Wednesday, October 31, 2012

මිනිසා තුල සැඟවගත් යක්ෂයා (Psychopaths among us )



මෙම ලිපිය මා ලිවූ ලිපිවල ස්වභාවයෙන් තරමක් ඔබ්බට ගොස් ප්‍රායෝගික මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රයට බර වූවකි.

අප අපේ ජීවිත කාලය තුල විවිධ පුද්ගලයින් ඇසුරු කරයි. ඒ අය විවිධ පෞරුෂ ඇත්තන්ය. හොඳ හෝ නරක, ආත්මාර්ථකාමී හෝ පරාර්ථකාමී, මසුරු හෝ ත්‍යාගශීලී අය ඒ අතර සිටියි. මේ සියල්ලන්ම අතරින් අතිශයින් කුරිරු නමුත් මානසික ආබාධයක් හෝ ව්‍යාධියක් නොපෙන්වන මිනිසුන් කාන්ඩයක් ඇත. 

Psychopaths යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන මෙම පිරිස සාමාන්‍යයෙක් සිංහල ව්‍යවහාරයේදී "මානසික ව්‍යාධිකරුවන්" ලෙස හැඳින්වුවද එය බොහෝවිට නිවැරදි නැත. Psychopath හි ඉංග්‍රීසි තේරුම නම් 

"A person with an antisocial personality disorder, manifested in aggressive, perverted, criminal, or amoral behavior without empathy or remorse" 

යන්නයි. එනම් සමාජ විරෝධී හැසිරීමකින් යුතු සදාචාරයෙන් තොර නපුරු හැසිරීම් වලින් යුතු සහකම්පනයෙක් තොර වූ පුදගලයෙකි.මෙම තත්වය පෞරුෂ ආබාධයක් වුවත් මානසික ව්‍යාධියක් නොවේ. එමෙන්ම Psychopaths පුද්ගලයින් දැඩි හැසිරීම් තිබෙන පුද්ගලයින් ලෙසද වරදවා වටහාගතයුතු නැත. අන් පුද්ගලයින්ගෙන් Psychopaths ලා වෙන් කරගන්නා ප්‍රධානම නිර්ණායකය වන්නේ ලාගේ අභ්‍යන්තර අනුකම්පාවක් නොමැතිකමයි. මා මේ ලිපියේ සෑම විටම මෙම පුද්ගලයින්ට "Psychopaths" කියාම යොදා ඇත.  


මොවුන්ගේ ලක්ෂණ පහතින් ලයිස්තුගතකර හැක.


හැඟීම් දැනීම් අඩුකම 
මානසික ආතතියට ඔරොත්තු දීම
සහකම්පනයෙක් තොරවීම
වරදකාරී හැඟීම් වලින් තොරවීම
දැඩි මමත්වය
ඉතාම ප්‍රසන්න ආකාරයෙන් සමාජයේ හැසිරීම (මේ කරුණ නිසාම පුද්ගලයින් හඳුනාගැනීම ඉතාම අසීරුය)

සෑම විටම තමන්ගේ ප්‍රයෝජනය උදෙසා අන් අයව තමන්වෙත නතුකරගෙන ඔවුන්ව රවටා තම අරමුණ ඉටුකරගනියි. තමන්ට අන් අයව ප්‍රයෝජනයක් නැති බව හැඟුනු විට ඒම  පුද්ගලයින්  අයින් කර දැමීමටද මොවුන් පසුබට නොවෙති. පලිගැනීමේදී දරුණු වල මෙම පුද්ගලයින් තම ගොදුර වෙත සෑම අවියකින්ම දමා ගසා ඒ පුදගලයින්ගේ රැකියාව, සමාජ ජීවිතය හා පවුල පමණක් නොව ජිවිතය පවා පලිගැනීමේදී දරුණු වල මෙම පුද්ගලයින් තම ගොදුර වෙත සෑම අවියකින්ම දමා ගසා ඒ පුදගලයින්ගේ රැකියාව, සමාජ ජීවිතය හා පවුල පමණක් නොව ජිවිතය පවා උදුරාගනී

පුද්ගලයින් ඉතාම සාර්ථකව තම රැකියාව හා සමාජ ජීවිතය ගෙවයි. ඔවුන් තුල ඇති අභියෝග වලට මුහුණදීම, නිර්භීතකම, අවධානම් ගැනීම හා කෙනෙක් තමන්ට නම්මා ගැනීමේ හා රැවටීමේ හැකියාව මෙන්ම දැඩි තීරණ ගැනීමට පසුබට නොවීම යන ගුණාංග නිසා නූතන ව්‍යාපාර ලෝකය තුල ඉහලටම නැගීමට මෙම පුද්ගලයින්ට හැකිවී තිබේ. මිනිසුන්ගෙන් 1% පමණ වන මේ පිරිස අද ව්‍යාපාර ලෝකයේ සිටින පිරිසගෙන් 10% පමණ වීම මත Psychopaths ලා කොතරම් සාර්ථක භාවයක් ලද්දේද යන්න පැහැදිළි වේ 

මෙවුන්ව හඳුනාගැනීම තරමක් අපහසුවේ. සෑම දක්ෂ පුදගලයෙක්ම Psychopath කෙනෙක් නොවිය හැක. එමෙන්ම ආත්ම විශ්වාසයෙන් වැඩකිරීමට Psychopath කෙනෙක්ම වීමට අවශ්‍ය නැත. නමුත් කපටිකම්, ඉක්මනින්ම ජයග්‍රහණය ලැබීමට ඇති ආශාව, ජීවිතයේ ස්ථාවරව පවත්වාගැනීමට ඇති අකමැත්ත, අනෙක් පුද්ගලයින්ගෙන් දැඩිසේ පළිගැනීම වැනි ලක්ෂණ නිසා මොවුන් විශේෂිත වේ. 

අවාසනාවකට අද ලෝකයේ ඉහල රැකියාවන් කරන්නන් හා නායක/විධායක පුද්ගලයින්ගෙන් බොහොමයක් Psychopath ගනයට වැටේ. මෙවන් පුද්ගලයින් යටතේ වැඩකරන්නට හෝ එවන් පුද්ගලයින් සමග ගනුදෙනු කරන්නට අනිවාර්යයෙන් අපට සිදුවේ සමහරවිට තමන්ගේ මිතුරා හෝ සහකාරිය/සහකරු මෙවන් පුදගලයෙක් විමේ ඉඩක් ඇත. නමුත් එම ලක්ෂණ "මනෝව්‍යාධී තත්වයක්" යැයි ඔබ නොදැන සිටින්නටද ඇත.  

මෙම පුදගලයින්ගේ ගොදුරක් වීම ඉතාම භයානක වේ. නමුත් පහත කරුණු වලින් මෙම පුදගලයින් සමග ගනුදෙනු කරන ආකාරය විස්තර කෙරේ 

  • Psychopath කෙනෙක්ගේ ගොදුරක් වෙනවාට වඩා මොවුන්ට කල් තියා හඳුනාගැනීම ප්‍රතිඵලදායකය. 
  • අලුත් රැකියාවට, පරිසරයකට පැමිණියහොත් කිසිඳු පුදගලයෙකු ගැන විශ්වාසය තබන්නට එපා. ඔබව අල්ලාගැනීමට, රවටා ගැනීමට Psychopaths පුද්ගලයින් නිතර සිටියි. 
  • සෑම විටම Psychopaths ලා ව මග අරින්න. එමෙන්ම තමන් මානසිකව හා කායිකව ශක්තිමක් කෙනෙක් බව පෙන්වන්න. බොහෝ විට Psychopaths ලා තම ගොදුරු බවට පත් කරගන්නේ දුර්වල පුද්ගලයින්ය 
  • අවාසනාවකට මොවුන්ගෙන් කරදට සිදුවුවහොත් ඊට මුහුණදීමට සියලු ශක්තිය, ඔවුන්ගෙන කරදර සිදුවුන බවට ඇති සාක්ෂි ආදිය ප්‍රවේසමෙන් රැස්කරගෙන එක්වරම පහරදීම වඩා යෝග්‍ය වේ. රැකියාවේදී නම් ඉහල අධිකාරියකට පැමිණිලි කිරීමට පෙර ඉතාම සැලසුම්සහගතව එය කල යුතුවේ 

අවසාන වශයෙන් කිව යුත්තේ මේ සමාජය කිසිසේත්ම යහපත් තැනක් නොවන බවයි. එය පිරී ඇත්තේ නපුරු දුෂ්ට පුදගලයින්ගෙනි. නමුත් සමාජයෙන් දුරස් වී අපට ජීවත්වීමට නොහැකි නිසා කෙසේ හෝ නපුරු සමාජයත් සමග ගනුදෙනු කල යුතුවේ. අපට යහපත් පුද්ගලයින් ලෙස ජීවත් විට හැක නමුත් සමාජයේ දුෂ්ටකම්, නපුරුකම් හා රැවැට්ටීම් වලට ඔරොත්තු දෙස ලෙස අපේ පෞරුෂය වර්ධනය කරගැනීම අනිවාර්ය වේ. 




