලා කිව්වාට කාලයේ වාසිය අපිට කවදාවත් ලබාගන්න පුලුවන් කමන් නෑ.



ජීවිතය කියන්නේ පොල් ගස් දෙකක් අතර තිබෙන අතුරක් වගේ. වැරදියට එක අඩියක්වත් තිබ්බොත් විනාසයි. computer game එකක්වගේ replay කරන්නත් බෑ. එක වැරැද්දක් කලොත් ඒකෙන් වැරදි ගානක් සිද්ධවෙන්න පුලුවන්. ඒ වැරදි ටික හදාගන්නත් කාලයක් යනවා. එතකොට කාලයේ වාසිය අපිට නැතිවෙන්න පුලුවන්.

මම මේ ලිපියෙක් කියන්න උත්සාහ කලේ අපි මීට වඩා ජීවිතය ගැන අවධානයෙන් ඉන්න ඕන කියන එක. වැරදුනාම හදන්න බැරි වැරැද්දක් වුනාම මකන්න බැරි පොතක් වගේ තියෙන ජීවිතය ගැන, තමන් ගැන හොයලා බලන්න පෙලඹෙන්නේ අද කීයෙන් කීදෙනාද ? කවදාවත් ජීවිතය fast track එකේ යන්න එපා. මොකද වැරදුනොත් ආයේ කවදාවත් හදන්න බෑ. හෙමින් නමුත් විශ්වාසයෙන් කෙනෙක් ජීවිත ගමන යනවා නම් එයා වැරදි තීරණයක් ගන්න ගියත් ඒක හදාගන්න එයාට කාලය තියෙනවා.

"ඔබ අද ඉන්න තත්වය නිර්මාණය වෙලා තියෙන්නේ ඔබ අතීතයේදී හැසිරුණු විදිහ අනුව. ඒ වගේම ඔබ අනාගතයේදී ඉන්න තත්වය තිරණය වෙන්නේ ඔබ අද හැසිරෙන විදිහ අනුව". මේ ටික හොඳින්ම මතක තියාගන්න 

Sunday, November 4, 2012

මතු රැකෙනා ශිල්පයමයි උගතමනා (Preparing for the Future)



මාතෘකාව නම් ටිකක් අමුතුයි වගේ. අපි පොඩිකාලේ ඉගෙනගෙන තියෙන කවියක "උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" කියලා තිබ්බ පලියට ඒක කඩපාඩම් කරගත්තාට තේරුම ගැන හිතුවේ නෑ නේද ? ශිල්පයක් ඉගෙනගැනීමෙන් අනාගතය යහපත් වේ කියලා එදා කිව්වාට අද ඒ තත්වය ටිකක් වෙනස් වෙලා. අද කෙනෙක්ට සිදුවෙන්නේ අනාගතයේ කරන්නට තිබෙන, වෙළඳපලක් තිබෙන රැකියාවකට අවශ්‍ය ශිල්ප ඉගෙනගැනීම. කුමක් හෝ හොඳින් ඉගෙන ගෙන එය අනාගතයේ පිහිටට එයි කියලා හිතන එක අද අවලංගු වෙලා ඒක වෙනුවට අනාගතයේ රැකියා ඉලක්ක කරලා අදම ඉගෙනීම කරන්න අපට සිදුවෙලා.

ඒකට මූලික හේතුව තමයි අද තිබෙන රැකියා වෙළඳපල හා මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල ගියපු එක. ලංකාවේ රැකියා වෙළඳපල වසර 2000 න් පස්සේ ලොකු වෙනසකට භාජනය වුනා. ඊට පෙර ලංකාවේ රැකියා ක්ශේත්‍රයේ තිබුනේ සීමිත රැකියා අංශ කීපයක්. උදාහරණයක් විදිහට වෛද්‍ය, ඉන්ජිනේරු, නීති යන මූලික රැකියා අවස්ථාත් රජයේ සංස්ථා හා බැංකු වල රැකියා ප්‍රමාණයක් තමයි තිබ්බේ. නමුත් අද වානිජ ක්ෂේත්‍රයේ හා විශේෂයෙන්ම තාක්ෂණික ක්ශේත්‍රයේ රැකියා අවශ්‍යතා විශාල ප්‍රමාණයක් බිහිවෙලා. මීට අමතරව ජාත්‍යන්තර සම්බන්ධතා, කාර්මික ක්ෂේත්‍රයේ රැකියාත් පෞද්ගලික අංශයෙන් බිහිවෙලා තිබෙනවා. එන්න එන්නම රටේ රැකියා වෙළඳපල වේගයෙන් වෙනස්වෙනවාඑන්න එන්නම රටේ රැකියා වෙළඳපල වේගයෙන් වෙනස්වෙනවා ඒකත් හොඳින් විමසාබලන්න ඕන කාරණයක්. 


දෙවෙනි හේතුව තමයි ලංකාවේ තරුණ ප්‍රජාවේ අධ්‍යාපන මට්ටම දියුණුවීම. අතීතයේ රැකියා සුදුසුකමක් විදිහට තිබුනේ 8 වසර පාස් වීම. ඊට පස්සේ ඒක සාමාන්‍යපෙල හා උසස් පෙළ සමත්වීම දක්වාත් මෑතකාලයේදී උපාධියක් සමත්වීම දක්වාත් ඉහල ගිහිල්ලා. නමුත් නූතනයේදී උපාධිය කියන දේටත් රැකියාවක් සුරක්ෂිත කිරීමට නොහැකිවෙලා තිබෙනවා. 


රටේ උගත් යැයි සුදුසුකම් ලැබූ පිරිස වැඩිවීම ලංකාවේ වර්ධනයවෙමින් පවතින රැකියා වෙළඳපලටත් දරාගන්න බැරිවෙලා. සමහර කෙනෙක් කියන්න පුලුවන් රැකියා තිබෙනවා සුදුසුකම් ඇති පිරිස නෑ කියලා. ඒකත් ඇත්ත. මොකද අපේ රටේ තරුණ පිරිස අධ්‍යාපනය ලබන ආකාරය හා රටේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු ගැටලු තිබෙනවා. නමුත් ඒ අධ්‍යාපන ක්‍රමය හදන්න ඔබටවත් මටවත් එක දවසින් කරන්න බෑ. ඒක නිසා අනාගතයට ගැලපෙන රැකියාවක් ලබාගන්න නම් වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා 

උපාධිකාරයොන්ට රැකියා නැද්ද ?

මේ කියන දේ සෑහෙන්න ඇත්තකුත් තියෙනවා. මොකද අද ලංකාවේ රැකියා ලබාගැනීමේ පහසුව යම්තරමකින් හෝ ලැබිලා තිබෙන්නේ වෛද්‍ය, ඉංජිනේරු/තාක්ශණ, නීති හා සමහර විට වානිජ/කළමණාකරන උපාධිධාරීන්ට පමණයි. එතකොල කලා අංශයේ අයට මොකද වෙන්නේ ? විශ්ව විද්‍යාලවලට කලා විෂයධාරාව කරන්න සිසුන් විශාල පිරිසක් යනවා. ඒ අයට අනෙකුත් ධාරා වල අයට වඩා රැකියා සෙවීමේ ගැටලුවක් තිබෙනවා කියලා අපි පිලිගන්න ඕන. නමුත් ඒ අයත් උපාධියක් විතරක් තියාගෙන රැකියා හොයන්න නම් සූදානම් වෙන එක නිෂ්ඵලයි. 

ඉහත කාරනේ වෛද්‍ය උපාධීධාරීන්ට ඇරෙන්න අනිත් හැම කෙනාටම අදාලයි. අද කාලේ උපාධියෙන් විතරක් රැකියා ලබාගන්න යන එක ඉබ්බන්ගෙන පිහාටු ගන්නවා වගේ දෙයක්. මොකද උපාධිකාරයින් ගනනක් රැකියාවට ආවහම ඒ සියලුදෙනාගෙන් කැපීපෙනෙන දක්ෂතා හා සුදුසුකම් ඇති කෙනාටයි රැකියාව දෙන්නේ (දේශපාලන පන්දම්කාරයොන් හා පගාවට රැකියාවට දාන අයට ඇරෙන්න.) ඒ අවස්ථාවලදී කෙනෙකුට රැකියාවක් ලබාගන්න ඕන නම් උපාධියට අමතරව සුදුසුකම් තිබෙන්න ඕන. 

