Monday, February 24, 2014

මූනුපොත තහනම් කරමුද ?

(Photo courtesy : www.rahuldesai.com)

පෙර නොවූ විරූ ලෙස Facebook එසේත් නොමැති නම් මූනුපොත යන අනවර්ථ නාමයෙන් අප හඳුන්වන ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවිය ලංකාවේ කවුරුත් පාහේ කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ. එම වෙබ් අඩවිය තහනම් කරන්නට යන බවට කට කතා පැතිරෙන මේ මොහොතේ අපත් ඒ ගැන අවධානය යොමු කීරීම වටී.

Facebook යනු ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වූ වෙබ් අඩවියකි. අන්තර්ජාලයේ මිතුරන් සමග සම්බන්ධ වීමට, ඡායාරූප හා අනෙකුත් එදිනෙදා තොරතුරු බෙදා හදා ගැනීමට හා මිතුරන් (හෝ ආදරවන්තයින් සොයාගැනීමට.) හොඳ තෝතැන්නකි මෙය. අන්තර්ජාල සෙවුම් විමසා බැලීමේදී මෙය දෙවැනියට වැඩියෙන්ම පිරික්සූ බෙව් අඩවියයි. එය දෙවැනි වන්නේ සෙවුම් යන්ත්‍රයක් වෙන Google වෙබ් අඩවියට පමණි. 

ලංකාවේත් ඉතා කෙටි කලකින් මෙය ජනප්‍රිය විය විශේෂයෙන්ම පාසල් යන වයසේ අය අතර හා . එයට හේතු කිහිපයක් ඇත. පාසල් දරුවන්ගේ ඉහල පරිගණක සාක්ෂරතාවය, පරිගණක හා ජංගම දුරකථන ලබාගැනීමේ පහසුව, හතු පිපෙන්නා සේ හන්දියක් හන්දියක් ගානේ බිහිවෙන සයිබර් කැෆේ ඒවායින් කීපයකි. මෙරට තරුණ තරුණියන්ට පෙම්වතුන් සොයාගැනීමට, පෙම් බස් දෙඩීමට මෙය කදිම තෝතැන්නකි.

ලංකාවේ Facebook ට එරෙහිව පළමු වෙඩිමුරය ඇරඹුනේ පාසල් වලිනි. විශේෂයෙන්ම බාලිකා පාසල් වල විදුහල්පතිවරියන් හා ගුරුවරුන් තරුණ පාසල් දැරියන්ට මේ වෙබ් අඩවියේ සාමාජිකත්වය ගැනීම තහනම් කළෝය. සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් සම්පූර්ණයෙන්ම තහනම් කල විට එය කඩකිරීමට නිසඟයෙන්ම පෙළඹෙන පිරිස වැඩිවන නිසාම කොතරම් නීති දැම්මත් Facebook යාම නැවැත්වීමට නොහැකිවිය. 

මීට කලකට පෙර ජනාධිපතිවරයා ම Facebook අඩවිය තහනම් කිරීමට තමාට බලය තිබෙන බවට කල ප්‍රකාශය මහත් ආන්දෝලනයකට ලක්විය. බොහෝ දෙනෙකු සිතුවේ සත්‍ය වශයෙන්ම Facebook තහනම් කිරීමට ජනාධිපතිවරයා සැරසෙන්නේ යැයි කියාය. 

Facebook තහනම් නැවැත කරළියට ආවේ, ඉතා මෑතකදී ය. ඒ Facebook අඩවිය හා සම්බන්ධ සංසිද්ධි වලින් තරුණ දැරියන් තිදෙනෙකු සියදිවි හානි කරගැනීමත් සමගය. මුල්ම දැරිය සියදිවි නසාගෙන තිබෙන්නේ ඇය Facebook වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබාගෙන තිබෙන බවට පාසලේ විදුහල්පතිනිය බැනවැදීම නිසා ඇතිවූ සිත් තැවුල නිසාය. දෙවැනි දැරිය Facebook අඩවියෙන් තම පෙම්වතා යැයි කියාගන්නා පුද්ගලයා සමග තම නියම අනන්‍යතාවය නොපෙන්වා සම්බන්ධයක් ඇතිකර ගෙන පසුව ඇයගේ නියම අනන්‍යතාවය සියල්ලන්ටම හෙලි වීම නිසා ඇතිවූ ලැජ්ජාව නිසාය. තෙවැනි දැරිය Facebook අඩවිය පාවිච්චි කිරීමට ඇයගේ මව ඉඩ නොදීම නිසා බවත් සමග ගැටුමක් ඇතිකර ගෙන සියදිවි හානි කරගෙන තිබේ. 

