Wednesday, August 17, 2011

තවත් එක් ටියුශන් කතාවක්


ලංකාවේ ටියුශන් සහ අධ්යාපනය ගැන ලිපියක් මට ලියන්න හිතුන වාර අනන්තයි. ලඟදි දවසක ඒකට හොඳ ප්‍රවේශ්යක් ලැබුනා. මගේ ඥාති සහෝදරිය දවසක් අපේ ගෙදර ආවා. එයා අගනුවර ජනප්‍රිය යැයි කියාගන්නා ඉස්කෝලෙක තවම 10 වසරේ ඉගෙනගන්න කෙනෙක්. පුංචි අම්මත් එක්ක ආපු එයා ගොඩක් වෙහෙසට පත් වෙලයි හිටියේ කාලෙකින් දැක්කේ නැති නිසා ඇත්තටම මේ ඉස්සර හිටිය පුංචි නංගිද කියල මටවත් හිතාගන්න බැරිවුනා.

එයා තනිකර වෙනස් වෙලා නිකන් ඇවිදින මලමිනියක් වගේ. එයාටත් වඩා එයාගේ අම්මා, ඒ කියන්නේ මගේ පුංචි අම්මා විඩාපත් වෙලා. "කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි වුනා නේ. ඒකයි මේ ආවේ. දැන් තියෙන වැඩ කන්දරාවේ හැටියට කොහෙ තියෙන වෙලාවක් ද ?" පුංචි අම්මාගේ හැමදාම කියන වචන සේට් එක මට ඇහුනා.

"හැමදාම මෙයාට පන්ති. දන්නේ නැද්ද ඉතින් කොහොම හරි ඕ ලෙවල් ගොඩදාගන්න එපැයි". පුංචි අම්මා එහෙම කිව්වත් ඇත්තටම මගේ ඥාති සහෝදරී ඉතාම දක්ශ ලමයෙක්. එයාට ඕ එලෙවල් ගොඩ දාගන්නවා කියල එක ඒ හැටි කජ්ජක් නෙවෙයි.
අන්තිමට හොයලා බලනකොට නංගී ටියුශන් පන්ති හැට හුටාමාරකට යනවා. ඒවා අහලා මට නම් පිස්සු වගේ. ගනන් තියරි පන්තියයි, ගනන් හදන පන්තියයි. විද්යාව, ඉංග්‍රීසි, ඉංග්‍රීසි සාහිත්යය පන්ති දෙකයි. සිංහල, සංගීතය ඔන්න ඔය වගේ මහා පතරංග ජාතකය වගේ පන්ති ලිස්ට් එකකට එයා යනවා. තාම දහය වසරේ පොඩි එකාට මෙච්චර පන්ති තොගයක්!!!!.

පන්ති විතරක් නෙවෙයි නංගීට ගෙදරින් හරි පීඩනයක් දෙනවා කියලා මට හිතුනා. පන්තියේ පලවෙනියා වෙන්න විතරක් නෙවෙයි අනිත් ලමයි පහුකරගෙන අස්ප රේස් දුවන්නත් බලකරනවා. දැන් බලන් යනකොට පොඩි ලමයි අස්පයෝ. උන්ව දුවවන අම්මලා තමයි ජොකියෝ. අනේ හැබෑට !!!! ඔටිටු දාන එක විතරයි අඩු.

මට තියෙන ගැටලුව වෙන්නේ ඕ ලෙවල් වලට ඇත්තටම ඔච්චර පාඩම් කරන්නයි, පන්ති යන්නයි මහන්සි වෙන්නයි ඕනෙද කියලයි. මෙගේ ඥාති සහෝදරීට ඕ ලෙවල් විභාගෙන් යන්න තව හොඳ ඉස්කෝලයක් ලංකාවේ නැත්නම්, ඕ ලෙවල් කියන එක ඒ ලෙවල් වලට වඩා ඉතාම ලේසි නම්. ඇයි මේ වගේ අශ්ව රේස් එකකට දාලා එයාගේ ආත්මය නැති කරන්නේ ? ළමයාව අනිවාර්යයෙන්ම ඉගෙනීමට යොමුකල යුතුයි නමුත් ඉගෙන ගන්න එක වදයක් බවට පත්කර ගන්නේ ඇයි ? ඒ ලෙවල් කියන්නේ ඉතාම වෙනස් විභාගයක්. කවුරු කිව්වත් නැතත් ළමයෙක්ගේ ජීවිතය තීරණය කරන්නේ ඒකෙන්. ඒ ලෙවල් වලට දෙන්න ඕනේ පීඩනය වගේම වැඩ කන්දරාව ඕ ලෙවල් වලින්ම කුඩා ළමයෙක් තුලට ඇතුල් කලොත් ඒක ඉතාම භයානක වෙන්න පුලුවන්. නියමිත කාලයට නියමිත ඉගෙනීම් ක්‍රම යොදාගන්නේ නැත්තම් ඒ අධ්යාපනයේ තියෙන ප්‍රයෝජනය මොකක්ද ? අවසානයේ සහතික ටිකක් විතරක් අතින් අරගත්ත නිර්මාණශීලීත්වය මොට වෙච්ච ගොන්නු රැලක් බිහිවෙනවා.

මේවා අහන දකින කොට මට මගේ ඕ ලෙවල් කාලේ මතක් උනා. මම කොච්චර සැහැල්ලුවෙන් හිටියාද? එක අතකින් මම හරි වාසනාවන්තයි මගේ දෙමාපියෝ මට අනික් අය පාගාගෙන අස්ප රේස් දුවන්න බල කරපු නැති එකට. ඒ වගේම කවදාවක් පන්තියේ පළවෙනියා වෙන්න බලකරපු නැති එකට. ඒ වගේම මට මගේ ළමා කාලය ළමයෙක් විදිහට ගතකරන්න ඉඩ දුන්නු එකට.

මම නම් පන්ති ගියේ ගනන් වලටයි විද්යාවටයි ඉංග්‍රීසි සාහිත්යයටයි විතරයි. තව යලට මහට වගේ සිංහල වලටත් ගියා. ඒ ගියේ සිංහල කරපු ගුරුතුමා අපේ නෑදෑයෙක් වෙන නිසයි. ඒ ඔක්කොටමත් වඩා සිංහල සර් ඇදලා පැදලා කියන දෙපැත්ත කැපෙන (වල්) කතා අහන්නත් අපි හරිම කැමැත්තෙන් හිටියා. සර් අපිට හොඳ හොඳ කවි කියලා දුන්නේ. ඒවා මතක් වෙනකොටත් හිනා කාලා මැරෙනවා. මම තවමත් ඉතාම ගරුකරන කෙනත් තමයි සිංහල සර්.

ඕ ලෙවල් කාලේ මම නම් හොඳටම පිස්සු නැටුවා. ඒ වගේම තමන්ට යම් අරමුණක් තියෙන බවත් තේරුම් අරගෙන වැඩකලා. හැම තිස්සේම ඉගෙනීම ආසාවෙන් කලා. ගන්න්, විද්යාව වගේ විශයන් පොත් බදාගෙන පාඩම් කරනවාට වගේ ප්‍රායෝගිකව ඉගෙනගත්තා. ඒ වගේ දේවල් කරන්න මට මගේ ගුරුවරු පවා පුදුම සහයක් දුන්නේ.