රැකියාවකට සූදානම් වෙනන් පටන් ගන්න ඕන කොයි කාලෙද ?

මේක් වැදගත් ප්‍රශ්ණයක්. මේකට මම දෙන උත්තරේ තමයි කෙනෙක් ඉපදුනු දවසේ ඉඳලා කියලා. ඒක විකාර උත්තරයක් වෙන්නත් පුලුවන්. නමුත් දරුවෙක් ඉපදිච්ච දවසේ ඉඳලා අලුත් ලෝකයට හුරුකරන්න දෙමාපියෝ මතක තියාගන්න ඕන. අනාගත ලෝකයට අවශ්‍ය වෙන්නේ කඩිසර, බුද්ධිමත් හා එඩිතර පිරිස්. ඒ වගේම ආත්ම විශ්වාසයෙන් වැඩකරන්න පුලුවන් අය. එවැනි කෙනෙක් බවට තමන්ගේ දරුවන්ව පත්කරන්න දෙමාපියන් උත්සාහ කරන්න. අනාගත ලෝකය කියන්න ඉතාම තරඟකාරී තැනක්. ඒ තරඟයට බයේ හැංගෙන්න කාටවත් බෑ. කුඩාකාලේම ස්වාධීනව හිතලා වැඩකරන්න ළමයා පුරුදු පුහුණු කලේ නැත්තම් දරුවා පසුගාමී වෙනවා.
 මම මේ කරුණු කිව්වේ අනාගතයේදී මවක් වෙන්න පියෙක් වෙන්න බලාපොරොත්තු වෙන අයට පමණයි 

පාසල් අධ්‍යාපනය

දරුවා ටිකක් වැඩුනාම අප පාසලකට ඇතුලත් කරනවා. බොහෝ දෙමාපියන් කුඩාකල සිටම දරුවාව යොමුකරන්නේ පොත පතේ වැඩවලට පමණයි. මේක ඉතාම වැරදි දෙයක්. අද ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තිබෙන්නේ කටපාඩම් කරලා විභාග සමත්වෙන පොත්ගුල්ලන් පිරිසක් බිහිකරන්න මිසක් වෙන දේකට නෙවෙයි. පොතපතේ දැනුම දෙන්න අවශ්‍යයි. නමුත් ක්‍රීඩා කටයුතු හා විශය බාහිර කටයුතු පිළිබඳව ළමයා උනන්දු කිරීම ඉතාම ගොඩක් හොඳයි. මොකද කෙනෙකුට අවශ්‍ය නායකත්ව හැකියාව, ජය පරාජය විඳ ගැනීම, එඩිතරකම ඉවසීම වගේ දේවල් වර්ධනය වෙන්නේ ක්‍රීඩාවලින්. ඒ වගේම බාහිර සමාජය සමග කඩයුතු කිරීමේ හැකියාව, වගකීම් දැරීමේ හැකියාව වගේ දේවල් වර්ධනය වෙන්නේ පොතේ දැනුමෙන් නෙවෙයි බාහිර කටයුතු වලින්. 

අද කාලේ උසස් සමාගම් වලින් විධායක තනතුරු වලට තෝරාගන්නා විට ඉල්ලන ප්‍රධානම සුදුසුකම තමයි ක්‍රීඩා හා විශය බාහිර කටයුතු. ඒවා නොමැති කෙනෙක් ගැන ඔවුන් උනන්දුවෙන්නේවත් නෑ. එමනිසා පාසල් වල ඉන්නා පිරිස වගේම දෙමාපියනුත් දරුවාගේ අනාගතය උදෙසා ක්‍රීඩා හා විෂය බාහිර කටයුතු වලට අනිවාර්යයෙන්ම දරුවන්ව යොදවන්න. ඒක කවදාවත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නෑ 

වෘත්තීය හා අනෙකුත් සුදුසුකම් වල වැදගත්කම 

උපාධියට පමණක් රැකියාවන් නෑ වගේම හොඳ රැකියාවක් ලබාගන්න උපාධියක් අවශ්‍යම නෑ. මෙන්න මේ කරුණ තමයි වැදගත්ම. මෙතනදී වෘත්තීය සුදුසුකම් අවශ්‍ය වෙනවා. අද රටේ විවිධ වෘත්තීය සුදුසුමක් ලබාගන්න හැකියාවන් තිබෙනවා. අද සාමාන්‍යපෙල සමත්වෙලා උසස් පෙල කරනකොට හැමෝම කරන කුඩා පරිගණක පාඨමාලා කරනවාට වඩා පිළිගත් ආයතනයට ලොකු පාඨමාලාවක කොටසක් හදාරන්න පුලුවන්. උදාහරනයක් විදිහට ගත්තොත් වානිජ විශය හදාරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔහුට ගිණුම්කරණ, අලෙවිකරන සහතික පත්‍ර පාඨමාලාවක් හදාරන්න පුලුවන්. බොහෝ වෘත්තීය සුදුසුකම් වලදී මුලු පාඨමාලාව කොටස් වලට බෙදලා තිබෙන නිසා මූලික අදියර උසස් පෙලට කලින්ම නිමකරන්න පුලුවන්. මේ වගේ පාඨමාලා උසස් පෙල ගනිත අංශයෙන් කරන්නට සූදනම් වෙන අයට වගේම කලා අංශයේ අයටත් කරන්න පුලුවන්. කාලය කාදමනවාට වඩා මේ වගේ අර්ථාන්විත දෙයක් කරනවා නම් ගොඩක හොඳයි .ඒ වගේම උසස් පෙල අවසන් වුනාම කලින් කරපු පාඨමාලාවේ ඉතිරි අදියට නිමකරන්නත් පුලුවන්. සෑම විටම ටිකෙන් ටික මේ සුදුසුකම් තමන් තුල ඇතිකරගන්නවා කියන්නේ අනිත් අයට වඩා ලොකු වාසියක්. 

විශ්ව විද්‍යාලවල ඉගෙනගන්නා ගමන්ම මේ වගේ අනෙක් සුදුසුකම් ගැනීම අනිවාර්යයෙන් කල යුතුයි. මොකද රැකියාවක් ලැබීම හා නොලැබීම තීරණය වෙනේ ඔබ විශ්ව විද්‍යාලයේදී ගන්නා තීරණ මත. මේ වගේ වෘත්තීය සුදුසුකම් ගන්නවා වගේම විශ්ව විද්‍යාල උපාධියට අමතරව් බාහිර තාක්ෂණික උපාධි හදාරන පිරිස් අද ඕනෑතරම් ඉන්නවා 

Internships (මෙහි සිංහල තේරුම නම් නොදනී- බොහෝවිට සීමාවාසික පුහුණුව විය යුතුය)

මේකත් ඉතාම වැදගත් දෙයක්. කෙනෙක් උපාධිය හදරන අතරේ ඒ සමබන්ධ පුහුණුව හා අත්දැකීම ලබාගන්නට මෙය අවස්ථාවක් කරගන්න පුලුවන්. සමහර උපාධිවල මෙම පුහුණුව අනිවාර්යයි. අනෙක් උපාධි වල ඒසේ නෑ. නමුත් අනාගත රැකියාවකට මෙය කෙසේ හෝ කල යුතුය. තාක්ෂණික හෝ ඉංජිනේරු උපාධි වලදී නම් මෙය බොහෝ විට ලැබෙනවා වුවත් කලා හා වානිජ උපාධිවලට ගැලපෙන පුහුණුවක් ලබාසිටීම වැදගත්. නූතනයදී උපාධියටත් වඩා පුහුණුව වැදගත් නිසා සීමාවාසික පුහුණු වලට අයදුම් කිරීම නුවනැති පියවරක්. අද රැකියා වෙළඳපලේ තිබෙන දැඩි තරඟය නිසා රැකියාවක් ලබාගැනීම ඉතාම අසීරු වෙන්න පුලුවන්. නමුත් ඉගෙනගන්නා කාලයේදී පටන් එයට සූදානම් වීමෙන්, තමන් දක්ෂයෙක් බව පෙන්වීමෙන් උපාධියක් ලබාගන්න හැකියාව තිබෙනවා. 