Tuesday, October 23, 2012

සියදිවි නසාගැනීම් ගැන යමක්



සියදිවි නසාගැනීම අද සමාජයේ බෙහෙවින්ම කතාබහට ලක්වෙන මාතෘකාවක්. තමන් විසින් තම ප්‍රාණය නිරුද්ධ කරගැනීම එකෙන් අර්ථවත් වෙනවා. සමාජයේ මෙන්ම ආගම් වල පවා මෙය නොකලයුත්තක් ලෙස හැඳින්වුවත් ලංකාවේ සියදිවි නසාගැනීම් වාර්ථාගත ලෙස ඉහල ගිහිල්ලා. පුවත්පත් වල එක දිනකට එවැනි පුවත් එකක් හෝ කීපයක් නොමැති දවසක් නැතිතරම්. මේ සියදිවි නසාගැනීමේ රැල්ලට විරුද්ධව විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කලත් තවමත් ඒ ප්‍රවතාවේ වැඩීමක් මිස අඩුවක් නම් නැහැ 

සියදිවි නසාගැනීමට හේතු කීපයක් බලපාන්න පුලුවන්.  ප්‍රේම සම්බන්ධතා බිඳීයාම, රැකියා අහිමිවීම හෝ ආදායම් මාර්ග නොමැතිවීම, අධික මානසික ආතතිය, කාලයක ඉඳන් පැවැතෙන කායික රෝග මෙන්ම තමන්ගේ සමීපතමයෙක් මියගියවිට දැනෙන අධික ශෝකය නිසාත් කෙනෙක් සියදිවි නසාගැනීමට පෙළඹෙන්න පුලුවන්. මේ සෑම අවස්ථාවකදීම පෙනෙන්නේ ජීවත් වෙනවාට වඩා මරණය සැපයි යන පූර්ව නිගමනය මත මේ කියාවට පෙළඹීමයි. එනම් ජීවත් වෙමින් දුක විඳවනවාට වඩා මියයාමෙන් ඒ දුක නැතිවේවි යන හැඟීමයි. 

සියදිවි නසාගැනීමට කෙනෙක් විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්. ප්‍රචලිත ක්‍රම අතර ගෙල වැලලා ගැනීම, විශ පානය කිරීම, කෝච්චියට පැනීම, ගෙඩනැගිලිවලින් බිමට පැනීම ආදිය හඳුන්වන්න පුලුවන්. එමෙන්ම නිදි පෙති හා විවිධ ඖෂධ වර්ග පානයද මරණයට හේතුවක්. බොහෝ දෙනා සියදිවි නසාගැනීම තෝරාගන්නේ මේ ජීවිතය දුකෙන් හා වේදනාවෙන් විඳවමින් ගෙවනවාට වඩා මරණය යහපත් යන විශ්වාසයෙන් වුවත් මරණය ලඟා කරගන්නා ක්‍රම සියල්ලම ඉතාම වේදනාත්මකයි. උදාහරණයක් ලෙස ගෙල වැලලා ගැනීමෙන් මරණයට පත්වීමට විනාඩි 10 ක් හෝ ඊට වඩා වැඩි ගණනක් මරුවා හා සටන් කිරීමට කෙනෙක්ට සිදුවෙනවා. තමන්ම සාදාගන්නා තොන්ඩුව, පනින උස ප්‍රමාණය ආදිය නිවැරදි ගණනයකින් තොරව ආවේගයෙන් යුතුව තම ජීවිතය අවසාන කරන අදහසින් ගෙල වැලලාගත්තද කෙනෙකුට අත්විඳින්නට වෙන්නේ අතිශය කටුක මරණයක්. හදිසියේවත් එම ක්‍රියාව අසාර්ථක වුවහොත් එම පුද්ගලයාට විරුද්ධව නීතිමාර්ගයෙන්ද කටයුතු කර හැකිය. 

සමාජයේ බොහෝ දෙනාගේ තිබෙන මතයක් තමයි සියදිවි හානිකරගන්නේ ජීවිතයට මුහුණ දීමට නොහැකි දුර්වල පුද්ගලයන් කියා. ආදරය අහිමිවීම නිසා ගෙල වැළලා ගන්නා හෝ කොච්චියට පනිනා බොලඳ පෙම්වතුන් පෙම්වතියන්ට මෙය අදාල වුවත් සියදිවි නසාගන්නා සැලකිය යුතු පිරිසක් එය තෝරාගන්නේ තමන්ට වෙනත් මාර්ගයක් නොමැති නිසාය. තමන්ගේ සෙසතම විනාශ වී ණය ගෙවාගැනීමට නොහැකිව පවුල් පිටින් මරු තුරුලට යන ගොවි මහතුන් එවැනි පිරිසක්. එමෙන්ම ජීවිත කාලයේම දැඩි කායික පීඩා විඳින සමහර පිරිස්ද මරණය ස්ව කැමැත්තෙන්ම තෝරාගන්නේ ජීවත්වීමේ නොහැකියාව ඔවුන් හොඳින්ම දන්නා නිසාය. මරණය ලඟා කරගැනීමේ මාර්ගය කොතරම් දුක්ඛදායක වුවත් ඒ සියල්ලටම මුහුණදී ජීවිතය තොර කරගැනීමේ තීරණය මෙවන් අය ගනී. කිසිඳු අයුරකින් එය සාමාජීය වශයෙන් සාධාරණීකරණය කිරීමට නොහැකි වුවත් එම පුද්ගලයින්ගේ තත්වයේ ඔබ සිටියහොත් ඔබත් ගන්නේ එම තීරණය වීමට බොහෝසෙයින් ඉඩ ඇත.

මේ ලේඛකයාද එවැනි සියදිවි නසාගැනිමේ හැඟීම් වලින් පීඩාවිඳි පුද්ගලයෙකි. සියදිවි නසාගැනීමේ පෙළඹීම හා එවැනි තත්වයකදී ඇතිවන අසරණභාවය වෙනත් කෙනෙක්ට කෙදිනකවත් අවබෝධ කරගත නොහැකිය. එවැන්නක් අවබෝධ කරගත හැක්කේ ඒ අත්දැකීම හා හැඟිම අත්දැක ඇත්තෙක් පමණි. සියදිවි නසාගැනීමේ පෙළඹීමක් ඇති පුද්ගලයෙක් කෙරෙහි සමාජය හැසිරෙන ආකාරයත් වෙනස්විය යුතුයි යන්න මගේ හැඟීමයි. බොහෝවිට එවත් ලක්ෂණ පතල කරන කෙනෙක් කෙරෙහි සමාජය විසින් පනවන වරදකාරී ලේබලය හා තමා දුර්වලයෙක් යන හැගීම පුද්ගලයෙක්ව තවදුරටත් සියදිවි නසාගැනීමට උඩගෙඩිදීමක් වේ. එවැනි අවස්ථාවලදී එම පුද්ගලයාව ගැරහීමට හා අවඥාවට ලක්කරනවා වෙනුවට හැකි ඉක්මනින් මානසික වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදේශනයට යොමුකරනවා නම් වැදගත් වේ. 

නූතන ලෝකය තුල තිබෙන සමාජ පීඩනය හා ගැටලු නිසා වැඩිවැඩියෙන් පිරිස් සියදිවිනසාගැනීමට පෙළඹේ. ඉතාම සාර්ථක ජීවිත ගතකරවා යැයි සිතෙන පුදගලයින් පවා යම් අවස්ථාවලදී සියදිවි නසාගැනීමට පෙළඹිය හැක. එවිට දුර්වලට පුදගලයින් සියදිවි නසාගන්නවා යැයි කීම සෑමවිටම නිවැරදි නොවේ. 

නමුත් "කණ කැස්බෑවා වියසිදුරින් අහස බලනවා සේම" අප ලැබූ මේ මිනිස් ජීවිතය ඇත්තේ විනාස කරගැනීමට නොවේ. සැබැවින්ම අප ප්‍රාණය අපට අයිති නැත. එය අයත් වන්නේ මේ සුවිසල් ලෝකයට හා සොබාදහමටයි. එමනිසා අටලෝ දහමින් කම්පා නොවී ජීවිතයේ බැඳීම් ලිහිල් කරමින් උපේක්ෂාවෙන් ජීවිතයට මුහුණදීමට අප සියල්ලන්ම ඉටා ගතයුතුය. 