අද ලංකාවේ තියෙන අධ්යාපන ක්‍රමය නම් අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනේ. මීට වඩා ඉගෙනීම තුලින් ප්‍රායෝගික, නූතන ලෝකයට ගැලපෙන පිරිසක් බිහිකරන්න අඩිතාලම දමන්න ඕනේ.


මම මේක ඉවර කරන්න කලින් ඕශෝ (Osho) නැමති දාර්ශනිකයා කියපු වදනක් සටහන් කරන්නම්. දෙමව්පියනි, ගුරුවරුනි, මොහොතක් මේ ගැන සිතන්න.

Very few people are accepted as creative: A few painters, a few poets -- one in a million. This is foolish! Every human being is a born creator. Watch children and you will see: all children are creative. By and by, we destroy their creativity. By and by, we force wrong beliefs on them. By and by, we distract them. By and by, we make them more and more economical and political and ambitious




Saturday, August 13, 2011

ඵලදායිතාවය ඉහල නංවා ගැනීමට උපක්රමයක්


ඵලදායිතාවය කියන එක අද ගොඩක් දෙනෙක් භාවිත කරන දෙයක්. ඒකේ තේරුම ගොඩක් දෙනෙක් දන්නේ නැති වුනාට එය අපේ ජීවිතයට ඉතා අවශ්යයි. ඵලදායිතාවය කියන එකේ තේරුම තමන්ට තිබෙන සීමිත සම්පත් වලින් විශාල වැඩකොටසක් කර ගන්න එක. සම්පත් යනුවෙන් හැඳින්වෙන්නේ කාලය, මුදල් ශ්‍රමය වැනි දේවල්. මේ ලිපියෙන් මම කාලය නිසිලෙස පාවිච්චි කරන එක තුලින් තමන්ගේ ඵලදායිතාවය වැඩිකරගන්න එක ගැන විස්තර කරනවා

කාලය ඉතාම වටිනා සම්පතක්. එය ඉතා වේගයෙන් අවසන් වෙනවා. සාමාන්යයෙන් මිනිසෙක්ගේ ආයුකාලය අවුරුදු 70 පමන වෙනවා. ඒ වගේ සීමිත කාලයක් තමයි කෙනෙක්ට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ. එම කාලයෙනුත් වැඩි කොටසක් මහලු වයස හා ලමා කාලයට ගෙවුනාම කෙනෙක්ට දියුනුව සාදා ගැනීමට තිබෙන කාලය ඉතා සීමිතයි

පුද්ගලයෙක් කාර්යාලයේ දී වුනත් ගෙදරකදී වුනත් යම් කිසි වැඩක් කරනවිට සත්ය වශයෙන්ම එම කාර්යයටම නියැලෙන්නේ මුලු කාලයෙන් සුලු ප්‍රතිශතයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ශිෂ්යයෙක් තමන්ගේ විභාගයට අවශ්ය යම් පොතක් කියවා එහි තියෙන වැදගත් කරුණු සටහන් කරගන්නවා කියා හිතන්න. කියවීමට හා කරුනු සටහන් කර ගැනීමට එම වැඩය සඳහා ගතවෙච්ච කාලයෙන් කොපමණ ප්‍රතිශතයක් වැයවුනාද කියා සොයන්න. නියත වශයෙන්ම තමන්ට යම් වැඩක යෙදෙන කාලය එයට  වෙන්කර තිබෙන කාලයට වඩා තරමක් අඩුයි. අපි කාලය ගතවීම ගැන සිතුවේ නැති වුනත් විශාල කාලයක් වෙනත් දේවල් වලට ගතවෙලා තියෙනවා. මේකට මූලික හේතුව වෙන්නේ කාලය ගතවීම හා තමන්ට තිබෙන කාලය පිලිබඳ හැඟීමක් කාර්යය කරන පුද්ගලයාගේ මනසේ නොමැතිවීමයි.

කෙනක් තමන්ට නියමිත වැඩ නියමාකරයෙන් ලයිස්තු ගතකලා කියා හිතන්න එම පුද්ගලයා ඒවාට ගතවන කල්වේලා පවා සටහන් කරගෙන සිටිනවා. නමුත් ඒ කාර්යය කරද්දී එයට ගතවන කාලය පිලිබඳ දැනීමක් එම පුද්ගලයාට ඇත්තේ නෑ. සරල විදිහට කිව්වොත් කාර්යයට නියමිතව තිබෙන කාල පරාසය පාලනය කරගැනීමට හැකියාවක් නෑ. තමන්ගේ වැඩ අපිළිවෙළට සකස් කරගෙන වැඩ සියල්ල අනාගන්නා කෙනෙක්ට වඩා ඉහත විස්තර කරපු පුද්ගලයා සංවිධනාතමකව සිටිනවා වුනත් ඔහුටත් වැඩ නිමකිරීම පිළිබඳ ගැටලු රාශියකට මුහුන දෙන්න වෙනවා.

මේ සියලු දේට මූලික හේතුව වෙන්නේ අපි මනසේ කාලය ගැන සිතාගෙන ඉන්නා ආකාරයයි. උදාහරණයකට පැයක් ගතවෙන යම් වැඩක නියැලෙන කොට එයින් විනාඩ් 40ක් ගතවුනාට පසු  අපි වැඩය කිරීමට ගතවූ විනාඩි 40 ගැන පමණක් මනසේ සටහනක් තබා ගන්න පුරුදු වෙලා සිටිනවා. එසේ නැතිව එම වැඩය නිමකිරීමට තව කොතරම් කාලයක් ඉතිරි වී තිබෙනවාද කියා අප කවදාවක් සිතනවද? විනාඩි 40ක් ගතවූ පසුව තවත් ඉතිරි වී ඇති විනාඩි 20 හා එහි අඩුවීම ගැන මනසේ සටහන් වෙනවාද ?

ඉතිරි වී ඇති කාලය ගැන අපි යම් යම් අවස්ථාවලදී සටහන් කරනවා. ඒ කෙසේ වෙතත් කාලය ගත්වීම හෝ අවසන් වීම ගැන සෑම විටම අපේ දැනීමක් නෑ. උදාහරණයකට තව පැය 24 කින් අවසන් කලයුතු වැඩක පැය ගනන අවසන් වීම පිලිබඳ අපි විමසිලිමත් ද ?. නැත මන්දයත් අපි කාලය ගනන් කරන්නේ ආරෝහණ ආකාරයෙන් මිස අවරෝහණ ආකාරයෙන් (countdown) නොවන නිසාය.

අවරෝහණ ගනනයෙන් (counting down)තමන්ට කාලය අවසන්වීම පිළිබඳ මනා හැඟීමක් දැනෙනවා. ඒ වගේම යම් කිසි වැඩක් අවසන් කිරීම පිලිබඳ යම් ආතතියක්ද හිත තුල ඇතිවෙනවා. සාමාන්යයෙක් මධ්යම ප්‍රමාණයට ආතතිය තමන්ගේ හිත තුල තිබෙන එක ධනාත්මකව කෙනෙක් තුල බලපානවා. ඒ වගේම. අනවශ්ය වැඩ නවත්වා තමන් කරන කාර්යය කෙරෙහි මනා සිහිය පවත්වා ගැනීමටත් මෙයින් ඉඩ සැලසෙනවා.

