Wednesday, August 17, 2011

තවත් එක් ටියුශන් කතාවක්


ලංකාවේ ටියුශන් සහ අධ්යාපනය ගැන ලිපියක් මට ලියන්න හිතුන වාර අනන්තයි. ලඟදි දවසක ඒකට හොඳ ප්‍රවේශ්යක් ලැබුනා. මගේ ඥාති සහෝදරිය දවසක් අපේ ගෙදර ආවා. එයා අගනුවර ජනප්‍රිය යැයි කියාගන්නා ඉස්කෝලෙක තවම 10 වසරේ ඉගෙනගන්න කෙනෙක්. පුංචි අම්මත් එක්ක ආපු එයා ගොඩක් වෙහෙසට පත් වෙලයි හිටියේ කාලෙකින් දැක්කේ නැති නිසා ඇත්තටම මේ ඉස්සර හිටිය පුංචි නංගිද කියල මටවත් හිතාගන්න බැරිවුනා.

එයා තනිකර වෙනස් වෙලා නිකන් ඇවිදින මලමිනියක් වගේ. එයාටත් වඩා එයාගේ අම්මා, ඒ කියන්නේ මගේ පුංචි අම්මා විඩාපත් වෙලා. "කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි වුනා නේ. ඒකයි මේ ආවේ. දැන් තියෙන වැඩ කන්දරාවේ හැටියට කොහෙ තියෙන වෙලාවක් ද ?" පුංචි අම්මාගේ හැමදාම කියන වචන සේට් එක මට ඇහුනා.

"හැමදාම මෙයාට පන්ති. දන්නේ නැද්ද ඉතින් කොහොම හරි ඕ ලෙවල් ගොඩදාගන්න එපැයි". පුංචි අම්මා එහෙම කිව්වත් ඇත්තටම මගේ ඥාති සහෝදරී ඉතාම දක්ශ ලමයෙක්. එයාට ඕ එලෙවල් ගොඩ දාගන්නවා කියල එක ඒ හැටි කජ්ජක් නෙවෙයි.
අන්තිමට හොයලා බලනකොට නංගී ටියුශන් පන්ති හැට හුටාමාරකට යනවා. ඒවා අහලා මට නම් පිස්සු වගේ. ගනන් තියරි පන්තියයි, ගනන් හදන පන්තියයි. විද්යාව, ඉංග්‍රීසි, ඉංග්‍රීසි සාහිත්යය පන්ති දෙකයි. සිංහල, සංගීතය ඔන්න ඔය වගේ මහා පතරංග ජාතකය වගේ පන්ති ලිස්ට් එකකට එයා යනවා. තාම දහය වසරේ පොඩි එකාට මෙච්චර පන්ති තොගයක්!!!!.

පන්ති විතරක් නෙවෙයි නංගීට ගෙදරින් හරි පීඩනයක් දෙනවා කියලා මට හිතුනා. පන්තියේ පලවෙනියා වෙන්න විතරක් නෙවෙයි අනිත් ලමයි පහුකරගෙන අස්ප රේස් දුවන්නත් බලකරනවා. දැන් බලන් යනකොට පොඩි ලමයි අස්පයෝ. උන්ව දුවවන අම්මලා තමයි ජොකියෝ. අනේ හැබෑට !!!! ඔටිටු දාන එක විතරයි අඩු.

මට තියෙන ගැටලුව වෙන්නේ ඕ ලෙවල් වලට ඇත්තටම ඔච්චර පාඩම් කරන්නයි, පන්ති යන්නයි මහන්සි වෙන්නයි ඕනෙද කියලයි. මෙගේ ඥාති සහෝදරීට ඕ ලෙවල් විභාගෙන් යන්න තව හොඳ ඉස්කෝලයක් ලංකාවේ නැත්නම්, ඕ ලෙවල් කියන එක ඒ ලෙවල් වලට වඩා ඉතාම ලේසි නම්. ඇයි මේ වගේ අශ්ව රේස් එකකට දාලා එයාගේ ආත්මය නැති කරන්නේ ? ළමයාව අනිවාර්යයෙන්ම ඉගෙනීමට යොමුකල යුතුයි නමුත් ඉගෙන ගන්න එක වදයක් බවට පත්කර ගන්නේ ඇයි ? ඒ ලෙවල් කියන්නේ ඉතාම වෙනස් විභාගයක්. කවුරු කිව්වත් නැතත් ළමයෙක්ගේ ජීවිතය තීරණය කරන්නේ ඒකෙන්. ඒ ලෙවල් වලට දෙන්න ඕනේ පීඩනය වගේම වැඩ කන්දරාව ඕ ලෙවල් වලින්ම කුඩා ළමයෙක් තුලට ඇතුල් කලොත් ඒක ඉතාම භයානක වෙන්න පුලුවන්. නියමිත කාලයට නියමිත ඉගෙනීම් ක්‍රම යොදාගන්නේ නැත්තම් ඒ අධ්යාපනයේ තියෙන ප්‍රයෝජනය මොකක්ද ? අවසානයේ සහතික ටිකක් විතරක් අතින් අරගත්ත නිර්මාණශීලීත්වය මොට වෙච්ච ගොන්නු රැලක් බිහිවෙනවා.

