Friday, May 18, 2012

ලංකාවේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගනිමු



සෑහෙන කාලෙකට පසුව බ්ලෝග් ලිපියක් ලිවීමට සිතුනි. අපේ රටේ දේශපාලනය, කෘෂිකර්මය ගැන ලිපි ලියූ මම රටේ ස්වාභාවික සම්පත් රැකගැනීම ගැන ඔබව දැනුවත් කිරීමට මේ ලිපියෙන් උත්සාහ ගන්නෙමි.

යම් රාජ්‍යයකට තිබිය යුතු භෞතික සාධක නම් භූමිය හා ජනගහනයයි. ඒවා එම රටේ ස්වාභාවික සම්පත් වේ. රටක් දියුණු වෙන්නේ එම සම්පත් නිසි පරිදි කළමණාකරණය කරගතහොත් පමණි.

ශ්‍රී ලංකාව ගතහොත් අතීතයේ සිටම අපේ රටේ විශාල සම්පත් ප්‍රමාණයක් තිබූ බවට සාක්ෂි ලැබේ. ඒ උරුමය අද රටේ ජාතික ගීයෙහි "ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජයභූමියක් ලෙසින් දක්වා ඇත. අතිතයේ රටේ සම්පත් අතර ප්‍රධාන වූයේ කෘෂිකර්මයට සුදුසු භූමියයි. රටේ සෑම බිම් අඟලකම වසරේ සෑම කාලයකදීම බෝග වගාකිරීමට හැකියාව තිබුණි. එමෙන්ම ජල මූලාශ්‍ර විශාල ප්‍රමාණයක්ද පැවැතිනි.

මහමුහුදට යන එකඳු දිය බිඳුවක්වත් අපතේ නොයවා රට බත බුලතින් ස්වයංපෝෂිත කිරීමට එකට සිටි නරවිරුවන් ක්‍රියාකලෝය. කෙසේ වෙතත් රටේ රාජධානි වෙනස් වීම නිසා රටේ සම්පත් සියල්ලෙන්ම ප්‍රයෝජනයට ගැනීමට හා එයින් රටේ ස්ථාවරත්වයක් ඇතිකිරීමට අනුරාධපුර, පොලොන්නරු යුගයෙන් පසුව අපහසු විය. යටත්විජිතකරණයෙන් මිදී අප නිදහස ලැබුවද ස්ථාවර සංවර්ධන ප්‍රතිපත්තියක් නැතිවීමෙන් නිදහස්  ලංකාවේ එකඳු පාලකයෙකුටවත් රටේ සියලුම සම්පත් නිසි පරිදි කළමණාකරණය කරනවා විනා හඳුනාගැනීමටත් නොහැකිවීම රටේම අවාසනාව වේ.

මෙම තත්වය තුන්වන ලෝකයේ බොහෝ රටවල දක්නට ඇත. සම්පත් නිසි ප්‍රයෝජනයට ගැනීමත්, එයින් රටේ ජීවන තත්වය උසස් කරගැනීමටත් එම රටවලට නොහැකිවී තිබේ. මීට හොඳම උදාහරණය කොංගෝ රාජ්‍යයයි. ලෝකයේ වැඩිම ඛනිජ සම්පත් හිමි, ඉතා විශාල ජනගහනයක් ඇති මෙම රටේ තිබෙන ස්වාභාවික සම්පත්වල වටිනාකම පමණක් ඩොලර් ට්‍රිලියන 24ක් පමණ වේ. අද ලෝකයේ විශාලම ආර්ථිකය හිමි ඇමරිකාවේත් දල දේශීය නිෂ්පාදිතය ට්‍රිලියන 12ක් පමණ වේ. තමන්ගේ සම්පත් නිසි ලෙස කළමණාකරණය කිරීමට හැකිවූවානම් අද කොංගෝව ඉතාම දියුණු තත්වයකට පැමිනෙන්නට ඉඩ තිබුනි. ලංකාවේද තත්වය එයට තරමක් සමාන වේ. බාහිර හා අභ්‍යන්තර වියවුල් මෙන්ම නිසි නායකත්වයක් නොමැතිවීමට එයට බලපායි.

ලංකාවේ දියුණුවීමට අවශ්‍ය සම්පත් ලෙස නොමැත්තේ බොරතෙල් පමණි. අනෙක් සියලුම සම්පත් තිබුණද ඒවා නිසි පරිදි හඳුනාගෙන පවා නොමැත. රටේ පාවිච්චි නොකල භුමිය විශාල වශයෙන් ඇත. නමුත් සහල් හැරෙන්නට බොහෝ ආහාර පිටරටින් ගෙන්වයි. මීට වසර කිහිපයකට කලින් නම් සහල් පවා ආනයනය කෙරුනි. රටේ නිෂ්පාදනය නොකරන දේවල් පමණක් රටට ගෙන්වීමට නම් ඒවා රටතුල නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් සැපයිය යුතුය.

මෙහිදි තවත් කාරණයක් ඉස්මතු වේ. රටතුල යම් ද්‍රව්‍ය වල දේශීය අතිරික්තයක් තිබුණද විදේශවලින් ගෙන්වන එම ද්‍රව්‍යයේම මිලගනන් වැඩිවීම හා ඒවාට තැනක් ලැබීමයි.  කිරිපිරි මිළ එන්න එන්නම වැඩිවෙනවිට දේශීය කිරි ගොවියා තමන්ගේ කිරි විකුණාගැනීමට නොහැකිව කිරි ගංගාවන් පාරට මුසුකරන්නේ එම නිසාය. තමරටේ සම්පත් තිබෙද්දී ඒවා උකහා ගැනීමට කටයුතු නොයෙදීම නිසා මේ ගැටලු මතුවේ.

තව උදාහරණ රාශියක් ඇත. එප්පාවල පොස්පේට් නිධියක් තිබෙන බව අප දනිමු නමුත් දේශීය පොහොර නිෂ්පාදනය ඇත්තේ ඉතාම ප්‍රාතමික මට්ටමේය. නිසි කළමණාකරනයක් නොමැතිකම මෙයට හේතුවයි. තවද රටේ තිබෙන ඛනිජ සම්පත් ගැන කුඩාකාලේ සිටම අප දැනගෙන සිටිමු. ඉල්මනයිට් වැනි ඉතා වටිනා ඛනිජ ඇත්ත අද පුල්මුඩේ වැලි කර්මාන්තශාලාවේ නිපදවීමේ ප්‍රතිශතය ඉතා පහල මට්ටමක පවතී. සත්‍යතාව ගැන නොදන්නාමුත් අපේ රටේ ඛනිජ වැලිවලින් විද්‍යුත් පරිපථ නිෂ්පාදන කම්හලක් ඉදිකිරීමට ආයෝජනය කිරීමට අවසර ඉල්ලු විදේශික ආයෝජකයෙන් රටේ තිබෙන දූෂිත පරිපාලනය නිසාම එම අදහස ඇතහැර දැමූ කතාවත් මම අසා ඇත.

ස්වාභාවික සම්පත් වලට මෙවන් ඉරණමත් අත්වෙද්දී මානව සම්පතද විශාල ලෙසින් ප්‍රයෝජනයට නොගනී. එක අතකින් ශ්‍රම ගලනය, බුද්ධි ගලනය  ගැන කතා කරයි. අනෙක් අතින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවයි. රටක වැදගත්ම සම්පත වන මානව සම්පත රටේ ප්‍රයෝජනයට නොගෙන ඉවත දැමීම තරම් අභාග්‍ය සම්පන්න දෙයක් තවත් නැත.

ජනයා රටේ සංවර්ධනයට යොදාගැනිම වෙනුවට දැන් කාලයේ ආගමික, වාර්ගික ගැටුම්වලට ජනතාව පෙලඹවීමේ යම් ප්‍රවණතාවයක්ද ඇත. එය රටකට ඉතාම අහිතකර වේ. අප රටේ සිවිල් යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන් විවිධ යුධ උපකරණ නිපදවූහ. යුද්ධ ටැංකි වැනි වාහන, ආයුධ මෙන්ම සබ්මැරීන පවා නිපදවීමට, ඒවා ගැන පරීක්ෂණ පැවැත්වීමට උගත් තරුණ පිරිස් ත්‍රස්තවාදීන් සමග කටයුතු කලහ. යුද්ධය අවසානයේ එම ත්‍රස්තවාදී පිරිස් පුනරුත්ථාපනය කිරීමකට ලක්කලත් ඔවුනගේ එම නිර්මාණාත්මක හැකියාවත් නිසි ලෙස හඳුනාගෙන අපේ රටේ දියුණුවට යොදාගන්නවා වෙනුවට ඔවුන්ව විදේශ රැකියා සඳහා යොමුකිරීමක් පසුගිය කාලයේ දක්නට ලැබුනි. නමුත් ත්‍රස්තවාදීන් ලෙස සිටි එම තරුණ තරුණියන්ගේ දක්ෂතා රටේ දියුණුවට යොදාගත්ත නම් එයින් රටේ දියුණුව මෙන්ම එවැනි පිරිස් අතර ඇති පටු ජාතිවාදී හැඟීම පසෙක දමා ශ්‍රී ලාංකිකයින් ලෙස තමන්ගේ ශ්‍රමය හා බුද්ධිය මෙරටට ලබාදීමද ඇතිවේ. එවිට වෙනම රටක් ඉල්ලා අරගල කරනු වෙනුවට එම පිරිස්ද මව්බිමේ උන්නතියට කටයුතු  කරනු ඇත.