කාලයේ අවරෝහණ ගනන් කිරීම තමන්ගේ සාමන්ය වැඩකටයුතු වලට යොදාගන්න අවශ්ය වන්නේ ඉතා සුලු සම්පත් ප්‍රමාණයක්. මූලිකවම මේ සඳහා countdown clock එකක් අවශ්ය වෙනවා. යම් කාර්යයක් සඳහා අවශ්යවන කාලය නියමාකරයෙන් ඇස්තමෙන්තු කරගත්තාට පසු තමන් වැඩයෙ නියැලෙද්දී තමන්ට නියමිත කාලය අවසන් වීම පිලිබඳ එකෙන් දැනගැනීමට සැලැස්සෙන ආකාරයට ක්‍රියා කරන්න. තමන්ගේ කාර්යය ඉතාමත් විශාල වුනත් වැඩි කාලයක් ඇස්තමෙන්තු කලත් එකේ මිලි තත්පර වල පවා වෙනසක් ඇතිවන ලෙස සකස් කරන්න. සරලව පැහැදිළි කලොත් කාලය අවසන් වීම තමන්ට දැනෙන්නට සකස් කිරීම අවශ්ය වෙනවා..

මෙම ක්‍රමය ඉතා සරල දෙයක්. නමුත් මානසික වශෙයෙක් කෙනෙකුට විශාල ධනාත්මක බලපෑමක් මේකෙන් ඇතිවෙන්න පුලුවන්. අප දන්නා ආකාරයට ක්‍රීඩාවල පමණක් නොව ඉතා විශල වපසරියට රැකියාවලට හා කාර්යයන් නිමකිරීමට මේ සරල ක්‍රමය යොදගන්න පුලුවන්. රියදුරෙකුට තමන්ගේ ගමනාන්තයට ලඟාවීමට නියමිත කාලයේ වෙනස්වීම පිලිබඳ මේ ක්‍රමයෙක් දැනගන්න පුලුවන්. එවිට නියමිත කාලයට ගමනාන්තයට ලඟාවීමට එය විශාල උදව්වක්. ඉදිකිරීම් ක්ශේත්‍රයට, අධ්යාපනයට ආදී අංශ රැසකටම මේ ක්‍රමය යොදාගන්න පුලුවන්.

ඉතාම සරල අදහසකට ලොකු වෙනසක් කරන්න පුලුවන්. මේ ක්‍රමය පාවිච්චි කරලා කාලය නියමාකාරයෙන් යොදාගෙන ඵලදායිතාවය වැඩිකරගත් අය ගොඩක් දෙනක් ඉන්නවා. ඔබත් මේ අවරෝහණ කාල ගනනය (counting down) යොදාගෙන බලන්න. සමහර විට ඔබගේ ජීවිතය වෙනස් කිරීමට මෙය හේතුවෙයි.










Saturday, July 23, 2011

නැවත කෘෂිකර්මයට (Back to Agriculture)



අද ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම ආර්ථිකය උඩු යටිකුරු වී තිබේ. විවිධ කාල වලදී කෙටි කාලීන ලෙස යම් යම් ආර්ථික අර්බුද පැවතුනද නූතනයේ පවතින ආර්ථික අර්බුදය එතරම් පහසුවෙන් නිමාකිරීමට හැකි එකක් නොවන බව ලෝකයටම ඒත්තු ගැන්වී හමාරය. එක්තරා භාන්ඩයක් හෝ සේවාවක් සමහ බැඳී පවතින ආර්ථික ගැටලුවකට වඩා නූතන සමාජයේ රඳාපැවැත්මට සෘජුවම බලපෑම් කරන ගැටලුවක් බවට මෙය ක්‍රමක්‍රමයෙන් පත්ව තිබේ. ආහාර අර්බුද, දේශගුනික විපර්යාස ආදිය මූලික කරගෙන අනාගතයේ මුලු ලොවේ පැවැත්මට බලපෑම් කරන නූතන ලෝකයේ ආර්ථික රටාව එතරම් සුභදායක අවසානයක් කරා මානව සංහතිය රැගෙන නොයන බව මනාව පසක් වේ.අන් රටවලටත් වඩා ලංකාවේ රැකියා අර්බුද, දුප්පත්කම, ආහාර ගැටලු ආදිය දැන් පැන නැගී තිබේ. රටක් ලෙස අප යන ආර්ථික ගමන් මාර්ගය විප්ලවීය වෙනසක් කරා හැරවිය යුතුව ඇත.

රට දුප්පත්කමින් ගලවා ගැනීමටත් ආහාර අර්බුද හා ඉන්ධන ගැටලු සඳහා හොඳම විසඳුම නම් කෘෂිකාර්මික පිබිදීමක් රට තුල ඇතිකිරීමයි. මේ මගින් රටේ ආහාර අවශ්යතාව රටතුලම සම්පූර්ණ කරගැනීමත් විකල්ප ඉන්ධන නිපදවීමත් කල හැක. නමුත් වර්ථමානයේ සහල්, පොල් පවා පිටරටින් ගෙන්වීමට සිදුවී ඇත්තේ රටේ නියමාකාරයෙන් ආහාර නිෂ්පාදනය කළමණාකරණය කර ගැනීමට නොහැකි වීම නිසාය.

අතීතයේ ශ්‍රී ලංකාවේ 99% ජනයා ගොවියෝ වූහ. පිය උරුමයෙන් ලැබුනු අගනා දායාදයක් ලෙස අතීතයේ සැලකූ ගොවිතැන අද වනවිට ඉතාම පහත් තත්වයට පත්වී තිබේ. ගොවිතැන වනාහී පහත් රැකියාවක් ලෙස සමාජෙයේ ප්‍රචලිත කර වෙනත් රැකියා කරා ජනතාව යොමුකරලීම දශක කීපයකම පැවතුණි. නූතනයේ එය බරපතල ආකාරයට සිදුවේ. අවසානයේ ලංකාවේ ජනප්‍රිය/උසස් යැයි සම්මත රැකියා කරන්නන් පමණක් ඉතිරි වී ගොවිතැන යල් පැනගිය රැකියාවක් පමණක් විය හැක. එවිට රටේ ආහාර නිෂ්පාදනය අඩුවී ආර්ථිකය උඩුයටිකුරු වීම වැලක්විය නොහැක.

ආහාර නිෂ්පාදනය අඩාල වීම හා ගොවියන් ගේ හිඟකම ලංකාවට පමණක් නොව, දියුණු යැයි සම්මත ඇමරිකාව වැනි රටවලද දක්නට ලැබේ. නමුත් ආහාර හා අනෙකුත් කෘෂි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සලකා බලා ඇමරිකානුවන් නැවතත් වාසිදායි රැකියාවක් ලෙස නැවතත් කෘෂිකර්මය තෝරාගැනීම පිළිබඳ ලිපියක් ටයිම්ස් සඟරාවේ ලිපියක් මෑතක දක්නට ලැබුනි. ඒ ලිපියට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ බැංකු කරුවෙක් තමන්ගේ රැකියාවෙන් අස්වී කෘෂිකර්මික කටයුතු වල නියැලේ. එමෙන්ම එය ඉතා වාසි දායක බවද විශාල පිරිසක් කෘෂිකාර්මික කටයුතු වලට නැඹුරු වීමේ කැමැත්තෙන් සිටින බවද වාර්තාවේ. ජෛව ඉන්ධනයක් ලෙස එතනෝල් නිපදවීම ඉන්ධන අර්බුධයට. යම් තරමක හෝ විසඳුමක් ලෙස සැලකිය හැක.