මේවා අහන දකින කොට මට මගේ ඕ ලෙවල් කාලේ මතක් උනා. මම කොච්චර සැහැල්ලුවෙන් හිටියාද? එක අතකින් මම හරි වාසනාවන්තයි මගේ දෙමාපියෝ මට අනික් අය පාගාගෙන අස්ප රේස් දුවන්න බල කරපු නැති එකට. ඒ වගේම කවදාවක් පන්තියේ පළවෙනියා වෙන්න බලකරපු නැති එකට. ඒ වගේම මට මගේ ළමා කාලය ළමයෙක් විදිහට ගතකරන්න ඉඩ දුන්නු එකට.

මම නම් පන්ති ගියේ ගනන් වලටයි විද්යාවටයි ඉංග්‍රීසි සාහිත්යයටයි විතරයි. තව යලට මහට වගේ සිංහල වලටත් ගියා. ඒ ගියේ සිංහල කරපු ගුරුතුමා අපේ නෑදෑයෙක් වෙන නිසයි. ඒ ඔක්කොටමත් වඩා සිංහල සර් ඇදලා පැදලා කියන දෙපැත්ත කැපෙන (වල්) කතා අහන්නත් අපි හරිම කැමැත්තෙන් හිටියා. සර් අපිට හොඳ හොඳ කවි කියලා දුන්නේ. ඒවා මතක් වෙනකොටත් හිනා කාලා මැරෙනවා. මම තවමත් ඉතාම ගරුකරන කෙනත් තමයි සිංහල සර්.

ඕ ලෙවල් කාලේ මම නම් හොඳටම පිස්සු නැටුවා. ඒ වගේම තමන්ට යම් අරමුණක් තියෙන බවත් තේරුම් අරගෙන වැඩකලා. හැම තිස්සේම ඉගෙනීම ආසාවෙන් කලා. ගන්න්, විද්යාව වගේ විශයන් පොත් බදාගෙන පාඩම් කරනවාට වගේ ප්‍රායෝගිකව ඉගෙනගත්තා. ඒ වගේ දේවල් කරන්න මට මගේ ගුරුවරු පවා පුදුම සහයක් දුන්නේ.

අද ලංකාවේ තියෙන අධ්යාපන ක්‍රමය නම් අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනේ. මීට වඩා ඉගෙනීම තුලින් ප්‍රායෝගික, නූතන ලෝකයට ගැලපෙන පිරිසක් බිහිකරන්න අඩිතාලම දමන්න ඕනේ.


මම මේක ඉවර කරන්න කලින් ඕශෝ (Osho) නැමති දාර්ශනිකයා කියපු වදනක් සටහන් කරන්නම්. දෙමව්පියනි, ගුරුවරුනි, මොහොතක් මේ ගැන සිතන්න.

Very few people are accepted as creative: A few painters, a few poets -- one in a million. This is foolish! Every human being is a born creator. Watch children and you will see: all children are creative. By and by, we destroy their creativity. By and by, we force wrong beliefs on them. By and by, we distract them. By and by, we make them more and more economical and political and ambitious