ලෝකය දැඩි තරඟකාරී තැනක් අතීතයේ තිබ්බ සංහිඳියාවක් අද නෑ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ නූතන ලෝකයට අපිට හැඩගැහෙන්න වෙනවා. ඒක අනිවාර්යයි. තමන්ගේ සුරැකීම හෝ විනාශ වීම තියෙන්නේ තමන් ලඟමයි. තමන් කරන දේ හා ගන්නා තීරණ මත තමන්ගේම අනාගතය ලියැවෙනවා. සතුන් කෑම සොයාගන්න සටන් කරනවා වාගේම මිනිසාටත් තමන්ගේ අනාගතය සුරක්ෂිත කිරගැනීම සඳහා තමන් වටා ඉන්න අනෙක් පිරිස් සමග සටන් කරන්න වෙලා තියෙනවා. එසේ අනාගතය සඳහා, රැකියාව සඳහා, අධ්‍යාපනය සඳහා සටන් කිරීමේ හැකියාව නැත්තන් ඔහු ලෝකයට ගැනපෙන්නේ නෑ.


මම මේ ලියමන ඉවර කරන්න කලින් ඇඩොල්ෆ් හිට්ලර් වරක් ප්‍රකාශ කරපු කියමනක් ලියන්නම්



Those who want to live, let them fight, and those who do not want to fight in this word of eternal struggle do not deserve to live.
"කෙනෙකුට ජීවත් වෙන්න අවශ්‍ය නම් ඒ සඳහා සටන් කරන්න. ජීවිතය සඳහා, පැවැත්ම සඳහා සටන් කිරීමට අකමැති කෙනෙක් ජීවත්වීමටත් සුදුසු නැත"










ප.ලි. : මේ ජීවිතය කියන්නේ අතුරේ යනවා වගේ වැඩක්. එක අඩියක්වත් වරදියට තිබ්බොත් ආයේ කවදවත් හදන්න බැරි විදිහට ජීවිතය අඳුරු වෙනවා. කෙනෙක් අතීතයේ ගත්ත තීරණවලින් ආපු නරක ප්‍රතිඵල නැති කරන්න නම් එක්කෝ එයා මැරිලා ඉපදෙන්න ඕන නැත්තන් අතිතයට යන්න ඕන. ඒ කිසිම දෙයක් කරන්න බැරි නම් එයාට කරන්න ඉතුරු වෙලා තියෙන එකම දේ තමයි තමන්ට වැරදිච්ච තැන අනිත් අයට කියලා දීමත් ඔවුන්ට ජීවිතයේ වරදින්නේ නැතුව ගමන් කරන්න උපකාර කරන එක. මම කරන්නෙත් ඒකයි 













Wednesday, October 31, 2012

මිනිසා තුල සැඟවගත් යක්ෂයා (Psychopaths among us )



මෙම ලිපිය මා ලිවූ ලිපිවල ස්වභාවයෙන් තරමක් ඔබ්බට ගොස් ප්‍රායෝගික මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රයට බර වූවකි.

අප අපේ ජීවිත කාලය තුල විවිධ පුද්ගලයින් ඇසුරු කරයි. ඒ අය විවිධ පෞරුෂ ඇත්තන්ය. හොඳ හෝ නරක, ආත්මාර්ථකාමී හෝ පරාර්ථකාමී, මසුරු හෝ ත්‍යාගශීලී අය ඒ අතර සිටියි. මේ සියල්ලන්ම අතරින් අතිශයින් කුරිරු නමුත් මානසික ආබාධයක් හෝ ව්‍යාධියක් නොපෙන්වන මිනිසුන් කාන්ඩයක් ඇත. 

Psychopaths යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන මෙම පිරිස සාමාන්‍යයෙක් සිංහල ව්‍යවහාරයේදී "මානසික ව්‍යාධිකරුවන්" ලෙස හැඳින්වුවද එය බොහෝවිට නිවැරදි නැත. Psychopath හි ඉංග්‍රීසි තේරුම නම් 

"A person with an antisocial personality disorder, manifested in aggressive, perverted, criminal, or amoral behavior without empathy or remorse" 

යන්නයි. එනම් සමාජ විරෝධී හැසිරීමකින් යුතු සදාචාරයෙන් තොර නපුරු හැසිරීම් වලින් යුතු සහකම්පනයෙක් තොර වූ පුදගලයෙකි.මෙම තත්වය පෞරුෂ ආබාධයක් වුවත් මානසික ව්‍යාධියක් නොවේ. එමෙන්ම Psychopaths පුද්ගලයින් දැඩි හැසිරීම් තිබෙන පුද්ගලයින් ලෙසද වරදවා වටහාගතයුතු නැත. අන් පුද්ගලයින්ගෙන් Psychopaths ලා වෙන් කරගන්නා ප්‍රධානම නිර්ණායකය වන්නේ ලාගේ අභ්‍යන්තර අනුකම්පාවක් නොමැතිකමයි. මා මේ ලිපියේ සෑම විටම මෙම පුද්ගලයින්ට "Psychopaths" කියාම යොදා ඇත.  


මොවුන්ගේ ලක්ෂණ පහතින් ලයිස්තුගතකර හැක.


හැඟීම් දැනීම් අඩුකම 
මානසික ආතතියට ඔරොත්තු දීම
සහකම්පනයෙක් තොරවීම
වරදකාරී හැඟීම් වලින් තොරවීම
දැඩි මමත්වය
ඉතාම ප්‍රසන්න ආකාරයෙන් සමාජයේ හැසිරීම (මේ කරුණ නිසාම පුද්ගලයින් හඳුනාගැනීම ඉතාම අසීරුය)

සෑම විටම තමන්ගේ ප්‍රයෝජනය උදෙසා අන් අයව තමන්වෙත නතුකරගෙන ඔවුන්ව රවටා තම අරමුණ ඉටුකරගනියි. තමන්ට අන් අයව ප්‍රයෝජනයක් නැති බව හැඟුනු විට ඒම  පුද්ගලයින්  අයින් කර දැමීමටද මොවුන් පසුබට නොවෙති. පලිගැනීමේදී දරුණු වල මෙම පුද්ගලයින් තම ගොදුර වෙත සෑම අවියකින්ම දමා ගසා ඒ පුදගලයින්ගේ රැකියාව, සමාජ ජීවිතය හා පවුල පමණක් නොව ජිවිතය පවා පලිගැනීමේදී දරුණු වල මෙම පුද්ගලයින් තම ගොදුර වෙත සෑම අවියකින්ම දමා ගසා ඒ පුදගලයින්ගේ රැකියාව, සමාජ ජීවිතය හා පවුල පමණක් නොව ජිවිතය පවා උදුරාගනී

පුද්ගලයින් ඉතාම සාර්ථකව තම රැකියාව හා සමාජ ජීවිතය ගෙවයි. ඔවුන් තුල ඇති අභියෝග වලට මුහුණදීම, නිර්භීතකම, අවධානම් ගැනීම හා කෙනෙක් තමන්ට නම්මා ගැනීමේ හා රැවටීමේ හැකියාව මෙන්ම දැඩි තීරණ ගැනීමට පසුබට නොවීම යන ගුණාංග නිසා නූතන ව්‍යාපාර ලෝකය තුල ඉහලටම නැගීමට මෙම පුද්ගලයින්ට හැකිවී තිබේ. මිනිසුන්ගෙන් 1% පමණ වන මේ පිරිස අද ව්‍යාපාර ලෝකයේ සිටින පිරිසගෙන් 10% පමණ වීම මත Psychopaths ලා කොතරම් සාර්ථක භාවයක් ලද්දේද යන්න පැහැදිළි වේ 

මෙවුන්ව හඳුනාගැනීම තරමක් අපහසුවේ. සෑම දක්ෂ පුදගලයෙක්ම Psychopath කෙනෙක් නොවිය හැක. එමෙන්ම ආත්ම විශ්වාසයෙන් වැඩකිරීමට Psychopath කෙනෙක්ම වීමට අවශ්‍ය නැත. නමුත් කපටිකම්, ඉක්මනින්ම ජයග්‍රහණය ලැබීමට ඇති ආශාව, ජීවිතයේ ස්ථාවරව පවත්වාගැනීමට ඇති අකමැත්ත, අනෙක් පුද්ගලයින්ගෙන් දැඩිසේ පළිගැනීම වැනි ලක්ෂණ නිසා මොවුන් විශේෂිත වේ. 