ගොවිතැනට මෙතරම් ඉල්ලුමක් ලෝකයේ මෙන්ම මෙරටද විශාල ඉල්ලුමක් පැවතියත් ගොවිතැනට නැඹුරු වීම මෙරට ඉතාම අඩු මට්ටමක පැවතේ. එයට මූලික හේතුවක් වන්නේ ගොවිතැන පහත්, අපහසු හා අසීරු රැකියාවක් ලෙස සැලකීමයි. නමුත් එය මේ රටේ ජනතාවට බලෙන් කාවැද්දූ දෙයකි. අතීතයේ පටන්ම ලංකාවේ ජනයාගේ ජානවල ගොවිතැන පැවතුනි. "මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු" බව පිළිගත් ජාතියක් ගොවිතැන පිළිකුල් කිරීම ඉතා සෝචනීය තත්වයකි.

ගොවිතැන උරුම කරගත් ගොවි පවුල්වට නූතන පරම්පරාව පවා ගොවිතැන අතහැර වෙනත් රැකියා කරා සංක්‍රමණය වීම ලංකාවේ ගොවිතැනේ මළගමට ප්‍රධාන හේතුවක් වී ඇත. තම පියා ඉතා ආදරයෙන් රැක බලාගත් ඉඩම් කඩම් ආදිය කුනු කොල්ලයට විකුනා දමා ගොවිතැන අතහැරීමට බොහෝ ගොවි දරුවන් පසුබට නොවෙති. එමෙන්ම නූතන නාගරික සංස්කෘතිය අනුව හැදුනු දරුවෝ බොහෝ දෙනෙක් කමතක්, පැලක්, වී බිස්සක් කවරදාවත් දැක නැත. Facebook වෙබ් අඩවියේ Farmtown ක්‍රීඩා කරන මෙරට බොහෝ තරුණ දරු දැරියන් කවරදාකවත් කුඹුරකට ගොස් නැති බව ඉතා වේදනාවෙන් වුවද කිව යුතුය.

මේ අභාග්යයට විසඳුමක් ලෙස රටේ කෘෂිකර්ම විප්ලවයක් ඇරඹිය යුතුය. ආකල්ප වල වෙනසක් ක්‍රමානුකූලව ඇතිකල යුතුය. මීට කලින් විප්ලව සිදු කරන්නට ගොස් ඒවා අසාර්ථක විය. ඊට මූලික හේතුව ජනතාව මත බලෙන් කෘෂිකර්මය පැටවීමයි. රීට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කරමින් කෘෂිකර්මය ඉතා ආකර්ෂණීය හා ගෞරවාන්විත රැකියාවක් බවට පත්කිරීමෙන් ස්වභාවිකවම එයට ඉල්ලුමක් නිර්මාණය වේ.

කෘෂිකර්මය සඳහා උසස් අධ්යාපන අවස්ථාවන් වැඩිකිරීම හා කෘෂිකර්ම උපාධිධාරීන්ට රැකියා අවස්ථා වැඩිකිරීම මූලික අවශ්යතාවයකි. නියමාකාර අධ්යාපනයක් තුලින් නූතන දැනුමින් හා පාරම්පරික කෘෂිකාර්මික වත්පිලිවෙත් වලින් සන්නද්ධ ගොවි පරපුරක් රටේ බිහිවීමෙන් වාසි රැසක් සැලසේ

කෘෂි තාක්ෂණය වැඩි දියුනු කිරීම අනෙක් වැදගත් කාරණයයි.  අපේ රටට ගැලපෙන, අඩු ජල ප්‍රමාණයක් අවශ්යවන කෙටි කාලීන වැඩි අස්වැන්නක් ලබාගත හැකි බෝග අප රටේම නිපදවීම තුලින් බහුජාතික සමාගම් වලින් අපේ ගොවි පරපුර බේරා ගැනීමට හැකිවේ. මේ සියල්ලටත් වඩා මූලිකවම අවශ්ය වන්නේ ජන්ප්‍රිය දෙශපාලන න්යායපත්‍ර වලට යට නොවී රටේ අනාගතය ගැන හිතන දේශපාලන හා නිලධාරී පිරිසකි.

අනාගතයේ මෙරට හමුවේ පවතිය අභියෝග හමුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට කෘෂිකර්මයට නැඹුරු වීමට සිදුවේ. මෙයින් විරැකියාව, ආහාර/ඉන්ධන අර්බුද යම් තරමකින් හෝ සමනය කර ගැනීමට හැකිවනු ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ අතීතයේ ගොවි රජවරුන් බිහිකල ප්‍රෞඩ ජාතියක නියම උරුමය සොයා යාමට කාලය එලඹ ඇති බව පමණි.


Thursday, June 2, 2011

වගකීමකින් යුතුව පානය කරන්න


මම කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්නයි යන්නේ. මම මේ ලියන දේ ගැන අදහස මගේ හිතේ මීට සති කීපයක් ඉඳලම තිබුනත් වෙසක් සතිය නිසා පව්කාර වැඩ ගැන කතා නොකර ඉන්න ගත්තු තීරණය නිසා ඒක ගැන කියන එක ප්‍රමාද කලා. දැන කට්ටියම බලයි මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා. වෙන මොනවත් ගැන නෙවෙයි. අපේ ජාතික පානය නියමාකාරයෙන් බොන විදිහ ගැන.

ලංකාවේ අපි (පුරුෂ පක්ශයේ පමණයි.) තරමක් ලැජ්ජා වෙන්න ඕනේ එක් කාලයක ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය වැඩි රටවල් අතරට අපේ මේ ධර්මද්වීපයත් එකතු වුනු එක ගැන. කොහොම උනත් ඈත අතීතයේ ඉඳලම මිනිස්සු තමන්ට යම් වින්දනයක් ලබාගන්න මධ්යසාර පාවිච්චි කරලා තිබෙනවා. ලෝකයේ මුලින්ම මිනිසා වගා කරන්න පෙලඹුනේ මද්යසාර සඳහා ධාන්ය ගන්න කියලා දැන් හොයාගෙන තිබෙනවා. මිනිස්සු මේ මධ්යසාර වලට මෙච්චර කැමැත්තක් දක්වන්නේ ඒකේ තියෙන මොලයේ ප්‍රීතිය දැනෙන කොටස උත්තේජනය  කරන්න තියෙන හැකියාව නිසයි. නමුත් ඊට සාපෙක්ශව මොලයේ කථනය, සංවේදනය ආදී බොහොමයක් දේවල් අවහිර වෙනවා. මද්යසාර භාවිතය අඩුකරන එක බොහොම හොඳයි. ඒ වගේම තමන්ගේ සිහිය නියමාකාරයෙන් පවත්වාගෙන ඒවා පාවිච්චි කරන එක අපි හැමෝටම වැදගත් වෙනවා.

අපේ භාෂාවෙන් කියනවා නම් 'කරටි කැඩෙන්න ගහලා' තමන්ගේ තත්වය බාල්දු කරන එකට වඩා නියමාකාරයෙන් මධුවිත පානය කරන්න අපි කටයුතු කරන්න ඕනේ. මම පහත සඳහන් කරන්නේ ඒ සඳහා උවමනා වෙන කරුනු කීපයක්. මේවා අත්හදා බලලා ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාදුන්නු ඒවා.