මේ කාරණා තුනම සලකා බැලීමේදී පෙනීයන්නේ Facebook වෙබ්  අඩවියෙන් පෙම්වතුන් ආශ්‍රය කිරීම, එය වැඩිහිටියන්ට අසුවීම, ලැජ්ජාව හා සිත් තැවුල නිසාම දැරියන් සියදිවි හානි කරගැනීම ය. මේ දැරියන් තිදෙනාම වයසින් හා අත්දැකීම් වලින් නොමේරූ අය බව බැලූ බැල්මටම පෙනීයන කරුණකි. 

Facebook නිසාම නොව ජංගම දුරකථන නිසා මීට පෙර බාලිකා පාසලක දැරියක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් මහා ආන්දෝලනයකට පත්විය. ආදී කාලයේ පෙම් ලියුම් ගෙදරට හසුවීම නිසාද ගෙල වැලලා ගෙන මියගිය තරුණියන් සිටින්නට ඇති. එම නිසා සියදිවි හානි කර ගැනීමේ සිදිධියට ප්‍රධාන චූදිතයා ලෙස Facebook නම් කිරීම කොතරම් යුක්ති සහගත ද යන්න ප්‍රශ්න කල යුතුය. එනමුත් තමන්ගේ වයසට නොගැලපෙන සම්බන්ධතා ඇති කර ගැනීමට ෆේස්බුක් දක්වන දායකත්වය නොතකා හැරිය නොහැක. 

අද Facebook වෙබ් අඩවිය මිතුරන් ඇතිකරගැනීමේ තැනක් ලෙසම නොව කලා නිර්මාණ බෙදා හදා ගැනීමේ මාධ්‍යයක් ලෙස ද භාවිතා වේ. Facebook තුල එයටම ආවේණික වූ නිර්මාණ සංස්කෘතියක් ද බිහි වී තිබේ. පෙර නොවූ විරූ ලෙස තමන්ගේ කලා නිර්මාණ; කවි, ගීත, ලේඛණ ආදිය පවා අන් අය සමග බෙදා හදා ගැනීමට හැකියාව ලැබී තිබේ. එමෙන්ම වෙළඳ ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස Facebook ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ පවා බොහෝ නූතන වෙලඳ ප්‍රචාරණ ආයතන හා සමාගම් Facebook අඩවියේ දායකත්වය තම ප්‍රචාරණයට යොදාගනී. Facebook පමණක්ම භාවිතා කරගෙන වෙළදාම සිදුකරන සමාගම් ද මෙරට ව්‍යාප්ත වෙමින් පවතී. එම නිසා Facebook තහනම් කිරීමෙන් ඉහත කී සියල්ලන්ටම මරු පහරක් එල්ලවෙනු නියතය. 

ඕනෑම දෙයකට විසඳුම ලෙස එය තහනම් කිරීම උචික ක්‍රියාවලියක් නොවේ. අසභ්‍ය වෙබ් අඩවි තහනක් කලත් ඒවාට ඇතුලුවෙන පිරිසේ වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නොලැබේ. Facebook තහනක් කලත් එයට් ඇතුලුවෙන ක්‍රම තිබේ. කුඩා දරුවෙකුට වුවත් අවහිර කිරීම වලින් රිංගා පෙර සේම ඒ අඩවියට් ඇතුලු වීමට හැක. එමෙන්ම ආණ්ඩුව තමන්ට එල්ලවෙන ජනතා පීඩනය හා විවේචන නවත්වා දැමීමේ තැතක් ලෙස Facebook තහනම් කරන්නේ යැයි චෝදනා කිරීමට සිවිල් සංවිධාන අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇත. දැනටමත් විපක්ෂය සිදුකරගෙන යන්නේ එයයි. 