Saturday, August 13, 2011

ඵලදායිතාවය ඉහල නංවා ගැනීමට උපක්රමයක්


ඵලදායිතාවය කියන එක අද ගොඩක් දෙනෙක් භාවිත කරන දෙයක්. ඒකේ තේරුම ගොඩක් දෙනෙක් දන්නේ නැති වුනාට එය අපේ ජීවිතයට ඉතා අවශ්යයි. ඵලදායිතාවය කියන එකේ තේරුම තමන්ට තිබෙන සීමිත සම්පත් වලින් විශාල වැඩකොටසක් කර ගන්න එක. සම්පත් යනුවෙන් හැඳින්වෙන්නේ කාලය, මුදල් ශ්‍රමය වැනි දේවල්. මේ ලිපියෙන් මම කාලය නිසිලෙස පාවිච්චි කරන එක තුලින් තමන්ගේ ඵලදායිතාවය වැඩිකරගන්න එක ගැන විස්තර කරනවා

කාලය ඉතාම වටිනා සම්පතක්. එය ඉතා වේගයෙන් අවසන් වෙනවා. සාමාන්යයෙන් මිනිසෙක්ගේ ආයුකාලය අවුරුදු 70 පමන වෙනවා. ඒ වගේ සීමිත කාලයක් තමයි කෙනෙක්ට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ. එම කාලයෙනුත් වැඩි කොටසක් මහලු වයස හා ලමා කාලයට ගෙවුනාම කෙනෙක්ට දියුනුව සාදා ගැනීමට තිබෙන කාලය ඉතා සීමිතයි

පුද්ගලයෙක් කාර්යාලයේ දී වුනත් ගෙදරකදී වුනත් යම් කිසි වැඩක් කරනවිට සත්ය වශයෙන්ම එම කාර්යයටම නියැලෙන්නේ මුලු කාලයෙන් සුලු ප්‍රතිශතයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ශිෂ්යයෙක් තමන්ගේ විභාගයට අවශ්ය යම් පොතක් කියවා එහි තියෙන වැදගත් කරුණු සටහන් කරගන්නවා කියා හිතන්න. කියවීමට හා කරුනු සටහන් කර ගැනීමට එම වැඩය සඳහා ගතවෙච්ච කාලයෙන් කොපමණ ප්‍රතිශතයක් වැයවුනාද කියා සොයන්න. නියත වශයෙන්ම තමන්ට යම් වැඩක යෙදෙන කාලය එයට  වෙන්කර තිබෙන කාලයට වඩා තරමක් අඩුයි. අපි කාලය ගතවීම ගැන සිතුවේ නැති වුනත් විශාල කාලයක් වෙනත් දේවල් වලට ගතවෙලා තියෙනවා. මේකට මූලික හේතුව වෙන්නේ කාලය ගතවීම හා තමන්ට තිබෙන කාලය පිලිබඳ හැඟීමක් කාර්යය කරන පුද්ගලයාගේ මනසේ නොමැතිවීමයි.

කෙනක් තමන්ට නියමිත වැඩ නියමාකරයෙන් ලයිස්තු ගතකලා කියා හිතන්න එම පුද්ගලයා ඒවාට ගතවන කල්වේලා පවා සටහන් කරගෙන සිටිනවා. නමුත් ඒ කාර්යය කරද්දී එයට ගතවන කාලය පිලිබඳ දැනීමක් එම පුද්ගලයාට ඇත්තේ නෑ. සරල විදිහට කිව්වොත් කාර්යයට නියමිතව තිබෙන කාල පරාසය පාලනය කරගැනීමට හැකියාවක් නෑ. තමන්ගේ වැඩ අපිළිවෙළට සකස් කරගෙන වැඩ සියල්ල අනාගන්නා කෙනෙක්ට වඩා ඉහත විස්තර කරපු පුද්ගලයා සංවිධනාතමකව සිටිනවා වුනත් ඔහුටත් වැඩ නිමකිරීම පිළිබඳ ගැටලු රාශියකට මුහුන දෙන්න වෙනවා.

මේ සියලු දේට මූලික හේතුව වෙන්නේ අපි මනසේ කාලය ගැන සිතාගෙන ඉන්නා ආකාරයයි. උදාහරණයකට පැයක් ගතවෙන යම් වැඩක නියැලෙන කොට එයින් විනාඩ් 40ක් ගතවුනාට පසු  අපි වැඩය කිරීමට ගතවූ විනාඩි 40 ගැන පමණක් මනසේ සටහනක් තබා ගන්න පුරුදු වෙලා සිටිනවා. එසේ නැතිව එම වැඩය නිමකිරීමට තව කොතරම් කාලයක් ඉතිරි වී තිබෙනවාද කියා අප කවදාවක් සිතනවද? විනාඩි 40ක් ගතවූ පසුව තවත් ඉතිරි වී ඇති විනාඩි 20 හා එහි අඩුවීම ගැන මනසේ සටහන් වෙනවාද ?