මූලිකම කාරණය වන්නේ තමන්ට ලිමිට් එකක් තියාගන්න එක. මේ සීමාව නැත්නම් "ලිමිට්" පුදගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. තමන්ට අදාල මට්ටමේ රැඳිලා ඉන්න එක ගොඩක් වැදගත්. කාලයක් තිස්සේ ටිකෙන් ටික මේ සීමාව වැඩිකරගන්නත් පුලුවන්. නමුත් සම්මතය වෙලා තියෙන්නේ ඇල්කොහොල් ඒකක 21 කට වඩා ගැනීම පිරිමියෙකුට අනතුරුදායකයි කියලා. ඒකකයක් කියන්නේ මද්යසාර මිලි ලීටර 10ක් නමුත් මේ සීමාව කාන්තාවන්ට තරමක් අඩු වෙනවා. ඒ වගේම රටින් රටට තරමක් වෙනස් වෙන්න පුලුවන්. තමන්ගේ සීමාව තුල ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම දෙය.

මත්පැන් බොනකොට එකවිට එක පානයකට සීමා කරන්න. මත්පැන් කාන්ඩ දෙකකට අයිති දේවල් එකවිට උත්සාහ කරන්න එපා. උදාහරණයකට බියර් පානය කරනවා නම් වෙනත් මත්පැන් ගන්න ඒක නතර කරන්න. එක ඒක මත්පැන් වල මද්යසාර සංයුතිය වෙනස් නිසා ගැටලු ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම අලුත් මත්පැන් වර්ගයක රස බලනවා නම් තරමක් සැලකිළිමත් වෙන එක අවශ්යයි.

නිතරම වතුර පානය කරන්න. ඒකෙන් කාරණා කීපයක් ඉටු වෙනවා. මූලිකවම වෙන දෙයක් තමයි ආමාශයේ ඇල්කොහොල් සංයුතිය අඩුකරන එක. එතකොට තමන්ට දැනෙන මත් ගතිය යම් තරමකින්වත් අඩු වෙනවා. මද්යසාර ශරීරයේ තිබෙන ජල ප්‍රමාණය අඩු කරනවා. නමුත් වැඩිපුර ජලය පානය කලොත් ඒ තත්වය මගහැර ගන්න පුලුවන්. ඒක නිසා මත්පැන් බිව්වාට පසු දින ඇඟට දැනෙන අපහසුව අඩුවෙනවා.

මේ කාරණය නම් බොහෝ දෙනෙක් දන්න දෙයක්. අපි බයිට් එකට තෙල් සහිත කෑමක් ගත්තොත් තමන්ට දැනෙන මත් ගතිය නැත්තන්ම් වෙරි ගතිය වලක්වා ගන්න පුලුවන්. ඒ තෙල්, මත්පැන් වල තිබෙන ඇල්කොහොල් වල ක්‍රියාකාරිත්වය සීමා කිරීම නිසයි.

අපි ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ කෑමට පෙර මත්පැන් පානය කරන්නයි. නමුත් මත්පැන් පානය කරන්න කලින් ආහාරයක් ගත්තොත් ඒක ගොඩක් සහනයක් වෙනවා. කෑමත් නැතිව මත්පැන් පානය කලොත් වෙන අපහසුව ගැන අමුතුවෙන කියන්න ඕනේ නෑ.

සුරාවේ රසයත් - එහි ඇති මනා ගුණයත්
බොන උතුමෝ මිසක් - නොබොන අනුවණ දනෝ නොදනිත් 

යන අයුරින් සුරාව වර්ණනා කරත් නිතරම අපි ඒකේ අහිතකර පරතිඵල ගැන හිතන්න ඕනේ. ඒ වගේම මත්පැන් බොනකොට තමන්ගේ සීමාවෙන් පිට පනින්නේ නැතුව වගකීමෙන් යුතුව වැඩකරන්න අමතක කරන්න එපා. සුප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදකයෙක් වෙන Johnnie Walker ආයතනය තමන්ගේ මත්පැන් බෝතල් වල ප්‍රසිද්ධ කරන වැකියකින් මම ලිපිය අවසන් කරන්න කැමතියි. ඒ "වගකීමකින් යුතුව පානය කරන්න"  (drink responsibly) කියාය. 

Sunday, December 19, 2010

ධනාත්මක චින්තනය : සත්යය හා මිත්යාව


මම මේ ලිපිය ලිවීමට අදහස් කලේ බොහෝ කාලයක සිටය. නමුත් ඒ සඳහා අවශ්ය කරුණු එක් රැස් කරගෙන නොතිබුනු නිසා එය කල් දැමීමට සිදුවුනි. කෙසේ වෙතත් ඔබ සැමගේ අවධානය පිණිස කල් පසුවී හෝ මෙය ඉදිරිපත් කරන්නෙමි.

ධනාත්මක චින්තනය ගැන අද රටේ බොහෝ දෙනෙක් කථාකරති. ප්‍රායෝගික මනෝ විද්යාව නමින් අලුත්ම පොත් පත් විශාල ප්‍රමාණයක්ද අද වෙළඳපලේ පවතියි. අලුත් චින්තනයක් තුලින් දියුනුවේ මංපෙත සලසා ගැනීම ගැන උපදෙස් ලබාදීම මේවා වල මූලික අරමුණයි. ධනාත්මක චින්තනය අද රැල්ලක් ආකාරයෙන් රටේ පැතිරෙනු දක්නට හැක. ප්‍රායෝගික මනෝ විද්යාව තුලින් ධනාත්මක චින්තනයෙන් තම ජීවිතය ජය ගැනීම ඉතාම වැදගත්. මම මීට පෙර "ජීවිතය ජයගන්නේ මෙහෙමයි" යන ශීර්ෂය යටතේ පුද්ගල සංවර්ධනය ගැන ලිපියක්ද ඉදිරිපත් කර ඇත.

මෙහි තිබෙන බරපතලම ගැටලුව නම් කරුණු කාරනා හරිහැටි නොදැන තමන්ට නොගැලපෙන පොත් කියැවීමට්, උපදෙස් වලට සවන්දීමට යාම නිසා බොහෝ අය අමාරුවේ වැටීමයි. එවන් අයගෙන් මුදල් කඩාවඩා ගැනීමට වෙර දරන කූට වෙලඳුන් බොහෝ පිරිසක්ද සිටිති. මොවුන්ට අසු නොවී පුද්ගල සංවර්ධනය ගැන නිවැරදි මූලාශ්‍ර පරිහරණය කිරීම අප සැමගේ වගකීමයි.

පුද්ගල සංවර්ධනය සඳහා ප්‍රායෝගික මනෝවිද්යා පොත් රචනාකරන පිරිස් අද ඕනෑ තරම් සිටිති. ඇත්ත වශයෙන්ම ඔවුන් ඒ සඳහා පුහුනුවක් හෝ පළපුරුද්දක් ලබා ඇති දැයි සලකා බැලීම වටී. මා පෞද්ගලිකව හඳුනන දිවයිනේ සිටින ප්‍රවීන මනෝවිද්යා උපදේශක වරයෙක් සමග අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව පැහැදිලි වුන ප්‍රධානතම කාරණය නම් කිසිඳු පුහුනුවක් හෝ පලපුරුද්දක් නැති මනෝවිද්යා දෙශකයන් යැයි කියාගන්නා පුද්ගලයින් විසින් ලබාදෙන වැරදි උපදෙස් නිසා තම ජීවිතය අඳුරු කරගත් පුද්ගලයන් විශාල පිරිසක් සිටින බවයි.