මේ තත්වයට විසඳුමක් ලෙස කල යුත්තේ Facebook තහනම් කිරීම නොවේ. මුලින්ම කල යුත්තේ පරිගණක සම්බන්ධයෙන් මූලික දැනුමක් හෝ දෙමාපියන්ට ලබා දීමයි. දෙමාපියන් දැනුවත් නම් දරුවන් ට තමන් කැමති ලෙස දෙමාපියන් ට හොරෙන් Facebook වෙත රිංගීමට අපහසු වනු ඇත. එමෙන්ම ජංගම දුරකථනය තුලින් Facebook වෙබ් අඩවියට ඇතුලුවීමට හැකි නිසා දරුවන්ගේ ජංගම දුරකථනය භාවිතය භාවිත කිරීමේ නිදහස සීමා කිරීමට දෙමාපියන් කල යුතුය. 

මේ සියල්ලටම වඩා තමන්ගේ දියණියන්ට ඉගෙන ගන්නා අවධියේ දී ප්‍රේම සම්බන්ධතා ඇති කර නොගන්නා ලෙස දැඩිව අවවාද කිරීම ද එයින් ඇතිවන අහිතකර ප්‍රතිඵල ගැන දැනුවත් කීරීම ඉතාම වැදගත් ය. එමෙන් ම දෙමාපියන් හෝ ගුරුවරුන් ගෙන් බැනුම් ඇසූ පළියට සියදිවි නසා ගැනීමට පෙළඹෙන දුර්වල මානසික තත්වය නැති කිරීමට දෙමාපියන් හා ගුරුවරු කටයුතු කල යුතුය. අද බොහෝ පාසල් දරුවන් මානසික අතින් ඉතාම දුර්වල ය. දඬුවමකට ලක් වුවත්, ශෝකජනක සිදුවීමක් වුවත් ජීවිතයෙන් පලා යාමට ඔවුන් කටයුතු කරති. සියදිවි නසා ගැනීම එකම විසඳුම ලෙස සිතන අනාගත පරපුරක් සිටීම රටකට කිසිසේත්ම යහපත් නැත. 

අවසානයේ කිව යුත්තේ පාසල් දැරියන් සියදිවි නසා ගැනීම නැවැත්වීමට Facebook තහනම් කිරීම 'පය බරවායට පිටි කය බෙහෙත් බැඳීමක්' නැත්නම් 'මුහුනත් සමග තරහා වී නහය කපා ගැනීමක්' වන බවය. 


Monday, January 13, 2014

විවාහය හා පවුල



අපට විවාහයක් අවශ්‍ය ? බොහෝ දෙනෙකුගේ උත්තරය "ඔව්" වෙන්න ඇති. මිනිසා කියන්නේ සාමාජීය සත්වයෙක්. පවුල කියන සමාජයේ කුඩාම ඒකකය තනා ගන්න ත් තමන් ගේ වර්ගයා බෝකරගන්න ත් අවශ්‍ය පදනම වැටෙන්නේ විවාහයෙන් කියන එක නිවැරදියි. ගැහැනු සත්වයෙක් පිරිමි සත්වයෙක් සමග එකට ජීවත් වෙලා අනාගත පරපුරක් බිහිකරන එක මිනිසාට විතරක් සීමා වෙච්ච දෙයක් නොවුන ත් සංස්කෘතික වශයෙන් දියුණු වෙච්ච මිනිස් සමාජය තුල පවුලට ලොකු වැදගත් කමක් තිබෙනවා. විවාහය කියන බැඳීමත් එලෙසම වැදගත් වෙනවා. ඒ වගේම කාලෙන් කාලෙට සමාජයෙන් සමාජය ට විවාහය ගැන තියෙන ආකල්ප පවා වෙනසක ට ලක් වෙනවා.