රටට හිතැති ලෙස තීරණ ගැනීම ආණ්ඩුවට බාරදී අප අත පිසදාගෙන සිටීමට අවශ්‍ය නැත. සෑම පුද්ගලයාම දේශීය සම්පත් නිසිපරිදි කළමණාකරනය කර එය රටේ දියුණුවට යොදාගැනීමට යම් මතයක් සමාජ ගත කලා නම් රටේ පාලනයේද යම් සහයක් එයට ලැබෙනු ඇත.

ශ්‍රී ලාංකිකයින් ලෙස මෙරට ඉපදුනු සෑම කෙනෙකුටම මෙරට පිළිබඳව යම් වගකීමක් ඇත. තමාගේ දියුනුවත් සලසාගෙන රටේ දියුනුවට කටයුතුකිරීම එයයි. අප රටට අන් සෑම රටකටම වඩා දියුණු වීමේ හැකියාව හා සම්පත් ඇත. අප කලයුත්තේ එම හැකියාව වටහා ගැනීම කා කළමණාකරණය පමනි.

Saturday, March 17, 2012

විදුලි බිලේ වැඩිවීමට තිත.


මීට ටික කාලයකට පෙර ලංකාවේ විශාල ආන්දෝලනයක් විදුලි බිල 40% වැඩිවීම පිළිබඳ ඇතිවුනා. විදුලිය 40% කින් වැඩිවීම යනු සොච්චමක් නොවේ. සමාජයේ පහල පන්තියේ සිට ඉහල මැද පන්තිය දක්වාම සිටිනා විදුලි පාරිභෝගිකයින් කෙරෙහි මෙය බලපායි. යම්කිසි මුදලක් වැඩිවීම යනු කෙටිකාලීන තත්වයක්  වන අතර ඉදිරියේදී පොසිල ඉන්ධන වල හිඟය නිසා තව තවත් ඉන්ධන මිල වැඩිවී ඉහල යන විදුලි බිල කෙරේ එය බලපායි. මන්දයත් පොසිල ඉන්ධන වැඩිපුරම භාවිත කරන්නේ විදුලිය නිපදවීමට බැවිනි. ඒවා තුලිනුත් ගල් අඟුරු හා ස්වභාවික වායූන් ප්‍රධාන වේ. ලෝකයේ රටවල් බොහොමයක් මෙම අර්බුධයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය නම් කරත් එහි තිබෙන විශාලම අඩුපාඩුව නම් පොසිල ඉන්ධන වලින් නිශ්පාදනය කරන ශක්තියෙන් ඉතා කුඩා කොටසක්වත් නිපදවීමට මේවා අසමත්වීමයි. 4% පමණ ඉතා සුලු ප්‍රමාණයක් පමණයි පුනර්ජනනීය බලශක්තිය ලෝක ශක්ති අවශ්‍යතාවෙන් ඉටුකරන්නේ.

අනාගතයේ අපි කැමතිවුවත් අකමැතිවුවත් කෙසේහෝ අඩු සැපයුමක් සහිතව විදුලිය පරිභෝජනය කිරීමට සිදුවන නිසා කලයුත්තේ අපේ විදුලි ඉල්ලුම අඩුකිරීමයි. විදුලිය යනු ඉතා පහසුවෙන් වෙනත් ශක්තියකින් පරිවර්ථනය කිරීමට හැකි දෙයක් නිසා විවිධ විවිධ ශක්ති ප්‍රභව පැමිනියත් විදුලිය අනාගතයේ මිනිස් සමාජයේ ප්‍රධානම ශක්තිය ලබා ගන්නා මාධ්‍යය වනු ඇත. අනාගතයට දැන්ම සූදානම් වීම ප්‍රතිඵලදායක නිසා කුඩා ප්‍රමාණයෙන් හෝ විදුලිය ඉල්ලුම අඩුකරගැනීම අපේ යුතුකමක්ද වේ
පහත දැක්වෙන කාරණා ඉතාම පහසු ඒවා වුවත් එයින් විශාල වෙනසක් ඔබේ ශක්ති පරිභෝජනයට සිදුවේ



විදුලි පරිභෝජනය ගනනය කිරීම (Energy Auditing) කවුරුවත් එතරම් සැලකිල්ලක් දක්වන දෙයක් නොවේ. තමන් මාසයකට, දවසකට හා පැයකට කොතරම් විදුලිය පරිභෝජනය කරනවාද කියා බොහෝවිය අප කිසිසේත්ම සැලැකිල්ලක් දකවන අංගයක් නොවේ. නමුත් ඉතාම ප්‍රවේශමෙන් හා සංඛ්‍යාත්මකව තමන්ගේ විදුලි පරිභෝජනය ගැන විමසා බැලුවහොත් තමන් වැඩිපුර විදුලිය පාවිච්චි කරන්නේ කුමන විදුලි උපකරණයටද යන්න පවා දැනගත හැක. වෙනත් රටවල් නම් විදුලි සමාගම් විසින් හෝ විදුලිය ගනනය කරන සමාගම් විසින් මේ සේවාව ලබාදුන්නත් අපරටේ එවැන්නක් නොමැති නිසා උත්සාහයක් දරා හෝ සියලු විදුලි පරිභෝජනය ඒකක වශයෙන් ගනනය කිරීම ඉදිරි විදුලි පරිභෝජනය සීමාකිරීමට ඉතාම වැදගත් වේ. තමන්ගේ නිවසේ වැඩියෙන්ම විදුලිය පරිභෝජනය වන භාන්ඩ තෝරා ඒවා සීමා කිරීමට එමගින් පුලුවන. කලින් මාසයට වඩා ඊලඟ මාසයේ පරිභෝජනය සීමාකිරිමට මෙමගින් නිතැනින්ම පෙලඹවීමක්ද ලැබේ.





නිවසක මූලික වශයෙන් විදුලිය පරිභෝජනය කරන උපකරණ හා කාර්යයන් කීපයක්ම තිබේ.  ඒවායින් මූලිකම අංගය නම් ආලෝකකරණයයි. නිවසක වැඩියෙන්ම පාවිච්ච කරන උපකරණ වුවත් පහසුවෙන්ම විදුලිය ඉතිරිකරගැනීමටත් ආලෝකකරණය යොදාගත හැක. මූලිකම කාරණය නම් ගෙදර කෘතිම ආලෝකය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය හැකිතරම් අඩුකිරීමයි. එය නිවස ස්වභාවික ආලෝකයට වැඩියෙන් නිරාවරණය වන ලෙස ජනේල හා මැදමිදුල් සැකසීමෙන් කලහැක. අලුතින් නිවසක් සාදන්නේ නම් ඔබේ ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ අඩු ශක්තිප්‍රමාණයක් පරිහරණය කරන නිවසකටයි. ගෘහනිර්මාණ ශිල්පියා සමග සාකව්චා කර දිවා කාලයේ වැඩි ආලෝකයක් ලැබීමත් රාත්‍රී කාලයේ කෘතිම ආලොකය නිවස තුලම රැඳෙන ලෙසත් නිවස සැලසුම් කරගතහැකිනම් එය ඉතාමත් යහපත් වේ.



නිවසේ වර්ණ භාවිතය ගැන සැලකිලිමත්වීමෙන් ඔබට සිතනවාටත් වඩා විශාල මුදලක් ආලොකකරණයේදී ඉතිරිකරගත හැක. බිත්තිවලට සුදු වර්ණය ආලේප කිරීමෙන් වැඩි ඉඩකඩ ගතියක් මෙන්ම ආලෝක පරාවර්ථනය වන මතුපිටක් නිසා කුඩා වොට් ප්‍රමානයක් වැයවන බල්බවලින් පවා වැඩි ආලෝකයක් ලබාගත හැකිය. බිත්ති පමණක් නොව ගෙබිම හා ගෘහභාන්ඩ වලට පවා ලා පැහැයෙන් ලබාගැනීමෙන් අඩු වියදමකින් වැඩි එලියක් ලැබේ. නිවසේ විවිධ ප්‍රදේශ වලට හා එළිමහනට ගැලපෙන ආකාරයේ වොට් අගයකින් යුතු බල්බ යෙදීම ඉතාම වැදගත්ය. සාලයට හො කෑම කාමරයට අවශ්‍ය තරම් ප්‍රබල දීප්තියක් එළිමහන් විදුලිපහන් වලට අනවශ්‍යවේ. එමෙන්ම විදුලි පහනේ ආලෝකය නියමිත ප්‍රදේශවලට පමණක් විහිදෙන ආකාරයට lamp shades යෙදීමද කල හැක. සාමාන්‍ය විදුලිපහන් වලට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වන CFL මෙන්ම නූතනයේ ඉතාම කුඩා විදුලිප්‍රමාණයක් වැයවෙන LED පහන්ද වෙලඳපලේ ඇත.