මූලිකවම ප්‍රායෝගික මනෝවිද්යාව ගැන උපදෙස් ලබාදෙන, පොත් පලකරන කාන්ඩ 3 අපරටේ සිටිති. ඉන් පලමු කාන්ඩය නම් නිසි ආකාරයෙන් මනෝවිද්යාව ඉගෙනගත් දෙශකයන් හා වෛද්යවරුය. මේ පිරිස ඉතාම වැදගත් හා වටිනා උපදෙස් අඩංගු පොත් පළකරති. මිනිස් මනස ගැන නිවැරදි වැටහීමකින් හා මානසික උපදේශන සේවයේ අත්දැකීම් වලින් පරිනතව පොත් පළකරන නිසා ඔවුන් ලබාදෙන උපදෙස් ඉතාම නිවැරදිය.
ඒවා අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීමට වැඩි ඉඩකඩක් තිබේ.

දෙවන කාන්ඩය නම් මනෝවිද්යාව පිලිබඳ ඉගෙනීමක් කර නැතත් තම අත්දැකීම වලින් හා සාර්ථක පුද්ගලයන් ඇසුරු කිරීමෙන් දැනුම ලැබූ අයයි. ඉතාම ප්‍රායෝගික ලෙස මොවුන් උපදෙස් ලබාදෙයි. ව්යාපාර ක්ශේත්‍රයේ, අධ්යාපන ක්ශේත්‍රයේ ප්‍රවීනත්වයට පත්වුනු මේ කාණ්ඩය රචනා කරන පොත් ඉතා වටිනා ඒවාය. සමහර කාලවලදී රූපවාහිනියේ පවා මෙම දේශකයන් දක්නට ලැබේ. මෙවුන් රචනා කරන පොත් පත් පරිහරණය කිරීමේ වරදක් නැත.

තුන් වැනි කාන්ඩය වනාහී කෙසේ හෝ යම් කරුණු ටිකක් පොතකට පිටපත් කොට තම මඩිය තරකරගැනීමට මාන බලන වංචා කාරයන්ය. කිසිඳු පුහුනුවක් හෝ අත්දැකීම නැති අනුන් ලියන අදහස් යම් ආකාරයෙන් වෙනස් කොට මූල්යමය පදනම මත පමණක් පිහිටා පොත්පත් රචනා කිරීම මොවුන්ගේ ස්වභාවයයි. ලේඛන කලාවේ එතරම අඩුපාඩු නොතිබුනත් මේ තුන්වන කාන්ඩයට අයිතිවන පිරිස විසින් ලියන ලද පොත්පත් හා කරන ලද දෙශන වල බරපතල ලෙස වැරදි උපදෙස් ලබාදිමක් දක්නට ලැබේ.

එමෙන්ම මේ පොත්පත් ලාභදායී මිලට ලබාදීමද බාල තත්වයෙන් මුද්‍රණය කිරීමද බොහෝවිට දැකගත හැක. සෑම විටම ප්‍රායෝගික මනෝවිද්යා පොතක් තෝරාගැනීමේදී එය ලියන ලද ලේඛකයාගේ තොරතුරු සැලකිල්ලට ගන්න. සමාජයේ පිළිගත්, ප්‍රසිද්ධ හා සාර්ථක ලෙස නමක් රැන්දු පුද්ගලයෙක් විසින් රචනා කරන ලද පොත් පත් පමණක් පරිහරණය කරන්න.

ධනාත්මකව සිතීම ගැන සමාජය තුල පවතින වැරදි අදහස් රාශියක් ඇත. දියුනුව වනාහී බොහෝ කාලයක් උත්සාහ කර ලබාගතයුතු දෙයකි. එයට කෙටි මාර්ග ආදිය නැත. එමෙන්ම තමන් දියුනුවට පත්වෙනවා යැයි සිත සිතා සිටීමෙන් පමණක් දියුණුව ලඟා කරගැනීමට නුපුලුවන. උදාහරණයක් ලෙස ස්ව පණගැන්වීම නොමැති එන්ජිමක් ගන්න (Manual Starting). එහි ඉන්ධන පුරවා ඇතත් එය වෙහෙසවී පණ ගැන්වූයේ නැතිනම් එයින් ලැබෙන ප්‍රයෝජනය ලබාගත නොහැක. ඉන්ධන සමාන කර හැක්කේ ධනාත්මක චින්තනයටයි. ධනාත්මක චින්තනය පමණක් තිබී පලක් නැත. උනන්දුවෙන් හා කැපවීමෙන් තමන්ට අවශ්ය දෙය ලබාගැනීමට වීර්ය කිරීමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

අද ලංකාවේ සිංහල භාෂාවෙන් ලියැවුනු මනෝවිද්යා පොත්පත් බොහෝමයක් බටහිර රටක ලේඛකයෙක් විසින් ලියන ලදුව සිංහලට පරිවර්ථනය කරන ලද ඒවාය. එම පොත්පත් වල තිබෙන් බොහෝ කරුණු අප රටට නොගැලපේ. අප රටේ සමාජයට හා ව්යාපාර සංස්කෘතියට (Cooperate Culture )නොගැලපෙන අදහස් අනුගමනය කිරීම භයානක ප්‍රතිඵල අත්කර දෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුනු පොත් පරිහරනය කිරීමේදි එම අදහස් අපට ගැලපෙනවාදැයි සොයාබැලීම අනිවාර්ය වේ.

මූලික වශයෙන් මම මේ ලිපියෙන් ඉස්මතු කරන්නට උත්සාහ කලේ නිවැරදි මනෝ විද්යා උපදේශන මූලාශ්‍ර තෝරාගැනීම ගැනත් ධනාත්මක චින්තනය විකුනාගෙන කන රැවටිලිකාරයන්ට අසු නොවීමේ මගත් ය. ප්‍රායෝගික මනෝවිද්යාව ගැන හෝ පුද්ග්ල සංවර්ධනය ගැන ඔබ උනන්දු වනවානම් කලයුතු නැණවත්ම කාර්යය නම් සුදුසුකම් ලත් මනෝ විද්යා උපදෙශකයෙක් හෝ මනෝ වෛද්යවරයෙක් ගෙන් ඒ පිළිබඳව විමසා ගැලපෙන දේ තෝරා ගැනීමයි.

Wednesday, December 15, 2010

සුනඛයන් සමග මිතුරු වීම


සුනඛයා වනාහී මිනිසාගේ ඉතාම කිට්ටුවන්ත් මිතුරාය. ආරක්ශාව ලබාගැනීමට හා සුරතලයට සුනඛයන් ඇතිකිරීමට මිනිසුන් පුරුදු වී සිටිති. සමහර ආක්ටික් ප්‍රදේශ වල නම් කරත්ත ඇදීමට පවා සුනඛයන් යොදා ගනිති. සුනඛයන් සාමාන්යයෙන් මිනිසා සමග මිත්‍රශීලී වුවත් සමහර සුනඛයන් ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී බවක් දක්වයි. එවන් සුනඛයන් සමග මිත්‍රවීම අවදානම් සහගත ක්‍රියාවකි. මේ කෙසේ වෙතත් අලුත් සුනඛයෙක් සමග මිත්‍ර වීමේදී පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවනු නොඅනුමානය.
  • තමන් නොදන්නා සුනඛයෙක් සමග මිත්‍ර වීමේ දී සුනඛයාගේ අයිතිකරුවාගේ අනුමැතිය ලබාගන්න. සුනඛයාගේ ගතිපැවතුම් ගැන මූලික අවබෝධයක් ලබාගැනීම ඉතාම වැදගත්.
  • සුනඛයාට ලංවීමේදී ඉතාම සෙමින් තමන්ගේ අතේ පසුපස කොටස ඉදිරියට දිගුකරන්න. මෙවිට තමන්ගේ ශරීර ගන්ධයට සුනඛයා හුරුවෙනු ඇත.
  • තමන්ගේ අත ඉවකිරීමට සුනඛයාට ඉඩ දෙන්න. සුනඛයන් අන් අයව හඳුනාගැනීමේදී සුවඳ කෙරෙහි සැලකිලිමත් වේ.
  • ආගන්තුක සුනඛයෙක් ව මුලින්ම ස්පර්ශ කිරීමේදී සුනඛයාගේ පපු පෙදෙස, උරහිස් හා බෙල්ලේ උඩ කොටස මෘදු ලෙස ස්පර්ශ කරන්න. එවැනි ප්‍රෙදේශ ස්පර්ශ කරනවාට සුනඛයන් ඉතාම කැමැත්තක් දක්වයි.
  • සුනඛයා මුලින්ම නිදාගන්නා විට හෝ කෑම කන විට ඔහුට ලංවීම නොකරන්න.
  • මුලින්ම සුනඛයා ඔබවෙතට ලං වුවහොත් ශරිරය චලනය කිරීමේන් වැලකී නිසොල්මන්ව සිටින්න. එමෙන්ම සුනඛයා දෙස කෙලින්ම බැලීම නොකරන්න.

