Sunday, September 9, 2012

නැගෙනහිරදී මොකද උනේ ?




2012 පළාත් සභා ඡන්දය දැන් නිමාවිය. රජය සලාක ක්‍රම‍යට ඡන්ද පැවැත්වීම නිසා පළාත් තුනක පමණක් ඡන්දය පැවැත්වීමට සිදුවුනි. උතුරුමැද හා සබරගමුව කෙසේ ප්‍රතිඵලය පැමිණියද අපගේ වැඩිම අවධානයක් යොමුවූ පළාත නැගෙනහිර පළාතයි.

වැදගත්කම



එය වැදගත් ලංකාවේ ජන අනුපාතය ප්‍රධාන ජනවර්ග අතර බොහෝවිට සම සමව පැවැති පළාතක් වන නිසාය. ඡන්ද ප්‍රතිඵලයට ජන අනුපාතය බෙහෙවින් බලපාන අයුතු මැනැවින් මේ පළාතේ නිරීක්ෂණය කිරීමට හැක. දේශපාලන කෝණයෙන් බලනවාට වඩා සාමාජීය කෝණයෙන් බැලූවිට ලංකාවේ ජනතාවගේ ජාතික ඒකාබද්ධතාවය හා වර්ගවාදය හොඳින්ම මැනබැලිය හැකි පළාතක්ද වන්නේ නැගෙනහිරය. එමෙන්ම පසුගිය කාලයේ සිදුවුනු සිදුවීම් විග්‍රහ කර බලනවිට ප්‍රදේශයේ දේශපාලන ගැටුම් ප්‍රතිපත්ති වලින් ඔබ්බට ගොස් ආගම, ජාතිය සමගද පැටලැවීමක් දක්නට ඇත. නැගෙනහිර පලාත ජයගන්නා පාර්ශවය නියෝජනය වන ජනවර්ගය ඉහත කී සටනෙන් ජයගත්තාහූ වෙති

ඡන්ද සටන හා වර්ගවාදීවීම


නගෙනහිර පළාතේ තිබෙන ජනසංයුතිය හා එක එක ජනකොටස් අතර තිබෙනා විරසයක දේශපාලනමය වශෙයන් තරඟරයකට පත්වීම මෙහිදී සිදුවිය. නාමයෝජනා ලබාදුන් ප්‍රධාන පක්ෂ 4 න් තුනක්ම ඡන්ද සටන වාර්ගික යුද්ධයක් බවට පත්කරගෙන තිබුනි. මුස්ලිම් කොන්ග්‍රසය මුස්ලිම් ජනයා වෙනුවෙන්ද, දෙමළ ජාතික සංධානය දෙමළ ජනයා වෙනුවෙන්ද එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට නැතත් ප්‍රායෝගිකව සිංහල ජනයා වෙනුවෙන්ද ඉදිරිපත් විය. එ.ජා.පේ දයා ගමගේ මහතා සිංහල මහඇමතිවරයෙක් ගැන කීමද මෙහිදී සලකා බැලිය යුතු කරුණකි. මෙම කාරණයේදී එක ජාතිකටවත් විශේෂ සැලකිල්ලක් නොදැක්වූයේ සංධානය පමණි. සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හිටපු මහඇමතිවරයා මෙන්ට සිංහල හා මුස්ලිම් අපේක්ෂකයින් බොහෝ දෙනෙක් සංධානයෙන් තරඟ කිරීම තමන්ගේ වාසියට හරවාගැනීමට සංධානය සමත්විය

මුස්ලිම් කොන්ග්‍රසයේ සීතල යුද්ධය.



මුස්ලිම් කොන්ග්‍රසය නිදහස් සංධාන රජයේ කොටස්කරුවන් වුවද මෑත කාලයේදී ඒ සුහදතාවය පලුඳු වන ආකාරයේ සිදුවීම් රාශියක් දැකගන්නට ලැබුනි. දඹුල්ල ප්‍රදේශයේ දේවස්ථානයක් සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියෙන් පසු මුස්ලිම් කොන්ග්‍රසය කෙමෙන් කෙමෙන් ආණ්ඩුවේ සිටිමින්ට ආණ්ඩුව විවේචනය කරන තත්වයකට පත්විය. මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නැති බවට මුස්ලිම් කොන්ග්‍රසය විවිධ අවස්ථාවලදී රජයට චෝදනා ඉදිරිපත් කළහ. එමෙන්ම රජයේම තවත් හවුල්කාර පක්ෂයක් වන හෙල උරුමය සමග ප්‍රසිද්ධියේම සටනට එළඹීම සුලභ සිද්ධියක් විය. කිහිපවරකම මුස්ලිම් කොන්ග්‍රසය රජයෙන් ඉවත්වන බවට තර්ජනය කිරීමද තවත් සිද්ධියකි. මුස්ලිම් කොන්ග්‍රසයේ සභාපතිතුමා ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුනේ ඡන්දයට ඔන්න මෙන්න කියා තිබියදීය. මුස්ලිම් කොන්ග්‍රසයේ ක්‍රියාපිළිවෙත දැඩි වර්ගවාදී මාවතකට එලඹී ඇතිබව ඇතැම්හූ චෝදනා කලහ

අවසාන ප්‍රතිඵලය

කවුරුවත් අපේක්ෂා නොකළ ආකාරයකට ඉතා අඩු බහුතරයකින් වුවද නැගෙනහිර පළාත ජයග්‍රහණය කිරීමට සංධානයට හැකිවිය. ඡන්ද දූෂණ හා මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වාර්ථාවුවද මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට තරම් එය බරපතල නොවුනි.

UPFA - 200,044 - 14
TNA- 193,827 - 11
SLMC-132,917 - 07
UNP - 74,901 - 04
JNP- 9,522 - 01

ලේඛකයාද අනුමාන කළේ නැගෙනහිර ජන දෙමළ ජාතික සංධානයට ලැබේවි කියාය. කෙසේ වෙතත් දැන්සංධානය ජයක්ග්‍රහණය කර අවසන්ය. වැඩි ඡන්ද 6000 ක් වැනි ප්‍රමාණයකින් වුවත් ජයග්‍රහණය සහතික කරගෙන ඇත. මෙයින් පසුව පළාත් සභාවේ මහ ඇමතිවරයා හා බහුතර බලය ලබාගැනීමට යම් සන්ධානගතවීමකට ප්‍රධාන පක්ෂ 4 ම කටයුතු කරනු නිසැකය. මෙහිදී සංධානයට වැඩි වාසියක් හිමිවේ. බොහෝ විට ජාතික නිදහස් පෙරමුණ හා මුස්ලිම් කොන්ග්‍රසය සංධානයට සහය පළකිරීමෙන්  බහුතරයකින් සංධානය යලිත් පළාත් සභාවේ ජය තහවුරු කරගනු ඇත.

දිනුවේ කවුද පැරදුනේ කවුද ?

සංධානය (UPFA): එක්සත් ජනතා නිදහස් සංධානය වැඩි ඡන්ද වලින් පළාත් ජයග්‍රහණය කලද ඔවුනට අනිවාර්යයෙන් වෙනත් පක්ෂ සමග එකතුවීමට සිදුවෙනු ඇත. බොහෝ විට මුස්ලිම් කොන්ග්‍රසය හා ජා.නි.පෙ සමග එකතු වේ නම් ඔවුන්ගේ ඉල්ලීම් වලට එකඟවීමෙන් යම් යම් කැපකිරීම් කිරිමට සංධානයට සිදුවේ. මේ ඡන්දයේ මුල සිටම සංධානයේ අභ්‍යන්තර ගැටලු තිබිණ. හෙළ උරුමය හා ජා.නි.පෙ ට සංධානේ ලයිස්තුවෙන් ඉදිරිපත්වීමට නොහැකි වූ නිසා හෙළ උරුමය ඡන්දයෙන් වැළැකී සිටිය අතර ජා.නි.පෙ වෙනම. තරඟ කලේය. සංධාන නායකයින් ජා.නි.පෙ අපේක්ෂයකාට අවස්ථාව දුන්නේ නම් ත්‍රීකුනාමලය දිස්ත්‍රික්කයේ ජයද සංධානයට ලැබෙනු ඇත.

දෙමළ ජාතික සංධානය : මෙම ඡන්දයේදී ඉතාම කැපී පෙනෙන ලෙස ඉදිරියට ආවේ මොවුන්ය. පිල්ලෙයාන් හා අතාවුල්ලාගේ මැර කල්ලි වලින් බැට කමින් කෙසේ හෝ යම් ජයග්‍රහණයක් ලබාගැනීමට මොවුනට හැකිවිය. පක්ෂය කෙරෙහි දෙමළ ජන ප්‍රසාදය අඩුවෙමින් ඇති බව නැවැත දෙමල සංධානය ඉදිරියට ඒම තුල කැපී පෙනෙන ලක්ෂනයකින්. උතුරේ පළාත් සභා ඡන්දයකින් නම් අනිවාර්යයෙන්ම දෙමළ සංධානය ජයගනු ඇති බවට මගේ හැඟීමයි.