ඉතිරි වී ඇති කාලය ගැන අපි යම් යම් අවස්ථාවලදී සටහන් කරනවා. ඒ කෙසේ වෙතත් කාලය ගත්වීම හෝ අවසන් වීම ගැන සෑම විටම අපේ දැනීමක් නෑ. උදාහරණයකට තව පැය 24 කින් අවසන් කලයුතු වැඩක පැය ගනන අවසන් වීම පිලිබඳ අපි විමසිලිමත් ද ?. නැත මන්දයත් අපි කාලය ගනන් කරන්නේ ආරෝහණ ආකාරයෙන් මිස අවරෝහණ ආකාරයෙන් (countdown) නොවන නිසාය.

අවරෝහණ ගනනයෙන් (counting down)තමන්ට කාලය අවසන්වීම පිළිබඳ මනා හැඟීමක් දැනෙනවා. ඒ වගේම යම් කිසි වැඩක් අවසන් කිරීම පිලිබඳ යම් ආතතියක්ද හිත තුල ඇතිවෙනවා. සාමාන්යයෙක් මධ්යම ප්‍රමාණයට ආතතිය තමන්ගේ හිත තුල තිබෙන එක ධනාත්මකව කෙනෙක් තුල බලපානවා. ඒ වගේම. අනවශ්ය වැඩ නවත්වා තමන් කරන කාර්යය කෙරෙහි මනා සිහිය පවත්වා ගැනීමටත් මෙයින් ඉඩ සැලසෙනවා.

කාලයේ අවරෝහණ ගනන් කිරීම තමන්ගේ සාමන්ය වැඩකටයුතු වලට යොදාගන්න අවශ්ය වන්නේ ඉතා සුලු සම්පත් ප්‍රමාණයක්. මූලිකවම මේ සඳහා countdown clock එකක් අවශ්ය වෙනවා. යම් කාර්යයක් සඳහා අවශ්යවන කාලය නියමාකරයෙන් ඇස්තමෙන්තු කරගත්තාට පසු තමන් වැඩයෙ නියැලෙද්දී තමන්ට නියමිත කාලය අවසන් වීම පිලිබඳ එකෙන් දැනගැනීමට සැලැස්සෙන ආකාරයට ක්‍රියා කරන්න. තමන්ගේ කාර්යය ඉතාමත් විශාල වුනත් වැඩි කාලයක් ඇස්තමෙන්තු කලත් එකේ මිලි තත්පර වල පවා වෙනසක් ඇතිවන ලෙස සකස් කරන්න. සරලව පැහැදිළි කලොත් කාලය අවසන් වීම තමන්ට දැනෙන්නට සකස් කිරීම අවශ්ය වෙනවා..

මෙම ක්‍රමය ඉතා සරල දෙයක්. නමුත් මානසික වශෙයෙක් කෙනෙකුට විශාල ධනාත්මක බලපෑමක් මේකෙන් ඇතිවෙන්න පුලුවන්. අප දන්නා ආකාරයට ක්‍රීඩාවල පමණක් නොව ඉතා විශල වපසරියට රැකියාවලට හා කාර්යයන් නිමකිරීමට මේ සරල ක්‍රමය යොදගන්න පුලුවන්. රියදුරෙකුට තමන්ගේ ගමනාන්තයට ලඟාවීමට නියමිත කාලයේ වෙනස්වීම පිලිබඳ මේ ක්‍රමයෙක් දැනගන්න පුලුවන්. එවිට නියමිත කාලයට ගමනාන්තයට ලඟාවීමට එය විශාල උදව්වක්. ඉදිකිරීම් ක්ශේත්‍රයට, අධ්යාපනයට ආදී අංශ රැසකටම මේ ක්‍රමය යොදාගන්න පුලුවන්.

ඉතාම සරල අදහසකට ලොකු වෙනසක් කරන්න පුලුවන්. මේ ක්‍රමය පාවිච්චි කරලා කාලය නියමාකාරයෙන් යොදාගෙන ඵලදායිතාවය වැඩිකරගත් අය ගොඩක් දෙනක් ඉන්නවා. ඔබත් මේ අවරෝහණ කාල ගනනය (counting down) යොදාගෙන බලන්න. සමහර විට ඔබගේ ජීවිතය වෙනස් කිරීමට මෙය හේතුවෙයි.