  • බොහෝ දෙනෙක් සිදුකරන වැරදි ක්‍රියාවක් නම් ආගන්තුක සුනඛයෙකුගේ හිස ස්පර්ශ කිරීමයි. නන්නාඳුනන පුද්ගලයෙකුගේ එවන් හැසිරීමක් ආක්‍රමණශිලී ලෙස සුනඛයා වටහා ගෙන සපාකෑමේ වැඩි ඉඩක් තිබේ.
  • සුනඛයා ආක්‍රමනශීලී වනවානම් ක්ශනික චලනයක් සිදුනොකරන්න. සුනඛයන් සන්සුන් කිරීමට හේතුවන ඇස්පිල්ලන් ගැසීම හා සිහින් උරුවම් බෑමක් සිදුකරන්න. ඉන්පසු සෙමින් තමන්ගේ අත් චලනය කරන්නේ නැතිව එතනින් ඉවත්වෙන්න. සුනඛයා දෙසට තම පසුපස හරවා දිවයාම ඉතා භයානකයි.


බොහෝ සුනඛයන් මිනිසුන් සමග ඉතාම මිත්‍රශීලියි. සුනඛයෙක් සමග මිතුරු වීමේදී ඔබට ඔහු සමග මිතුරු වීමට තිබෙන උවමනාවට වඩා ඔහුට ඔබ සමග මිතුරු වීමේ ආශාව බලවත් බව මතක තබාගන්න. ඔවුනට නිතරම කරුණාවෙන්, ආදරෙයෙන් සලකන්න එවිට ඔවුන්ගේ ආදරය ඔබට ලැබේවි.








Sunday, December 12, 2010

දෙවන ලෝක යුද්ධය ගැන පසු වදනක්


දෙවන ලෝක යුද්ධය වනාහී මිනිස් ඉතිහාසය තුල සිදුවුනු ඉතාම දරුණු සංග්‍රාම වලින් එකක්. එංගලන්තය, ඇමෙරිකාව, රුසියාව ඇතුලු මිතුරු පාර්ශවය හා ජර්මනිය ඉතාලිය ජපානය ප්‍රමුඛ සතුරු පාර්ශවය යනුවෙන් කල්ලි 2 කට බෙදී සිදුවුනු මෙම සටන නිසා මිලියන ගනනක් ජනතාව මරණයට පත්වුණි. දෙවන ලෝක යුද්ධයේ බිහිසුනු මතකයන් අද පවා බෙහෝ දෙනෙක් තුල රැඳී තිබේ. මේ මහා යුද්ධයට තුඩු දුන් කාරණා බොහොමයක් අද වියැකී ගොස් ඇති නමුදු මෙහි ප්‍රතිඵලය වෙනස් වීමට බොහෝ ඉඩ තිබුනු බව නම් පැහැදිලිය.


හිට්ලර් ප්‍රමුඛ සතුරු පාර්ස්චවය යුද්ධය පරාජය විම කෙරෙහි බලපෑ සාධක රාශියක් තිබේ. මූලික වශයෙන් ඒවා දේශපාලනික, උපක්‍රමික හා තාක්ශනික වශයෙන් කොටස් 3 කට බෙදා දැක්විය හැක. මේවා එකිනෙක ගැඹුරුන් ඉදිරියේදී විස්තර කෙරෙනු ඇත.

දේශපාලනික වශයෙන් සලකා බැලූ විට දෙවන ලෝක යුද්ධයේ අරමුණ ඉතාම වැරදි සහගත හා අමන ක්‍රියාවකි. එය කිසිසේත්ම ප්‍රායෝගික නොවන අරමුනක්. නව පාලන තන්ත්‍රයක් (තුන්වන රාජ්යය.) වසර 1000 ක් පවතින ලෙස නිර්මාණය කිරීමටත් වඩා සතුරු පාර්ස්ච්වීය නායකයන්ගේ අරමුණ වී තිබුනේ යුදෙව්වන් සමූල ඝාතනය කිරීමටයි. යුද්ධ කිරීම හා යුදෙව්වන් සමූල ඝාතනය කිරීම යන ක්‍රියා මාර්ග දෙකම එකවිට කරන්න යාම නිසා නිකරුනේ ජාත්යන්තර අරගල වලට ජර්මනිය තල්ලු වී ගියේය.

සත්යය නම් යුදෙව්වන් සමූල ඝාතනය කිරීම ඉතාම සූක්ෂමව කිරීමට හිට්ලර්ට හැකියාව තිබූ බවයි. තුන්වන රාජ්ය සංකල්පය මුල්බැසගත් නාසි ආන්ඩුවට ජාත්යන්තරය එරෙහි වුනේ යුදෙව්වන් ගැන අනුකම්පාවෙන් නොව නාසි ආන්ඩුව යුරෝපා බල තුලනයට බාධාවක් වීම නිසාය. ජර්මනියට ශක්තිමත් මිතුරු පාර්ස්චවයන් නොතිබීම අවසාන කාලයේ දී දැඩි අවාසි සහගත තත්වයක් නිර්මාණය කලා. නමුත් එංගලන්තය ප්‍රමුඛ මිතුරු පාර්ශවයට රුසියාව හා ඇමෙරිකාව වැනි ලෝක බලවතුන් රාශියක් හා බ්‍රිතාන්ය යටත් විජිත විශාල ප්‍රමාණයක සහය ලැබුනා.

යුදෙව් විරෝධී අප්‍රිකානු හා මැදපෙරදිග රටවල් වලින් නියමාකාරයට සහල ලබා ගැනීමට හිට්ලර් ට නොහැකි වුනා. මෙවන් තත්වයක් ඇති නොවීමට කළයුතුව තිබුනේ නාසි ආන්ඩුව බලයට පත්වූ විගසම ආසියා, අප්‍රිකා හා ලතින් ඇමරිකා රටවල් සමග වෙනම දේශපාලන බලමුලුවක් නිර්මාණය කරගැනීමයි. ස්වභාවයෙන්ම හිට්ලර් වනාහී සූක්ෂම දේශපාලනික ක්‍රියා වලට වඩා යුද්ධයට ප්‍රිය කල කෙනෙකි. නමුත් යුද්ධ කරනවාට වඩා වැඩි වාසියක් සාකච්චා මාර්ගයෙන් ලබාගැනීමට හැකි බව නාසීන්ට වැටහුනේ ඔවුන්ගේ විනාශයේ අසබඩයි. එවිට දේශපාලන විසඳුමකින් පලක් නොවේ.