ඇයි අපට විවාහයක් අවශ්‍ය ? මිනිස් පරපුර ඉදිරිය ට ගෙන යාමට ද ? එහෙමත් නැත්නම් මිනිසා තුල සැඟවිලා තියෙන අසම්මත යැයි හංවඩු ගහපු ලිංගික ආශා නීතිය ට හා සදාචාරය ට අනුකූලව මුදුන් පත් කර ගැනීම ට ද? එසේත් නැත්නම් තවත් කෙනෙකුගේ රැකවරණයක්, ආරක්ශාවක් ලබා ගන්න ද ? මගේ අදහස නම් මේ සියලු දේම අප විවාහයකින් අපේක්ෂා කරනවා. මිනිසා ගේ මූලික අවශ්‍යතා වෙච්ච ආහාර හා ජලය තරම් නොවුනත් ඒ ආසන්නයටම එන ලිංගික අවශ්‍යතා සන්තර්පනය කරගන්න අප විවාහ වෙනවා. ලිංගික අවශ්‍යතා වලින් පරිබාහිර ව ආදරය, රැකවරණය ලබාගන්නත් විවාහය මාර්ගයක් කරගන්නවා. එහි අතුරු ඵලයක් විදිහට සමාජය ට අලුත් පරපුරක් බිහි කරනවා. සත්ව ලෝකයේ විවාහය තරම් දැඩි බැඳීමක් නැති එක විශේෂයෙන් සලකා බලන්න ඕන කාරණයක්. තම ජීවිත කාලය පුරා ම එක් සහකාරියක් හෝ සහකාරුවෙක් සමග ඉන්නේ ඉතාම අල්ප සත්ව විශේෂ සංඛ්‍යාවක්. අනිත් සියලුම සතුන් ලිංගික කාර්යය සඳහා පමණක් සහකරුවන් සහකාරියන් සමග එකතු වී. පැටවුන් ලැබුනු පසු වෙන් වෙනවා. ඊලඟ ප්‍රජනන කාලයේ දී ඔවුන් වෙනත් සතුන් කරා යාමේ වැඩි ඉඩක් තිබෙනවා.

මිනිස් සමාජයේ තත්වය මීට වඩා වෙනස්. විවාහය හා පවුල යනු ජීවිත කාලයටම තබාගන්න බැඳීමක් බව මිනිසා විශ්වාස කරනවා. ප්‍රායෝගික ලෝකයේ පවුල් කඩා ඉහිරීම්, දික්කසාද හා විවාහයෙන් පිට සම්බන්ධතා ආදිය කොතරම් දැකීම ට හැකි වුවත් විවාහය යන සම්බන්ධතාවේ අරමුණ මිය යන තුරු ම බැඳී සිටීම බව පැහැදිළි යි. මිනිස් සමාජය ට බිහිවෙන ළදරුවා සාමාන්‍යයෙන් අනෙක් සතුන් ට වඩා  සිටින්නේ ඉතාම දුර්වල අවධියක. අවුරුදු ගණනාවක් ම ළදරුවා රැක බලා ගැනීම ට දෙමාපියන් ට සිදුවෙනවා. මව ගේ හා පියා ගේ රැකවරණය අවශ්‍ය වෙන්නේ මේ අවස්ථාවේ දී. ඒ වගේම දරුවා ගේ පෞරුෂය වර්ධනය ට මව ගේ වගේම පියා ගේ පෞරුෂ උදව් වෙනවා. කුඩා කාලයේ දී රැකවරණය නොලැබීම නිසා පෞරුෂ ගැටළු තිබෙන බොහෝ දරුවන් අප ට දැකගන්න ට පුලුවන්.

සහකරුවෙක්, සහකාරියක් සොයාගැනීම ට උනන්දු වීම මිනිස ට පමණක් විශේෂිත දෙයක් නොවේ. සත්ව ලෝකයේ සෑම සතෙකු ම ප්‍රජනනය සඳහා සහකාරියන් සොයා ගැනීම ට මහත් වෙහෙසක් දරණවා. සාමාන්‍යයෙන් සහකාරියන් සොයා ගැනීම ට උපක්‍රම පාවිච්චි කරන්නේ පිරිමි සතුන්. සත්ව ලෝකයේ පිරිමි සතුන් සාමාන්‍යයෙන් ගැහැණු සතුන් ට වඩා අලංකාර යි. තම පෙනුම කැපී පෙනෙන අන්දමෙන් හැසිරෙන්න ප්‍රජනන කාලයේ දී පිරිමි සතුන් උත්සාහ දරනවා. මිනිස් වර්ගයා කෙරෙහිත් මේ සංසිද්ධිය බලපානවා. ගැහැණු පිරිමි ආකර්ෂණය කරගන්නත් පිරිමි ගැහැණුන්ව ආකර්ෂණය කරගන්නත් නිරන්තර තරඟයක නියැළෙනවා. 
අනිත් සතුන්ගේ මෙන් ප්‍රජනනය ට නියමිත කාලයක් නොමැති නිසාම නිරන්තරයෙන්ම විරුද්ධ ලිංගිකයින්ට ප්‍රිය වන විදිහට මිනිසුන් හැසිරෙනවා. ඇඳුම් ආයිත්තම් වල සිට සමාජ සම්බන්ධතා හා රැකියාව/මුදල් ආදී එකී මෙකී නොකී සෑම දෙයක් ම බැඳිලා තිබෙන්නේ ලිංගිකත්වය මත.
කෙසේ උනත් මිනිසුන් ගේ ලිංගික ක්‍රියා විවාහය කියන නීතිමය බැම්මෙන් සීමා කරලා තිබෙනවා කියන එක නිවැරදි යි. ලිංගික සහකරුවන් ගණන සීමා කරලා තිබෙනවා වගේ ම විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතා සමාජය විසින් පිලිකුළ් කරනවා. අනාචාරය බොහෝ රටවල නීති පද්ධතිය අනුව වරදක් නොවුනත් එය දික්කසාදයක් ලබා ගැනීම ට සාධකයක් ද වෙනවා. මේ සියල්ලක් මගින් ම ලිංගික සම්බන්ධතා වල ට පාලනයක් ලබා දෙන ගමන් ම විවාහය ට, පවුල ට යම් නීතිමය ආරක්ෂාවක් ද සැපයෙනවා. එය ඉතාම සාධනීය ලක්ෂණයක්. 