එජාපය : ඉතාම නින්දිත අකාරයට කෙදිනකවත් නොවූ විරූ ආකාරයට නැගෙනහිරින් මොවුන් පරාජය වී තිබේ. ගිලෙමින් යන එජාප නෞකාව ගොඩගැනීමට දයා ගමගේට වත් නොහැකිවිය. කිසිඳු සැලසුමක් නොමැතිවීම අභ්‍යන්තර කුලල්කාගැනීම් මෙවුන්ගේ පරාජයට තවත් හේතුවකි.

මුස්ලිම් කොන්ග්‍රසය : මුස්ලිම් කොන්ග්‍රසය දේශපාලන සූදුවකින් පැරැදුනු බව මගේ මතයයි. රවුෆ් හකීම්, හසන් අලී ප්‍රමුඛ නායකයින් මුල සිටම සංධානයත් සමග ගැටුම් ඇතිකරගැනීමෙන් මෙන්ම ජාතිවාදී ආගම්වාදී දේශපාලනයක නිරතවීමෙන් තමන්ට තිබුනු කේවල් කිරීම හැකියාව බොහෝ දුරට නැතිකරගත්තේය. ඡන්දයෙන් අනතුරුව සංධානය සමග එක්වුවද පෙර තිබූ ශක්තිය යලි ලබාගන්නේදැයි සැකසහිතය. මුස්ලිම් කොන්ග්‍රසයේ දේශපාලනය නිසා මුස්ලිම් ප්‍රජාවට මහඇමතිකම හෝ වෙනත් විශේෂ වරප්‍රසාද ලබාගැනීමට ඇති ඉඩකර ඇහිරී ගිය බව නම් කිවයුතුය

නැගෙනහිර සිංහලයින්ගේ ඉරණම



නැගෙනහිර සිංහල ජනතාව 20% - 30% පමණ වාසය කරන අතර ඉඩම් සම්බන්ධයෙන් දැඩි අසාධාරණකම් මොවුනට සිදුවී ඇතිබවට වාර්ථා ඉදිරිපත් වේ. කලින් පළාත් සභාවේ මහඇමතිවරයාද මේ ගැන උනන්දු වන බවක් පෙනෙන්නට නැත. පළාත් සභාව ජයග්‍රහනය කලේ සිංහල බහුතරයකින් සැදි ආණ්ඩුවක් ඇති පක්ෂයක් වුවද පළාත් සභාවේ සිටින්නේ බොහෝ විට අන්‍ය ජාතික පිරිසකි. එම නිසා ඔවුන්ගෙන් සහනයක් කෙසේවත් බලාපොරොත්තු විය නොහැකිය. පළාත් පාලන ආයතන වලින් සිංහල ජනතාවට වන අසාධාරණ ගැනද අසන්නට ලැබේ. ඉඩම් බලතල හදිසියේවත් ලබාදුනහොත් එය නැගෙනහිර සිංහලයාගේ අවසානය විය හැක.

ජයග්‍රාහී සන්ධාණය ඉගෙනගත යුතු පාඩම්



පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් වුවත් එය කෙසේ හෝ පවත්වා ගතයුතුය. මේ රටේ යුද්ධය අවසන් වුවත් එහි තුවාල තවත් සුව වී නොමැත. දෙමළ ජනයාගේ සිතෙන් බෙදුම්වාදය සහමුලින්ව ඉවත්කිරීමට යම් ක්‍රියාමර්ගයක් ගතයුතුය. එය කිරීමට හැක්කේ දෙමළ ජාතික සංධානය හා යහපත් සම්බන්ධතා ගොඩනැගීමෙන් පමණය. කොටි සංවිධානය අවසන් වීමෙන් පසුව උතුරේ දෙමළ ජනයා තමන්ගේ එකම බලාපොරොත්තුව ලෙස තබාගෙන ඇත්තේද දෙමල සංධානයයි. එය උතුරේ ඡන්දයකදී වඩාත් පැහැදිළි වනු ඇත. එම නිසා ඒකීය රටක් තුල සිංහල බහුතරයට මෙන්ම දෙමළ ජනයාටද පිළිගත හැකි විසඳුමක් සඳහා සැවොම එක්විය යුතුය. ඉන්දියාව හෝ වෙනයම් රටක ඇඟිලිගැසීම් හා න්‍යායපත්‍රවලට අනුව ක්‍රියානොකර ගැටලුව විසඳීම යහපත් වේ. තුවාලට ඔඩුදුවන තුරු නොඉඳ රජය මෙයට කටයුතු කරනවා නම් ඉතාම වැදගත්ය. උතුරේ ඡන්දයක් පවත්වනවා නම් එය හොඳම අවස්ථාවය

නැගෙනහිර සංධානය දිනුම්ය. ජයපැන් බොනවාට වඩා තවත් බොහෝ වැඩ ඉතිරිවී තිබේ. නැගෙනහිරින් පාඩම් ඉගෙනගෙන එය උතුරට ක්‍රියාත්මක කලහොත් යුද්ධය පමණක් නොව ජාතික ගැටලුවද විසඳූ රජයක් ලෙස සංධානය ඉතිහාස ගතවනු ඇත. නමුත් අවාසනාවකට රජය  එසේ සැලසුම් කරනු අද වනතුරු දක්නට නොමැත.




Monday, August 27, 2012

මොවුනට අපි කුමක් කරමුද ?

(ඡායාරූපය lankacnews.com වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි)


මීට දින කීපයකට කලින් බෞද්ධයින් වශයෙන් අපට දරුණු හිත් රිදීමක් ඇතිවෙන ආකාරයේ සිදුවීමක් අසන්නට ලැබුණි. ඒ ප්‍රංශ ජාතිකයින් කිහිපදෙනෙක් ඇම්බැක්කේ දේවාලයේදී බුදුරජාණන් වහන්සේට අපහාස වන අයුරින් ඡායාරූප ගැනීමේ සිද්ධියකි. සමහර ඡායාරූපවල විදේශ තරුණියක් බුදු පිළිමයක් සිප ගන්නා දර්ශනද ඇතුලත් විය. අවසානයේදී මෙම ඡායාරූප මුද්‍රණය කරන අවස්ථාවේදී ඒ ඡායාරූප ශාලාවේ හිමිකරු පොලීසියට කල පැමිනිල්ලක් අනුව මෙම විදේශ පිරිස අත්තඩංගුවට ගැනීමට හැකිවිය. එය බෞද්ධ ජනයාට සැනසුම් සුසුම් හෙලීමට කාරණයක් වූවද මෙම සිද්ධිය එවැනි පළමු හා එකම සිද්ධියද නොවේ. එමෙන්ම අවසාන සිද්ධියද නොවිය හැක.

 බුදුදහමට අපහාස කිරීමේ සිදිධ් ලංකාවෙන් වාර්ථා වෙන්නේ සුදු අධිරාජ්‍ය සමයේදී සිටමය. මෙරට යටත් කරගන්නා බ්‍රිතාන්‍යයන් ඔවුනට දරුණු අභියෝගයක් එල්ල කල සිංහල බෞද්ධයන්ගේ කොඳු නාරටිය කඩා දැමීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක විය. සිංහල බෞද්ධයාගේ හදවත හා ශක්තිය රැඳී ඇත්තේ බෞද්ධාගමේ නිසා එය යම් අයුරකින් විනාශ කිරිමට සැලසුම් සකස් කල බව පැහැදිලි වේ.

 මින් කාලයකට පසු ලංකාව නිදහස ලැබී බුදුදහම රටේ ගාමක බලවේගය වුවත් බෞද්ධාගමට අපහාස කිරීම ලංකාව තුල නැවතී නැත. ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම වැඩියෙන්ම අපහාසයට හා නොසලකාහැරීමට ලක්වන්නේ බෞද්ධාගමයි බුදුදහමට සෑම අතින්ම පහරදීමට හා අපහාසයට ලක්වීමට හේතුව එහි තාර්කික හා බුද්ධියට ආමන්ත්‍රණය කිරීම ලෙස පැහැදිලි කරගත හැක. එවැනි දර්ශනයක් පුද්ගල ආධිපත්‍යයක් හෝ දේවාදිපත්‍යයක් රඳවාගෙන තබාගන්නා අනෙක් ආගම් වලට ප්‍රබල අභියෝගයක් වේ.

