"ඔයා හුඟක් වෙනස් වෙලා " මේක අපි හැම කෙනෙක්ම වගේ අපේ ජීවිත කාලය තුල එක් වරක් හෝ තවකෙකුට පවසන දෙයක්. සමහර විට දුකකින්, කෝපයකින් නැත්තන් ලොකු කළකිරීමකින් මේ වගේ දෙයක් කියන්න ඇති. ඒ තමන්ගේ සහකරුවාට, සහකාරියට, මිතුරෙකුට නැත්නම් තමන්ගේ දරුවාට වෙන්න ඇති. කෙනෙකුට බැඳිලා ඒ කෙනා තමන් කෙරෙහි දක්වන ආකල්පයේ වෙනසීම අපි බොහෝ දෙනෙකුට දරාගන්න අමාරු දෙයක්. විශේෂයෙන්ම ඒ පුද්ගලයා තමන්ට සමීපත්වය වැඩි නම් දුකත් වැඩියි.
ලෝකයේ තියෙන දුක් වලින් අප්‍රිය සම්ප්‍රයෝගයත්, ප්‍රිය විප්‍රයෝගයත් අනිත් අය නිසා අපට විඳින්නට වෙන දුක්. ඒ වගේම ප්‍රියයන් ගේ වෙනස් සෘණාත්මක වෙනස්වීම පවා දුකක්. මිනිසා සමාජ සත්වයෙක්. නිතරම හුදෙකලා නොවී තමන්ගේ වර්ගයා සමග ජීවත් වෙනකොට අනෙකුත් අය අපේ ජීවිතයට ලොකු බලපෑමක් කරනවා. ලෝකයේ අනෙකුත් කිසිම සතෙකුට වඩා මිනිසා අනෙකුත් මිනිස් වර්ගයා මත යැපෙනවා. ඒක නිසාම ළදරු කාලයේ මවගෙන්, ළමා කාලයේ මව පියා හා සහෝදර සහෝදරියන්ගෙන් ඉන් පසු මිතුරු මිතුරියන්ගෙන් වගේම තමන් සහකරු/සහකාරිය කරගන්න ඉන්න කෙනාගෙන් අපි ආදරය, සෙනෙහස හා රැකවරණය බලාපොරොත්තු වෙනවා. ඊට හිලව්වක් විදිහට අපි පෙරලා සෙනෙහෙවන්ත වෙනවා.
වෙනස්වීම කියන දේ ලෝකයේ පොදු ධර්මතාවයක්. "වෙනස්වීම" හැරෙන්නට අනිත් සියලුම දේවල් වෙනස් වෙනවා. මිනිසාටත්, මිනිස් සිතටත් ඒකෙන් ගැලවීමේ මගක් නෑ. අපේ සිත වේගයෙන් වෙනස් වෙනකොට අපි වටේ ඉන්න අය ගැන අපේ ආකල්ප ධනාත්මකව හරි සෘණාත්මකව හරි වෙනස් වෙන්න පුලුවන්. එක එක කාලයට අපේ ජීවිතයට එන පුදගලයන් නිසාත් අපේ ආකල්ප වෙනස් වෙනවා.
අපි අනෙකුත් අය ඇසුරු කරනකොට එක එක කාලෙට සමීපවම ඇසුරු කරන අය විවිධයි. පාසලේදී, උසස් අධ්‍යාපන ආයතනයේදී, රැකියාවේදී අපට නිතර මුනගැහෙන, අපි නිතරම ගැටෙන අයත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. උදාහරණයකට අපි පාසලේ හම්බවෙන යාලු මිත්‍රාදීන් විශ්ව විද්‍යාලයේදී හම්බ නොවෙනවා ඒ වගේම රැකියාවේදි හම්බවෙන්නේ ඊටත් වඩා වෙනස් පිරිසක්. අපි අපේ සමාගමයට පිරිස හදාගන්නේ විශ්වාසය මත. ජීවිතයට අලුතින් සමීප වෙච්ච කෙනෙක්ගේ එකතුව තහවුරු වෙන්නේ විශ්වාසය නිසාමයි. විශ්වාසවන්ත කම නිසාම තමන්ගේ පෞද්ගලික ජීවිතය පවා ඒ අයත් එක්ක බෙදාගන්න, ඒ අය තමන්ගේ ජීවිතේම කොටසක් කරගන්න අපි පුරුදු වෙලා. මේ අචල විශ්වාසවන්ත කමටත් "වෙනස්වීමේ" ධර්මතාවයෙන් ගැලවෙන්න නම් බැහැ. විශ්වාසය උනත් කාලයත් එක්ක පලුඳු වෙන්න පුලුවන්.