අවාසනාවකට අද ලෝකයේ ඉහල රැකියාවන් කරන්නන් හා නායක/විධායක පුද්ගලයින්ගෙන් බොහොමයක් Psychopath ගනයට වැටේ. මෙවන් පුද්ගලයින් යටතේ වැඩකරන්නට හෝ එවන් පුද්ගලයින් සමග ගනුදෙනු කරන්නට අනිවාර්යයෙන් අපට සිදුවේ සමහරවිට තමන්ගේ මිතුරා හෝ සහකාරිය/සහකරු මෙවන් පුදගලයෙක් විමේ ඉඩක් ඇත. නමුත් එම ලක්ෂණ "මනෝව්‍යාධී තත්වයක්" යැයි ඔබ නොදැන සිටින්නටද ඇත.  

මෙම පුදගලයින්ගේ ගොදුරක් වීම ඉතාම භයානක වේ. නමුත් පහත කරුණු වලින් මෙම පුදගලයින් සමග ගනුදෙනු කරන ආකාරය විස්තර කෙරේ 

  • Psychopath කෙනෙක්ගේ ගොදුරක් වෙනවාට වඩා මොවුන්ට කල් තියා හඳුනාගැනීම ප්‍රතිඵලදායකය. 
  • අලුත් රැකියාවට, පරිසරයකට පැමිණියහොත් කිසිඳු පුදගලයෙකු ගැන විශ්වාසය තබන්නට එපා. ඔබව අල්ලාගැනීමට, රවටා ගැනීමට Psychopaths පුද්ගලයින් නිතර සිටියි. 
  • සෑම විටම Psychopaths ලා ව මග අරින්න. එමෙන්ම තමන් මානසිකව හා කායිකව ශක්තිමක් කෙනෙක් බව පෙන්වන්න. බොහෝ විට Psychopaths ලා තම ගොදුරු බවට පත් කරගන්නේ දුර්වල පුද්ගලයින්ය 
  • අවාසනාවකට මොවුන්ගෙන් කරදට සිදුවුවහොත් ඊට මුහුණදීමට සියලු ශක්තිය, ඔවුන්ගෙන කරදර සිදුවුන බවට ඇති සාක්ෂි ආදිය ප්‍රවේසමෙන් රැස්කරගෙන එක්වරම පහරදීම වඩා යෝග්‍ය වේ. රැකියාවේදී නම් ඉහල අධිකාරියකට පැමිණිලි කිරීමට පෙර ඉතාම සැලසුම්සහගතව එය කල යුතුවේ 

අවසාන වශයෙන් කිව යුත්තේ මේ සමාජය කිසිසේත්ම යහපත් තැනක් නොවන බවයි. එය පිරී ඇත්තේ නපුරු දුෂ්ට පුදගලයින්ගෙනි. නමුත් සමාජයෙන් දුරස් වී අපට ජීවත්වීමට නොහැකි නිසා කෙසේ හෝ නපුරු සමාජයත් සමග ගනුදෙනු කල යුතුවේ. අපට යහපත් පුද්ගලයින් ලෙස ජීවත් විට හැක නමුත් සමාජයේ දුෂ්ටකම්, නපුරුකම් හා රැවැට්ටීම් වලට ඔරොත්තු දෙස ලෙස අපේ පෞරුෂය වර්ධනය කරගැනීම අනිවාර්ය වේ. 




Tuesday, October 23, 2012

සියදිවි නසාගැනීම් ගැන යමක්



සියදිවි නසාගැනීම අද සමාජයේ බෙහෙවින්ම කතාබහට ලක්වෙන මාතෘකාවක්. තමන් විසින් තම ප්‍රාණය නිරුද්ධ කරගැනීම එකෙන් අර්ථවත් වෙනවා. සමාජයේ මෙන්ම ආගම් වල පවා මෙය නොකලයුත්තක් ලෙස හැඳින්වුවත් ලංකාවේ සියදිවි නසාගැනීම් වාර්ථාගත ලෙස ඉහල ගිහිල්ලා. පුවත්පත් වල එක දිනකට එවැනි පුවත් එකක් හෝ කීපයක් නොමැති දවසක් නැතිතරම්. මේ සියදිවි නසාගැනීමේ රැල්ලට විරුද්ධව විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කලත් තවමත් ඒ ප්‍රවතාවේ වැඩීමක් මිස අඩුවක් නම් නැහැ 

සියදිවි නසාගැනීමට හේතු කීපයක් බලපාන්න පුලුවන්.  ප්‍රේම සම්බන්ධතා බිඳීයාම, රැකියා අහිමිවීම හෝ ආදායම් මාර්ග නොමැතිවීම, අධික මානසික ආතතිය, කාලයක ඉඳන් පැවැතෙන කායික රෝග මෙන්ම තමන්ගේ සමීපතමයෙක් මියගියවිට දැනෙන අධික ශෝකය නිසාත් කෙනෙක් සියදිවි නසාගැනීමට පෙළඹෙන්න පුලුවන්. මේ සෑම අවස්ථාවකදීම පෙනෙන්නේ ජීවත් වෙනවාට වඩා මරණය සැපයි යන පූර්ව නිගමනය මත මේ කියාවට පෙළඹීමයි. එනම් ජීවත් වෙමින් දුක විඳවනවාට වඩා මියයාමෙන් ඒ දුක නැතිවේවි යන හැඟීමයි. 

සියදිවි නසාගැනීමට කෙනෙක් විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්. ප්‍රචලිත ක්‍රම අතර ගෙල වැලලා ගැනීම, විශ පානය කිරීම, කෝච්චියට පැනීම, ගෙඩනැගිලිවලින් බිමට පැනීම ආදිය හඳුන්වන්න පුලුවන්. එමෙන්ම නිදි පෙති හා විවිධ ඖෂධ වර්ග පානයද මරණයට හේතුවක්. බොහෝ දෙනා සියදිවි නසාගැනීම තෝරාගන්නේ මේ ජීවිතය දුකෙන් හා වේදනාවෙන් විඳවමින් ගෙවනවාට වඩා මරණය යහපත් යන විශ්වාසයෙන් වුවත් මරණය ලඟා කරගන්නා ක්‍රම සියල්ලම ඉතාම වේදනාත්මකයි. උදාහරණයක් ලෙස ගෙල වැලලා ගැනීමෙන් මරණයට පත්වීමට විනාඩි 10 ක් හෝ ඊට වඩා වැඩි ගණනක් මරුවා හා සටන් කිරීමට කෙනෙක්ට සිදුවෙනවා. තමන්ම සාදාගන්නා තොන්ඩුව, පනින උස ප්‍රමාණය ආදිය නිවැරදි ගණනයකින් තොරව ආවේගයෙන් යුතුව තම ජීවිතය අවසාන කරන අදහසින් ගෙල වැලලාගත්තද කෙනෙකුට අත්විඳින්නට වෙන්නේ අතිශය කටුක මරණයක්. හදිසියේවත් එම ක්‍රියාව අසාර්ථක වුවහොත් එම පුද්ගලයාට විරුද්ධව නීතිමාර්ගයෙන්ද කටයුතු කර හැකිය. 

සමාජයේ බොහෝ දෙනාගේ තිබෙන මතයක් තමයි සියදිවි හානිකරගන්නේ ජීවිතයට මුහුණ දීමට නොහැකි දුර්වල පුද්ගලයන් කියා. ආදරය අහිමිවීම නිසා ගෙල වැළලා ගන්නා හෝ කොච්චියට පනිනා බොලඳ පෙම්වතුන් පෙම්වතියන්ට මෙය අදාල වුවත් සියදිවි නසාගන්නා සැලකිය යුතු පිරිසක් එය තෝරාගන්නේ තමන්ට වෙනත් මාර්ගයක් නොමැති නිසාය. තමන්ගේ සෙසතම විනාශ වී ණය ගෙවාගැනීමට නොහැකිව පවුල් පිටින් මරු තුරුලට යන ගොවි මහතුන් එවැනි පිරිසක්. එමෙන්ම ජීවිත කාලයේම දැඩි කායික පීඩා විඳින සමහර පිරිස්ද මරණය ස්ව කැමැත්තෙන්ම තෝරාගන්නේ ජීවත්වීමේ නොහැකියාව ඔවුන් හොඳින්ම දන්නා නිසාය. මරණය ලඟා කරගැනීමේ මාර්ගය කොතරම් දුක්ඛදායක වුවත් ඒ සියල්ලටම මුහුණදී ජීවිතය තොර කරගැනීමේ තීරණය මෙවන් අය ගනී. කිසිඳු අයුරකින් එය සාමාජීය වශයෙන් සාධාරණීකරණය කිරීමට නොහැකි වුවත් එම පුද්ගලයින්ගේ තත්වයේ ඔබ සිටියහොත් ඔබත් ගන්නේ එම තීරණය වීමට බොහෝසෙයින් ඉඩ ඇත.