 බෞද්ධයන්ගේ ශාතෲවරයා වන බුදුරජාණන් වහන්සේට හා පොදුවේ බුද්ධාගමට අපහාස වන අයුරින් හැසිරෙන කොටස් දෙකක් ඇත. පළමු කොටස නම් බෞද්ධාගම ගැන බුදුරජාණන් වහන්සේ ගැන ඇත්ත කරුණු කාරණා නොදන්නා නිසා අපහාසයක් සිදුවන අයුරින් කටයුතු කිරීමය. උදාහරණයක් ලෙස බටහිර රටවල බුදු පිළිම විසිතුරු භාන්ඩයක් ලෙස තබාගැනීමයි. බෞද්ධ නොවන බොහෝ පිරිස් බුද්ධ රූපයට සාමාන්‍ය පෙරදිග පිලිමයක් ආකාරයටම සලකයි. එයට තවත් හේතුවක් වී ඇත්තේ බුද්ධ රූපය විවිධ අර්ථකතනයන් වලට හා විවිධ හැඩයන් වලට නිර්මාණය වී තිබීමය. එවන් ඕනෑම පිළිමයක් 'බුද්ධා' ලෙස සැලකීමට කරුණු කාරණා නොදන්නවුන් සලකයි. උදාහරණයක් ලෙස 'ලාෆින් බුද්ධා' නැමැති පිළිමය හැඳින්විය හැක. බටහිර චිත්‍රපට වල සමහට දර්ශන වලද බුදු පිළිමය හා බෞද්ධාගමට වක්‍රාකාරයෙන් අපහාස වන දර්ශන පවතී. මෙහෙදී නැගෙන ප්‍රධානම ගැටලුව වන්නේ අපහාසයක් සිදුවීම හා කරුණු කාරණා නොදන්නාකමින් යමක් සිදුවීම වෙන්කරගන්නා නිර්නායක නොමැතිවීමය. 

වෙනත් කිසිම ආගමකට වඩා බුදුදහම වාණිජකරනය වීම හා වෙනත් පෙරදිග ආගම් හා දර්ශනයක් අතරට බුදුදහමේ කොටස් එකතුවීම මෙයට තවත් හේතුවකි මෙයට පිලියම් සෙවීමට නම් බටහිර රටවල අයට බුදුදහම ගැන යථාර්ථවාදී අවබෝධයක් ලබාදීම කලයුතුය. බුදුදහම යනු යෝග ක්‍රමයක් හෝ ඉන්ද්‍රජාලික දෙයක් නොව ඉතා ගැඹුරු හා හරවත් දර්ශනයක් බවට ලෝක ජනමතයක් ගොඩනගා ගතහොත් එයින් බුදුදහමට ආරක්ශාවක් වාගේම සුවහසක් ජනයාට බුදුදහමේ ආලෝකය ලැබීමක්ද වේ

 බුදුදහමට අපහාස කරන දෙවැනි කාණ්ඩය වන්නේ සිතාමතාම බුදුදහම විනාශ කිරීමේ අදහසින් ක්‍රියාකරන පිරිසය. ලංකාවේ එවැනි පිරිස් ඕනෑතරම් සිටිති. ප්‍රංශ ජාතිකයින් තිදෙනා මෙන්ම මීට මාස කිහිපයකට කලින් අවුකන ප්‍රදේශයේ අශෝභනව හැසිරුනු ශ්‍රී ලාංකික පිරිස මෙන්ම ඇඳුම් පැලඳුම් වලට බෞද්ධ සලකුනු දමා ඒවා විකිණීමට තැත්කරන අන්‍ය ආගමික පිරිස් ද මේ කාණ්ඩයට අයත්වේ

 බුද්ධ කාලයේද මෙවැනි අපහාස උපහාස ගලා ආවද බුදු රජාණන් වහන්සේ පවා ඒවා ගනන් නොගෙන නොසිට කරුණු කාරණා වලින් ඒවාට පිළිතුරු දී ධර්මයට සිදුවෙන කැලැල මකා ගැනීමට උපදෙස් දුන් සේක. එමනිසා මෙවැනි ක්‍රියා වලට විරුද්ධව වහාම ක්‍රියාත්මක විය යුතුය. 

 (ඡායාරූපය lankacnews.com වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි)

 ප්‍රංශ ජාතිකයින් සම්බන්ධ සිද්ධියේදී වඩාත්ම හාස්‍යජනක කාරණය වන්නේ ඔවුනට දුන් දඬුවමේ ස්වභාවයයි. අත්හිටවූ සිරදඬුවම් මෙනම රුපියල් 1500 ක දඩය මෙවැනි වරදකට කෙසේවත් සෑහෙන්නේ නැත. මැදපෙරදිග රටක මෙවන් සිදිධියක් ඇතිවුවහොත් සිදුවන තත්වය හා දෙන දඬුවම් ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. නීතිමය ප්‍රතිපාදන සැපයීම මෙහිලා ඉතාමත් අවශ්‍ය වේ සිර දඬුවම්, විශාල දඩ මුදල් මෙන්ම පන්සල් වල සමාජ සේවයේ යෙදීමත් දඬුවම් ලෙස ලබාදිය හැක. බෞද්ධාගමේ උන්නතිය හා ආරක්ශාව රටේ ව්‍යවස්ථාවෙන්ම සහතික වී ඇති නිසා මෙවැනි නෛතික ප්‍රතිපාදන යුගයේ අවශ්‍යතාවයකි

ඉදිරියේත් මෙවැනි අපහාස කිරීම නින්දිත ක්‍රියා විදේශිකයින් විසින් මෙන්ම ලාංකික බෞද්ධ අබෞද්ධ උභය පාර්ශව වලින්ම ඇතිවිය හැක. එයට සංවිධානව සිටීම බෞද්ධාගමේ උන්නතියට හා රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතාම අවශ්‍ය වේ

Wednesday, June 13, 2012

භික්ෂුව හා දේශපාලනය



මෑත කාලයේදී දේශපාලන පොරපිටිය ඇවුලුනේ භික්ෂුව හා දේශපාලනය ගැන යම් සිදුවීමක් නිසාය. ඒ නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ආගමික පූජකවරුන්ට දේශපාලනයේ යෙදීම තහනම් කරමින් පනතක් ගෙන ඒමට උත්සාහ කිරීමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බෞද්ධ හික්ශූන් මිස අනෙක් ආගමික පූජකවරු නම් නැති එමනිසා මේ පණත කෙලින්ම බෞද්ධ භික්ෂූන් දේශපාලනය කිරීම තහනම් කරන එකකි. මෙයට පක්ෂ විපක්ෂ අදහස් රාශියක් එල්ල වුනත් බොහෝ විට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවලට වැඩි ආයුශ නොමැති නිසා බොහෝ විට මෙයින් පවතින තත්වයට කිසිඳු බලපෑමක් වීම සැකසහිතයි. නමුත් දේශපාලනික භික්ෂුව ගැන මහජන මතයක් නූතනයේ ඇතිවීම මෙහි එක යහපත් ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැක.

අතීතයේදී බෞද්ධ හික්ෂුව සෘජු දේශපාලනයේ යෙදුන බවට කිසිඳු සාක්ෂියක් නැත. බොහෝ විට භික්ෂුව සිටියේ පාලකයාට අනුසාශනා කරන මට්ටමේය. බුදුරජාණන් වහන්සේ පවා දසරාජ ධර්මය ගැන වදාරා යම් යම් අවස්ථාවේ රාජ්‍ය උපදේශන කරයුතු සිදුකරත් කෙලින්ම් රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවුනි. උන්වහන්සේගේ භික්ෂු පරපුරද එවැනි පිළිවෙතක් පිරූහ. සාශනික කටයුතු වලදී රාජ්‍ය පාලකයා සමග ඉතා සමීපව උපදේශනාත්මක කාර්යභාරයක් සෑමවිටම භික්ෂුව සිදුකල අතර ඇතැම් අවස්ථාවල පාලකයා තමන්ගේ පාලනය භික්ෂූ සංඝයාගේ සෘජු අනුදැනුම ඇතුව සිදුකලහ

ධර්මාශෝක රජතුමාගේ සිට ලංකාව නිදහස ලබා දශක කීපයක්ම ගතවෙනතුරුම භික්ෂුවගේ කාර්යභාරය සෘජු දේශපාලනයෙක් බැහැරවිය. භික්ෂු දේශපාලනය සමාජගතවෙන්නේ ගංගොඩවිල සෝම හිමිගේ ජනවිජය පදනම ආරම්භයත් සමගය. මීට කලින් බද්දේගම සමිත හිමියන් පාර්ලිමේන්තුවට තේරීපත්වුවත් එය සම්ස්ත සංඝ සමාජයේ කතිකාවතක් නිර්මානය කිරීමට අපොහොසත් වූ බව කිවයුතුය.
හික්ෂුව දේශපාලනයට ඒමේ ප්‍රධාන අරමුණ තරමක් සංකීර්ණ එකකි. නිදහසින් පසු ලංකාවේ දේශපාලනයේ වර්ගවාදී පක්ෂ කිහිපයක්ම ඇතිවුණි. දෙමළ ජාතියකින් නියෝජනය කිරීමට දෙමළ ජාතික සංධානයත්, ඉස්ලාම් ආගමිකයින් එක්කිරීමට මුස්ලිම් කොන්ග්‍රසය වැනි පක්ෂ බිහිවුනද බහුතරය සිංහල බෞද්ධයා වර්ගවාදී එක් පක්ෂයකට යොමු නොවීය. ලාංකික ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ දෙකට සිංහල බෞද්ධයා යොමුවුනද ඔවුන්ගේ ජනවර්ගය එම පක්ෂ දෙකින් සෘජුවම නියෝජනය නොවුනි.