Monday, October 1, 2012

බෞද්ධයා අනතුරේ



බෞද්ධයින්ට ඉතාම කණගාටුදායක සිදිධියක් මීට දින දෙකකට පමන පෙර අසන්නට ලැබුනා. ඒ බංග්ලාදේශයේ බෞද්ධ පන්සල් කිහිපයක් ගිනිබත් කර ඒ ප්‍රදේශවලින් බෞද්ධයින් පළවා හැරි පුවතයි. දැනටත් ඒ ප්‍රචන්ඩකාරී වාතාවරණය මහගැරී නැත. 





මේ සිද්ධිය බංග්ලාදේශයේ සිද්ධවුනු පළමු වතාව නොවේ. බංග්ලාදේශ ජනගහනයෙක් 1% පමණ වාසය කරන බෞද්ධ ප්‍රජාව බංග්ලාදේශ චිතගොන් නිම්නයේ සංකේන්ද්‍රණය වී වාසය කරනවා. ථේරවාදී බෞද්ධයින් ජීවත් වෙන රටක් හැටියටයි එය සැලැකෙන්නේ.




මෙම ප්‍රචන්ඩත්වයට හේතුව ලෙස අනාවරණය කරගෙන ඇත්තේ ආගමික ග්‍රන්ථයක් පුලුස්සා ඒ පින්තූරය ෆේස්බුක් වෙබ් අඩවියේ පළකිරීමයි. අවසානයේ එය කෙළවර උනේ බෞද්ධ පන්සල් රාශියක් ගිණිබත් කිරීමෙනි. ආගමකට අපහාස කිරීම අප හෙලාදැකිය යුතු කරුණකි. නමුත් මෙහිදී වැදගත් වෙන්නේ ග්‍රන්ථ පුලුස්සා දැමීම හේතුවෙන් මෙතරම් ප්‍රචන්ඩත්වයක් මුදාහැරිම නීතිමය වශයෙන් හා සදාචාරාත්මක වශයෙන් කොතරම් නිවැරදිද යන්නයි. 

මා මීට පෙර ලිපියකද සඳහන් කර පරිද්දෙන් චිත්‍රපටියකට තිබූ විරෝධතාවය තවමත් මගහැරී නොමැත. මේ ආකාරයෙන් ලෝකය පුරාම අන් ආගම් වලට එරෙහිව අන්තවාදී ක්‍රියා කිරීමට පෙලඹවීමක් ඇතිවීම එතරම් යහපත් දෙයක් නොවේ. 

ලිබියාවේ සිද්ධවූ සිද්ධිය මෙන්ම මෙයත් කිසිඳු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව නූගත්, කරුණු කාරණා නොදන්නා, අපහාස වලට නිසිආකාරයෙක් පිළිතුරු දීමට නොදන්නා පිරිසකගේ වැඩකි. ආගමික පූජකයින් ජනතාව කුපිතකරවා එය ගැටුමක් දක්වා වර්ධනය කිරීමක් මෙහිදී සිදුවී ඇත. බංග්ලාදේශ රජයටද මෙය පාලනය කිරීමට හැකියාවක් හා බලයක් නොමැතිබවද පෙනී යන කරුණකි. 





ලෝකයේ ආගමික ශාස්තෲවරුන් සියල්ලන්ටම පාහේ විවිධ තර්ජන, උපහාස හා අපහාස එල්ලවුනි. නමුත් ඔවුන් ඒ සියල්ලටම තාර්කිකව හා බුද්ධිමත් ආකාරයෙන් පිළිතුරු දුන්හ. බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේට එල්ල වූ අපහාස වලට නිසි පිළිතුරු දුන් සේක. උන්වහන්සේ කෙදිනකවත් අපහාස කරන්නාවූ තැනැත්තන්ගේ ආරාම විනාශ කිරීමට, ඔවුන්ව මරාදැමීමට අනුබල නොදුන් සේක. ලංකාවේද බෞද්ධයින්ට සිදුවන අසාධාරණකම් හමුවේ අප මොවුන් හැසිරී තිබෙන ආකාරයටම හැසිරුනා නම් මෙරට අන්‍ය ආගමික ස්ථනයක්, අන්‍ය ආගමිකයෙක් ඉතිරි නොවනු ඇත. දිනෙන් දිනම් අපහාසාත්මක වෙබ් අඩවි, ෆේස්බුක් ගිනුම් මතුවේ, නැගෙනහර පලාතේ බෞද්ධ ආරමවලට තර්ජණ එල්ලවී ඇත. නමුත් ඉහත කී මිනිස් වෙසින් සිටින යක්ශයින්ට වඩා ලංකාවේ බෞද්ධ ජනතාව කොතරම් ඉවසීමකින් සිටින්නේද යන්න පැහැදිලිය

එමෙන්ම අනෙකුත් ලොව පතල ආගම් වල ශාස්තෲවරුන්ද ඒහා සමානවම ක්‍රමයක්, අඩුම තරමේ "හින්සාවෙන් තොරව කරුනු පැහැදිලි කිරීමෙන්" එයට පිලිතුරු දුන් බව සිතිය හැක. නමුත් දැන් එම අයගේ අනුගාමිකයින් කරන්නේ කුමක්ද ? මේ ආගමික කණ්ඩායම් දැනගතයුතු කරුණක් නම් නූතන ලෝකය තුල ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකුගේ චරිතය ඝාතනය කිරීමට, අපහාස කිරීමට හැකියාවක් ඇති බවය. ඒවාට සන්සුන්ව බුද්ධිමත් ලෙස මුහුණදීම ඒ අයගේ යුතුකම වේ. 

අපහාස වලට තිරිසනුන් සේ අවි අමෝරා ගන්නවාට වඩා කරන්නට ඇති දේ බොහෝය. බංග්ලාදේශ රජයට මීට මැදිහත්වන්නට තිබුනි. එමෙන්ම යම් යම් නීතිමය කටයුතු ගැනීමට තිබුණි. නමුත් සිදුවූයේ කවුරුන් හෝ කරපු වරදකට කිසිත් වරදක් නොකල පිරිසකගේ ආගමික නිදහස අහිමිවීමයි.  මෙතන ඇති විහිලුවට කාරණය නම් ඔය ප්‍රචන්ඩත්වය පැතිරූ ආගමික කණ්ඩායමම ඔවුන්ගේ ලබ්ධියේ පිරිස් විවිධ ම්ලෙච්ඡ ක්‍රියා කරනවිට ඒවා නිසා ඔවුන් සියල්ලන්ම එම ගණයට ඇදදමන්නට එපා යැයි කීමයි. එසේ කියන ගමන්ම එක පුද්ගලයෙක් කී කාරණය අලලා සියලු බෞද්ධයින්ට පහරදේ 


අප කලයුත්තේ කුමක්ද ?

අප සමහර පිරිස් සිදුකලා සේ ආකාරයෙන් බංග්ලාදේශ තානාපති කාර්යාලය වැටලිය යුතු නැත. තානාපතිවරුන් මරාදැමිය යුතු නැත. උසාවි වලට ගල් ගැසිය යුතු නැත. පාරවල් වසමින් පොදු දේපල විනාශ කරමින් යකා නැටිය යුතු නැත. බුදුදහමට අපහාස උපහාස කරන්නවුන්ට, පන්සල් ගිනිතියන්නන්ට ඔවුන් කරගත් කර්මයේ බරපතලකම අනුව විපාක ලැබෙනුඇත. ඔවුන් නිසා අප පව් රැස්කරගැනීම මෝඩකමකි. 

මෙහිදී බෞද්ධාගම ආරක්ශාකිරීමට ව්‍යවස්ථාවෙන්ම් කැපැවී සිටින ශ්‍රීලංකා රජයට යම් කාර්යභාරයක් හිමිවී තිබේ. සාක් කලාපීය රටක් හා අපේ මිතුරෙක් වන බංග්ලාදේශ රජයෙන් එරට බෞද්ධයින්ට වන තර්ජන පිළිබඳව හා ආරක්ශාව ගැන විමසිල්මත්වීම වැදගත්ය. අනිත් ආගම්වලට වඩා ලෝක බෞද්ධ ප්‍රජාව සංවිධනය් ශක්තියෙන් අඩුය. එය වලක්වා එකමුතුකම මෙරටදීත් ජාත්‍යන්තර තලයේදීත් රඳවා ගැනීම තුලින්  අනාගතයේ එල්ලවිය හැකි බිහිසුනු ඉරණම්වලින් ගැලවීමට රුකුල් වේ. මේ කෙසේ වෙතත් ශ්‍රීලංකාවේ බෞද්ධයින්ට තිබෙන තර්ජන ගැන මුනිවත රකින රජය තුලින් මීට මැදිහත්වීමක් ලබාගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් වනබව කණගාටුවෙන් වුවද කිව යුතුය 