එක් සහකරුවෙකු ගෙන් පැටවුන් ලැබූ පසු තවත් සහකරුවෙක් සොයා යන ආකාරයේ ප්‍රාථමික සත්ව හැසිරීම් වලින් ඔබ්බට ගිහින් විවාහය ට, පවුල ට හා එයින් ඇතිවෙන අනාගත පරම්පරාව ට වගකියන ගැහැණුන් හා පිරිමින් ඇති වීම ට ඉහත කී නීතිමය බලපෑම් ඉවහල් වෙනවා යැයි කීම වරදක් නොවේ. මිනිස් සමාජයේ පවුලක් ඇති කර ගැනීම ට විවාහය ක් කර ගැනීමට ක්‍රම දෙකක් තිබෙනවා . පළමු ක්‍රමය නම් පිරිමියෙක් ගැහැණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන විවාහ වෙන එක . දෙවැනි ක්‍රමය නම් දෙමාපියන් හා වැඩිහිටියන් එකතුව යෝජනාවකින් දෙපාර්ශවය විවාහ කර දෙන එක. යොජිත විවාහය යි ප්‍රේම විවාහය යි අතරින් මොකද්ද වඩා සාර්ථක කියලා ලොකු විවාදයක් තිබෙනවා. කෙසේ වුනත් විවාහයක සාර්ථකත්වය රඳා පැවතෙන්නේ විවාහක දෙදෙනා මත නිසා දෙදෙනා අවබෝධයෙන් කටයුතු කලොත් විවාහය කල් පවතීවි.

කොහොම උනත් ප්‍රේම විවාහයකට වඩා යෝජිත විවාහයක දී විවාහක යුවල ගේ අදහස් නොගැලපුනත් සමාජ තත්වය, ආර්ථික මට්ටම වගේ ම අනෙක් පවුල් සාධක සමාන නිසා නෑ සිය හිතමිතුරන් ගේ බලපෑම නිසා දෙදෙනා අතර ගැටලු පැවතිය ත් විවාහය හා පවුල් සංස්ථාව නොනැසී පවතී වි. විවාහයක ට ආදරය හා අවබෝධය වගේ ම අනෙකුත් සාධකත් අවශ්‍ය වෙනවා. සමහර අවස්ථා වල දී ආදරය නොමැති වුනත් ආර්ථික තත්වය යහපත් නම්, පවුල් පසුබිම සමාන නම් උගත් කම හා රැකියාව ඉහල නම් විවාහය පැවතීමේ ලොකු ඉඩක් තිබෙනවා. ඒ වාගේ ම ආදරය පමණක් තිබුනත් අනෙක් සාධක නොතිබුනොත් කාලයාගේ ඇවෑමෙන් ආදරය අඩු වෙලා ගිහින් විවාහය දෙදරා ගන්නත් පුලුවන්.