මේ ලේඛකයාද එවැනි සියදිවි නසාගැනිමේ හැඟීම් වලින් පීඩාවිඳි පුද්ගලයෙකි. සියදිවි නසාගැනීමේ පෙළඹීම හා එවැනි තත්වයකදී ඇතිවන අසරණභාවය වෙනත් කෙනෙක්ට කෙදිනකවත් අවබෝධ කරගත නොහැකිය. එවැන්නක් අවබෝධ කරගත හැක්කේ ඒ අත්දැකීම හා හැඟිම අත්දැක ඇත්තෙක් පමණි. සියදිවි නසාගැනීමේ පෙළඹීමක් ඇති පුද්ගලයෙක් කෙරෙහි සමාජය හැසිරෙන ආකාරයත් වෙනස්විය යුතුයි යන්න මගේ හැඟීමයි. බොහෝවිට එවත් ලක්ෂණ පතල කරන කෙනෙක් කෙරෙහි සමාජය විසින් පනවන වරදකාරී ලේබලය හා තමා දුර්වලයෙක් යන හැගීම පුද්ගලයෙක්ව තවදුරටත් සියදිවි නසාගැනීමට උඩගෙඩිදීමක් වේ. එවැනි අවස්ථාවලදී එම පුද්ගලයාව ගැරහීමට හා අවඥාවට ලක්කරනවා වෙනුවට හැකි ඉක්මනින් මානසික වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදේශනයට යොමුකරනවා නම් වැදගත් වේ. 

නූතන ලෝකය තුල තිබෙන සමාජ පීඩනය හා ගැටලු නිසා වැඩිවැඩියෙන් පිරිස් සියදිවිනසාගැනීමට පෙළඹේ. ඉතාම සාර්ථක ජීවිත ගතකරවා යැයි සිතෙන පුදගලයින් පවා යම් අවස්ථාවලදී සියදිවි නසාගැනීමට පෙළඹිය හැක. එවිට දුර්වලට පුදගලයින් සියදිවි නසාගන්නවා යැයි කීම සෑමවිටම නිවැරදි නොවේ. 

නමුත් "කණ කැස්බෑවා වියසිදුරින් අහස බලනවා සේම" අප ලැබූ මේ මිනිස් ජීවිතය ඇත්තේ විනාස කරගැනීමට නොවේ. සැබැවින්ම අප ප්‍රාණය අපට අයිති නැත. එය අයත් වන්නේ මේ සුවිසල් ලෝකයට හා සොබාදහමටයි. එමනිසා අටලෝ දහමින් කම්පා නොවී ජීවිතයේ බැඳීම් ලිහිල් කරමින් උපේක්ෂාවෙන් ජීවිතයට මුහුණදීමට අප සියල්ලන්ම ඉටා ගතයුතුය. 

Monday, October 1, 2012

බෞද්ධයා අනතුරේ



බෞද්ධයින්ට ඉතාම කණගාටුදායක සිදිධියක් මීට දින දෙකකට පමන පෙර අසන්නට ලැබුනා. ඒ බංග්ලාදේශයේ බෞද්ධ පන්සල් කිහිපයක් ගිනිබත් කර ඒ ප්‍රදේශවලින් බෞද්ධයින් පළවා හැරි පුවතයි. දැනටත් ඒ ප්‍රචන්ඩකාරී වාතාවරණය මහගැරී නැත. 





මේ සිද්ධිය බංග්ලාදේශයේ සිද්ධවුනු පළමු වතාව නොවේ. බංග්ලාදේශ ජනගහනයෙක් 1% පමණ වාසය කරන බෞද්ධ ප්‍රජාව බංග්ලාදේශ චිතගොන් නිම්නයේ සංකේන්ද්‍රණය වී වාසය කරනවා. ථේරවාදී බෞද්ධයින් ජීවත් වෙන රටක් හැටියටයි එය සැලැකෙන්නේ.




මෙම ප්‍රචන්ඩත්වයට හේතුව ලෙස අනාවරණය කරගෙන ඇත්තේ ආගමික ග්‍රන්ථයක් පුලුස්සා ඒ පින්තූරය ෆේස්බුක් වෙබ් අඩවියේ පළකිරීමයි. අවසානයේ එය කෙළවර උනේ බෞද්ධ පන්සල් රාශියක් ගිණිබත් කිරීමෙනි. ආගමකට අපහාස කිරීම අප හෙලාදැකිය යුතු කරුණකි. නමුත් මෙහිදී වැදගත් වෙන්නේ ග්‍රන්ථ පුලුස්සා දැමීම හේතුවෙන් මෙතරම් ප්‍රචන්ඩත්වයක් මුදාහැරිම නීතිමය වශයෙන් හා සදාචාරාත්මක වශයෙන් කොතරම් නිවැරදිද යන්නයි. 

මා මීට පෙර ලිපියකද සඳහන් කර පරිද්දෙන් චිත්‍රපටියකට තිබූ විරෝධතාවය තවමත් මගහැරී නොමැත. මේ ආකාරයෙන් ලෝකය පුරාම අන් ආගම් වලට එරෙහිව අන්තවාදී ක්‍රියා කිරීමට පෙලඹවීමක් ඇතිවීම එතරම් යහපත් දෙයක් නොවේ. 

ලිබියාවේ සිද්ධවූ සිද්ධිය මෙන්ම මෙයත් කිසිඳු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව නූගත්, කරුණු කාරණා නොදන්නා, අපහාස වලට නිසිආකාරයෙක් පිළිතුරු දීමට නොදන්නා පිරිසකගේ වැඩකි. ආගමික පූජකයින් ජනතාව කුපිතකරවා එය ගැටුමක් දක්වා වර්ධනය කිරීමක් මෙහිදී සිදුවී ඇත. බංග්ලාදේශ රජයටද මෙය පාලනය කිරීමට හැකියාවක් හා බලයක් නොමැතිබවද පෙනී යන කරුණකි. 





ලෝකයේ ආගමික ශාස්තෲවරුන් සියල්ලන්ටම පාහේ විවිධ තර්ජන, උපහාස හා අපහාස එල්ලවුනි. නමුත් ඔවුන් ඒ සියල්ලටම තාර්කිකව හා බුද්ධිමත් ආකාරයෙන් පිළිතුරු දුන්හ. බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේට එල්ල වූ අපහාස වලට නිසි පිළිතුරු දුන් සේක. උන්වහන්සේ කෙදිනකවත් අපහාස කරන්නාවූ තැනැත්තන්ගේ ආරාම විනාශ කිරීමට, ඔවුන්ව මරාදැමීමට අනුබල නොදුන් සේක. ලංකාවේද බෞද්ධයින්ට සිදුවන අසාධාරණකම් හමුවේ අප මොවුන් හැසිරී තිබෙන ආකාරයටම හැසිරුනා නම් මෙරට අන්‍ය ආගමික ස්ථනයක්, අන්‍ය ආගමිකයෙක් ඉතිරි නොවනු ඇත. දිනෙන් දිනම් අපහාසාත්මක වෙබ් අඩවි, ෆේස්බුක් ගිනුම් මතුවේ, නැගෙනහර පලාතේ බෞද්ධ ආරමවලට තර්ජණ එල්ලවී ඇත. නමුත් ඉහත කී මිනිස් වෙසින් සිටින යක්ශයින්ට වඩා ලංකාවේ බෞද්ධ ජනතාව කොතරම් ඉවසීමකින් සිටින්නේද යන්න පැහැදිලිය

එමෙන්ම අනෙකුත් ලොව පතල ආගම් වල ශාස්තෲවරුන්ද ඒහා සමානවම ක්‍රමයක්, අඩුම තරමේ "හින්සාවෙන් තොරව කරුනු පැහැදිලි කිරීමෙන්" එයට පිලිතුරු දුන් බව සිතිය හැක. නමුත් දැන් එම අයගේ අනුගාමිකයින් කරන්නේ කුමක්ද ? මේ ආගමික කණ්ඩායම් දැනගතයුතු කරුණක් නම් නූතන ලෝකය තුල ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකුගේ චරිතය ඝාතනය කිරීමට, අපහාස කිරීමට හැකියාවක් ඇති බවය. ඒවාට සන්සුන්ව බුද්ධිමත් ලෙස මුහුණදීම ඒ අයගේ යුතුකම වේ. 