මේ රටේ ඕනෑම ආගමිකයෙකුට තමන්ට අවශ්‍ය විදිහට ආගමික නිදහස භුක්ති විඳිය හැක. නීත්යානුකූලව තමන්ගේ ආගමික කටයුතුවල කිසිම ගැටලුවකින් තොරව යෙදිය හැකිය. ඒ මේ රටේ බහුතරය වූ බෞද්ධයින්ගේ ආගමික සහනශිලීත්වය නිසාමය. එය දඩමීමා කරගෙන දිගටම කෙනිහිලිකම් කිරීමට ඒම එතරම් නුවැණැති ක්‍රියාවක් නොවන බවත් බෞද්ධයාගේ සහනශීලී ගුණය නිවටකමක්, මෝඩකමක් ලෙස වටහා නොගන්න ලෙසත් අන්‍යජාතික, අන්‍යාගමික පිරිසගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමි 

(ඡායාරූප උපුරාගැනීම  Russia Today )



Monday, September 17, 2012

ස්ටීව් ජොබ්ස් - සාර්ථක මිනිසෙකුගෙන් අපට උගත හැකි පාඩම්




අපි හැමෝම අහලා ඇති ස්ටීබ් ජොබ්ස් ගැන. ලෝකයේ විශාල පරිගණක සමාගමක නිර්මාතෲවරයාව සිට මියගිය සාර්ථක ව්‍යාපාරිකයෙන් තමයි ඔහු.

තමන් වැදූ අම්මාගෙන් තාත්තාගෙන වෙන්වෙලා, විශ්ව විද්‍යාල අධ්‍යාපනේත් කඩාකප්පල් කරගෙන අවසානේ දියුණුවේ හිනිපෙත්තටම නගින්න ඔහු සමත් වුනා.

ඔහු මහා මැජික්කාරයෙක් නෙවෙයි. ඔහුත් අපි වැනිම මනුශ්‍යයෙක්. ඔහුටත් අනන්තවත් වැරදීම්, පසුබැහීම් වෙලා තිබෙනවා. නමුත් අප සමාජයේ බොහෝ දෙනෙක් වගේ එම පීඩාවලින් නොවැටී ඔහු තමන්ගේ මාර්ගයේ ගමන් කරා. ලෝකයේ සෑම කෙනෙක්ම 100% සාර්ථක වෙන්නේ නෑ. ජොබ්ස් උනත් එහෙමයි. නමුත් තමන් ලබාපු ජීවිතයෙන් මුලු ලෝකයම වෙනස් කරන්න ඔහුට පුලුවන් උනා.

BBC නාලිකාව මෙහු ගැන වාර්ථාමය චිත්‍රපටයක් හැදුවා. මීට ටික කාලයකට පෙර මෙය නිර්මාණය උනත් ඔහුගේ ජීවිත කතාව අපි හැමදෙනාටම වැදගත් වෙන එකක් නිසා මම ඒ චිත්‍රපටය මෙතන ඇතුලක් කරනවා. අනිවාර්යයෙන්ම බලන්න.




මෙහුගේ ව්‍යාපාර හා ජීවන රහස් කිහිපයක් මම කෙටියෙන් දකවන්නම්. බොහෝවිට මේ රහස් ව්‍යාපාරික ක්ශේත්‍රයට වැදගත් වෙයි

1)  අලුත් විදිහට හිතන්න. ඒ හිතුවිල්ල කොච්චර රැඩිකල් උනත් කිරීමට අපහසු වුනත් තමන් සිහින දකින එක, අලුත් අලුත් අදහස් සැලසුම් කරන එක නවත්තන්න එපා

2)  තමන්ගේ ඉලක්කයට යාමට අවශ්‍ය ඕනෑම මානව හා භෞතික සම්පතක් ඉක්මනින්ම තමන් වෙත ලබාගන්න. ඒ වාගෙම තමන්ට අන්වශ්‍ය සියලුම සම්පත් බැහැර කරන්න. ව්‍යාපාරයකදී නම් මානව හා භෞතික සම්පත් මේ ගණයට ඇතුලු කරන්න පුලුවන්. ඒක කොතරම් අපහසුවක් උනත් තමන්ට වේදනාවක් උනත් තමන්ගේ අවසාන ඉලක්කයට බාධා වෙන ඕනෑම දෙයක් විනාශ කරන්න පසුබට වෙන්න එපා

3)  තමන් වරක් අසමත් වුවහොත් වෙනත් මාර්ගයක් තෝරාගන්න. නමුත් ඒ මාර්ගය තමන්ගේ අවසාන ඉලක්කය කරා යන එකක් දැයි සැකහැර දැනගන්න. ස්ටීව් ජොබ්ස් තමන් නිර්මාණය කරපු Apple සමාගමෙන්ම එළියට ඇද දැමූ විට තමන්ගේ අවසාන ඉලක්කය වූ "තාක්ෂණයෙන් ලෝකය වෙනස් කිරීම" යන්න ඉටුකරගැනීමට Pixar, NEXT  වැනි සමාගම් මිලට ගෙන ඒවා ලාභ ලබන තත්වයට ගෙනාවා. අවසානයේ සමාගමට නැවත්ත් ජොබ්ස් නැතුවම බැරි චරිතයක් උනා

ජොබ්ස් ගේ ව්‍යාපාර ඥානය ඉතාම වැදගත්. මේ ඔහුගේ බිස්නස් රහස් කීපයක්

1)  සෑමවිටම වෙනස් දෙයක් කරන්න. ඒකාකාරී දේවල් වලට මිනිසුන් අකමැතියි. අනිත් සෑම තරඟකරුවෙක් ගෙන්ම වෙනස් වූ අංග තමන් තුල ඇතිකරගතහොත් පාරිභෝගිකයෝ නිතැනින්ම ඔබ වෙත ඇදේවි

2)  පාරිභෝගික මතයට සංවේදී වන අතරම තමන් නිර්මාණය කල නව අදහස් වලට ඉල්ලුමක් පාරිභෝගිකයින් අතර ඇතිකරන්න. Apple සමාගමේ සම්පූර්ණ වෙලඳ උපක්‍රමය මෙයයි. Apple සමාගමේ භාන්ඩ පාරිභෝගික මතයට සංවේදී වෙමින් ඔවුන් විසින් ඇතිකරනු ලැබූ සංස්කෘතියට නිතැනින්ම පාරිභෝගිකයින් නම්මාගැනීමක් සිදුකෙරෙනවා. ඒම නිසා Apple නිෂ්පාදන වැනි වෙනත් ඒවා කොතරම් තිබුනත් පාරිහෝගිකයා වෙතම ඇදේ

3)  සෑම විටම සරල බවක් හා එකම Theme එකක් යොදාගැනීම. Theme එකට අනුව ඔවුන්ගේ නිෂ්පාදන, කාර්යාල, වෙලඳ ප්‍රචාරණ හා සේවක පිරිස පවා හැඩගස්වා තිබෙනවා. එයින් යම් පිළිවෙලක් හා ක්‍රමවත් බවක් ඇතිවෙනවා. (සරල බව පිළිබඳ අදහස ඇතිවූයේ බුදුදහමින් බව ජොබ්ස් වරක් කියා සිටියා.)

4)  ආයතනයේ සේවකයින් හා සැකැස්ම වෙනස් කිරීමට කවදාවත් ජොබ්ස් පසුබට උනේ නෑ. ආයතනයට අවශ්‍යය නොවන අය වගේම අවශ්‍ය නොවන ව්‍යාපෘති පවා වෙනස් කරා. ජොබ්ස් තමන්ගේ සේවයකයින් ගෙන තදින් වැඩගත් ස්වාමියෙන් බව ප්‍රකට කරුණක් නමුත් සේවකයින්ගේ ආත්ම විශ්වාසය ඉහල නංවා ගැනීමට ඔහු ඉතාම හොඳින් ක්‍රියා කලා.

5)  ව්‍යාපාරික සම්බන්ධතා ඇතිකරගැනීමටත් තමන්ට අවාසි වන අවස්ථා ඉවෙන් මෙන් දැනගෙන එවිට එම සම්බන්ධතා බිඳ දැමීමටත් ජොබ්ස් ක්‍රියා කරා. ඒ වගේම සෑම විටම ව්‍යාපාරය කෙරෙහි තමන්ගේ 100% අවධානය හා ශ්‍රමය ඔහු යෙදවූවා. තමන්ගේ සියලුම දේවල් පසෙකට තබා ආයතනය ගැන සිතීම එතරම් යහපත් වුනේ නැතත් සාර්ථකත්වය උදෙසා යම් යම් කැපකිරීම් කරන්න ඕන බවත් මතක තබා ගන්න

ඉහත සඳහන් බොහෝ කරුණු බහු ජාතික සමාගම් වලට් විතරක් නෙවෙයි, සිල්ලර කඩයකටත් යොදාගන්න පුලුවන් දේවල්. කවුරු හරි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නත්, තමන්ගේ ව්‍යාපාර දියුණු කරන්නත් මේ කාරණා උපයෝගී කරගත්තා නම් සාර්ථ්කත්වය නියත් බව අවසාන වශයෙන් කියන්න කැමතියි


Friday, September 14, 2012

ඉඟුරු දී මිරිස් ගැනීම (The American Version)



මැදපෙරදිග දැන් උනුසුම් වී තිබේ. මැදපෙරදිග රටවල් හයක ඇමරිකාවට හා බටහිරට විරුද්ධව ජනයා උද්ගෝෂණ සංවිධානය කර තිබේ. ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදුනු ජනතාව එයට ගිනි තබා ඇමරිකානු තානාපති තුමාද මරා දැම්මෝය. සුඩානයේ ඇමරිකානු හා ජර්මානු තානාපති කාර්යාල වලට පහර දුන්නේ අද දවසේය.