මේ පසුබිම තුලදී සිංහල උරුමය නැමැති පක්ෂය සිංහල වර්ගවාදී මුහුණුවරකින් බිහිවුනත් එයට සිංහලයාගේ සහයෝගය නොලැබුණි. මන්දයත් එවකට පැවැති ප්‍රධාන දේශපාලන ධාරාවෙන් ගිලිහී තමන්ගේ ජනවර්ගය ගැනම සිතා දේශපාලන තීන්දු තීරන ගැනීමට මහජාතිය වූ සිංහලයින් තුල ඇති අකමැත්තයි. එය එක්තරා මහමැතිවරණයකදී දුන්න සහ ඊතලයෙන් ඡන්දය ඉල්ලූ සිංහල උරුමයට එක මන්ත්‍රී ආසනයක් පමණක් දිනාගැනීමට හැකිවීමෙන් පැහැදිළි වේ.

තත්වය මෙලෙස පවතිද්දී සිංහල බෞද්ධ ජනතාව ජනවර්ගය ගැන සිතීමට හා ඒ සඳහා දේශපාලනිකව ඒකරාශීකරවීමට හොඳම විසඳුම ලෙස සිංහල බෞද්ධ ජනයාට සමාජ නායකත්වයක් සැපැයූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මැතිවරණ තරඟ බිමට කැඳවා උන්වහන්සේලා සිංහල බෞද්ධ බලවේගය නියෝජනය කිරීමට පාර්ලිමේන්තු යැවීම ප්‍රත්‍යක්ෂ විය. ජාතික හෙල උරුමයේ ආරම්භය මෙයයි. ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම හා ඈඳුනු බෞද්ධයාගේ ආගමික නැගිටීම උඩ හෙල උරුමයට වැඩි ප්‍රසිද්ධියක් ලැබුනි. එම පක්ෂය ඉදිරිපත් වූ ප්‍රථම මැතිවරණයේදීම ආසන 9 ක් දිනාගැනීම කැපී පෙනුනි එමෙන්ම ලංකාවේ ඉතාම ප්‍රකට බෞද්ධ භික්ෂූන්වහන්සේලා වන උඩුවේ ධම්මාලෝක, කොලොන්නාවේ සුමංගල වැනි භික්ෂූන්වහන්සේලාගේ සහය සහය එයට ලැබුනි. එම ප්‍රතම මැතිවරනයේදී හෙල උරුමය ලාංකීය දේශපාලනයේ නව සලකුණක් තැබීය.

හෙල උරුමයේ පසුබෑම පටන්ගන්නේ එහි යම් යම් අභ්‍යන්තර බෙදීම් ආරම්භවීමත් සමගය. කොලෝන්නාවේ සුමංගල හිමියන් හා පසුව ධම්මාලෝක හිමියන් පක්ෂයෙන් ඈතිවීම හා බෞද්ධ භික්ෂූන් නොව ගිහියන් හෙල උරුමයෙන් දේශපාලනයට ඇතුලුවීම තුල බරපතල දේශපාලන පසුබෑමකට හෙල උරුමය ලක්විය. දෙවන මැතිවරණයේදී නිදහස සන්ධානය යටතේ තරඟ කලද ආසන තුනක් පමණක් ලබාගනී. මුලින් හෙල උරුමයට තිබූ ඡන්ද පදනම සීඝ්‍රයෙන් පහත වැටුනි. දේශපාලන භික්ෂුවගේ හෙල උරුම කතිකාවත නිමවෙන්නේ එවැනි දුර්වල තත්වයකයි.

සෘජු දේශපාලනයේ නිරත වූ භික්ශූන්වහන්සේලාගෙන් සිංහල බෞද්ධයාට යම් යම් සේවා ඉටුවූවද මූලික වශයෙන් අනෙක් වර්ගවාදී පක්ෂ වන මුස්ලිම් කොන්ග්‍රසය හා දෙමල සංධානය ක්‍රියාකල මට්ටමෙන් එයට ක්‍රියාකල නොහැකිවිය. අන්‍යාගමික හරවාගැනීමේ පනත ආදී බෞද්ධයට වැදගත් පනත් ගෙන ඒමට උත්සාහ කලද එය අසාර්ථක විය. මෑතකදී දඹුල්ල ප්‍රදේශයේ ආගමික ස්ථානයක් හේතුකොටගෙන ඇතිවූ අර්බුධයේදී සිංහලයාගේ පැත්ත ගෙන ප්‍රකශයක් හෝ ලබාදීමට ඉදිරිපත් වුනේ භික්ෂූන් දේශපාලනයට ගෙන ආ පක්ෂය පමණි.

මුස්ලිම් කොන්ග්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වීමට පවා තර්ජනය කිරීම හා එයට ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය හා හෙල උරුමයට දැක්වූ ප්‍රතිචාරය සැසඳීමේදී බෞද්ධ බලවේගයේ බෙලහීනකම පෙන්න්නුම් කල බව කණගාටුවෙන් වුවත් කිවයුතුය. ලංකාවේ අනෙක් ජනවර්ග දේශපාලනික වශයෙන් හොඳින් සන්නද්ධ වී ඇත. ඊට සාපේක්ෂව සිංහල බෞද්ධ බලවේගයට තිබූ හොඳම තුරුම්පුව වූ දේශපාලනික භික්ෂුව වර්ථමානයේදී බෙලහීන වන අයුරු හොඳින්ම දැකිය හැක. අද රටේ ඇතිවන ප්‍රවණතාවය නම් ජනවර්ග ආගම් අනුව ජනතාව බෙදී යාමයි. ජාතීන් අතර සමගිය, ආගමික සහජීවනය ආදී සීනිබෝල කොතරම් කීවද සත්‍යය එයයි. ප්‍රධාන දේශපාලන ධාරාවේ අනෙකුත් වර්ගවාදී පක්ෂ වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගනිද්දී සිංහල බෞද්ධ බලවේගය අතරමංවීමක් දැකිය හැක.

මෙය හොඳ ලකුණක් නොවේ. නමුත් භික්ෂූන්වහන්සේලාගේ දේශපාලනයින්ද ප්‍රතිඵල නොමැති නම් අපට වෙන මාර්ගයක් ඉතිරිවී නැත. මෙයට මූලික හේතුව වී ඇත්තේ දේශපාලනය කරනා භික්ෂුව අනෙකුත් ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයින් මෙන් හැසිරීමයි. එවැනි තත්වයක් යටතේ භික්ෂුව තව තවත් දේශපාලනික මඩගොහොරුවේම අප්‍රසාදයට පත්වීම සිදුවේ. දේශපාලනික මඩගොහොරුවේම ජනිත වී එයින් ඉහලට පැමිණි සුපුෂ්පිත පුෂ්පයක් සේ ක්‍රියාකිරීමට නොහැකිනම් හික්ෂුව දේශපාලනයට සුදුසු නැත. සිදුවිය යුත්තේ ගමන් මග වෙනස්කිරීම මිස ගමන නැවැත්වීම නොවේ

අවසාන වශයෙන් කිවහැක්කේ භික්ෂුව සතු දේශපාලනික අයිතිය සීමාකිරීම විජයදාස රාජප්ක්ෂ මහතාට තරම් නොවන බවයි. පණත් කිසිවක් නොමැතිව මේ ගැටලුව විසඳෙනු ඇත. ඒ කෙසේද යත් භික්ෂුව තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් කල නොගතහොත් එය මැතිවරණයේදී ජනතාව විසින් ඉටුකරණු ඇත. ඔවුන් භික්ෂූන්ගේ දේශපාලන අනාගතය තීරණය කරනු ඇතයි යන්න මගේ විශ්වාසයයි.