පුද්ගල නිදහස වර්ධනය වෙන එකත් විවාහය කෙරෙහි අහිතකර විදිහට බලපානවා. ඉහල පුදගල නිදහසක් තිබෙන බටහිර රටවල් වල දික්කසාද වීම් ඉහල අගයක් ගන්නවා. විවාහයෙන් දරුවන් ලැබීමද ඒ රටවල් වල ඉතාම අඩුයි. විශේෂයෙන්ම ජපානය වැනි ආසියාතික වුවත් බටහිර සංස්කෘතිය ට අනුව හැඩ ගැසුනු රටක විවාහ වන පිරිස අඩුවී උපත් අනුපාතය පහල ගිහින්. ඒක රටකට හොඳ ලක්ෂණයක් නෙවෙයි. යෝජිත විවාහ වැඩි ඉන්දියාව, පකිස්ථානය හා මැදපෙරදිග රටවල් වල දික්කසාද අනුපාතය ඉතාම පහල අගයක් ගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පවා දික්කසාද වන ප්‍රමාණයේ වැඩිවීම යෝජිත විවාහ වලින් යුගදිවියට පත් වන ප්‍රමාණයේ පහල යාම ත් එක්ක සංසන්ධනය කරන්න පුලුවන්.

කොහොම උනත් විවාහයක් අවශ්‍ය ද? එය ප්‍රේම විවාහයක් / යෝජිත එකක්  ද? දරුවන් අවශ්‍ය ද? යනාදී කාරණා පුද්ගල බද්ධ තීරණ. අපි හැම දෙනාට ම විවිධ මත තිබෙන්න පුලුවන්. කාලයත් එක්ක විවාහය හා පවුල කියන සංකල්පය වෙනස් වෙලා මිනිස්සු විවාහය අවශ්‍ය නෑ කියන තැන ට එන්නත් පුලුවන්. ලිංගික සතුට සඳහා පමණක් කාන්තාවන් ඇසුරු කර පවුලක් නොවී තම තමන් ගේ පෞද්ගලික ජීවිත වල තනිකඩ ව ඉන්න අනාගත මිනිසුන් තීරණය කල හොත් පුදුම වන්න ට එපා.  කෙසේ වෙතත් මිනිස් පරපුර ඉදිරියට ගෙන යාම ට ප්‍රජනනය යන සංකල්පයේ අවශ්‍යතාවය නිසාම කෙසේ හෝ ගැහැණුන් හා පිරිමින් සම්බන්ධතා පැවැත්වීම ඉදිරියට ත් සිදුවේවි. කවදා හෝ මානව ක්ලෝනකරණය දියුණු වී මිනිස් දරුවන් පර්යේෂණාගාර තුල හෝ කම්හල් තුල නිපදවන යුගය ට අප පැමිනිය හොත් ලිංගික සම්බන්ධතා පැවැත්වීම ට වත් ගැහැණුන් හා පිරිමින් එක් නොවේවි. නමුත් බය වෙන්න ට එපා; අපේ ජීවිත කාලය තුල විවාහය හා පවුල් සංස්ථාව ගැන සමාජ මතය වෙනස් වුවත් එහි මූලික හරය ට අභියෝග කිරීමට කිසිවෙකුට නොහැකි වේවි.




Thursday, December 19, 2013

ඔයා හුඟක් වෙනස් වෙලා





"ඔයා හුඟක් වෙනස් වෙලා " මේක අපි හැම කෙනෙක්ම වගේ අපේ ජීවිත කාලය තුල එක් වරක් හෝ තවකෙකුට පවසන දෙයක්. සමහර විට දුකකින්, කෝපයකින් නැත්තන් ලොකු කළකිරීමකින් මේ වගේ දෙයක් කියන්න ඇති. ඒ තමන්ගේ සහකරුවාට, සහකාරියට, මිතුරෙකුට නැත්නම් තමන්ගේ දරුවාට වෙන්න ඇති. කෙනෙකුට බැඳිලා ඒ කෙනා තමන් කෙරෙහි දක්වන ආකල්පයේ වෙනසීම අපි බොහෝ දෙනෙකුට දරාගන්න අමාරු දෙයක්. විශේෂයෙන්ම ඒ පුද්ගලයා තමන්ට සමීපත්වය වැඩි නම් දුකත් වැඩියි.