පෙනුමෙන් නම් බරපතල දෙයක් සිදුවී ඇත. ඇමරිකාවට ඉතිහාසයේ මුහුනදීමට සිදුවූ දරුණුම විදේශ ජන නැගිටීම මෙයයි. ඇමරිකාවට පමණක් නොව මුලු බටහිරටම විරුද්ධව මෙවන් ජන නැගිටීමක් පැමිනියේ ඉතිහාසයේ කවරදාකත් නොවූ විරූ අයුරිනි.

මේ මහා විරෝධතාවයන් වලට මූලික වූයේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වෙන ඊජීප්තියානු-ඇමරිකානු ජාතිකයෙක් විසින් ඉදිරිපත් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටියක් පිළිබඳවය.
එයින් එක්තරා ආගමික කණ්ඩායමක ප්‍රධාන ශාස්තෲවරයාට අගෞරවයක් වූ බව කියමින් ලොව පුරාම එම ආගමිකයින් වීදි බැස ඇමරිකානු හා බටහිර විරෝධී උද්ගෝෂණ වල නිරත වූහ. මේ චිත්‍රපටය තවම නිකුත් කර හෝ නැත. මෙතරම් විශාල ප්‍රචන්ඩ ක්‍රියා මාලාවකට ඉහත කී චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පමණක් ප්‍රමාණවත් වීම විශේෂ කරුණකි. මෙහිදී කිසිඳු ආගමකට නිර්දය ලෙස පහර ගැසීම අප අනුමත නොකරන නමුත් මේසා විශාල ජන නැගිටීමකට හේතුවූ මූලික කාරනා විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.




මේ ජන නැගිටීම් සිදුවුනු ප්‍රදේශ හා ජන කණ්ඩායම් ගැන විමසීමේදී ලිබියාව, ටියුනීසියාව, ඊජීප්තුව යන රටවල් ප්‍රධාන වේ. මුලින්මා ප්‍රචන්ඩ ක්‍රියා ආරම්භ වූයේද ඊජීප්තුවෙනි. ඉහත කී රටවල් තුනම අරාබි වසන්තයේ බලපෑමට හසුවී ආණ්ඩු පෙරලියකට ලක්වූ රටවල්ය. අරාබි වසන්තය යනු ඇමරිකාවේ නිර්මාණයක් බවට කිසිඳු සැකයක් නැත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර නඩය තමන්ට පාලනය කිරීමට නොහැකි ඒකාධිපතීන් හා ඒකාධිපති ආණ්ඩු මට්ටු කිරීමට කෙලින්ම් යුධ බලය නොයොදා තම ආධිපත්‍යය පතුරවා හැරීමට අරාබි වසන්තය යොදා ගත්තෝය


මෙය ඉතා සරල ක්‍රියවලියකි. පියවර මෙසේය



  • තමන්ට පලවා හැරීමට අවශ්‍ය ඒකාධිපති ආණ්ඩුවක් තෝරාගැනීම (එම රටේ ඒකාධිපතියාට විරුද්ධ සංවිධාන බලාත්මක වී තිබිය යුතුය.)
  • බටහිර ඒජන්තයින් එම සංවිධාන උත්තේජනය කර අවි-ආයුධ, මුදල් හා දේශපාලන සහයෝගය ලබාදිම
  • බොහෝ විට දේශපාලන නැගිටීමක් ලෙස බටහිර උදව් ලබන මේ සංවිධාන රාජ්‍ය බලය ලබාගනී.
  • එම රාජ්‍ය විරෝධී සංවිධාන ඒකාධිපතියා සමග සටන් කරන විට සිවිල් වැසියන් මියයාම ගැන කිඹුල් කඳුලු හෙලන ඇමරිකාව වක්‍රාකාරයෙන් සිවිල් වැසියන්ට හානි වෙනවා යැයි කියමින් යුධමය වශයෙන් ආණ්ඩු පෙරලියකට උදව් ලබාදේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇමරිකාවට නතුකර ගනී. 
  • අවසානයේ ඇමරිකාවේ සහය ලබන ආණ්ඩු විරෝධී කණ්ඩායම් බලය ලබා ගනී. 



මේ කණ්ඩායම් වල විශේෂත්වයක් ඇත. එනම් ඒ බහුතරයක් අතිශය ආගමික අන්තවාදී, මූලධර්මවාදී ත්‍රස්ත කණ්ඩායම් ඒ ඒවාට උදව් දෙන දේශපාලන කණ්ඩායම් වීමයි. මුලුන්ම රාජ්‍ය විරෝධී අරගල පටන් ගන්නා විට ආගමික අන්තවාදයක් නොපැවතුනද පසු කාලීනව අරාබි වසන්තයේ සියලුම අරගල වලදී ඉදිරියට ආවේ ආගමික අන්තවාදයයි. මෙය 1979 දී ඉරාන විප්ලවයට සමානය. ඉරනයේ ෂා රජතුමාට විරුද්ධව ඇරැබුණු එම අරගලය අවසානයේ ආගමික අරගලයක් ලෙස පැතිරගොස් දැඩි මතධාරී ආගමික නායකයෙක් ගේ පාලනයකට නතුවූ රාජ්‍යයක් බවට පත්වීය, දැන් ඉරානය දේශපාලන වශයෙන්ද නැවැත ෂා රජ සමයේ පැවැතියාටත් වඩා ඒකාධිපති පාලනයක් වී ඇත.


අරාබි වසන්තයේදී අවසානයේ ආගමික අන්තවාදී කණ්ඩායම් බලය අල්ලාගන්නා බව ඇමරිකාවද දැන සිටියේය. ඒ කෙසේ වෙතත් ඇමරිකාවට අවශ්‍ය වී තිබුනේ ආගමික අන්තවාදී වුවත් තමන්ට අවනත පාලන තන්ත්‍රයක් ගොඩනගා ගැනීමටයි. අවසානයේ නොසිතූ දෙයක් සිදුවිය. ඇමරිකාව විසින් බෝකරනු ලැබූ අරාබි වසන්ත විසබීජය ඇමරිකාවටම පරාවලලක් විය.




මැදපෙරදිග ජනයා (බොහෝ විට තරුණ පරපුර ) එතරම් බුද්ධිමත් නොවේ. ආගමික මතවාදයින් ඔස්සේ ජීවිත විනාශ කිරීම දක්වා ඔවුන්ගේ මනස පාලනය කිරීමට පහසුවෙන් හැකිය, නූතන සමාජ ජාල වෙබ් අඩවි වල පිහිටෙන් ආගමික අන්තවාදීන්ට මේ ආඥාන තරුණ පරපුර බටහිර විරෝධී කිරීමට හැකිවූයේ මේ නිසාය. ඇත්ත වශයෙන්ම ආගමට අපහාස කරන චිත්‍රපටය ඇමරිකානු රජයේ නිශ්පාදනයක් නොවේ එයට ඇමරිකානු ජාතිකයින්ගේ සම්බන්ධයක් නොමැත. ඇමරිකානු පුරවැසිභාවය ලැබූ ඊජීප්තු ජාතියෙක් විසින් කරනු ලැබූ මෙම චිත්‍රපටයට නැගුනු විරෝධය ඇමරිකාව කෙරෙහි කෙලින්ම යොදාගැනීමට හැකිවීම ඇමරිකාව විසින් මැදපෙරදිග ඇතිකල නව ආගමික අන්තවාදී සමාජයේ ජයග්‍රහනයක් යැයි කිව හැක.
 ආගමට අපහාස වන දේවල් අනන්තවත් මීට පෙර සිදුවී ඇත. එහෙත් මෙවැනි දරුණු සිදුවීම් හෝ බටහිර විරෝධී සිද්ධි මීට පෙර වාර්ථා වී නොතිබුණි.