Friday, May 18, 2012

ලංකාවේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගනිමු



සෑහෙන කාලෙකට පසුව බ්ලෝග් ලිපියක් ලිවීමට සිතුනි. අපේ රටේ දේශපාලනය, කෘෂිකර්මය ගැන ලිපි ලියූ මම රටේ ස්වාභාවික සම්පත් රැකගැනීම ගැන ඔබව දැනුවත් කිරීමට මේ ලිපියෙන් උත්සාහ ගන්නෙමි.

යම් රාජ්‍යයකට තිබිය යුතු භෞතික සාධක නම් භූමිය හා ජනගහනයයි. ඒවා එම රටේ ස්වාභාවික සම්පත් වේ. රටක් දියුණු වෙන්නේ එම සම්පත් නිසි පරිදි කළමණාකරණය කරගතහොත් පමණි.

ශ්‍රී ලංකාව ගතහොත් අතීතයේ සිටම අපේ රටේ විශාල සම්පත් ප්‍රමාණයක් තිබූ බවට සාක්ෂි ලැබේ. ඒ උරුමය අද රටේ ජාතික ගීයෙහි "ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජයභූමියක් ලෙසින් දක්වා ඇත. අතිතයේ රටේ සම්පත් අතර ප්‍රධාන වූයේ කෘෂිකර්මයට සුදුසු භූමියයි. රටේ සෑම බිම් අඟලකම වසරේ සෑම කාලයකදීම බෝග වගාකිරීමට හැකියාව තිබුණි. එමෙන්ම ජල මූලාශ්‍ර විශාල ප්‍රමාණයක්ද පැවැතිනි.

මහමුහුදට යන එකඳු දිය බිඳුවක්වත් අපතේ නොයවා රට බත බුලතින් ස්වයංපෝෂිත කිරීමට එකට සිටි නරවිරුවන් ක්‍රියාකලෝය. කෙසේ වෙතත් රටේ රාජධානි වෙනස් වීම නිසා රටේ සම්පත් සියල්ලෙන්ම ප්‍රයෝජනයට ගැනීමට හා එයින් රටේ ස්ථාවරත්වයක් ඇතිකිරීමට අනුරාධපුර, පොලොන්නරු යුගයෙන් පසුව අපහසු විය. යටත්විජිතකරණයෙන් මිදී අප නිදහස ලැබුවද ස්ථාවර සංවර්ධන ප්‍රතිපත්තියක් නැතිවීමෙන් නිදහස්  ලංකාවේ එකඳු පාලකයෙකුටවත් රටේ සියලුම සම්පත් නිසි පරිදි කළමණාකරණය කරනවා විනා හඳුනාගැනීමටත් නොහැකිවීම රටේම අවාසනාව වේ.

මෙම තත්වය තුන්වන ලෝකයේ බොහෝ රටවල දක්නට ඇත. සම්පත් නිසි ප්‍රයෝජනයට ගැනීමත්, එයින් රටේ ජීවන තත්වය උසස් කරගැනීමටත් එම රටවලට නොහැකිවී තිබේ. මීට හොඳම උදාහරණය කොංගෝ රාජ්‍යයයි. ලෝකයේ වැඩිම ඛනිජ සම්පත් හිමි, ඉතා විශාල ජනගහනයක් ඇති මෙම රටේ තිබෙන ස්වාභාවික සම්පත්වල වටිනාකම පමණක් ඩොලර් ට්‍රිලියන 24ක් පමණ වේ. අද ලෝකයේ විශාලම ආර්ථිකය හිමි ඇමරිකාවේත් දල දේශීය නිෂ්පාදිතය ට්‍රිලියන 12ක් පමණ වේ. තමන්ගේ සම්පත් නිසි ලෙස කළමණාකරණය කිරීමට හැකිවූවානම් අද කොංගෝව ඉතාම දියුණු තත්වයකට පැමිනෙන්නට ඉඩ තිබුනි. ලංකාවේද තත්වය එයට තරමක් සමාන වේ. බාහිර හා අභ්‍යන්තර වියවුල් මෙන්ම නිසි නායකත්වයක් නොමැතිවීමට එයට බලපායි.

ලංකාවේ දියුණුවීමට අවශ්‍ය සම්පත් ලෙස නොමැත්තේ බොරතෙල් පමණි. අනෙක් සියලුම සම්පත් තිබුණද ඒවා නිසි පරිදි හඳුනාගෙන පවා නොමැත. රටේ පාවිච්චි නොකල භුමිය විශාල වශයෙන් ඇත. නමුත් සහල් හැරෙන්නට බොහෝ ආහාර පිටරටින් ගෙන්වයි. මීට වසර කිහිපයකට කලින් නම් සහල් පවා ආනයනය කෙරුනි. රටේ නිෂ්පාදනය නොකරන දේවල් පමණක් රටට ගෙන්වීමට නම් ඒවා රටතුල නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් සැපයිය යුතුය.

මෙහිදි තවත් කාරණයක් ඉස්මතු වේ. රටතුල යම් ද්‍රව්‍ය වල දේශීය අතිරික්තයක් තිබුණද විදේශවලින් ගෙන්වන එම ද්‍රව්‍යයේම මිලගනන් වැඩිවීම හා ඒවාට තැනක් ලැබීමයි.  කිරිපිරි මිළ එන්න එන්නම වැඩිවෙනවිට දේශීය කිරි ගොවියා තමන්ගේ කිරි විකුණාගැනීමට නොහැකිව කිරි ගංගාවන් පාරට මුසුකරන්නේ එම නිසාය. තමරටේ සම්පත් තිබෙද්දී ඒවා උකහා ගැනීමට කටයුතු නොයෙදීම නිසා මේ ගැටලු මතුවේ.

තව උදාහරණ රාශියක් ඇත. එප්පාවල පොස්පේට් නිධියක් තිබෙන බව අප දනිමු නමුත් දේශීය පොහොර නිෂ්පාදනය ඇත්තේ ඉතාම ප්‍රාතමික මට්ටමේය. නිසි කළමණාකරනයක් නොමැතිකම මෙයට හේතුවයි. තවද රටේ තිබෙන ඛනිජ සම්පත් ගැන කුඩාකාලේ සිටම අප දැනගෙන සිටිමු. ඉල්මනයිට් වැනි ඉතා වටිනා ඛනිජ ඇත්ත අද පුල්මුඩේ වැලි කර්මාන්තශාලාවේ නිපදවීමේ ප්‍රතිශතය ඉතා පහල මට්ටමක පවතී. සත්‍යතාව ගැන නොදන්නාමුත් අපේ රටේ ඛනිජ වැලිවලින් විද්‍යුත් පරිපථ නිෂ්පාදන කම්හලක් ඉදිකිරීමට ආයෝජනය කිරීමට අවසර ඉල්ලු විදේශික ආයෝජකයෙන් රටේ තිබෙන දූෂිත පරිපාලනය නිසාම එම අදහස ඇතහැර දැමූ කතාවත් මම අසා ඇත.

ස්වාභාවික සම්පත් වලට මෙවන් ඉරණමත් අත්වෙද්දී මානව සම්පතද විශාල ලෙසින් ප්‍රයෝජනයට නොගනී. එක අතකින් ශ්‍රම ගලනය, බුද්ධි ගලනය  ගැන කතා කරයි. අනෙක් අතින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවයි. රටක වැදගත්ම සම්පත වන මානව සම්පත රටේ ප්‍රයෝජනයට නොගෙන ඉවත දැමීම තරම් අභාග්‍ය සම්පන්න දෙයක් තවත් නැත.

ජනයා රටේ සංවර්ධනයට යොදාගැනිම වෙනුවට දැන් කාලයේ ආගමික, වාර්ගික ගැටුම්වලට ජනතාව පෙලඹවීමේ යම් ප්‍රවණතාවයක්ද ඇත. එය රටකට ඉතාම අහිතකර වේ. අප රටේ සිවිල් යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන් විවිධ යුධ උපකරණ නිපදවූහ. යුද්ධ ටැංකි වැනි වාහන, ආයුධ මෙන්ම සබ්මැරීන පවා නිපදවීමට, ඒවා ගැන පරීක්ෂණ පැවැත්වීමට උගත් තරුණ පිරිස් ත්‍රස්තවාදීන් සමග කටයුතු කලහ. යුද්ධය අවසානයේ එම ත්‍රස්තවාදී පිරිස් පුනරුත්ථාපනය කිරීමකට ලක්කලත් ඔවුනගේ එම නිර්මාණාත්මක හැකියාවත් නිසි ලෙස හඳුනාගෙන අපේ රටේ දියුණුවට යොදාගන්නවා වෙනුවට ඔවුන්ව විදේශ රැකියා සඳහා යොමුකිරීමක් පසුගිය කාලයේ දක්නට ලැබුනි. නමුත් ත්‍රස්තවාදීන් ලෙස සිටි එම තරුණ තරුණියන්ගේ දක්ෂතා රටේ දියුණුවට යොදාගත්ත නම් එයින් රටේ දියුණුව මෙන්ම එවැනි පිරිස් අතර ඇති පටු ජාතිවාදී හැඟීම පසෙක දමා ශ්‍රී ලාංකිකයින් ලෙස තමන්ගේ ශ්‍රමය හා බුද්ධිය මෙරටට ලබාදීමද ඇතිවේ. එවිට වෙනම රටක් ඉල්ලා අරගල කරනු වෙනුවට එම පිරිස්ද මව්බිමේ උන්නතියට කටයුතු  කරනු ඇත.