අපහාස වලට තිරිසනුන් සේ අවි අමෝරා ගන්නවාට වඩා කරන්නට ඇති දේ බොහෝය. බංග්ලාදේශ රජයට මීට මැදිහත්වන්නට තිබුනි. එමෙන්ම යම් යම් නීතිමය කටයුතු ගැනීමට තිබුණි. නමුත් සිදුවූයේ කවුරුන් හෝ කරපු වරදකට කිසිත් වරදක් නොකල පිරිසකගේ ආගමික නිදහස අහිමිවීමයි.  මෙතන ඇති විහිලුවට කාරණය නම් ඔය ප්‍රචන්ඩත්වය පැතිරූ ආගමික කණ්ඩායමම ඔවුන්ගේ ලබ්ධියේ පිරිස් විවිධ ම්ලෙච්ඡ ක්‍රියා කරනවිට ඒවා නිසා ඔවුන් සියල්ලන්ම එම ගණයට ඇදදමන්නට එපා යැයි කීමයි. එසේ කියන ගමන්ම එක පුද්ගලයෙක් කී කාරණය අලලා සියලු බෞද්ධයින්ට පහරදේ 


අප කලයුත්තේ කුමක්ද ?

අප සමහර පිරිස් සිදුකලා සේ ආකාරයෙන් බංග්ලාදේශ තානාපති කාර්යාලය වැටලිය යුතු නැත. තානාපතිවරුන් මරාදැමිය යුතු නැත. උසාවි වලට ගල් ගැසිය යුතු නැත. පාරවල් වසමින් පොදු දේපල විනාශ කරමින් යකා නැටිය යුතු නැත. බුදුදහමට අපහාස උපහාස කරන්නවුන්ට, පන්සල් ගිනිතියන්නන්ට ඔවුන් කරගත් කර්මයේ බරපතලකම අනුව විපාක ලැබෙනුඇත. ඔවුන් නිසා අප පව් රැස්කරගැනීම මෝඩකමකි. 

මෙහිදී බෞද්ධාගම ආරක්ශාකිරීමට ව්‍යවස්ථාවෙන්ම් කැපැවී සිටින ශ්‍රීලංකා රජයට යම් කාර්යභාරයක් හිමිවී තිබේ. සාක් කලාපීය රටක් හා අපේ මිතුරෙක් වන බංග්ලාදේශ රජයෙන් එරට බෞද්ධයින්ට වන තර්ජන පිළිබඳව හා ආරක්ශාව ගැන විමසිල්මත්වීම වැදගත්ය. අනිත් ආගම්වලට වඩා ලෝක බෞද්ධ ප්‍රජාව සංවිධනය් ශක්තියෙන් අඩුය. එය වලක්වා එකමුතුකම මෙරටදීත් ජාත්‍යන්තර තලයේදීත් රඳවා ගැනීම තුලින්  අනාගතයේ එල්ලවිය හැකි බිහිසුනු ඉරණම්වලින් ගැලවීමට රුකුල් වේ. මේ කෙසේ වෙතත් ශ්‍රීලංකාවේ බෞද්ධයින්ට තිබෙන තර්ජන ගැන මුනිවත රකින රජය තුලින් මීට මැදිහත්වීමක් ලබාගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් වනබව කණගාටුවෙන් වුවද කිව යුතුය 

මේ රටේ ඕනෑම ආගමිකයෙකුට තමන්ට අවශ්‍ය විදිහට ආගමික නිදහස භුක්ති විඳිය හැක. නීත්යානුකූලව තමන්ගේ ආගමික කටයුතුවල කිසිම ගැටලුවකින් තොරව යෙදිය හැකිය. ඒ මේ රටේ බහුතරය වූ බෞද්ධයින්ගේ ආගමික සහනශිලීත්වය නිසාමය. එය දඩමීමා කරගෙන දිගටම කෙනිහිලිකම් කිරීමට ඒම එතරම් නුවැණැති ක්‍රියාවක් නොවන බවත් බෞද්ධයාගේ සහනශීලී ගුණය නිවටකමක්, මෝඩකමක් ලෙස වටහා නොගන්න ලෙසත් අන්‍යජාතික, අන්‍යාගමික පිරිසගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමි 

(ඡායාරූප උපුරාගැනීම  Russia Today )



Monday, September 17, 2012

ස්ටීව් ජොබ්ස් - සාර්ථක මිනිසෙකුගෙන් අපට උගත හැකි පාඩම්




අපි හැමෝම අහලා ඇති ස්ටීබ් ජොබ්ස් ගැන. ලෝකයේ විශාල පරිගණක සමාගමක නිර්මාතෲවරයාව සිට මියගිය සාර්ථක ව්‍යාපාරිකයෙන් තමයි ඔහු.

තමන් වැදූ අම්මාගෙන් තාත්තාගෙන වෙන්වෙලා, විශ්ව විද්‍යාල අධ්‍යාපනේත් කඩාකප්පල් කරගෙන අවසානේ දියුණුවේ හිනිපෙත්තටම නගින්න ඔහු සමත් වුනා.

ඔහු මහා මැජික්කාරයෙක් නෙවෙයි. ඔහුත් අපි වැනිම මනුශ්‍යයෙක්. ඔහුටත් අනන්තවත් වැරදීම්, පසුබැහීම් වෙලා තිබෙනවා. නමුත් අප සමාජයේ බොහෝ දෙනෙක් වගේ එම පීඩාවලින් නොවැටී ඔහු තමන්ගේ මාර්ගයේ ගමන් කරා. ලෝකයේ සෑම කෙනෙක්ම 100% සාර්ථක වෙන්නේ නෑ. ජොබ්ස් උනත් එහෙමයි. නමුත් තමන් ලබාපු ජීවිතයෙන් මුලු ලෝකයම වෙනස් කරන්න ඔහුට පුලුවන් උනා.

BBC නාලිකාව මෙහු ගැන වාර්ථාමය චිත්‍රපටයක් හැදුවා. මීට ටික කාලයකට පෙර මෙය නිර්මාණය උනත් ඔහුගේ ජීවිත කතාව අපි හැමදෙනාටම වැදගත් වෙන එකක් නිසා මම ඒ චිත්‍රපටය මෙතන ඇතුලක් කරනවා. අනිවාර්යයෙන්ම බලන්න.




මෙහුගේ ව්‍යාපාර හා ජීවන රහස් කිහිපයක් මම කෙටියෙන් දකවන්නම්. බොහෝවිට මේ රහස් ව්‍යාපාරික ක්ශේත්‍රයට වැදගත් වෙයි

1)  අලුත් විදිහට හිතන්න. ඒ හිතුවිල්ල කොච්චර රැඩිකල් උනත් කිරීමට අපහසු වුනත් තමන් සිහින දකින එක, අලුත් අලුත් අදහස් සැලසුම් කරන එක නවත්තන්න එපා

2)  තමන්ගේ ඉලක්කයට යාමට අවශ්‍ය ඕනෑම මානව හා භෞතික සම්පතක් ඉක්මනින්ම තමන් වෙත ලබාගන්න. ඒ වාගෙම තමන්ට අන්වශ්‍ය සියලුම සම්පත් බැහැර කරන්න. ව්‍යාපාරයකදී නම් මානව හා භෞතික සම්පත් මේ ගණයට ඇතුලු කරන්න පුලුවන්. ඒක කොතරම් අපහසුවක් උනත් තමන්ට වේදනාවක් උනත් තමන්ගේ අවසාන ඉලක්කයට බාධා වෙන ඕනෑම දෙයක් විනාශ කරන්න පසුබට වෙන්න එපා