 මේ සියල්ලටම හේතුව වන්නේ ඇමරිකාව විසින් ඇතිකල අරාබි වසන්තයයි. මැදෙපෙරදිග සමාජ සාමාන්‍යයෙන් දියුණු සමාජ හා දේශපාලන පද්ධතියකට උරුමකම් නොකියති. සංස්කෘතිය හා ආගම් විසින් විචාට බුද්ධිය මොටකරනු ලැබූ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඇවැසි නොවේ. ඒකාධිපති පාලනයක් යටතේ සිටීම ඔවුනට ඉතාම ගැලැපේ. එවන් සමාජයක් බලෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇද දැමීමෙන් සිදුවෙන්නේ ඒ ප්‍රජාත්න්ත්‍ර ව්‍යාපාරය ආගමික අන්තවාදීන් විසින් තමන්ගේ පටු උවමනා වලට නතු කරගැනීම පමණි.


ඇමරිකාව තමන් නිර්මාණය කල යක්ෂයාව තේරුම් ගැනීමට නොහැකිවීමෙත් දැන් පහර කමින් සිටී. නමුත් මෙම ප්‍රචන්ඩ ක්‍රියා වලින් අවසානයේ අවාසියක් අත්වෙන්නේ මැදපෙරදිග සිටින් ජනතාවටත්, ඇමරිකාවේ හා බටහිර රටවල සිටින මැදපෙරදිග සංක්‍රමණිකයින්ටය. ඇමරිකානුවන් තමන්ට සිදුවූ අවනම්බුවේ පලිය ගනු ඇත. එමෙන්ම ඇමරිකාවේ සිටින සුලු ආගමිකයින් හා සංක්‍රමණියකින් ඇමරීකානුවන්ගේ ප්‍රහාරයට ලක්වනු ඇත.

ආගමකට අපහාස කිරීම කිසිඳු හේතුවක් මත සාධාරණීකරණය කිරීමට නොහැකි අතරම ආගමේ නාමයෙන් දේපල ගිනි තැබීම හා මනුෂ්‍ය ඝාතන ද අප අනුමත නොකරමු.



නමුත් මෙම සිද්ධිය අප රටටද යම් පනිවිඩයක් ගෙනදෙයි. එනම් ලංකාවේ බෞද්ධයින්ට අපහාස වන අයුරින් විවිධ දේවල් මෑත කාලයේදී බෙදාහරින ලදී. බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන ලදී. එවැනි සිද්ධි වලට ඉහත කී චිත්‍රපටය මගින් අපහාසයක් වූ ආගමේ පිරිසක්ද සම්බන්ධ විය. බෞද්ධයාට විරුද්ධව අපහාස උපහාස හා තර්ජනය කිරීම් වලින් බෞද්ධයාට දැනෙන දුක, කෝපය හා කම්පාව චිත්‍රපටය මගින් එම ආගමිකයින්ටද දැනෙනු ඇත. 

මීට පසුවත් තමන් උපමා කරගෙන තමන්ට දැනෙන දුක හා පීඩාව අනුන්ටද දැනෙන බව දැනගෙන ඒ ආගමික පිරිස මේ රටේ ආගම් අතර සමගියක් ඇතිකිරීමට දායක වනු ඇතැයි මම විශ්වාස කරමි.









Sunday, September 9, 2012

නැගෙනහිරදී මොකද උනේ ?




2012 පළාත් සභා ඡන්දය දැන් නිමාවිය. රජය සලාක ක්‍රම‍යට ඡන්ද පැවැත්වීම නිසා පළාත් තුනක පමණක් ඡන්දය පැවැත්වීමට සිදුවුනි. උතුරුමැද හා සබරගමුව කෙසේ ප්‍රතිඵලය පැමිණියද අපගේ වැඩිම අවධානයක් යොමුවූ පළාත නැගෙනහිර පළාතයි.

වැදගත්කම



එය වැදගත් ලංකාවේ ජන අනුපාතය ප්‍රධාන ජනවර්ග අතර බොහෝවිට සම සමව පැවැති පළාතක් වන නිසාය. ඡන්ද ප්‍රතිඵලයට ජන අනුපාතය බෙහෙවින් බලපාන අයුතු මැනැවින් මේ පළාතේ නිරීක්ෂණය කිරීමට හැක. දේශපාලන කෝණයෙන් බලනවාට වඩා සාමාජීය කෝණයෙන් බැලූවිට ලංකාවේ ජනතාවගේ ජාතික ඒකාබද්ධතාවය හා වර්ගවාදය හොඳින්ම මැනබැලිය හැකි පළාතක්ද වන්නේ නැගෙනහිරය. එමෙන්ම පසුගිය කාලයේ සිදුවුනු සිදුවීම් විග්‍රහ කර බලනවිට ප්‍රදේශයේ දේශපාලන ගැටුම් ප්‍රතිපත්ති වලින් ඔබ්බට ගොස් ආගම, ජාතිය සමගද පැටලැවීමක් දක්නට ඇත. නැගෙනහිර පලාත ජයගන්නා පාර්ශවය නියෝජනය වන ජනවර්ගය ඉහත කී සටනෙන් ජයගත්තාහූ වෙති

ඡන්ද සටන හා වර්ගවාදීවීම


නගෙනහිර පළාතේ තිබෙන ජනසංයුතිය හා එක එක ජනකොටස් අතර තිබෙනා විරසයක දේශපාලනමය වශෙයන් තරඟරයකට පත්වීම මෙහිදී සිදුවිය. නාමයෝජනා ලබාදුන් ප්‍රධාන පක්ෂ 4 න් තුනක්ම ඡන්ද සටන වාර්ගික යුද්ධයක් බවට පත්කරගෙන තිබුනි. මුස්ලිම් කොන්ග්‍රසය මුස්ලිම් ජනයා වෙනුවෙන්ද, දෙමළ ජාතික සංධානය දෙමළ ජනයා වෙනුවෙන්ද එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට නැතත් ප්‍රායෝගිකව සිංහල ජනයා වෙනුවෙන්ද ඉදිරිපත් විය. එ.ජා.පේ දයා ගමගේ මහතා සිංහල මහඇමතිවරයෙක් ගැන කීමද මෙහිදී සලකා බැලිය යුතු කරුණකි. මෙම කාරණයේදී එක ජාතිකටවත් විශේෂ සැලකිල්ලක් නොදැක්වූයේ සංධානය පමණි. සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හිටපු මහඇමතිවරයා මෙන්ට සිංහල හා මුස්ලිම් අපේක්ෂකයින් බොහෝ දෙනෙක් සංධානයෙන් තරඟ කිරීම තමන්ගේ වාසියට හරවාගැනීමට සංධානය සමත්විය

මුස්ලිම් කොන්ග්‍රසයේ සීතල යුද්ධය.



මුස්ලිම් කොන්ග්‍රසය නිදහස් සංධාන රජයේ කොටස්කරුවන් වුවද මෑත කාලයේදී ඒ සුහදතාවය පලුඳු වන ආකාරයේ සිදුවීම් රාශියක් දැකගන්නට ලැබුනි. දඹුල්ල ප්‍රදේශයේ දේවස්ථානයක් සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියෙන් පසු මුස්ලිම් කොන්ග්‍රසය කෙමෙන් කෙමෙන් ආණ්ඩුවේ සිටිමින්ට ආණ්ඩුව විවේචනය කරන තත්වයකට පත්විය. මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නැති බවට මුස්ලිම් කොන්ග්‍රසය විවිධ අවස්ථාවලදී රජයට චෝදනා ඉදිරිපත් කළහ. එමෙන්ම රජයේම තවත් හවුල්කාර පක්ෂයක් වන හෙල උරුමය සමග ප්‍රසිද්ධියේම සටනට එළඹීම සුලභ සිද්ධියක් විය. කිහිපවරකම මුස්ලිම් කොන්ග්‍රසය රජයෙන් ඉවත්වන බවට තර්ජනය කිරීමද තවත් සිද්ධියකි. මුස්ලිම් කොන්ග්‍රසයේ සභාපතිතුමා ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුනේ ඡන්දයට ඔන්න මෙන්න කියා තිබියදීය. මුස්ලිම් කොන්ග්‍රසයේ ක්‍රියාපිළිවෙත දැඩි වර්ගවාදී මාවතකට එලඹී ඇතිබව ඇතැම්හූ චෝදනා කලහ

අවසාන ප්‍රතිඵලය

කවුරුවත් අපේක්ෂා නොකළ ආකාරයකට ඉතා අඩු බහුතරයකින් වුවද නැගෙනහිර පළාත ජයග්‍රහණය කිරීමට සංධානයට හැකිවිය. ඡන්ද දූෂණ හා මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වාර්ථාවුවද මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට තරම් එය බරපතල නොවුනි.