රටට හිතැති ලෙස තීරණ ගැනීම ආණ්ඩුවට බාරදී අප අත පිසදාගෙන සිටීමට අවශ්‍ය නැත. සෑම පුද්ගලයාම දේශීය සම්පත් නිසිපරිදි කළමණාකරනය කර එය රටේ දියුණුවට යොදාගැනීමට යම් මතයක් සමාජ ගත කලා නම් රටේ පාලනයේද යම් සහයක් එයට ලැබෙනු ඇත.

ශ්‍රී ලාංකිකයින් ලෙස මෙරට ඉපදුනු සෑම කෙනෙකුටම මෙරට පිළිබඳව යම් වගකීමක් ඇත. තමාගේ දියුනුවත් සලසාගෙන රටේ දියුනුවට කටයුතුකිරීම එයයි. අප රටට අන් සෑම රටකටම වඩා දියුණු වීමේ හැකියාව හා සම්පත් ඇත. අප කලයුත්තේ එම හැකියාව වටහා ගැනීම කා කළමණාකරණය පමනි.

Saturday, March 17, 2012

විදුලි බිලේ වැඩිවීමට තිත.


මීට ටික කාලයකට පෙර ලංකාවේ විශාල ආන්දෝලනයක් විදුලි බිල 40% වැඩිවීම පිළිබඳ ඇතිවුනා. විදුලිය 40% කින් වැඩිවීම යනු සොච්චමක් නොවේ. සමාජයේ පහල පන්තියේ සිට ඉහල මැද පන්තිය දක්වාම සිටිනා විදුලි පාරිභෝගිකයින් කෙරෙහි මෙය බලපායි. යම්කිසි මුදලක් වැඩිවීම යනු කෙටිකාලීන තත්වයක්  වන අතර ඉදිරියේදී පොසිල ඉන්ධන වල හිඟය නිසා තව තවත් ඉන්ධන මිල වැඩිවී ඉහල යන විදුලි බිල කෙරේ එය බලපායි. මන්දයත් පොසිල ඉන්ධන වැඩිපුරම භාවිත කරන්නේ විදුලිය නිපදවීමට බැවිනි. ඒවා තුලිනුත් ගල් අඟුරු හා ස්වභාවික වායූන් ප්‍රධාන වේ. ලෝකයේ රටවල් බොහොමයක් මෙම අර්බුධයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය නම් කරත් එහි තිබෙන විශාලම අඩුපාඩුව නම් පොසිල ඉන්ධන වලින් නිශ්පාදනය කරන ශක්තියෙන් ඉතා කුඩා කොටසක්වත් නිපදවීමට මේවා අසමත්වීමයි. 4% පමණ ඉතා සුලු ප්‍රමාණයක් පමණයි පුනර්ජනනීය බලශක්තිය ලෝක ශක්ති අවශ්‍යතාවෙන් ඉටුකරන්නේ.

අනාගතයේ අපි කැමතිවුවත් අකමැතිවුවත් කෙසේහෝ අඩු සැපයුමක් සහිතව විදුලිය පරිභෝජනය කිරීමට සිදුවන නිසා කලයුත්තේ අපේ විදුලි ඉල්ලුම අඩුකිරීමයි. විදුලිය යනු ඉතා පහසුවෙන් වෙනත් ශක්තියකින් පරිවර්ථනය කිරීමට හැකි දෙයක් නිසා විවිධ විවිධ ශක්ති ප්‍රභව පැමිනියත් විදුලිය අනාගතයේ මිනිස් සමාජයේ ප්‍රධානම ශක්තිය ලබා ගන්නා මාධ්‍යය වනු ඇත. අනාගතයට දැන්ම සූදානම් වීම ප්‍රතිඵලදායක නිසා කුඩා ප්‍රමාණයෙන් හෝ විදුලිය ඉල්ලුම අඩුකරගැනීම අපේ යුතුකමක්ද වේ
පහත දැක්වෙන කාරණා ඉතාම පහසු ඒවා වුවත් එයින් විශාල වෙනසක් ඔබේ ශක්ති පරිභෝජනයට සිදුවේ



විදුලි පරිභෝජනය ගනනය කිරීම (Energy Auditing) කවුරුවත් එතරම් සැලකිල්ලක් දක්වන දෙයක් නොවේ. තමන් මාසයකට, දවසකට හා පැයකට කොතරම් විදුලිය පරිභෝජනය කරනවාද කියා බොහෝවිය අප කිසිසේත්ම සැලැකිල්ලක් දකවන අංගයක් නොවේ. නමුත් ඉතාම ප්‍රවේශමෙන් හා සංඛ්‍යාත්මකව තමන්ගේ විදුලි පරිභෝජනය ගැන විමසා බැලුවහොත් තමන් වැඩිපුර විදුලිය පාවිච්චි කරන්නේ කුමන විදුලි උපකරණයටද යන්න පවා දැනගත හැක. වෙනත් රටවල් නම් විදුලි සමාගම් විසින් හෝ විදුලිය ගනනය කරන සමාගම් විසින් මේ සේවාව ලබාදුන්නත් අපරටේ එවැන්නක් නොමැති නිසා උත්සාහයක් දරා හෝ සියලු විදුලි පරිභෝජනය ඒකක වශයෙන් ගනනය කිරීම ඉදිරි විදුලි පරිභෝජනය සීමාකිරීමට ඉතාම වැදගත් වේ. තමන්ගේ නිවසේ වැඩියෙන්ම විදුලිය පරිභෝජනය වන භාන්ඩ තෝරා ඒවා සීමා කිරීමට එමගින් පුලුවන. කලින් මාසයට වඩා ඊලඟ මාසයේ පරිභෝජනය සීමාකිරිමට මෙමගින් නිතැනින්ම පෙලඹවීමක්ද ලැබේ.





නිවසක මූලික වශයෙන් විදුලිය පරිභෝජනය කරන උපකරණ හා කාර්යයන් කීපයක්ම තිබේ.  ඒවායින් මූලිකම අංගය නම් ආලෝකකරණයයි. නිවසක වැඩියෙන්ම පාවිච්ච කරන උපකරණ වුවත් පහසුවෙන්ම විදුලිය ඉතිරිකරගැනීමටත් ආලෝකකරණය යොදාගත හැක. මූලිකම කාරණය නම් ගෙදර කෘතිම ආලෝකය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය හැකිතරම් අඩුකිරීමයි. එය නිවස ස්වභාවික ආලෝකයට වැඩියෙන් නිරාවරණය වන ලෙස ජනේල හා මැදමිදුල් සැකසීමෙන් කලහැක. අලුතින් නිවසක් සාදන්නේ නම් ඔබේ ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ අඩු ශක්තිප්‍රමාණයක් පරිහරණය කරන නිවසකටයි. ගෘහනිර්මාණ ශිල්පියා සමග සාකව්චා කර දිවා කාලයේ වැඩි ආලෝකයක් ලැබීමත් රාත්‍රී කාලයේ කෘතිම ආලොකය නිවස තුලම රැඳෙන ලෙසත් නිවස සැලසුම් කරගතහැකිනම් එය ඉතාමත් යහපත් වේ.



නිවසේ වර්ණ භාවිතය ගැන සැලකිලිමත්වීමෙන් ඔබට සිතනවාටත් වඩා විශාල මුදලක් ආලොකකරණයේදී ඉතිරිකරගත හැක. බිත්තිවලට සුදු වර්ණය ආලේප කිරීමෙන් වැඩි ඉඩකඩ ගතියක් මෙන්ම ආලෝක පරාවර්ථනය වන මතුපිටක් නිසා කුඩා වොට් ප්‍රමානයක් වැයවන බල්බවලින් පවා වැඩි ආලෝකයක් ලබාගත හැකිය. බිත්ති පමණක් නොව ගෙබිම හා ගෘහභාන්ඩ වලට පවා ලා පැහැයෙන් ලබාගැනීමෙන් අඩු වියදමකින් වැඩි එලියක් ලැබේ. නිවසේ විවිධ ප්‍රදේශ වලට හා එළිමහනට ගැලපෙන ආකාරයේ වොට් අගයකින් යුතු බල්බ යෙදීම ඉතාම වැදගත්ය. සාලයට හො කෑම කාමරයට අවශ්‍ය තරම් ප්‍රබල දීප්තියක් එළිමහන් විදුලිපහන් වලට අනවශ්‍යවේ. එමෙන්ම විදුලි පහනේ ආලෝකය නියමිත ප්‍රදේශවලට පමණක් විහිදෙන ආකාරයට lamp shades යෙදීමද කල හැක. සාමාන්‍ය විදුලිපහන් වලට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වන CFL මෙන්ම නූතනයේ ඉතාම කුඩා විදුලිප්‍රමාණයක් වැයවෙන LED පහන්ද වෙලඳපලේ ඇත.