ආලෝකකරණයට මෙන්ම නිවස උණුසුම් හෝ සිසිල් කිරීමටද විදුලිය වැයවේ. බටහිර රටවල් ව්ල වැඩියෙන්ම නිවාස උණුසුම් කිරීමට ශක්තිය වැයවුනත් ලංකාව වැනි උෂ්ණ රටක වායුසමීකරණ ක්‍රියාත්මක කිරීමට විදුලිය විශාල වශයෙන් වැයවේ. වායුසමීකරණයක් නොමැතිනම් විදුලි පංකාවක් හෝ නිවසක කාමර තුල හා සාලයේ දක්නට ලැබේ. නිවසේ සිසිලස රැකගැනීමට නම් නිවස නිර්මාණයේදීම වැඩි අවධානයක් යොමුකිරීම වටී.
සුලං නිවසට ඇතුලුවී එක අන්තයකින් පිටවන ලෙසද දිවාකාලයේ උෂ්ණතවය නිවසට ඇතුලුනොවන ලෙස තාප පරිවාරක යෙදීමද නූතනයේ නිවාස තැනීමේ උපක්‍රම වේ. විදුලි පංකා භාවිතය අඩුකිරීම ද වායුසමීකරණ නොමැතිව වුවත් සිසිලස පවත්වාගැනීම තුලින් ඉතිරිවෙන විදුලි ඒකක ප්‍රමාණය විශාලය.
ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමේදී විදුලි පරිභෝජනය ගැන නූතනයේ කිසිඳු සැලකිල්ලක් දක්වන්නේ නැත. රූපවාහිනිය, මුලුතැන්ගේ උපකරණ මෙන්ම පරිගණක පවා නිවසේ විදුලිබිල වැඩිකිරීමට වැඩි දායකත්වයක් දක්වයි. එමනිසා විදුලිය ඉතිරිකරන උපකරණ මිලදීගැනීමට පුරුදුවන්න.

නිවසට අවශ්‍ය විදුලිය නිවසේම නිර්මාණය කරගත හැකි සූර්ය පැනල සවිකිරීමද තවත් විකල්පයකි. මෙහි ගැටලුද නැත්තේම නැත. මූලික ආයෝජනය වැඩිවීම මෙන්ම කාර්යක්ෂමතාවය අඩුවීමද සිදුවිය හැක. තමන්ගේ මූලික විදුලි සැපයුමට පරිබාහිරව මෙන්ම මූලික සැපයුමත් සමග එකට ක්‍රියාකරන සූර්ය බලශක්ති කට්ටල විදේශ වල පාවිච්චි කරත් ඒවා ලංකාවට ගැලපීම ගැන යම් ගැටලු පැනනගී,
 ලෝකයේ දිනෙන් දිනම ඉහල යන විදුලි ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ප්‍රමාණවත් නොවන නිසා අකමැත්තෙන් හෝ අපේ ජීවන රටාවන් වෙනස් කරගැනීමට අපට සිදුවේ. වෙනස්වීම් වලට ඔරොත්තු නොදෙන ජීවීන් විනාශ වීම යන සර්ව සාධාරණ න්‍යායට අවනත්වී සමාජයේ තවදුරටත් ජිවත්වීමට නම් තනි තනියෙන් හෝ බලශක්තිය ඉතිරිකරීමට තනි තනියෙන් හෝ ක්‍රියාකල යුතුය.

Tuesday, February 21, 2012

මේ ගීතය තහනම් කරමුද ?


ගීතය හා තහනම් කිරීම යන වචන ඔබ දකිද්දීම මේ ලිපියේ අරමුණ කුමක්දැයි පැහැදිළි වෙනවා ඇති. මෙකල මහත් ආන්දෝලනයට තුඩු දුන් ගීතයක් ලෙස ඩැඩී සංගීත කණ්ඩායමේ ටිකෙන් ටික නැමැති ගීතය හඳුන්වා දිය හැක. වසර 2011 නොවැම්බර් මාසයේදී පමණ නිකුත්වූ මේ ගීතයට දැඩි විරෝධයක් එල්ල වී අවසානයේ ප්‍රශ්ණය සංස්කෘතික අමාත්‍යන්ශය දක්වා දුරදිග ගියේය. ගීතයට පක්ෂව හා විපක්ෂව විවිධ පාර්ශව තර්ක ඉදිරිපත් කල අතර ඒවා තුලනාත්මකව බැලීම හා හරි වැරැද්ද කුමක්දැන් අපක්ෂපාතීව වීමසා බැලීමට මා හැකිතරම් උත්සාහ කර ඇත. ගීතයට පක්ෂව හා විපක්ෂව විවිධ පාර්ශව තර්ක ඉදිරිපත් කල අතර ඒවා තුලනාත්මකව බැලීම හා හරි වැරැද්ද කුමක්දැන් අපක්ෂපාතීව වීමසා බැලීමට මා හැකිතරම් උත්සාහ කර ඇත.

ගීතය සංගීත සංයෝජනය මෙන්ම පද රචනා අතින් ද සාර්ථික බවක් පෙන්නා නැත. විශාල මුදලක් වියදම් කලත් ඩැඩී කණ්ඩායමේ පෙර ගීත මෙන් මෙම ගීතයේ කිසිඳු හරයක් නැත. ඒ අතින් "අරාබිය" වැනි ගීත තරමක් සාර්ථක වූ බව කිව යුතුය. මේ ගීතයට විරෝධය එල්ල වූයේ මෙහි 1.39 සිට 2.00 දක්වා වූ කොටසේ "භවතු සබ්බ මංගලම් යන පාඨය පසුබිමින් ඇසීමයි. එම කොටසට අදාල රූප රචනයේ නිරූපකයා හා නිරූපිකාව යම් ආලිංගනයට යෙදෙන බවක් ද පෙනෙයි. වරින් වර එම දර්ශනය වෙනස්වී. සංගීත කණ්ඩායම වාදනය කරන දර්ශනද මෙම තත්පර 20ක් වැනි කාලයට ඇතුලත් වේ. තත්වය මෙසේ වුවද ගීතයට එල්ල වූ චෝදනා ලෙස "ජය මංගල ගාථා රැප් කිරීම" හා "පල්ලියේ කොන්ත්‍රාත්තුවකට බුදු දහමට අපහාසකිරීම" යන දේවල් ද ඇතුලත් විය. මේවා දඩ මීමා කරගනිමින් සිංහල බෞද්ධ ජනපදනමක් ඇති පක්ශද අවි අමෝරා සිටිනු දක්නට ඇත.

මේ ගීතයට විරෝධය එල්ල වීමට පසුබිම සැකසුනේ මීට යම් කලකට පෙර ගීතයකට විරෝධය එල්ල වී එය තහනම් කිරීමට තීරණය කිරීමෙනි. එම ගීතය ඉරාජ් වීරරත්න ගේ "සිත්ති මනීලා" ය. එක්තරා ආගමික කණ්ඩායමක තරුණියක් සමග පෙමින් වෙලෙන සිංහල තරුණයෙකුගේ කතාවක් මෙහි අන්තර්ගත වේ. මෙය ප්‍රචාරය වීමෙන් අනතුරුව. පෙරකී ආගමික කණ්ඩායම දැඩි විරෝධයක් දක්වමින් කියා සිටියේ තම ආගමේ යාඥා ඛන්ඩ ගීතයට යොදා ගැනීමයි. එමෙන්ම කාන්තාවකගේ "වේලය" නිරාවරණය කිරීමේ දර්ශණයක්ද එයට ඇතුලත් විය. මේ කාරණා දෙක මුල්කරගෙන ආගමික කණ්ඩායමක් විසින් විරෝධයක් එල්ල කලත් ඇත්ත වශයෙන්ම එම විරෝධය එල්ල වූයේ පෙර කී කාරණා දෙකට පමණක් නොවේ. උපතින් සිංහල බෞද්ධයෙක් වන ඉරාජ් වීරරත්න විසින් වෙනත් ආගමකට අයත් තරුණියක් සමග සම්බන්ධතාවක් ඇතිකරගැනීම ගීතයේ තේමාව කරගැනීම විරෝධය එල්ලවීමට මූලිකම හේතුවයි. විරෝධය එල්ල කල ආගම ලංකාවේ තිබෙන්නේ සුලුතරයක් වශයෙන් වුවත් කේවල් කීරීමේ හැකියාව හා ආක්‍රමණශීලීත්වය අතින් අනෙකුත් කණ්ඩායම් වලට වඩා ඉදිරියෙන් ඉන්නා නිසා සිත්ති මනීලා ගීතය තහනම් කිරීමට හැකිවිය.

පෙර කී ආගමික පිරිස අන් ජාතීන් සමග මේ ආකාරයෙන් මුහුවීමට මෙන්ම ආගමික සංහිඳියාවක් ඇතිකරගැනීමට ස්වභාවයෙන්ම මැලිකමක් දක්වයි. එමනිසා පැමිණි විරෝධය හමුවේ පසුබෑමක් ඇතිවූවේ ඉරාජ් වීරරත්නටත් වඩා රටේ බහුතරයක් සිටින සිංහල බෞද්ධ ජනතාවටයි. සිංහලයෙක් විසින් නිර්මාණය කල ගීතයක් සුලුජාතික විරෝධය හමුවේ අකුලා ගැනීම සිංහල බෞද්ධ පරාජයක් ලෙස සැලකීම නිසා "ටිකෙන් ටික" ගීතයෙන් හෝ තම බලය පෙන්වීමට සිංහල බෞද්ධ බලවේගය උත්සාහ ගත්තා විය යුතුය.