UPFA - 200,044 - 14
TNA- 193,827 - 11
SLMC-132,917 - 07
UNP - 74,901 - 04
JNP- 9,522 - 01

ලේඛකයාද අනුමාන කළේ නැගෙනහිර ජන දෙමළ ජාතික සංධානයට ලැබේවි කියාය. කෙසේ වෙතත් දැන්සංධානය ජයක්ග්‍රහණය කර අවසන්ය. වැඩි ඡන්ද 6000 ක් වැනි ප්‍රමාණයකින් වුවත් ජයග්‍රහණය සහතික කරගෙන ඇත. මෙයින් පසුව පළාත් සභාවේ මහ ඇමතිවරයා හා බහුතර බලය ලබාගැනීමට යම් සන්ධානගතවීමකට ප්‍රධාන පක්ෂ 4 ම කටයුතු කරනු නිසැකය. මෙහිදී සංධානයට වැඩි වාසියක් හිමිවේ. බොහෝ විට ජාතික නිදහස් පෙරමුණ හා මුස්ලිම් කොන්ග්‍රසය සංධානයට සහය පළකිරීමෙන්  බහුතරයකින් සංධානය යලිත් පළාත් සභාවේ ජය තහවුරු කරගනු ඇත.

දිනුවේ කවුද පැරදුනේ කවුද ?

සංධානය (UPFA): එක්සත් ජනතා නිදහස් සංධානය වැඩි ඡන්ද වලින් පළාත් ජයග්‍රහණය කලද ඔවුනට අනිවාර්යයෙන් වෙනත් පක්ෂ සමග එකතුවීමට සිදුවෙනු ඇත. බොහෝ විට මුස්ලිම් කොන්ග්‍රසය හා ජා.නි.පෙ සමග එකතු වේ නම් ඔවුන්ගේ ඉල්ලීම් වලට එකඟවීමෙන් යම් යම් කැපකිරීම් කිරිමට සංධානයට සිදුවේ. මේ ඡන්දයේ මුල සිටම සංධානයේ අභ්‍යන්තර ගැටලු තිබිණ. හෙළ උරුමය හා ජා.නි.පෙ ට සංධානේ ලයිස්තුවෙන් ඉදිරිපත්වීමට නොහැකි වූ නිසා හෙළ උරුමය ඡන්දයෙන් වැළැකී සිටිය අතර ජා.නි.පෙ වෙනම. තරඟ කලේය. සංධාන නායකයින් ජා.නි.පෙ අපේක්ෂයකාට අවස්ථාව දුන්නේ නම් ත්‍රීකුනාමලය දිස්ත්‍රික්කයේ ජයද සංධානයට ලැබෙනු ඇත.

දෙමළ ජාතික සංධානය : මෙම ඡන්දයේදී ඉතාම කැපී පෙනෙන ලෙස ඉදිරියට ආවේ මොවුන්ය. පිල්ලෙයාන් හා අතාවුල්ලාගේ මැර කල්ලි වලින් බැට කමින් කෙසේ හෝ යම් ජයග්‍රහණයක් ලබාගැනීමට මොවුනට හැකිවිය. පක්ෂය කෙරෙහි දෙමළ ජන ප්‍රසාදය අඩුවෙමින් ඇති බව නැවැත දෙමල සංධානය ඉදිරියට ඒම තුල කැපී පෙනෙන ලක්ෂනයකින්. උතුරේ පළාත් සභා ඡන්දයකින් නම් අනිවාර්යයෙන්ම දෙමළ සංධානය ජයගනු ඇති බවට මගේ හැඟීමයි.

එජාපය : ඉතාම නින්දිත අකාරයට කෙදිනකවත් නොවූ විරූ ආකාරයට නැගෙනහිරින් මොවුන් පරාජය වී තිබේ. ගිලෙමින් යන එජාප නෞකාව ගොඩගැනීමට දයා ගමගේට වත් නොහැකිවිය. කිසිඳු සැලසුමක් නොමැතිවීම අභ්‍යන්තර කුලල්කාගැනීම් මෙවුන්ගේ පරාජයට තවත් හේතුවකි.

මුස්ලිම් කොන්ග්‍රසය : මුස්ලිම් කොන්ග්‍රසය දේශපාලන සූදුවකින් පැරැදුනු බව මගේ මතයයි. රවුෆ් හකීම්, හසන් අලී ප්‍රමුඛ නායකයින් මුල සිටම සංධානයත් සමග ගැටුම් ඇතිකරගැනීමෙන් මෙන්ම ජාතිවාදී ආගම්වාදී දේශපාලනයක නිරතවීමෙන් තමන්ට තිබුනු කේවල් කිරීම හැකියාව බොහෝ දුරට නැතිකරගත්තේය. ඡන්දයෙන් අනතුරුව සංධානය සමග එක්වුවද පෙර තිබූ ශක්තිය යලි ලබාගන්නේදැයි සැකසහිතය. මුස්ලිම් කොන්ග්‍රසයේ දේශපාලනය නිසා මුස්ලිම් ප්‍රජාවට මහඇමතිකම හෝ වෙනත් විශේෂ වරප්‍රසාද ලබාගැනීමට ඇති ඉඩකර ඇහිරී ගිය බව නම් කිවයුතුය

නැගෙනහිර සිංහලයින්ගේ ඉරණම



නැගෙනහිර සිංහල ජනතාව 20% - 30% පමණ වාසය කරන අතර ඉඩම් සම්බන්ධයෙන් දැඩි අසාධාරණකම් මොවුනට සිදුවී ඇතිබවට වාර්ථා ඉදිරිපත් වේ. කලින් පළාත් සභාවේ මහඇමතිවරයාද මේ ගැන උනන්දු වන බවක් පෙනෙන්නට නැත. පළාත් සභාව ජයග්‍රහනය කලේ සිංහල බහුතරයකින් සැදි ආණ්ඩුවක් ඇති පක්ෂයක් වුවද පළාත් සභාවේ සිටින්නේ බොහෝ විට අන්‍ය ජාතික පිරිසකි. එම නිසා ඔවුන්ගෙන් සහනයක් කෙසේවත් බලාපොරොත්තු විය නොහැකිය. පළාත් පාලන ආයතන වලින් සිංහල ජනතාවට වන අසාධාරණ ගැනද අසන්නට ලැබේ. ඉඩම් බලතල හදිසියේවත් ලබාදුනහොත් එය නැගෙනහිර සිංහලයාගේ අවසානය විය හැක.

ජයග්‍රාහී සන්ධාණය ඉගෙනගත යුතු පාඩම්



පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් වුවත් එය කෙසේ හෝ පවත්වා ගතයුතුය. මේ රටේ යුද්ධය අවසන් වුවත් එහි තුවාල තවත් සුව වී නොමැත. දෙමළ ජනයාගේ සිතෙන් බෙදුම්වාදය සහමුලින්ව ඉවත්කිරීමට යම් ක්‍රියාමර්ගයක් ගතයුතුය. එය කිරීමට හැක්කේ දෙමළ ජාතික සංධානය හා යහපත් සම්බන්ධතා ගොඩනැගීමෙන් පමණය. කොටි සංවිධානය අවසන් වීමෙන් පසුව උතුරේ දෙමළ ජනයා තමන්ගේ එකම බලාපොරොත්තුව ලෙස තබාගෙන ඇත්තේද දෙමල සංධානයයි. එය උතුරේ ඡන්දයකදී වඩාත් පැහැදිළි වනු ඇත. එම නිසා ඒකීය රටක් තුල සිංහල බහුතරයට මෙන්ම දෙමළ ජනයාටද පිළිගත හැකි විසඳුමක් සඳහා සැවොම එක්විය යුතුය. ඉන්දියාව හෝ වෙනයම් රටක ඇඟිලිගැසීම් හා න්‍යායපත්‍රවලට අනුව ක්‍රියානොකර ගැටලුව විසඳීම යහපත් වේ. තුවාලට ඔඩුදුවන තුරු නොඉඳ රජය මෙයට කටයුතු කරනවා නම් ඉතාම වැදගත්ය. උතුරේ ඡන්දයක් පවත්වනවා නම් එය හොඳම අවස්ථාවය

නැගෙනහිර සංධානය දිනුම්ය. ජයපැන් බොනවාට වඩා තවත් බොහෝ වැඩ ඉතිරිවී තිබේ. නැගෙනහිරින් පාඩම් ඉගෙනගෙන එය උතුරට ක්‍රියාත්මක කලහොත් යුද්ධය පමණක් නොව ජාතික ගැටලුවද විසඳූ රජයක් ලෙස සංධානය ඉතිහාස ගතවනු ඇත. නමුත් අවාසනාවකට රජය  එසේ සැලසුම් කරනු අද වනතුරු දක්නට නොමැත.




Monday, August 27, 2012

මොවුනට අපි කුමක් කරමුද ?