3)  තමන් වරක් අසමත් වුවහොත් වෙනත් මාර්ගයක් තෝරාගන්න. නමුත් ඒ මාර්ගය තමන්ගේ අවසාන ඉලක්කය කරා යන එකක් දැයි සැකහැර දැනගන්න. ස්ටීව් ජොබ්ස් තමන් නිර්මාණය කරපු Apple සමාගමෙන්ම එළියට ඇද දැමූ විට තමන්ගේ අවසාන ඉලක්කය වූ "තාක්ෂණයෙන් ලෝකය වෙනස් කිරීම" යන්න ඉටුකරගැනීමට Pixar, NEXT  වැනි සමාගම් මිලට ගෙන ඒවා ලාභ ලබන තත්වයට ගෙනාවා. අවසානයේ සමාගමට නැවත්ත් ජොබ්ස් නැතුවම බැරි චරිතයක් උනා

ජොබ්ස් ගේ ව්‍යාපාර ඥානය ඉතාම වැදගත්. මේ ඔහුගේ බිස්නස් රහස් කීපයක්

1)  සෑමවිටම වෙනස් දෙයක් කරන්න. ඒකාකාරී දේවල් වලට මිනිසුන් අකමැතියි. අනිත් සෑම තරඟකරුවෙක් ගෙන්ම වෙනස් වූ අංග තමන් තුල ඇතිකරගතහොත් පාරිභෝගිකයෝ නිතැනින්ම ඔබ වෙත ඇදේවි

2)  පාරිභෝගික මතයට සංවේදී වන අතරම තමන් නිර්මාණය කල නව අදහස් වලට ඉල්ලුමක් පාරිභෝගිකයින් අතර ඇතිකරන්න. Apple සමාගමේ සම්පූර්ණ වෙලඳ උපක්‍රමය මෙයයි. Apple සමාගමේ භාන්ඩ පාරිභෝගික මතයට සංවේදී වෙමින් ඔවුන් විසින් ඇතිකරනු ලැබූ සංස්කෘතියට නිතැනින්ම පාරිභෝගිකයින් නම්මාගැනීමක් සිදුකෙරෙනවා. ඒම නිසා Apple නිෂ්පාදන වැනි වෙනත් ඒවා කොතරම් තිබුනත් පාරිහෝගිකයා වෙතම ඇදේ

3)  සෑම විටම සරල බවක් හා එකම Theme එකක් යොදාගැනීම. Theme එකට අනුව ඔවුන්ගේ නිෂ්පාදන, කාර්යාල, වෙලඳ ප්‍රචාරණ හා සේවක පිරිස පවා හැඩගස්වා තිබෙනවා. එයින් යම් පිළිවෙලක් හා ක්‍රමවත් බවක් ඇතිවෙනවා. (සරල බව පිළිබඳ අදහස ඇතිවූයේ බුදුදහමින් බව ජොබ්ස් වරක් කියා සිටියා.)

4)  ආයතනයේ සේවකයින් හා සැකැස්ම වෙනස් කිරීමට කවදාවත් ජොබ්ස් පසුබට උනේ නෑ. ආයතනයට අවශ්‍යය නොවන අය වගේම අවශ්‍ය නොවන ව්‍යාපෘති පවා වෙනස් කරා. ජොබ්ස් තමන්ගේ සේවයකයින් ගෙන තදින් වැඩගත් ස්වාමියෙන් බව ප්‍රකට කරුණක් නමුත් සේවකයින්ගේ ආත්ම විශ්වාසය ඉහල නංවා ගැනීමට ඔහු ඉතාම හොඳින් ක්‍රියා කලා.

5)  ව්‍යාපාරික සම්බන්ධතා ඇතිකරගැනීමටත් තමන්ට අවාසි වන අවස්ථා ඉවෙන් මෙන් දැනගෙන එවිට එම සම්බන්ධතා බිඳ දැමීමටත් ජොබ්ස් ක්‍රියා කරා. ඒ වගේම සෑම විටම ව්‍යාපාරය කෙරෙහි තමන්ගේ 100% අවධානය හා ශ්‍රමය ඔහු යෙදවූවා. තමන්ගේ සියලුම දේවල් පසෙකට තබා ආයතනය ගැන සිතීම එතරම් යහපත් වුනේ නැතත් සාර්ථකත්වය උදෙසා යම් යම් කැපකිරීම් කරන්න ඕන බවත් මතක තබා ගන්න

ඉහත සඳහන් බොහෝ කරුණු බහු ජාතික සමාගම් වලට් විතරක් නෙවෙයි, සිල්ලර කඩයකටත් යොදාගන්න පුලුවන් දේවල්. කවුරු හරි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නත්, තමන්ගේ ව්‍යාපාර දියුණු කරන්නත් මේ කාරණා උපයෝගී කරගත්තා නම් සාර්ථ්කත්වය නියත් බව අවසාන වශයෙන් කියන්න කැමතියි


Friday, September 14, 2012

ඉඟුරු දී මිරිස් ගැනීම (The American Version)



මැදපෙරදිග දැන් උනුසුම් වී තිබේ. මැදපෙරදිග රටවල් හයක ඇමරිකාවට හා බටහිරට විරුද්ධව ජනයා උද්ගෝෂණ සංවිධානය කර තිබේ. ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදුනු ජනතාව එයට ගිනි තබා ඇමරිකානු තානාපති තුමාද මරා දැම්මෝය. සුඩානයේ ඇමරිකානු හා ජර්මානු තානාපති කාර්යාල වලට පහර දුන්නේ අද දවසේය.


පෙනුමෙන් නම් බරපතල දෙයක් සිදුවී ඇත. ඇමරිකාවට ඉතිහාසයේ මුහුනදීමට සිදුවූ දරුණුම විදේශ ජන නැගිටීම මෙයයි. ඇමරිකාවට පමණක් නොව මුලු බටහිරටම විරුද්ධව මෙවන් ජන නැගිටීමක් පැමිනියේ ඉතිහාසයේ කවරදාකත් නොවූ විරූ අයුරිනි.

මේ මහා විරෝධතාවයන් වලට මූලික වූයේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වෙන ඊජීප්තියානු-ඇමරිකානු ජාතිකයෙක් විසින් ඉදිරිපත් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටියක් පිළිබඳවය.
එයින් එක්තරා ආගමික කණ්ඩායමක ප්‍රධාන ශාස්තෲවරයාට අගෞරවයක් වූ බව කියමින් ලොව පුරාම එම ආගමිකයින් වීදි බැස ඇමරිකානු හා බටහිර විරෝධී උද්ගෝෂණ වල නිරත වූහ. මේ චිත්‍රපටය තවම නිකුත් කර හෝ නැත. මෙතරම් විශාල ප්‍රචන්ඩ ක්‍රියා මාලාවකට ඉහත කී චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පමණක් ප්‍රමාණවත් වීම විශේෂ කරුණකි. මෙහිදී කිසිඳු ආගමකට නිර්දය ලෙස පහර ගැසීම අප අනුමත නොකරන නමුත් මේසා විශාල ජන නැගිටීමකට හේතුවූ මූලික කාරනා විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.