"ටිකෙන් ටික" ට විරෝධය දැක්වූවන් සඳහන් කල තවත් කාරණාවක් වන්නේ මධුසමයක දර්ශනයක් තුලට පසුබිමින් "භවතු සබ්බ මංගලම්" යෙදීමයි. පසුබ්ම්න් ඇසීම සිදුවන තත්පර 20 ක් පමණ කාලය තුල අපට දැකගත් හැකි වන්නේ නිරූපිකාව හා නිරූපකයා තරමක් ලංවී සිටිනා අයුරුය. අඩුමතරමේ සිපගැනීමේ දර්ශයක් වත් අඩංගු නොවේ. පිටින් බලන කල මෙය මධුසමයක් දැයි සිතාගැනීමට නොහැකි වුවත්. විරෝධය පලකරන්නන් කියා සිටියේ එවැනි දර්ශනයකට ජයමංගල ගාථා යෙදූ බවය. සැබවින්ම සිදුවී ඇත්තේ රූප රචනයේ ඇති දර්ශන වලටත් එහා දර්ශන තමන්ගේ හිතේ මවාගෙන එයට මුලින් කී ජයමංගල ගාථාව ඇතුලත් කර ගැනීමයි. උදාහරණයක් ලෙස රූප රචනයේ ජයමංගල ගාථාව වාදනය වෙන්නේ තරුණිය තරුණයාට ලංවී සිටින දර්ශනයේ නම් තමන්ගේ සිතින් එය දැඩි ආලිංගනයක් දක්වා ද සිප ගැනීමක් දක්වාද අවසානයේ මධුසමයක අපේක්ශා කරන කාර්යය දක්වාද සිතින් රූප ගොඩනගා ඒවාට පසුබිමින් "භවතු සබ්බ මංගලම්" යොදා තිබෙන ගීතයක් ලෙස මෙය හංවඩු ගැනීමයි. නමුත් ගීතයේ තත්පර 20 ක නියම අන්තර්ගතය දෙස බලා ඉහත කී චෝදනා එල්ල කල නොහැකි බව නම් සත්‍යයකි. තවද මේ කොටස ගීතයේ කොටසක් ලෙස නොව රූප රචනාවේ කොටසක් ලෙස සැලකිය හැක. හදිසියේ වත් සජීවීව මේ ගීතය ගයාන් ඇතුලු පිරිස ගායනය කලහොත් "භවතු සබ්බ මංගලම්" පසුබිමින් ඇසේ යැයි සිතිය හැකිද ?.

ගීතයට විරෝධයපෑමෙන් නොනැවතී ගයාන් පෙරේරාටද ඔහුගේ පියාටද ඔවුන්ගේ ආගමටද මේ ගීතය නිසාම විරුද්ධ වීමත් ගයාන් පෙරේරා අන්‍යාගමික කුමන්තරණයක කොටස්කරුවෙක් වී බෞද්ධාගමට එරෙහිව ක්‍රියාකරන්නේය යන චෝදනාව සමහරක් විසින් එල්ල කරයි. සැබැවින්ම අන්‍යාගමික කුමන්ත්‍රණයක් තිබුනේ නම් මෙවනි ගීතයක් නිර්මාණය කිරීමේ චෝදනාව එල්ල වී අවසානයේ අපකීර්තියට පත්වන්නේ ඩැඩී කණ්ඩායමමයි. මුදල් සහ වෙලඳපල ගැන ඉලක්ක තබාගන්න ඩැඩී ලා කුමන්ත්‍රණය සඳහා තමන්ගේ ජනප්‍රියත්වය බිල්ලට දීම සිදුවිය නොහැක. ඩැඩී ඉලක්ක කරන්නේ බහුතර සිංහල බෞද්ධ වෙලඳපල බවද මතක තබා ගතයුතුය.

කෙසේ වෙතත් මේ ගීතය තුලින් පැහැදිලිව වරදක් සිදුවී ඇත. ඒ පිරිත්/ ජය මංගල ගාථා රැප් කිරීම වත් අන්‍යාගමික කුමන්තරණයක් වත් නොව ගායකයන්, රූප රචකයන් හා නිෂපාදකයින් මේ රටේ සිංහල ජාතියට, බෞද්ධ ආගමට හා සිංහල බෞද්ධ-සංස්කෘතියට සංවේදී නොවී නිර්මාණ කිරීමයි. මධුසමයක් ලෙස අර්ථිගැන්විය හැකි රූප කොටසකට නොදා මංගල උත්සවයේ වෙනත් තැනකට ජයමංගල ගාථා යොදා ගත්තා නම් මේ කලබගෑනිය නොවීමට තිබුනි


මීට කලකට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දඹුල්ලේ දී පැවැත්වී 20 යි 20 තරන්ගයකදී හය හතර ගසනවිට dancing girls ලා නැටීමට වෙනුවට උඩරට නැට්ටුවන් යොදාගැනීමට විරුද්ධව මහා ආන්දෝලනයක් පැවතිනි. ක්‍රිකට් ආයතනය පැවැසුවේ ලංකාවේ සංස්කෘතිකාංගයක් ලෙස මෙය ඉදිරිපත් කල බවය. නමුත් දෙවියන්ගේ ආභරණ ලෙස සලකන මේ නැටුම් උපකරණ පැලැඳගෙන dancing girls ලා  ගේ කාර්යය කිරීම නිසා නැටුමට අගෞරවයක් වූ බව ද පැහැදිලි වේ.

ඔඩෙල් ආයතනයේ ටී ෂර්ට් නිර්මාණය කිරීමද මේ හා සමාන සිද්ධියකි. සමාගම් වල තීරණ ගන්නන්ද ගීත නිෂපාදකයින්ද බොහොමයක් සිංහල බෞද්ධ සංස්කෘතිය වැලැඳගත් පිරිස නොව සංස්කෘතිය හෝ මාර්කට් කිරීමට ක්‍රියාකරන අයයි.

ගීත නිර්මාණ වල අන්තර්ගතය මැනබැලීමට කමිටුවක් පත්කරන බව සංස්කෘතික ඇමතිතුමා ප්‍රකාශ කලේය. නමුත් එයින්ද නියම කාර්යභාරයක් ඉටුවේ දැයි සැකසහිතය. කෙසේ වෙතත් "ටිකෙන් ටිකට" විරෝධය එල්ල විය යුතු නියම කාරණා ඉස්මතු නොවීම නිසා අවසානයේ සිදුවන්නේ ඩැඩී ජනප්‍රිය වීමත් විරෝධය පෑ පිරිස ආගමික අන්තවාදීන් වීමත්ය. සිත්ති මනීලා ගීතය තහනම් කිරීම තරම් සංවිධානාත්මක බලවේගයක් සිංහල බෞද්ධ පිරිසට එකතු කරගැනීමට නොහැකි වී තිබේ. නමුත් ආගමික ගැටුමක් ලෙස නොව සංස්කෘතිය සංවේදීතාවයට නොමැතිවීම යන කාරනය තුලින් "ටිකෙන් ටිකට" විරුද්ධ වූවා නම් එම විරෝධතාවය සාර්ථික වීමටත් විරෝධය පල කල පිරිස අන්තවාදීන් ලෙස හංවඩු නොගැසීමටත් හේතු වනු ඇත

Thursday, January 5, 2012

කෘෂිකර්මය රටේ ගැලවුම්කරුවාය



නූතනයේ මේ ශ්‍රීලංකාද්වීපය මුහුනදී සිටින ගැටලු රැසකි. රටේ සමාජ ආර්ථික පසුබිම ගැන කවුරුන් කුමක් කීවද එය එතරම් යහපත් මට්ටමක අද නොපවතියි. රටේ ආහාර පිළිබඳ ගැටලු, ආර්ථික අර්බුධ, රැකියා ගැටලු, හා රැකියා විරහිත උපාධිධාරයන් රට වෙලා ගත් ගැටලු වලින් ප්‍රමුඛ ස්ථානයක් ගනී. කලින් කල අපි මේ ගැටලුවලින් මිදිමට උත්සාහ ගත්තත් ඒහි සාර්ථකත්වයක් නම් පෙනෙන්නට නොතිබේ. මේ කෙසේ වෙතත් අපට රටක් වශයෙන් ඉදිරියට ඒමට නම් ඉහත ඉහත ගැටලු වලට ඉතා කඩිනමින් විසඳුම් සෙවිය යුතුය

රටක සියලුම ගැටලුවලින් මුදාලන මැජික් යෂ්ටියක් නම අපට නැත. නමුත් රටේ සමාජ ආර්ථික ගැටලුවලට නියම විසඳුම දිය හැකි අංශයක් අපට ඇත. ඒ කෘෂිකර්මයයි. නමුත් මෙය සාම්ප්‍රදායික ආකාරයෙන් කරන කෘෂිකර්මයක් නොව අප රටට ගැලපෙන නවීන තාක්ෂණයෙන් යුතුව අඩු කාලයකින් හා ශ්‍රමයකින් වැඩි ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රමයකි.

කෘෂිකර්මය පමණක් නොව විද්‍යාත්මක කෘෂිකර්මයද ලංකාද්වීපයට අමුත්තක් නොවේ. අතීත රජදරුවන්ගේ සමයේ අපට තිබුනු විශිෂ්ට වාරී ක්‍රමය හා දියුනු කෘෂි තාක්ෂණය නිසා පිටරටට වුවද බත සැපයීමට අපේ මුතුන්මිත්තන්ට හැකිවිය. කාලයාගේ ඇවෑමෙන් රටේ ඇතිවූ දේශපාලන අවුල් වියවුල් ස්වභාවය හා විදේශ ආක්‍රමණ නිසා රාජධානි වෙනස් වී කලින් තිබූ මහා පරීමාන කෘෂිකර්මය වෙනුවට එදිනෙදා අවශ්‍යතා සංසිඳුවා ගැනීමට ස්වයංපෝශිත ක්‍රමයක් දක්වා වෙනස් විය. මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු අපරට සහල් අපනයනය කල බවට සාක්ශි නැත්තේ එහෙයිනි

1815 දී මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමේන් පසුව වැවිලි ආර්ථිකයකට රට තල්ලුවී ගියේය. එයින් ලාභය ලැබුවේ එංගලන්තයේ වැවිලි සමාගම් පමණි. කෙසේ වෙතත් අප නිදහස ලබනවිට රටේ ආර්ථිකය රැඳුනේ තේ, රබර් හා පොල් යන තෙපාව මත පමණි. නැවත රටේ කෘෂිකර්ම ප්‍රබෝධයක් ඇතිවුනේ1950 දශකයේ දීය. පදවිය වැනි ගොවි ජනපද ව්‍යාපාර ඇතිකීරීමෙන්ද රටේ වාරී පද්ධතිය නවීකරණයෙන්ද නව කෘෂි ආර්ථිකයට පදනම වැටුණි.