ආලෝකකරණයට මෙන්ම නිවස උණුසුම් හෝ සිසිල් කිරීමටද විදුලිය වැයවේ. බටහිර රටවල් ව්ල වැඩියෙන්ම නිවාස උණුසුම් කිරීමට ශක්තිය වැයවුනත් ලංකාව වැනි උෂ්ණ රටක වායුසමීකරණ ක්‍රියාත්මක කිරීමට විදුලිය විශාල වශයෙන් වැයවේ. වායුසමීකරණයක් නොමැතිනම් විදුලි පංකාවක් හෝ නිවසක කාමර තුල හා සාලයේ දක්නට ලැබේ. නිවසේ සිසිලස රැකගැනීමට නම් නිවස නිර්මාණයේදීම වැඩි අවධානයක් යොමුකිරීම වටී.
සුලං නිවසට ඇතුලුවී එක අන්තයකින් පිටවන ලෙසද දිවාකාලයේ උෂ්ණතවය නිවසට ඇතුලුනොවන ලෙස තාප පරිවාරක යෙදීමද නූතනයේ නිවාස තැනීමේ උපක්‍රම වේ. විදුලි පංකා භාවිතය අඩුකිරීම ද වායුසමීකරණ නොමැතිව වුවත් සිසිලස පවත්වාගැනීම තුලින් ඉතිරිවෙන විදුලි ඒකක ප්‍රමාණය විශාලය.
ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමේදී විදුලි පරිභෝජනය ගැන නූතනයේ කිසිඳු සැලකිල්ලක් දක්වන්නේ නැත. රූපවාහිනිය, මුලුතැන්ගේ උපකරණ මෙන්ම පරිගණක පවා නිවසේ විදුලිබිල වැඩිකිරීමට වැඩි දායකත්වයක් දක්වයි. එමනිසා විදුලිය ඉතිරිකරන උපකරණ මිලදීගැනීමට පුරුදුවන්න.

නිවසට අවශ්‍ය විදුලිය නිවසේම නිර්මාණය කරගත හැකි සූර්ය පැනල සවිකිරීමද තවත් විකල්පයකි. මෙහි ගැටලුද නැත්තේම නැත. මූලික ආයෝජනය වැඩිවීම මෙන්ම කාර්යක්ෂමතාවය අඩුවීමද සිදුවිය හැක. තමන්ගේ මූලික විදුලි සැපයුමට පරිබාහිරව මෙන්ම මූලික සැපයුමත් සමග එකට ක්‍රියාකරන සූර්ය බලශක්ති කට්ටල විදේශ වල පාවිච්චි කරත් ඒවා ලංකාවට ගැලපීම ගැන යම් ගැටලු පැනනගී,
 ලෝකයේ දිනෙන් දිනම ඉහල යන විදුලි ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ප්‍රමාණවත් නොවන නිසා අකමැත්තෙන් හෝ අපේ ජීවන රටාවන් වෙනස් කරගැනීමට අපට සිදුවේ. වෙනස්වීම් වලට ඔරොත්තු නොදෙන ජීවීන් විනාශ වීම යන සර්ව සාධාරණ න්‍යායට අවනත්වී සමාජයේ තවදුරටත් ජිවත්වීමට නම් තනි තනියෙන් හෝ බලශක්තිය ඉතිරිකරීමට තනි තනියෙන් හෝ ක්‍රියාකල යුතුය.

Tuesday, February 21, 2012

මේ ගීතය තහනම් කරමුද ?


ගීතය හා තහනම් කිරීම යන වචන ඔබ දකිද්දීම මේ ලිපියේ අරමුණ කුමක්දැයි පැහැදිළි වෙනවා ඇති. මෙකල මහත් ආන්දෝලනයට තුඩු දුන් ගීතයක් ලෙස ඩැඩී සංගීත කණ්ඩායමේ ටිකෙන් ටික නැමැති ගීතය හඳුන්වා දිය හැක. වසර 2011 නොවැම්බර් මාසයේදී පමණ නිකුත්වූ මේ ගීතයට දැඩි විරෝධයක් එල්ල වී අවසානයේ ප්‍රශ්ණය සංස්කෘතික අමාත්‍යන්ශය දක්වා දුරදිග ගියේය. ගීතයට පක්ෂව හා විපක්ෂව විවිධ පාර්ශව තර්ක ඉදිරිපත් කල අතර ඒවා තුලනාත්මකව බැලීම හා හරි වැරැද්ද කුමක්දැන් අපක්ෂපාතීව වීමසා බැලීමට මා හැකිතරම් උත්සාහ කර ඇත. ගීතයට පක්ෂව හා විපක්ෂව විවිධ පාර්ශව තර්ක ඉදිරිපත් කල අතර ඒවා තුලනාත්මකව බැලීම හා හරි වැරැද්ද කුමක්දැන් අපක්ෂපාතීව වීමසා බැලීමට මා හැකිතරම් උත්සාහ කර ඇත.

ගීතය සංගීත සංයෝජනය මෙන්ම පද රචනා අතින් ද සාර්ථික බවක් පෙන්නා නැත. විශාල මුදලක් වියදම් කලත් ඩැඩී කණ්ඩායමේ පෙර ගීත මෙන් මෙම ගීතයේ කිසිඳු හරයක් නැත. ඒ අතින් "අරාබිය" වැනි ගීත තරමක් සාර්ථක වූ බව කිව යුතුය. මේ ගීතයට විරෝධය එල්ල වූයේ මෙහි 1.39 සිට 2.00 දක්වා වූ කොටසේ "භවතු සබ්බ මංගලම් යන පාඨය පසුබිමින් ඇසීමයි. එම කොටසට අදාල රූප රචනයේ නිරූපකයා හා නිරූපිකාව යම් ආලිංගනයට යෙදෙන බවක් ද පෙනෙයි. වරින් වර එම දර්ශනය වෙනස්වී. සංගීත කණ්ඩායම වාදනය කරන දර්ශනද මෙම තත්පර 20ක් වැනි කාලයට ඇතුලත් වේ. තත්වය මෙසේ වුවද ගීතයට එල්ල වූ චෝදනා ලෙස "ජය මංගල ගාථා රැප් කිරීම" හා "පල්ලියේ කොන්ත්‍රාත්තුවකට බුදු දහමට අපහාසකිරීම" යන දේවල් ද ඇතුලත් විය. මේවා දඩ මීමා කරගනිමින් සිංහල බෞද්ධ ජනපදනමක් ඇති පක්ශද අවි අමෝරා සිටිනු දක්නට ඇත.

මේ ගීතයට විරෝධය එල්ල වීමට පසුබිම සැකසුනේ මීට යම් කලකට පෙර ගීතයකට විරෝධය එල්ල වී එය තහනම් කිරීමට තීරණය කිරීමෙනි. එම ගීතය ඉරාජ් වීරරත්න ගේ "සිත්ති මනීලා" ය. එක්තරා ආගමික කණ්ඩායමක තරුණියක් සමග පෙමින් වෙලෙන සිංහල තරුණයෙකුගේ කතාවක් මෙහි අන්තර්ගත වේ. මෙය ප්‍රචාරය වීමෙන් අනතුරුව. පෙරකී ආගමික කණ්ඩායම දැඩි විරෝධයක් දක්වමින් කියා සිටියේ තම ආගමේ යාඥා ඛන්ඩ ගීතයට යොදා ගැනීමයි. එමෙන්ම කාන්තාවකගේ "වේලය" නිරාවරණය කිරීමේ දර්ශණයක්ද එයට ඇතුලත් විය. මේ කාරණා දෙක මුල්කරගෙන ආගමික කණ්ඩායමක් විසින් විරෝධයක් එල්ල කලත් ඇත්ත වශයෙන්ම එම විරෝධය එල්ල වූයේ පෙර කී කාරණා දෙකට පමණක් නොවේ. උපතින් සිංහල බෞද්ධයෙක් වන ඉරාජ් වීරරත්න විසින් වෙනත් ආගමකට අයත් තරුණියක් සමග සම්බන්ධතාවක් ඇතිකරගැනීම ගීතයේ තේමාව කරගැනීම විරෝධය එල්ලවීමට මූලිකම හේතුවයි. විරෝධය එල්ල කල ආගම ලංකාවේ තිබෙන්නේ සුලුතරයක් වශයෙන් වුවත් කේවල් කීරීමේ හැකියාව හා ආක්‍රමණශීලීත්වය අතින් අනෙකුත් කණ්ඩායම් වලට වඩා ඉදිරියෙන් ඉන්නා නිසා සිත්ති මනීලා ගීතය තහනම් කිරීමට හැකිවිය.