මිනිස් බලයෙන් හා සම්පත් වලින් අනූන ඉන්දියාව හා චීනය වැනි රටවල් කෙරෙහි හිට්ලර්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් ජර්මනියට සතුරන් කිහිපදෙනෙකු සමග ඒකවිට සටන් කිරීමට සිදුවිය. ඉතාලිය හා ජපානය පමනක් නොව සතුරු පාර්ස්චවයට ලතින් ඇමෙරිකාව, චීනය, අප්‍රිකාව වැනි ප්‍රදේශ වල සහය ලැබුනා නම් ලෝක ඉතිහාසය සහමුලින්ම වෙනස් වනු නොඅනුමානය.

සතුරු පාර්ශවයට බාහිර දේශපාලනික අර්බුධ පමනක් නොව අභ්යන්තර අර්බුධ පවා නොඅඩුව තිබිණ. මූලික වශයෙන් ඒක කේන්ද්‍රීයව නාසි පක්ශයේ බලය පැතිරීම හේතුවෙන් නායකත්වය කෙරෙහි සතුරන් වැඩිවීමක් පෙන්නුම් කෙරුනා. නායකත්වය කෙරෙහි මහජන අප්‍රසාදය වැඩිවීමද වේගයෙන් සිදු වුනා. හිට්ලර්ව ඝාතනය කිරීමට නාසි පක්ශය තුලින්ම උත්සාහයන් දැරීමද අමතක නොකල යුතුය.

යුද උපක්‍රම අතින්ද ජර්මනියට කොතරම් වාසි සහගත වුවද ඒවයින් නිසි ප්‍රයෝජන ගන්නට සමත් පාලකයන් නොසිටියහ. නමුත් අවාසිය වාසියක් කරගනිමින් දක්ෂ ලෙස යුද්ධය මෙහෙය වූ මොන්ටිගොමරි, පැටන්, අයිසන්හවර් වැනි යුද නායකයන් සිටීම නිසා මිතුරු පාර්ශවයට සීමිත වාසි සහගත අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකිවිය.
දෙවන ලෝක යුද්ධයේ සතුරු පාර්ශවය කල බරපතලම යුධ උපක්‍රමික වැරදි 3 ක් ඇත. මූලිකම කාරණය වන්නේ පර්ල් වරායට බෝම්බ දැමීමයි. එය ඇමෙරිකාව නැමති නිදාසිටි යෝධයා අවධි කිරීමකි. මෙතෙක් කල් ආධාර සැපයීමට පමණක් සීමාවූ ඇමරිකාවේ යුධ දායකත්වය සක්‍රිය යුද්ධ ක්‍රියාමාර්ගය දක්වා වර්ධනය වුනේ මේ නිසාය.

දෙවැන්න නම් බ්‍රිතාන්යයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමයි. මාස කීපයක් තිස්සේ ගුවන් ප්‍රහාට එල්ල කරත් පලක් නැති නිසා හිට්ලර් විසින්ම මෙහෙයුම අවලංගු කර දැමීය. නමුත් හිට්ලර් නොදැන සිටි එක දෙයක් විය. එයම් රාජකීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තියයි. බ්‍රිතාන්ය යුද්ධයේ අවසාන භාගය වනවිට එය බරපතල ලෙස විනාශ වී තිබිණි. එක මොහොතක රාජකීය ගුවන් හමුදාව සතුව පැවතියේ ගුවන් යානා 150 ක් පමණයි. බ්‍රිතාන්ය යුද්ධ හමුදාව ද  දැඩි සේ දුර්වල වී ඇති මෙවැනි අවස්ථාවක ක්ශනික ප්‍රහාරයකින් බ්‍රිතාන්ය අධිරාජ්යය දනගැස්සවිය හැකිව තිබිණි. එසේනම් රෝම වරුන්ගෙන් පසුව බ්‍රිතාන්යය යටත් කරගන්නා එකම ජාතිය වීමටද ජර්මිනියට ඉඩ තිබිණ. දෛවයේ සරදමකට මෙන් හිට්ලර්ගේ වැරදි තීරණ නිසා අවසානයේ යුද්ධයේ වාසිය මිත්‍ර පාර්ශවය අතට පත්විය.

බ්‍රිතාන්ය යුද්ධය අතහැරීමෙන් නොනැවතී තවත් අමන ක්‍රියාවක් හිට්ලර් සිදු කලේය. ඒ බාබරෝසා මෙහෙයුම මගින් රුසියාවත් සමහ පැවති සාම ගිවිසුම ඒක පාර්ස්චවිකව කඩා දමා යුද්ධයකට මුලි පිරීමයි. බාබරෝසා මෙහෙයුමින් ජර්මනියට අන්ත පරාජයක් අත්විය. මෙතුවක් කල් යුද්ධයට සම්බන්ධ නොවී සිටි රුසියාව ජර්මනියට එරෙහිව යුධ වැදීම නිසා වසර දහසක් පවතින් ලෙස නිර්මාණය කල තුන්වන රාජ්යය වසර 5 ක් වැනි කාලයකදී විනාශ වීමට මුල පිරුණි.

මිත්‍ර පාර්ශවයට වඩා සිය ගුණයකින් තාක්ශනික අංශයෙන් ඉදිරියට ගොස් තිබුනද ඒවා නියමාකාරයෙන් කළමනාකරණය කරගැනීමට ජර්මානුවන්ට නොහැකි විය. ලෝකයේ පළමු බැලස්ටික් මිසයිලය හා පලමු පරමානු බෝම්බ ආකෘතිය නිපදවූයේ ජර්මානුවන් වග අමතක නොකල යුතුයි. නමුත් සාර්ථක තාක්ශනයක් වැඩිදුර නිපදවනවාට වඩා ජර්මානුවන් සිදු කලේ අසාර්ථක නිර්මාණ රාශියක් ගැන පරීක්ෂණ සිදු කිරීමයි. යුද්ධ කාලයේ අනවශ්ය පරීක්ෂණ වලට මුදල් හා කාලය නාස්ති කරනවාට වඩා එවකට පැවති සාර්ථක අවි ආයුධ මහා පරිමාණයෙන් නිපදවීම සිදුකිරීමට තිබුණි.

වසර ගනනක් පැරණි ME 109 ප්‍රහාරක ගුව්න් යානය වැඩිදියුනු කිරීම, Tiger සහ Panzer යන යුද්ධ ටැංකි ඉක්මනින් නිපදවීම, MP 44 ප්‍රහාරක අවිය මහා පරිමානයෙන් නිපදවීම සහ පරමාණු බෝම්බ තාක්ෂණය වැඩිදියුනු කිරීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් පහසුවෙන් යුද්ධයේ ගමන්මග ජර්මානුවන් වෙත හරවා ගැනීමට හැකියාව තිබුනත් එය සිදු නොවුණි.

අවසාන වශයෙන් කිව හැක්කේ ජර්මනියට යුද්ධයෙන් ජයගැනීමට සෑම විටම මාවතක් විවර වී තිබුනු බවයි. නමුත් නියමිත සැලසුමකින් තොරව යුද්ධයට අවතීර්ණ වූ නිසා ඒ අවස්ථා සියල්ලම මගහැරුණු බව නම් කිවයුතුය