ගොවි පවුල් පදිංචි කර නව ගොවි ජනතාවක් රටේ ඇතිකිරීමද මෙකල සිදුවුනි. 1950 ගනන් වල සිදුවූ මෙය නැවතත් හැරවුම් ලක්ෂයකට ආවේ විවෘත ආර්ථිකයේ පැමිනීමත් සමගය. රටේ කෘෂි ආර්ථිකය ක්‍රමයෙන් සේවා ආර්ථිකයක් බවට පත්වෙද්දී කර්මාන්තවල වර්ධනයක් ද දැකිය හැකිවේ. අවාසානාවකය මේ සියලුම ආර්ථික නව්‍යතාවන්ගෙන් අවසානයේ බැට කෑවේ සාමාන්‍ය ජනතාවයි. සුලුතරයක් ජනතාව සමාජයේ හිනිපෙත්තටම නගින් විට, නූගත් දුප්පත් ගොවි ජනතාව ඉතාම අසීරුතාවයට පත්විය.

කෘෂිකර්මය ජීවනෝපාය කරගත් ඔවුන්ට නිසි සැලකීමක් නොලැබුණි. ආධාර අනුග්‍රහ නොලැබීම මෙන්ම නිසි කෘෂිකාර්මික දැණුමක් නොලැබීමද ගොවිතැනේ නූතන විනාශයට මූලික හේතුවකි. ගොවිතැන විනාශ වීම නිසා සිදුවුණු ආර්ථික විනාශයටත් වඩා ඇතිවුනේ අපේ ගැමි සමාජ පද්ධතීන් විනාශ වීමයි. ගමේ ජනතාව නගරයට ඇදීයාමෙන් බරපතල සමාජ ගැටලු රාශියක් උද්ගත වුනි. විශේෂයෙන්ම නිදහස් වෙලඳ කලාප වල තිබෙන විවිධ අපචාර ආදියද හටගත්තේ මේ නිසාය. නගරයට නොඇදී ගමේ නතරවූ පිරිසටද අත්වූයේ අන්ත දුප්පත්කමේ පතුලට බැසීමටය. අන්තිමට මේ අසරණයින්ට තිබෙන එකම සරණ විදේශ රැකියාවන් සඳහා මැදපෙරදිග යාමයි. ඒ නිසා බිඳෙන පවුල් ජීවිත හා අනාථ වන දරුවන් දෙස බැලූ කල අප කාලාන්තරක් තිස්සේ ඇදහූ ඒ සුන්දර ගම අද අනාගතයේ ඉතිරිවේදැයි සැක සහිතය

මේ තත්වය වෙනස් කර ගොවිතැන ලාභ ලබන වෘත්තියක් කර එයට නිසි ගෞරවය ලබාදීමට කාරනා  4 ක් ඉටුකර යුතුවේ.

1.   1 කෘෂිකර්මය සම්බන්ධයෙන් කරන පර්යේශණ හා සංවර්ධන ක්ශේත්‍රය සංවර්ධනය කිරීම හා කෘෂිකර්මය සම්බන්ධව වර්ථමාන ගොවියන්ට හා අනාගතයේ මේ කර්මාන්තය කිරීමට බලාපොරොත්තු වන අයට විධිමත් දැණුමක් ලබාදීම.  :- මෙය ඉතාම වැදගත් වේ. අප රටේම දැනුම නිපදවා ඒවා අපේම ගොවියන්ට ලබාදීමට අවශ්‍යය. අද රටේ අඩුවෙන්ම සැලැකිල්ලට යොමුවී ඇති ක්ශේත්‍රයද වන්නේ මෙයයි. නව බීජ මෙන්ම නවීන වගා ක්‍රිම නිපදවීමට අප අදිටන් කරගත යුතුවේ. එම දැනුම ඉතා විධිමත්ව රටේ ගොවි පරපුරට නොලැබේ නම් එය සාර්ථික නොවනු ඇත.
2.    2 දේශීය හා විදේශීය වෙලඳපලක් කෘෂිකර්මාන්තයට ඇතිකිරීම.  :- වෙළඳපල අප කරා නොපැමිනෙන අතර අප එය සොයාගත යුතු වේ. එළවලු, පළතුරු හා වෙනත් සුලු අපනයන බෝග වලට විදේශීයව විශාල ඉල්ලුමක් පැවැතියද සැපයුම් අවස්ථා ලබාගැනීමට අප රට බොහෝ විට අසමත් වේ. දේශීය සමාගම් හෝ රජය අතරමැදියන් වශයෙන් කටයුතු කලහොත් මෙය ඉතාම පහසුය
3.    3 කෘෂිකර්මය ආකර්ෂණීය වෘත්තියක් කිරීමට අවශ්‍ය ආකල්පමය වෙනස. :- අතීතයේ දී ගොවියට තිබුණු තත්වය අද ඇතිකිරීමට තරමක් අපහසු උනත්. ගොවිතැන ලාභදායි වෘත්තියක් ලෙස නොව ව්‍යාපාරයක් ලෙස සමජගත කලහොත් එයට යම් පිළිගැනීමක් ලැබෙන බව නිසැකය. එවිට ගොවියාගේ පුතා දොස්තරවරයෙකු වීමට කල්පනා නොකොට (මෙහිදී රටට දොස්තරවරුන් අනවශ්‍ය බව නොකියයි. ගැටලුව ඇත්තේ සෑම දරුවෙකුම දොස්තර, ඉංජිනේරු, බැංකු හා නීති ක්ශේත්‍ර වලට තරඟ කලහොත් රටට ආහාර සපයන්නේ කවුරුන්ද යන්නය ) හොඳ ගොවියෙක් හෝ වැවිළිකරුවෙක් වීමට උත්සාහදරනු ඇත.
4.   ගොවිතැනේ යෙදීමට මූල්‍යමය සහන ලබාදීම (ණය හා රක්ෂණ වැනි දේ)

     අප දැන්මම තීරණයක් ගතයුතුය. රජය සියලු දේ කරන තුරු බලාසිටීම නුවණට හුරු නොවේ. නූතනයේ එය අපේක්ෂා කීරීමද හාස්‍යයට කරුණකි. අවශ්‍ය වන්නේ නොසිඳේන අධිශ්ඨානය, කැපවීම හා නිවැරදි සැලසුම් පමණි. තනි තනි පුද්ගලයා මේ ආකාරයෙන් නැගී සිටියහොත් අපට මුලු රටම වෙනස් කල හැකිය.












Sunday, November 27, 2011

අපිට වැරදුනු තැන : තුන්වන කොටස[3] (ජේ. ආර් හා ඔහුගේ බෑනලා, දරුවෝ හා මුණුබුරෝ)



පසුගිය ලිපි දෙකෙන්ම මා ලාංකීය දේශපාලනයේ යුග දෙකක් ගැන විස්තර කළෙමි. මේ ලිපියෙන් දේශපාලනය ගැන ඒ එහි හොඳ නොහොඳ ගැන ලියූ ලිපි පෙළ අවසන් වේ.

අඩු කාලයක් තුල ඉතාම විශාල වෙනසකට රට පත්කල යුගයක් ලෙස මේ තුන්වන යුගය හැඳින්විය හැක. මෙහි පුරෝගාමියා එවකට අගමැතිකම (පසුව විධායක ජනාධිපති) හොබවූ ජේ ආර් ජයවර්ධන මහතාය. ලාංකීය දේශපාලනය හා සමාජ ක්‍රමය තුල වැඩිම වෙනස්කම් සිදුකළ පාලකයා වශයෙන් ජේ ආර් හැඳින්වීමට කැමැත්තෙමි. ජයවර්ධන මහතා රටේ සමාජ දේශපාලනික හා ආර්ථික තත්වය මූලික කාරනා කීපයකින් වෙනස් කලේය. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වදීම, සමානුපාතික  ඡන්ද ක්‍රමය ඇතිකිරීම හා විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීම ඒවාය. ජයවර්ධන මහතාට ලැබුනු විශාල ජනවරමින් එතුමා උපරිම ප්‍රයෝජන ගත්තේය. 5/6 ක බහුතරය නිසා විපක්ශය නිහඬ කර තමන්ට අවශය් ආකාරයට මුලු රටම වෙනස් කිරීමට එතුමාට හැකිවිය. ජයවර්ධන මහතාම පවසන ආකාරයට එතුමාට රකින්නට පරපුරක්ද නොමැත නමුත් එතුමා කළ කී දේ නිසා අනාගත දේශපාලන පරපුරට තමන්ගේ ගෝල බාලයන් මෙන්ම තමන්ගේ පවුලේ සාමාජිකයින් රජකරවීමට හැකිවිය මා ඉහත කී ජේ ආර් ජයවර්ධන මහතා හඳුන්වාදුන් මූලික වෙනස්කම් වලට සාධාරණ හේතු නැතුවාද නොවේ. නමුත් ඒවා තුලින් පසුකාලයේ ඇතිවිය හැකිව තිබූ භයානක ප්‍රතිඵල එතුමා නොදැන සිටියාද යන්න ගැටලුවකි.