(ඡායාරූපය lankacnews.com වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි)


මීට දින කීපයකට කලින් බෞද්ධයින් වශයෙන් අපට දරුණු හිත් රිදීමක් ඇතිවෙන ආකාරයේ සිදුවීමක් අසන්නට ලැබුණි. ඒ ප්‍රංශ ජාතිකයින් කිහිපදෙනෙක් ඇම්බැක්කේ දේවාලයේදී බුදුරජාණන් වහන්සේට අපහාස වන අයුරින් ඡායාරූප ගැනීමේ සිද්ධියකි. සමහර ඡායාරූපවල විදේශ තරුණියක් බුදු පිළිමයක් සිප ගන්නා දර්ශනද ඇතුලත් විය. අවසානයේදී මෙම ඡායාරූප මුද්‍රණය කරන අවස්ථාවේදී ඒ ඡායාරූප ශාලාවේ හිමිකරු පොලීසියට කල පැමිනිල්ලක් අනුව මෙම විදේශ පිරිස අත්තඩංගුවට ගැනීමට හැකිවිය. එය බෞද්ධ ජනයාට සැනසුම් සුසුම් හෙලීමට කාරණයක් වූවද මෙම සිද්ධිය එවැනි පළමු හා එකම සිද්ධියද නොවේ. එමෙන්ම අවසාන සිද්ධියද නොවිය හැක.

 බුදුදහමට අපහාස කිරීමේ සිදිධ් ලංකාවෙන් වාර්ථා වෙන්නේ සුදු අධිරාජ්‍ය සමයේදී සිටමය. මෙරට යටත් කරගන්නා බ්‍රිතාන්‍යයන් ඔවුනට දරුණු අභියෝගයක් එල්ල කල සිංහල බෞද්ධයන්ගේ කොඳු නාරටිය කඩා දැමීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක විය. සිංහල බෞද්ධයාගේ හදවත හා ශක්තිය රැඳී ඇත්තේ බෞද්ධාගමේ නිසා එය යම් අයුරකින් විනාශ කිරිමට සැලසුම් සකස් කල බව පැහැදිලි වේ.

 මින් කාලයකට පසු ලංකාව නිදහස ලැබී බුදුදහම රටේ ගාමක බලවේගය වුවත් බෞද්ධාගමට අපහාස කිරීම ලංකාව තුල නැවතී නැත. ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම වැඩියෙන්ම අපහාසයට හා නොසලකාහැරීමට ලක්වන්නේ බෞද්ධාගමයි බුදුදහමට සෑම අතින්ම පහරදීමට හා අපහාසයට ලක්වීමට හේතුව එහි තාර්කික හා බුද්ධියට ආමන්ත්‍රණය කිරීම ලෙස පැහැදිලි කරගත හැක. එවැනි දර්ශනයක් පුද්ගල ආධිපත්‍යයක් හෝ දේවාදිපත්‍යයක් රඳවාගෙන තබාගන්නා අනෙක් ආගම් වලට ප්‍රබල අභියෝගයක් වේ.

 බෞද්ධයන්ගේ ශාතෲවරයා වන බුදුරජාණන් වහන්සේට හා පොදුවේ බුද්ධාගමට අපහාස වන අයුරින් හැසිරෙන කොටස් දෙකක් ඇත. පළමු කොටස නම් බෞද්ධාගම ගැන බුදුරජාණන් වහන්සේ ගැන ඇත්ත කරුණු කාරණා නොදන්නා නිසා අපහාසයක් සිදුවන අයුරින් කටයුතු කිරීමය. උදාහරණයක් ලෙස බටහිර රටවල බුදු පිළිම විසිතුරු භාන්ඩයක් ලෙස තබාගැනීමයි. බෞද්ධ නොවන බොහෝ පිරිස් බුද්ධ රූපයට සාමාන්‍ය පෙරදිග පිලිමයක් ආකාරයටම සලකයි. එයට තවත් හේතුවක් වී ඇත්තේ බුද්ධ රූපය විවිධ අර්ථකතනයන් වලට හා විවිධ හැඩයන් වලට නිර්මාණය වී තිබීමය. එවන් ඕනෑම පිළිමයක් 'බුද්ධා' ලෙස සැලකීමට කරුණු කාරණා නොදන්නවුන් සලකයි. උදාහරණයක් ලෙස 'ලාෆින් බුද්ධා' නැමැති පිළිමය හැඳින්විය හැක. බටහිර චිත්‍රපට වල සමහට දර්ශන වලද බුදු පිළිමය හා බෞද්ධාගමට වක්‍රාකාරයෙන් අපහාස වන දර්ශන පවතී. මෙහෙදී නැගෙන ප්‍රධානම ගැටලුව වන්නේ අපහාසයක් සිදුවීම හා කරුණු කාරණා නොදන්නාකමින් යමක් සිදුවීම වෙන්කරගන්නා නිර්නායක නොමැතිවීමය. 

වෙනත් කිසිම ආගමකට වඩා බුදුදහම වාණිජකරනය වීම හා වෙනත් පෙරදිග ආගම් හා දර්ශනයක් අතරට බුදුදහමේ කොටස් එකතුවීම මෙයට තවත් හේතුවකි මෙයට පිලියම් සෙවීමට නම් බටහිර රටවල අයට බුදුදහම ගැන යථාර්ථවාදී අවබෝධයක් ලබාදීම කලයුතුය. බුදුදහම යනු යෝග ක්‍රමයක් හෝ ඉන්ද්‍රජාලික දෙයක් නොව ඉතා ගැඹුරු හා හරවත් දර්ශනයක් බවට ලෝක ජනමතයක් ගොඩනගා ගතහොත් එයින් බුදුදහමට ආරක්ශාවක් වාගේම සුවහසක් ජනයාට බුදුදහමේ ආලෝකය ලැබීමක්ද වේ

 බුදුදහමට අපහාස කරන දෙවැනි කාණ්ඩය වන්නේ සිතාමතාම බුදුදහම විනාශ කිරීමේ අදහසින් ක්‍රියාකරන පිරිසය. ලංකාවේ එවැනි පිරිස් ඕනෑතරම් සිටිති. ප්‍රංශ ජාතිකයින් තිදෙනා මෙන්ම මීට මාස කිහිපයකට කලින් අවුකන ප්‍රදේශයේ අශෝභනව හැසිරුනු ශ්‍රී ලාංකික පිරිස මෙන්ම ඇඳුම් පැලඳුම් වලට බෞද්ධ සලකුනු දමා ඒවා විකිණීමට තැත්කරන අන්‍ය ආගමික පිරිස් ද මේ කාණ්ඩයට අයත්වේ

 බුද්ධ කාලයේද මෙවැනි අපහාස උපහාස ගලා ආවද බුදු රජාණන් වහන්සේ පවා ඒවා ගනන් නොගෙන නොසිට කරුණු කාරණා වලින් ඒවාට පිළිතුරු දී ධර්මයට සිදුවෙන කැලැල මකා ගැනීමට උපදෙස් දුන් සේක. එමනිසා මෙවැනි ක්‍රියා වලට විරුද්ධව වහාම ක්‍රියාත්මක විය යුතුය. 

 (ඡායාරූපය lankacnews.com වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි)

 ප්‍රංශ ජාතිකයින් සම්බන්ධ සිද්ධියේදී වඩාත්ම හාස්‍යජනක කාරණය වන්නේ ඔවුනට දුන් දඬුවමේ ස්වභාවයයි. අත්හිටවූ සිරදඬුවම් මෙනම රුපියල් 1500 ක දඩය මෙවැනි වරදකට කෙසේවත් සෑහෙන්නේ නැත. මැදපෙරදිග රටක මෙවන් සිදිධියක් ඇතිවුවහොත් සිදුවන තත්වය හා දෙන දඬුවම් ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. නීතිමය ප්‍රතිපාදන සැපයීම මෙහිලා ඉතාමත් අවශ්‍ය වේ සිර දඬුවම්, විශාල දඩ මුදල් මෙන්ම පන්සල් වල සමාජ සේවයේ යෙදීමත් දඬුවම් ලෙස ලබාදිය හැක. බෞද්ධාගමේ උන්නතිය හා ආරක්ශාව රටේ ව්‍යවස්ථාවෙන්ම සහතික වී ඇති නිසා මෙවැනි නෛතික ප්‍රතිපාදන යුගයේ අවශ්‍යතාවයකි

ඉදිරියේත් මෙවැනි අපහාස කිරීම නින්දිත ක්‍රියා විදේශිකයින් විසින් මෙන්ම ලාංකික බෞද්ධ අබෞද්ධ උභය පාර්ශව වලින්ම ඇතිවිය හැක. එයට සංවිධානව සිටීම බෞද්ධාගමේ උන්නතියට හා රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතාම අවශ්‍ය වේ