මේ ජන නැගිටීම් සිදුවුනු ප්‍රදේශ හා ජන කණ්ඩායම් ගැන විමසීමේදී ලිබියාව, ටියුනීසියාව, ඊජීප්තුව යන රටවල් ප්‍රධාන වේ. මුලින්මා ප්‍රචන්ඩ ක්‍රියා ආරම්භ වූයේද ඊජීප්තුවෙනි. ඉහත කී රටවල් තුනම අරාබි වසන්තයේ බලපෑමට හසුවී ආණ්ඩු පෙරලියකට ලක්වූ රටවල්ය. අරාබි වසන්තය යනු ඇමරිකාවේ නිර්මාණයක් බවට කිසිඳු සැකයක් නැත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර නඩය තමන්ට පාලනය කිරීමට නොහැකි ඒකාධිපතීන් හා ඒකාධිපති ආණ්ඩු මට්ටු කිරීමට කෙලින්ම් යුධ බලය නොයොදා තම ආධිපත්‍යය පතුරවා හැරීමට අරාබි වසන්තය යොදා ගත්තෝය


මෙය ඉතා සරල ක්‍රියවලියකි. පියවර මෙසේය



  • තමන්ට පලවා හැරීමට අවශ්‍ය ඒකාධිපති ආණ්ඩුවක් තෝරාගැනීම (එම රටේ ඒකාධිපතියාට විරුද්ධ සංවිධාන බලාත්මක වී තිබිය යුතුය.)
  • බටහිර ඒජන්තයින් එම සංවිධාන උත්තේජනය කර අවි-ආයුධ, මුදල් හා දේශපාලන සහයෝගය ලබාදිම
  • බොහෝ විට දේශපාලන නැගිටීමක් ලෙස බටහිර උදව් ලබන මේ සංවිධාන රාජ්‍ය බලය ලබාගනී.
  • එම රාජ්‍ය විරෝධී සංවිධාන ඒකාධිපතියා සමග සටන් කරන විට සිවිල් වැසියන් මියයාම ගැන කිඹුල් කඳුලු හෙලන ඇමරිකාව වක්‍රාකාරයෙන් සිවිල් වැසියන්ට හානි වෙනවා යැයි කියමින් යුධමය වශයෙන් ආණ්ඩු පෙරලියකට උදව් ලබාදේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇමරිකාවට නතුකර ගනී. 
  • අවසානයේ ඇමරිකාවේ සහය ලබන ආණ්ඩු විරෝධී කණ්ඩායම් බලය ලබා ගනී. 



මේ කණ්ඩායම් වල විශේෂත්වයක් ඇත. එනම් ඒ බහුතරයක් අතිශය ආගමික අන්තවාදී, මූලධර්මවාදී ත්‍රස්ත කණ්ඩායම් ඒ ඒවාට උදව් දෙන දේශපාලන කණ්ඩායම් වීමයි. මුලුන්ම රාජ්‍ය විරෝධී අරගල පටන් ගන්නා විට ආගමික අන්තවාදයක් නොපැවතුනද පසු කාලීනව අරාබි වසන්තයේ සියලුම අරගල වලදී ඉදිරියට ආවේ ආගමික අන්තවාදයයි. මෙය 1979 දී ඉරාන විප්ලවයට සමානය. ඉරනයේ ෂා රජතුමාට විරුද්ධව ඇරැබුණු එම අරගලය අවසානයේ ආගමික අරගලයක් ලෙස පැතිරගොස් දැඩි මතධාරී ආගමික නායකයෙක් ගේ පාලනයකට නතුවූ රාජ්‍යයක් බවට පත්වීය, දැන් ඉරානය දේශපාලන වශයෙන්ද නැවැත ෂා රජ සමයේ පැවැතියාටත් වඩා ඒකාධිපති පාලනයක් වී ඇත.


අරාබි වසන්තයේදී අවසානයේ ආගමික අන්තවාදී කණ්ඩායම් බලය අල්ලාගන්නා බව ඇමරිකාවද දැන සිටියේය. ඒ කෙසේ වෙතත් ඇමරිකාවට අවශ්‍ය වී තිබුනේ ආගමික අන්තවාදී වුවත් තමන්ට අවනත පාලන තන්ත්‍රයක් ගොඩනගා ගැනීමටයි. අවසානයේ නොසිතූ දෙයක් සිදුවිය. ඇමරිකාව විසින් බෝකරනු ලැබූ අරාබි වසන්ත විසබීජය ඇමරිකාවටම පරාවලලක් විය.




මැදපෙරදිග ජනයා (බොහෝ විට තරුණ පරපුර ) එතරම් බුද්ධිමත් නොවේ. ආගමික මතවාදයින් ඔස්සේ ජීවිත විනාශ කිරීම දක්වා ඔවුන්ගේ මනස පාලනය කිරීමට පහසුවෙන් හැකිය, නූතන සමාජ ජාල වෙබ් අඩවි වල පිහිටෙන් ආගමික අන්තවාදීන්ට මේ ආඥාන තරුණ පරපුර බටහිර විරෝධී කිරීමට හැකිවූයේ මේ නිසාය. ඇත්ත වශයෙන්ම ආගමට අපහාස කරන චිත්‍රපටය ඇමරිකානු රජයේ නිශ්පාදනයක් නොවේ එයට ඇමරිකානු ජාතිකයින්ගේ සම්බන්ධයක් නොමැත. ඇමරිකානු පුරවැසිභාවය ලැබූ ඊජීප්තු ජාතියෙක් විසින් කරනු ලැබූ මෙම චිත්‍රපටයට නැගුනු විරෝධය ඇමරිකාව කෙරෙහි කෙලින්ම යොදාගැනීමට හැකිවීම ඇමරිකාව විසින් මැදපෙරදිග ඇතිකල නව ආගමික අන්තවාදී සමාජයේ ජයග්‍රහනයක් යැයි කිව හැක.
 ආගමට අපහාස වන දේවල් අනන්තවත් මීට පෙර සිදුවී ඇත. එහෙත් මෙවැනි දරුණු සිදුවීම් හෝ බටහිර විරෝධී සිද්ධි මීට පෙර වාර්ථා වී නොතිබුණි.

 මේ සියල්ලටම හේතුව වන්නේ ඇමරිකාව විසින් ඇතිකල අරාබි වසන්තයයි. මැදෙපෙරදිග සමාජ සාමාන්‍යයෙන් දියුණු සමාජ හා දේශපාලන පද්ධතියකට උරුමකම් නොකියති. සංස්කෘතිය හා ආගම් විසින් විචාට බුද්ධිය මොටකරනු ලැබූ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඇවැසි නොවේ. ඒකාධිපති පාලනයක් යටතේ සිටීම ඔවුනට ඉතාම ගැලැපේ. එවන් සමාජයක් බලෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇද දැමීමෙන් සිදුවෙන්නේ ඒ ප්‍රජාත්න්ත්‍ර ව්‍යාපාරය ආගමික අන්තවාදීන් විසින් තමන්ගේ පටු උවමනා වලට නතු කරගැනීම පමණි.


ඇමරිකාව තමන් නිර්මාණය කල යක්ෂයාව තේරුම් ගැනීමට නොහැකිවීමෙත් දැන් පහර කමින් සිටී. නමුත් මෙම ප්‍රචන්ඩ ක්‍රියා වලින් අවසානයේ අවාසියක් අත්වෙන්නේ මැදපෙරදිග සිටින් ජනතාවටත්, ඇමරිකාවේ හා බටහිර රටවල සිටින මැදපෙරදිග සංක්‍රමණිකයින්ටය. ඇමරිකානුවන් තමන්ට සිදුවූ අවනම්බුවේ පලිය ගනු ඇත. එමෙන්ම ඇමරිකාවේ සිටින සුලු ආගමිකයින් හා සංක්‍රමණියකින් ඇමරීකානුවන්ගේ ප්‍රහාරයට ලක්වනු ඇත.

ආගමකට අපහාස කිරීම කිසිඳු හේතුවක් මත සාධාරණීකරණය කිරීමට නොහැකි අතරම ආගමේ නාමයෙන් දේපල ගිනි තැබීම හා මනුෂ්‍ය ඝාතන ද අප අනුමත නොකරමු.



නමුත් මෙම සිද්ධිය අප රටටද යම් පනිවිඩයක් ගෙනදෙයි. එනම් ලංකාවේ බෞද්ධයින්ට අපහාස වන අයුරින් විවිධ දේවල් මෑත කාලයේදී බෙදාහරින ලදී. බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන ලදී. එවැනි සිද්ධි වලට ඉහත කී චිත්‍රපටය මගින් අපහාසයක් වූ ආගමේ පිරිසක්ද සම්බන්ධ විය. බෞද්ධයාට විරුද්ධව අපහාස උපහාස හා තර්ජනය කිරීම් වලින් බෞද්ධයාට දැනෙන දුක, කෝපය හා කම්පාව චිත්‍රපටය මගින් එම ආගමිකයින්ටද දැනෙනු ඇත. 

මීට පසුවත් තමන් උපමා කරගෙන තමන්ට දැනෙන දුක හා පීඩාව අනුන්ටද දැනෙන බව දැනගෙන ඒ ආගමික පිරිස මේ රටේ ආගම් අතර සමගියක් ඇතිකිරීමට දායක වනු ඇතැයි මම විශ්වාස කරමි.