මුලින්ම එතුමා සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීම ගැන විමසා බලමු. සමානුපාතික ඡන්ද ක්‍රමය නිසා ජයවර්ධන මහතා  අරමුණු දෙකක් සපුරාගත්තේය. ඒකක් නම් කෙදිනකවත් ඉතා විශාල බහුතරයකින් රජයක් පවතවාගැනීම සීමා කිරීමයි. එවිට එතුමා 5/6 ක බහුතරයකින් හඳුන්වාදුන් දේශපාලනික ප්‍රතිපත්ති වෙනස් කිරිම ඉතා අපහසු වේ. මෙය කෙනෙක් හිර කූඩුවක සිරකොට කූඩුවේ අගුල ගඟට දැමීමක් වැනිය. 
සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීමට අනෙක් හේතුව නම් ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ශයක් සරල බහුතර ඡන්ද ක්‍රමය නිසා ඉතාම අඩු බලයක් හිමිකරගැනීමට හැකියාවක් තිබීමයි. එවිට උතුරු නැගෙනහිර ජනයාගේ අවශ්යතා ඉටුකරන මූලික දේශපාලන ධාරාවට තර්ජනයක් වන පක්ෂ විපක්ෂයේ නායකත්වයට පත්වීමයි. එය පැලැස්තට විසඳුමක් වුවත් දෙමල සන්ධානය වැනි පක්ශ ක්‍රියාකරන ආකාරය ගැන වර්ථමානයේ පවා සලකා බැලීමේදී එය තරමක් බුද්ධිමත් පියවරක් ලෙස දැක්විය හැක. නමුත් සුලු ජාතීන් තවත් යටපත් කර ගැනීම කාලෝචිත නොවන බවද කිව යුතුය. ජේ ආර් ජයවර්ධන මහතාගේ කාලයේ තර්ස්තවාදයේ මුල්ම ගිනි සිළුව දැල්වුන බවද අමතක නොකල යුතුය. එය වැඩිදුර පැතිරෙන්නේ නැතිව පාලනය කළ හැකිව තිබුනේද ජයවර්ධන මහතාටය. එමෙන්ම ත්‍රස්තවාදයක් දක්වා මේ ජනවාර්ගික ගැටලුව ඔඩු දිවීම වැළක්විය හැකිව තිබුනේද එතුමාටය නමුත් එය එසේ නොසිදුවුනි.

ජයවර්ධන මහතාගේ ඉතාම විප්ලවකාරී ක්‍රියාමාර්ගය වන්නේ විවෘත ආර්ථිකය ගෙන ඒමයි. මීට පෙර බණ්ඩාරණායක යුගයේ පැනවූ දැඩි ආර්ථික ප්‍රතිපත්ති නිසා පීඩාවට පත් ජනයා යම් සහනයක් ලැබුවත් විවෘත ආර්ථිකය නිසි ලෙස කළමණාකරණය කිරීමට එවකට පැවැති රජය අපොහොසත් වූ බව හොඳින්ම පෙනී යයි. බණ්ඩාරනායකවරුන් විසින් ගෙන එන ලද ආර්ථික ප්‍රතිපත්ති වාගේම ඉතාම කඩිනමින් බරපතල වෙනසකට රට ලක්කිරීමට මෙයට හැකිවීම නිසා දැඩි පීඩනයකට  ලක්වූ සොරොව්වක් සම්පූර්ණයෙන්ම විවෘත කිරීම වාගේ ජනයාට මෙම ආර්ථික වෙනස යහපත් ආකාරයට ග්‍රහනය කරගැනීමට නොහැකි වීම දරුණු සමාජ සංස්කෘතික විනාශයක පෙරනිමිති පහල කලේය. ලාංකීය සමාජය අද පවා අත්විඳින්නේ  77 දී ගෙන ආ ආර්ථික ප්‍රතිපත්ති නිසි ආකාරයෙන් කළමණාකරණය නොකිරිමේ ප්‍රතිවිපාකයි.

ආර්ථිකයේ යම් විවෘත භාවයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි නමුත් වෙළඳපල මතම පාලනයකින් තොරව ආර්ථිකය රඳා පැවැතීම ඉතාම භයානකය. ඇමරිකාව ඇතුලු ලිබරල් ආර්ථික ක්‍රමයක් ඇති රටවල් වලට හැමු ආර්ථික කුණාටුව වෙළඳපල ආර්ථිකයේ නරක පැත්ත අප සැමටම පසක් කරයි. එමෙන්ම ජනජීවිතයට මේ විවෘත ආර්ථිකය මගින් දැඩි බලපෑමක් ඇති කලේය. පෞද්ගලික ආයතන බිහිවීමත් එමෙන්ම සෑම දෙයම මුදලට යට වීම යටතේ ජනයා තුල ආත්මාර්ථකාමි හැඟීම ලියලා වැඩුනි. 77න් පසු බිහිවූ රටේ නූතන පරපුර මේ නිසා සාර්ධර්ම සංකෘතිය අමතක කර මුදල් සෙවීම පමණක්ම ජීවිතයේ එකම කාර්යය බවට පත් කරගෙන තිබේ. අසූව දශකයේ අනූව දශකයේ පරපුර මෙය වැඩියෙන්ම ඉටුකරමින් පවතී.

අදටත් රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් විධායක ජනාධිපති ක්‍රමය ජයවර්ධන මහතාගේ අනෙක් හඳුන්වාදීමයි. ඊට හේතු දැක්වීමත් ඒ මහතා එතුමාගේ යන “Men and Memories” ග්‍රන්තයේ ලියා තිබේ ජයවර්ධන මහතාගේ මූලික තර්කය වනාහී රටට වැඩදායක ඒකාධිපති පාලනයක් රටේ සංවර්ධනයට දායක වන බවයි. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය උදාහරණයක ගෙන ඒ මහතා ජනාධිපති ක්‍රමය සාධාරණීකරණක කිරීමට උත්සාහ ගත්තේය. නමුත් එතුමාගේ විවෘත ආර්ථික ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමයේ යම් වාසි තිබුනත් මේ ජනාධිපති ක්‍රමයේ පෙනෙන තරම් වාසියක් රටට හා ජනතාවට නැත. 

තමන්ට රකින්නට  පරපුරක්, දරුවෙක් නැතැයි කියා ජනාධිපති ක්‍රමය ගෙන ආ ජයවර්ධන මහතා තමන්ගේ අනුගාමිකයන්ට ඔවුන්ගේ පවුල් හා හිතමිත්‍රාදීන් රජකරවන පාලනයකට ඉඩ හසර සලසා දීම එක අතකර දෛවයේ සරදමක් මෙනි. නීතියේ ආධිපත්යයට යට නොවී රටේ පාලනය තමන්ගේ ගෝලබාලයන් අත තබාගෙන බල කාමයෙන් යුතුව පාලනය ගෙන යාමට හා බලයේ රසය දන්නා නිසා එම වරප්‍රසාද කෙදිනකවත් අත් නොහරින ප්‍රතිපත්තියක් ජේ ආර් ගෙන් පසුව හා සියලු දෙනාම අනුගමනය කලෝය. ජේ ආර් ජයවර්ධන මහතාගෙන් පසුව එතුමාගේ බෑනලා මාමාගේ දර්ශනය අකුරටම අනුගමනය කිරීමට ක්‍රියා කලෝය. එමෙන්ම ඔහුගේ දේශපාලන දරුවෝ හා මුනුබුරෝ  තමන්ගේ මුතුන්මිත්තාගේ වැඩපිලිවෙළ ඔහුටත් වඩා හොඳට කරගෙන යති. නීතිය මෙන්ම රාජ්ය සේවයද දේශපාලනයේ දඬු අඬුවට හිරවී ඇත. මේ දේශපාලන සංස්කෘතිය ඉදිරියටත් පවතින බවට නම් විශ්වාසය. විකල්ප දේශපාලන ධාරාවක් මේ රටේ නැත. එවන් එකක් අවශ්යද නොවේ. එමෙන්ම දේශපාලන පක්ෂ වෙනස්වීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය
නිදහසින් පසු ලංකාවේ දේශපාලනයේ මූලික යුග තුන තුල රට ගොඩනැගීමට අවස්ථා රැසක් තිබුණි. 

ලෝකයේ අනෙක් රටවල් වලට වඩා අවස්ථා අතින් අපේ රට ඉතාම පොහොසත්ය. ඒවා ඊයේත් ලැබුනි, අද ලැබෙමින් පවතී. හෙටත් ලැබෙනු ඇත ඒවායින් නිසි ප්‍රයෝජනය ගැනීම සඳහා ස්ථිරසාර රාජ්ය ප්‍රතිපත්තියක් නිදහසින් පසු අපට නොතිබුනි. විවිධ කාලවල පටු දේශපාලනික ඇජෙන්ඩා නිසා රට ආගාධයට වැටුනු බව පැහැදිළිය. මේ නරාවලෙන් රට ගොඩගැනීම කළ හැක්කේ රටේ පාලකයන්ට පමණය. නිවැරදි මාවතකට රට ගෙනයා හැකි පාලන තන්ත්‍රයක් හා පාලක පන්තියක් අපට අවශ්යය. අවාසනාවකට එය තවම ඉටුවූ බවක් නොපෙනේ. අපට වැරදුනු තැන එයයි

Thursday, November 10, 2011

අපිට වැරදුනු තැන : දෙවන කොටස [2] (බණ්ඩාරනායක යුගය හා එහි හොඳ නරක)


පළමු කොටසට මෙතැනින් පිවිසෙන්න

මේ ලිපියේ මුල් කොටසෙන් දැක්වෙන්නේ නිදහසින් පසු මේ රටේ නායක කාරකාදීන් හා ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිලිබඳවයි. 1956 මේතෙක් පැවැති දේශපාලන දර්ශනය යම් වෙනසකට ලක්විය. එනම් එවකට පැවැති ඉංග්‍රීසි සිරිත් විරිත් හා ඔවුන්ගේ චර්යා ධර්ම මූලික කොටගෙන පැවැතුනු දේශපාලන දර්ශනයක් වෙනුවට ජාතිකත්වය මූලික කොටගෙන සමාජයේ දුපපතා කෙරෙහි අවධානයක් යොමුකිරීම කරන දේශපාලනයක් බිහිවීමයි.