"කලෙකදි රස කලෙකදි වස වෙනවා" වාගේම තමන් වටේ ඉන්න අය
අපෙන් ඈත් වෙනවා වාගේම අපිත් අපේ කිට්ටුවන්තයන්ගෙන් ඈත් වෙන්න පුලුවන්. අපෙන් ඈත් වෙන අය වෙනුවට වෙනම පිරිසක් අපේ ජීවිතයට එකතු වෙනවා. අපේ ජීවිතේ ඔහේ ගලා යනවා. ඒ ජීවිතේ දිහා ආයේ හැරිලා බලපුවහම අපි කීදෙනෙකුගේ හිත් පාරලා ඇද්ද ? කීදෙනෙක් අපි හින්දා හිතින් දුක් විඳින්න ඇද්ද ? කිදෙනෙක් අපි බලෙන්ම අපේ ජීවිතෙන් ඈත් කරලා ඇද්ද ?. පිරිසක් එකතු කරගන්න එක ලේසියි. නමුත් ඒ පිරිස අපි ලඟ තියාගන්න එක තමයි අමාරු. ලෝකේ එන්න එන්නම විශ්වාසවන්තයෝ අඩු වෙනවා, මිනිස්සු ආත්මාර්ථකාමී වෙනවා. ඒක නිසා හැම කෙනෙක්වම අතේ දුරින් ආශ්‍රය කරන එක හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්.
මානව සම්බන්ධතා පිලිබඳ "බස්" න්‍යාය.
(Photo courtesy : Tahir Pirbhay)
"ලෝකය බස් එකක් වැනිය. අපි එහි මගීන් වෙමු" . හිතන්න අපි බස්
රථයක යන මගීන් පිරිසක් කියලා. ජීවිතේ අපි පටන් ගන්නේ බස් රථයට නැගලා. අපිත් එක්ක බස් රථයේ ලඟන්ම ඉන්න මගීන් පිරිස අපේ සමීපතමයන් වගේ. එක එක කාලෙට ඒ එක එක පුද්ගලයින් අපේ ලඟ වාඩි වෙනවා. කල් යනකොට ඒ අය අපෙන් ඈත් වෙලා දුර ආසන වලට යනවා. එහෙම ඈත් වෙලා යන්න ලං වෙනකොට තමයි අපිට හිතෙන්නේ "දැන් එයා වෙනස් වෙලා" කියලා. ඒ වගේම් සමහර අය අපේ ජීවිතෙන් සදාකාලිකවම ඈත් වෙලා යන්නේ බස් රථයෙන් කෙනෙක් බහිනවා වගේ. අවසානේ කවදා හරි අපේ ජීවිතේ අවසානයේ අපිටත් බස් රථයෙන් බැහැලා යන්නට වෙනවා වෙනවා මයි.
අපේ ජීවිතය හරිම කෙටියි. ඒ කෙටි ජීවිත කාලයේදී විශ්වාසවන්ත මිතුරෙක්, මිතුරියක්, සහකාරයෙක්, සහකාරියක් වීම තමයි වැදගත්. තමන්ට එන පීඩා තමන් වටේ ඉන්නා අයගේ පිටින් යවන එක තමයි නරකම දේ. ඒ වගේම තමයි තමන්ගේ හිතේ තියෙන සංහිඳියාව්, සතුට, යහපත් කම බාහිර අය නිසාම වෙනස් කරගන්න එකත් හොඳ නැහැ. තමන්ගේ වටේ ආරක්ෂක පලිහක් හදාගන්න උත්සාහ කරගන්න දුෂ්ට අයගෙන් වෙන උවඳුරු හමුවේ නොසැලී ඉන්න, නොවෙනස් ව ඉන්න. එතකොට ඔබත් ලස්සන වෙයි, ලෝකයත් මීට වඩා යහපත් තැනක් වෙයි.