පෙර කී ආගමික පිරිස අන් ජාතීන් සමග මේ ආකාරයෙන් මුහුවීමට මෙන්ම ආගමික සංහිඳියාවක් ඇතිකරගැනීමට ස්වභාවයෙන්ම මැලිකමක් දක්වයි. එමනිසා පැමිණි විරෝධය හමුවේ පසුබෑමක් ඇතිවූවේ ඉරාජ් වීරරත්නටත් වඩා රටේ බහුතරයක් සිටින සිංහල බෞද්ධ ජනතාවටයි. සිංහලයෙක් විසින් නිර්මාණය කල ගීතයක් සුලුජාතික විරෝධය හමුවේ අකුලා ගැනීම සිංහල බෞද්ධ පරාජයක් ලෙස සැලකීම නිසා "ටිකෙන් ටික" ගීතයෙන් හෝ තම බලය පෙන්වීමට සිංහල බෞද්ධ බලවේගය උත්සාහ ගත්තා විය යුතුය.

"ටිකෙන් ටික" ට විරෝධය දැක්වූවන් සඳහන් කල තවත් කාරණාවක් වන්නේ මධුසමයක දර්ශනයක් තුලට පසුබිමින් "භවතු සබ්බ මංගලම්" යෙදීමයි. පසුබ්ම්න් ඇසීම සිදුවන තත්පර 20 ක් පමණ කාලය තුල අපට දැකගත් හැකි වන්නේ නිරූපිකාව හා නිරූපකයා තරමක් ලංවී සිටිනා අයුරුය. අඩුමතරමේ සිපගැනීමේ දර්ශයක් වත් අඩංගු නොවේ. පිටින් බලන කල මෙය මධුසමයක් දැයි සිතාගැනීමට නොහැකි වුවත්. විරෝධය පලකරන්නන් කියා සිටියේ එවැනි දර්ශනයකට ජයමංගල ගාථා යෙදූ බවය. සැබවින්ම සිදුවී ඇත්තේ රූප රචනයේ ඇති දර්ශන වලටත් එහා දර්ශන තමන්ගේ හිතේ මවාගෙන එයට මුලින් කී ජයමංගල ගාථාව ඇතුලත් කර ගැනීමයි. උදාහරණයක් ලෙස රූප රචනයේ ජයමංගල ගාථාව වාදනය වෙන්නේ තරුණිය තරුණයාට ලංවී සිටින දර්ශනයේ නම් තමන්ගේ සිතින් එය දැඩි ආලිංගනයක් දක්වා ද සිප ගැනීමක් දක්වාද අවසානයේ මධුසමයක අපේක්ශා කරන කාර්යය දක්වාද සිතින් රූප ගොඩනගා ඒවාට පසුබිමින් "භවතු සබ්බ මංගලම්" යොදා තිබෙන ගීතයක් ලෙස මෙය හංවඩු ගැනීමයි. නමුත් ගීතයේ තත්පර 20 ක නියම අන්තර්ගතය දෙස බලා ඉහත කී චෝදනා එල්ල කල නොහැකි බව නම් සත්‍යයකි. තවද මේ කොටස ගීතයේ කොටසක් ලෙස නොව රූප රචනාවේ කොටසක් ලෙස සැලකිය හැක. හදිසියේ වත් සජීවීව මේ ගීතය ගයාන් ඇතුලු පිරිස ගායනය කලහොත් "භවතු සබ්බ මංගලම්" පසුබිමින් ඇසේ යැයි සිතිය හැකිද ?.

ගීතයට විරෝධයපෑමෙන් නොනැවතී ගයාන් පෙරේරාටද ඔහුගේ පියාටද ඔවුන්ගේ ආගමටද මේ ගීතය නිසාම විරුද්ධ වීමත් ගයාන් පෙරේරා අන්‍යාගමික කුමන්තරණයක කොටස්කරුවෙක් වී බෞද්ධාගමට එරෙහිව ක්‍රියාකරන්නේය යන චෝදනාව සමහරක් විසින් එල්ල කරයි. සැබැවින්ම අන්‍යාගමික කුමන්ත්‍රණයක් තිබුනේ නම් මෙවනි ගීතයක් නිර්මාණය කිරීමේ චෝදනාව එල්ල වී අවසානයේ අපකීර්තියට පත්වන්නේ ඩැඩී කණ්ඩායමමයි. මුදල් සහ වෙලඳපල ගැන ඉලක්ක තබාගන්න ඩැඩී ලා කුමන්ත්‍රණය සඳහා තමන්ගේ ජනප්‍රියත්වය බිල්ලට දීම සිදුවිය නොහැක. ඩැඩී ඉලක්ක කරන්නේ බහුතර සිංහල බෞද්ධ වෙලඳපල බවද මතක තබා ගතයුතුය.

කෙසේ වෙතත් මේ ගීතය තුලින් පැහැදිලිව වරදක් සිදුවී ඇත. ඒ පිරිත්/ ජය මංගල ගාථා රැප් කිරීම වත් අන්‍යාගමික කුමන්තරණයක් වත් නොව ගායකයන්, රූප රචකයන් හා නිෂපාදකයින් මේ රටේ සිංහල ජාතියට, බෞද්ධ ආගමට හා සිංහල බෞද්ධ-සංස්කෘතියට සංවේදී නොවී නිර්මාණ කිරීමයි. මධුසමයක් ලෙස අර්ථිගැන්විය හැකි රූප කොටසකට නොදා මංගල උත්සවයේ වෙනත් තැනකට ජයමංගල ගාථා යොදා ගත්තා නම් මේ කලබගෑනිය නොවීමට තිබුනි


මීට කලකට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දඹුල්ලේ දී පැවැත්වී 20 යි 20 තරන්ගයකදී හය හතර ගසනවිට dancing girls ලා නැටීමට වෙනුවට උඩරට නැට්ටුවන් යොදාගැනීමට විරුද්ධව මහා ආන්දෝලනයක් පැවතිනි. ක්‍රිකට් ආයතනය පැවැසුවේ ලංකාවේ සංස්කෘතිකාංගයක් ලෙස මෙය ඉදිරිපත් කල බවය. නමුත් දෙවියන්ගේ ආභරණ ලෙස සලකන මේ නැටුම් උපකරණ පැලැඳගෙන dancing girls ලා  ගේ කාර්යය කිරීම නිසා නැටුමට අගෞරවයක් වූ බව ද පැහැදිලි වේ.

ඔඩෙල් ආයතනයේ ටී ෂර්ට් නිර්මාණය කිරීමද මේ හා සමාන සිද්ධියකි. සමාගම් වල තීරණ ගන්නන්ද ගීත නිෂපාදකයින්ද බොහොමයක් සිංහල බෞද්ධ සංස්කෘතිය වැලැඳගත් පිරිස නොව සංස්කෘතිය හෝ මාර්කට් කිරීමට ක්‍රියාකරන අයයි.

ගීත නිර්මාණ වල අන්තර්ගතය මැනබැලීමට කමිටුවක් පත්කරන බව සංස්කෘතික ඇමතිතුමා ප්‍රකාශ කලේය. නමුත් එයින්ද නියම කාර්යභාරයක් ඉටුවේ දැයි සැකසහිතය. කෙසේ වෙතත් "ටිකෙන් ටිකට" විරෝධය එල්ල විය යුතු නියම කාරණා ඉස්මතු නොවීම නිසා අවසානයේ සිදුවන්නේ ඩැඩී ජනප්‍රිය වීමත් විරෝධය පෑ පිරිස ආගමික අන්තවාදීන් වීමත්ය. සිත්ති මනීලා ගීතය තහනම් කිරීම තරම් සංවිධානාත්මක බලවේගයක් සිංහල බෞද්ධ පිරිසට එකතු කරගැනීමට නොහැකි වී තිබේ. නමුත් ආගමික ගැටුමක් ලෙස නොව සංස්කෘතිය සංවේදීතාවයට නොමැතිවීම යන කාරනය තුලින් "ටිකෙන් ටිකට" විරුද්ධ වූවා නම් එම විරෝධතාවය සාර්ථික වීමටත් විරෝධය පල කල පිරිස අන්තවාදීන් ලෙස හංවඩු නොගැසීමටත් හේතු වනු ඇත