මෙහි මූලික අඩිතාලම ඒස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක මැතිතුමා ආරම්භ කළ බැවින් 1956 සිට 1977 දක්වා බණ්ඩාරණායක යුගය යැයි කියමු. 1956 න් පසුවත් වරින්වර පළමු යුගයේ දේශපාලන නායකත්වය හෙබවූ ඩඩ්ලි සේනානායක වැනි නායකයින් බලයට පැමිනියද ලාංකීය දේශපාලනය තුල මේ යුගයේ පැවැතියේ බණ්ඩාරණායක ආභාශය යැයි කිවයුතුය. මෙකල අප රටේ ආර්ථික ක්‍රමයේ හා සමාජ ක්‍රමයේ මහා පෙරළියක් සිදුවිය. මුල් යුගයේ ඩී ඇස් සේනානායක වැන්නන් කෘශිකර්මය නගාසිටුවා ලංකාවේ ආර්ථික සංවර්ධනයේ මූලික අඩිතාලම දැමූවද පාලනය කෙරෙහි ජනතාවගේ සහභාගීත්වය අවම විය, එමෙනම සාමාන්ය ජනතාවට ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනමය වශයෙන් දැනෙන පරිදි පාලනයක් ගෙනයාමට මුල් යුගයේ නායකයින් අපහොසත් වූහ. බණ්ඩාරනායක මහතා ඒ සියල්ල වෙනස් කලේය. දේශීයත්වයට මුල් තැන දෙමින් ලාංකීය සමාජයේ බහුතරය දේශපාලන ධාරාවට අනියුකත කරගැනීමට ඒ මහතා සමත්විය. මේ කෙසේ වුවත් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ඉංග්‍රීසිකාරයන් ලෙස ජීවත්වූ මුල් යුගයේ නායකයින් හා බණ්ඩාරණායකවරුන් අතර කිසිඳු වෙනසක් නැත. ටේල් කෝට්, ටොප් හැට් දමාගත් ඩී ඇස් ලා හා ටේල් කෝට්, ටොප් හැට් සුදු රෙදි වල රෝල් කරගත් බණ්ඩාරණායකවරුන් එකම සමාජ පැළැන්තියක, එකම අධ්‍යාපන මට්ටමක පැවැතියෝ වෙති. නමුත් බණ්ඩාරණායකවරුන් තමන්ගේ බිම් මට්ටමේ දේශපාලන නායකත්වය ලෙස දේශීය සංස්කෘතිය හා බැඳුනු පිරිසක් තෝරාගත්හ. එයින් බොහෝ දෙනෙක් අතීතයේ බටහිර පන්නයට සිටි කෙටසක් බවද කිවයුතුය.

සිංහලය රාජ්ය භාෂාව කිරීම, නිදහස් අද්‍යාපනය ඇතිකිරීම, දේශීය දේවල් වලට පමණක් මූලිකත්වය දීම මේ යුගයේ කැපී පෙනෙයි. බණඩාරණායක මහතාගේ දේශපාලන දර්ශනය එතුමාගේ මැතිනිය වූ සිරිමා බණ්ඩාරණායක ඉදිරියට ගෙන ඒම තුලින් ජාතික අදහස් වල වර්ධනයක් මේ යුගයේ ඇතිවිණි.  මේ යුගයේ ආර්ථික හා සාමාජීය ප්‍රතිපත්ති ප්‍රායෝගිකද ? අපට ඒ කෙරෙහි යම පමණකට එකඟ වියහැක. ජාතික ආර්ථිකයක් තුලින් රටේ සංවර්ධනය ඇතිකිරීම ඉතාම යහපත් ඒකකි නමුත් එකල රටේ සාමාජීය වෙනස්කම් සිදුකර වේගය නම් එතරම ගැලපෙන්නේ නැත. යම් රටකට ඉතාම වෙනස් සාමාජීය ආර්ථික පරිවර්ථන ගෙන ඒමේදී යම කාලයක් තිස්සේ සෙමෙන ඒවා හඳුන්වා දිය යුතුය. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල පැරැණි සෝවියට් ක්‍රමයේ ආර්ථික ප්‍රතිපත්ති ගෙනහැර දැක්වීමේදී එල්ලවන පීඩනය දරාගැනීමට තරම් ශක්තිමත් ආන්ඩුවක් එකල නොපැවැතින. හාල් පෝලිම් රෙදි පෝලිම වල සිටිමින් කූපන් වලට අත්‍යාවශ්‍ය භාන්ඩ ලබගනිමින් "අපේ අම්මා ඉන්නවා නම් ඕන දුකක් විඳගන්නම්" (මෙහිදී අම්මා යනුවෙන මැතිනියව හඳුන්වයි )යනුවෙන් සිරිමාවෝ රජයේ ආර්ථික පීඩනය ඉවසම්න් ක්‍රියාකල ජනතාව වැඩිකලක් එලෙස සිටීමට සූදානම් නැතිබව රජය එකල තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි.

සමකාලීන විරුද්ධ පක්ෂ දේශපාලකයින් වූ ජේ ආර් ජයවර්ධන මහතා පවතින රජයේ ආර්ථික ප්‍රතිපත්ති සෝවියට් රටවල් පවා අතහැර දැමූවන් බව පෙන්වා දුන්නේය. ලාංකීය දේශපාලනයේ දෙවන අවදියේ ඇතිවූ දේශපාලන කැරැලි ආදියට යම් තරමකින් සාර්ථකව මුහුනදීමට පැවැති රජය සමත්වුවද එහි අහිතකර ප්‍රතිඵල නම් රජය කෙරෙහි ඉතා දරුණු ලෙස බලපෑවේය.

කොතරම් ගැටලු පැවතියත් මේ දෙවන යුගයේ දේශපාලකයින් ඊට පෙර සිටි පිරිස මෙන්ම ඉතාම වැදගත්, අවංක පිරිසක් වූහ. බොහෝ දෙනා රදල කුලයේ නොවුනත් තමන්ගේ ප්‍රදේශයේ ප්‍රභූවරු වූහ. එමෙන්ම එංගලන්තයේ විශ්ව විද්‍යාල වලින් උපාධි නොලැබුත් ජීවිතය නැමැති තක්සලාවෙන් හොඳන් උගත්තෝ වූහ. දේශපාලනය සේවාකක් කරගත් ඔවුන් මැරබලය හා මුදල් බලය පිලිකෙව් කලහ. ටී බී ඉලංගරත්න, කන්නන්ගර වැනි උතුමන්ගේ නම් අද පවා අපේ මතකයේ නොනැසෙන ලෙස පවතින්නේ ඔවුන් මහත්මා දේශපාලනය තමන්ගේ ලේ ඇට මස් නහර වලට වද්දාගත් නිසාවෙනි. මේ අතරම සමසමාජ පක්ෂය වැනි විකල්ප දේශපාලන දහරා වල සිටි දේශපාලාඥයින් අප අමතක නොකය යුතුය. ඇන් ඇම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, පීටර් කෙනමන් වැනි මහා දැවැන්ත පෞරුෂ අද දේශපාලනයේ කොතැනකවත් සොයාගත් නොහැක.

සමස්ථයක් ලෙස ගැනීමේදී එකල පවා රට දියුනුවේ නව මාවතක් කරා යාමේ ලකුණු පහල කර තිබුණි. දූෂණය, වංචාව වැනි දෑ ඉතා අවම වී තිබුණි. එවකට පැවැති රජය තවත් කල්පනාකාරී වූවා නම් තරමක් දුරට තමන්ගේ බලය හා ආර්ථිකය ප්‍රතිපත්ති අංශක 180 ක් දක්වා හැරැවූ 1977 පසු එලැඹුනු දේශපාලනයේ තුන්වන යුගයේ බලපෑම මදක් අවම කරගත හැකිව තිබිණ. තුන්වන යුගය ගැන මීලඟ ලිපියෙන් සාකච්චා කරමු

Wednesday, November 9, 2011

අපිට වැරදුනු තැන : පළමුවන් කොටස [1] (නිදහසින් පසු මුල් යුගය)

 

පළමු කොටස 

මේ බ්ලොග් අඩවියේ ආරම්භයේදීම මා දේශපාලනික හා ජාතින්, ආගම් ගැන කි‍යැවෙන බ්ලෝග් ලියවිලි නොදැමීමට ස්වයo වාරණයක් ඇතිකරගත්තෙමි. නමුත් කනගාටුවෙන් වුවත් එම වාරණය නොතකා. දේශපාලනය ගැන ලිපියක් ලිවීමට සිතුනේ තවත් දෑත් බැඳගෙන බලාසිටීමට නොහැකි නිසාය. ශ්‍රී ලoකාව නම් වූ දේශයට අද ඇතිවී තිබෙන අභාග්ය සම්පන්න ඉරණමට වගකිවයුතු දේශපාලනය නැමැති සාධකය ගැන දීර්ඝ විවරණයක් නොකලහොත් එය ලාoකිකයෙකු වශයෙන් මගෙන් රටට සිදුවිය යුතුු මහඟු යුතුකමක් පැහැරහැරීමක් ලෙස මට හැඟේ.මෙය තරමක් දීර්ඝ ලිපියක් නිසා කොටස් කීපයකින් දැමීමට කැමැත්තෙමි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 වසරේ අප රට නිදහස ලබන ආසියාවේ දෙවන විශාල ආර්ථිකය අප සතුව තිබුණි. එමෙන්ම ආසියාවේ යුද්ධයෙන් භෞතික සම්පත් විනාශයද අප රටේ අවම විය. එවකට ආසියාවේ දැවැනත්යන් ලෙස වැජබුනු ජපානය හා චීනය පවා දෙවන ලෝක යුද්ධය නිසා සම්පූර්ණ විනාශයට පත් වුනු නමුත් අප රට හානියට පත් නොවීම නිසාත් රටේ නිශ්පාදන හැකියාව නොනැසී පැවැතුනු නිසාත් අපට ආර්ථික සමෘධිය සඳහා අවස්ථාවන් රාශියක් විවර වී තිබුනත් ඒවා දීර්ඝ සැලැසුමකින් ක්‍රියාවට නැවීමට පාලකයේ අපෙහොසත් වූහ. මෙම විනාශයට මූලික හෙතුව නම් නිදහසින් පසු මේ රටේ බිහිවූ නායකයන් ගේ අදක්ශකම, ප්‍රතිපත්ති රහිත භාවය හා දූෂණයයි. ඉහත නම් කල දුර්වලතා සියල්ලම එක ආකාරයකය 1948 සිට අද දක්වා පාලනය කල පුද්ගලයන් තුල තිබුනා නොවේ. පාලකයින් කිහිපදෙනෙක් සාධනීය මට්ටමකට පාලනය ගෙන ගියත් ඔවුන්ගෙන් පසු එය නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවුනි. එහි වරද ඇත්තේද ඔවුන් අතය.

නිදහසින් පසු ලාංකීය දේශපාලනය යුග තුනකට බෙදිය හැක. ඒ 1948 සිට 1956 දක්වා යුගය, 1956 සිට 1977 දක්වා යුගය හා 1977 සිට අද දක්වා ක්‍රියාත්මක වන දේශපාලන යුගය යනුවෙනි. ලාංකීය දේශපලනය නිදහසට බොහෝ කලින් පැවැතියද රටේ සෘජු පාලනයට ඒවායින් සිදුවුනු මෙහෙය ප්‍රමානාත්මක වශයෙන් අවමය.කෙසේ වෙතත් අපේ රටට නිදහස ලබා ගැනීමට අප රටේ විවිධ දේශපාලන සංවිධාන එකමුතු වූ බව නම් කිව යුතුය. එහෙත් අවසාන අවධියේ මේ මූලික දේශපාලනික සංවිධාන තමන්ගේ එකිනෙකට වෙනත් අරමුණු වලට පෙලගැසීමක් දක්නට හැකිවිය.

මේ කෙසේ වෙතත් බ්‍රිතාන්යයින්ගෙන් නිදහස්වීම කෙරෙහි නම් මේ මූලික දේශපාලනික සංවිධාන අතර පොදු එකඟත්වයක් ඇතිවුනි. එමෙන්ම නිදහස ලබාගැනීමට යන මාර්ගය ගැන ඉතා පැහැදිළි අවබෝධයක් ඇතුව එම සංවිධාන ක්‍රියා කල බවද කිව යුතුය. මෙම සංවිධාන වල සිටි නායකයින් සමාජයේ ප්‍රභූ පන්තිය නියෝජනය කල ඉතා ධනවත් හා කුලවත් ක්පිරිසක් වූහ. ඔවුන් නියෝජනය කලේ සමාජයේ ඉංග්‍රීසි උගත් කලු සුද්දන්ගේ පන්තියයි. ඩී ඇස් සේනානායක වැනි සිංහල නායකයින් මෙන්ම දෙමළ ජාතික ප්‍රරභූවරුද කලු සුද්දන් ගනයට වැටේ.

නිදහසින් පසු පූර්ව දේශපාලනික කන්ඩායම් රටේ නායකත්වයට පත්වීම නව නව පිටුවක් පෙරලීමක් බඳුවිය. රටේ ආර්ථික හා සාමාජීය දියුනුව කෙරෙහි යන මාවත් නිසි ලෙස විවර වී තිබින. තේ රබර් හා පොල් යන අපනයන බෝග හා සුලු ඛනිජ තුලින් ආදායම ලැබූ ප්‍රාථමික ආර්ථික ක්‍රමයක් අප රටේ තිබුනද රටේ දියුනුවට යන මූලික මාර්ගය ලෙස එක කළමනාකරණය කිරීමට එකල නායකයෝ සමත් වූහ. අපනයන සංවර්ධනය මෙන්ම කෘෂිකර්මයේ නැගීම සඳහාද නිදහසින් පසු මූලික අවධියේ  පාලනය නියමාකාරයෙන් ක්‍රියා කලහ
යම යම් කාලවල ආර්ථික ගැටලු තිබුනද සමස්ථයක් වශයෙන් රට ස්ථාවර තත්වයක පැවතුනි. වරින්වට ආර්ථික අර්බුධ නොතිබුනාද නොවේ. මේ කාලයේ දේශපාලකයින් වචනයේ පරිසමාප්ත අර්ථියෙන්ම මහත්මයින් වූහ. මහත්මා දේශපාලනය ගුරු කොටගත් ඔවුහු දේශපාලනය යනු රැකියාවකට වඩා සේවයක් ලෙස සැලකූහ. අද කාලයේ වාගේම දේශපාලන ගැටුම් පැවතියහ. පක්ශ අභ්යන්තරයේද නොයෙකුත් ගැටුම් පැවතියද ඒවා උපක්‍රමශීලීව හා සිවිල් සමාජයට ගැලපෙන ශිෂ්ටසම්පන්නව විසඳා ගැනීමට ඒ නායකයින් තුල පැවති හැදියාව අද කාලයේ දේශපාලන අංකුර වලට හොඳ ආදර්ශයක් වේ. එදා අද මෙන් නොව දේශපාලනය සෑම කෙනෙකුටම කල හැකි දෙයක් නොවුනි. එය සමාජයේ උගත්, ධනවත් හා ගරුබුහුමන් ලැබූ ඉතා සුලු පිරිසක් විසින් සිදුකල දෙයකි. නීතිය අකුරට රැකූ හා නීතියට ප්ටින් නොගිය අධිකරණයේ බලය තම සියතට නොගත් උදාර මිනිසුන් පිරිසකගෙන් පාලනයට වීමට තරම් එදා ජනයා පින් කර තිබුනි.

එකල ලෝකයේ හා මෙරට තිබුනු සමාජ ආර්ථික වටපිටාවට ගැලපෙන පරිදි ලංකාවේ පාලයයෝ නිදහසින් පසු ආර්ථිකය හැසිරූහ. ඇමරිකාව හෝ සෝවියට් දේශය මෙන් කර්මාන්ත ආර්ථිකයක් මෙරට ඇතිකිරීම ප්‍රායෝගික නොවූයෙන් කෘෂි ආර්ථිකයකින් හා මූලික අපනයන බෝග වලින් සුසැදි අර්ථ ක්‍රමයන් එකල පාලකයින් විසින් ඇතිකිරිම එකලට අනුව සාධාරණිකරනය කල හැක. නමුත් කර්මාන්ත ක්ශේත්‍රයට මූලික අඩිතාලම එකල වැටුනා නම් 1970 පමණ වන විට තරමක නූතන ආර්ථිකයක්  ලඟා කරගැනීමට හැකියාව තිබුනා යැයි සිතිය හැක. මෙකල දේශපාලකයින් තුල දුර්වලතා කීපයක් වූහ. අවංක හා දූෂණයෙන් තොර වූවත් කල් පවත්නා ලෙස ලෝකයේ ආර්ථික ප්‍රරවණතා හඳුනාගැනීමේ නොහැකියව මේ අවස්ථාවේ කැපී පෙනෙයි. එමෙන්ම විකල්ප දේශපාලන ධාරාව නියමාකාරයෙන් කළමනාකරණය කරගැනීමේ දුශ්කරතාව තවත් මූලීකාංගයක් ලෙස සැලැකේ.

නිදහසින් පසු ලංකාවේ ප්‍රථම යුගය හොඳ ආරම්භයක් ලෙස සැලකිය හැක. මන්දයත් ඒවනවිට ලෝකයේ පැවැතුනු තත්වයන් හා සසඳා බලනකල ඉතා ස්ථාවර ආර්ථික දේශපාලනික හා සාමාජීය වටපිටාවක් පැවැති නිසාය. නමුත් මේ ප්‍රරථම යුගයේ දේශපලනය ලංකාවේ බහුතරයක් වන නූගත් දිලිඳු පන්තියේන් නියෝජනය නොවීම නිසා 1956න් පසුව නව දෙශපාලන පරිවර්ථනයක් ලංකාවේ සිදුවිය.

ලාංකීය දේශපාලනයේ දෙවන යුගය ගැන මීලඟ ලිපියෙන් සාකච්ජා කෙරේ ....