ලෝකයේ තියෙන දුක් වලින් අප්‍රිය සම්ප්‍රයෝගයත්, ප්‍රිය විප්‍රයෝගයත් අනිත් අය නිසා අපට විඳින්නට වෙන දුක්. ඒ වගේම ප්‍රියයන් ගේ වෙනස් සෘණාත්මක වෙනස්වීම පවා දුකක්. මිනිසා සමාජ සත්වයෙක්. නිතරම හුදෙකලා නොවී තමන්ගේ වර්ගයා සමග ජීවත් වෙනකොට අනෙකුත් අය අපේ ජීවිතයට ලොකු බලපෑමක් කරනවා. ලෝකයේ අනෙකුත් කිසිම සතෙකුට වඩා මිනිසා අනෙකුත් මිනිස් වර්ගයා මත යැපෙනවා.  ඒක නිසාම ළදරු කාලයේ මවගෙන්, ළමා කාලයේ මව පියා හා සහෝදර සහෝදරියන්ගෙන් ඉන් පසු මිතුරු මිතුරියන්ගෙන් වගේම තමන් සහකරු/සහකාරිය කරගන්න ඉන්න කෙනාගෙන් අපි ආදරය, සෙනෙහස හා රැකවරණය බලාපොරොත්තු වෙනවා. ඊට හිලව්වක් විදිහට අපි පෙරලා සෙනෙහෙවන්ත වෙනවා.

වෙනස්වීම කියන දේ ලෝකයේ පොදු ධර්මතාවයක්. "වෙනස්වීම" හැරෙන්නට අනිත් සියලුම දේවල් වෙනස් වෙනවා. මිනිසාටත්, මිනිස් සිතටත් ඒකෙන් ගැලවීමේ මගක් නෑ. අපේ සිත වේගයෙන් වෙනස් වෙනකොට අපි වටේ ඉන්න අය ගැන අපේ ආකල්ප ධනාත්මකව හරි සෘණාත්මකව හරි වෙනස් වෙන්න පුලුවන්. එක එක කාලයට අපේ ජීවිතයට එන පුදගලයන් නිසාත් අපේ ආකල්ප වෙනස් වෙනවා.



අපි අනෙකුත් අය ඇසුරු කරනකොට එක එක කාලෙට සමීපවම ඇසුරු කරන අය විවිධයි. පාසලේදී, උසස් අධ්‍යාපන ආයතනයේදී, රැකියාවේදී අපට නිතර මුනගැහෙන, අපි නිතරම ගැටෙන අයත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. උදාහරණයකට අපි පාසලේ හම්බවෙන යාලු මිත්‍රාදීන් විශ්ව විද්‍යාලයේදී හම්බ නොවෙනවා ඒ වගේම රැකියාවේදි හම්බවෙන්නේ ඊටත් වඩා වෙනස් පිරිසක්. අපි අපේ සමාගමයට පිරිස හදාගන්නේ විශ්වාසය මත. ජීවිතයට අලුතින් සමීප වෙච්ච කෙනෙක්ගේ එකතුව තහවුරු වෙන්නේ විශ්වාසය නිසාමයි. විශ්වාසවන්ත කම නිසාම තමන්ගේ පෞද්ගලික ජීවිතය පවා ඒ අයත් එක්ක බෙදාගන්න, ඒ අය තමන්ගේ ජීවිතේම කොටසක් කරගන්න අපි පුරුදු වෙලා. මේ අචල විශ්වාසවන්ත කමටත් "වෙනස්වීමේ" ධර්මතාවයෙන් ගැලවෙන්න නම් බැහැ. විශ්වාසය උනත් කාලයත් එක්ක පලුඳු වෙන්න පුලුවන්.

"කලෙකදි රස කලෙකදි වස වෙනවා" වාගේම තමන් වටේ ඉන්න අය 
අපෙන් ඈත් වෙනවා වාගේම අපිත් අපේ කිට්ටුවන්තයන්ගෙන් ඈත් වෙන්න පුලුවන්. අපෙන් ඈත් වෙන අය වෙනුවට වෙනම පිරිසක් අපේ ජීවිතයට එකතු වෙනවා. අපේ ජීවිතේ ඔහේ ගලා යනවා. ඒ ජීවිතේ දිහා ආයේ හැරිලා බලපුවහම අපි කීදෙනෙකුගේ හිත් පාරලා ඇද්ද ? කීදෙනෙක් අපි හින්දා හිතින් දුක් විඳින්න ඇද්ද ? කිදෙනෙක් අපි බලෙන්ම අපේ ජීවිතෙන් ඈත් කරලා ඇද්ද ?. පිරිසක් එකතු කරගන්න එක ලේසියි. නමුත් ඒ පිරිස අපි ලඟ තියාගන්න එක තමයි අමාරු. ලෝකේ එන්න එන්නම විශ්වාසවන්තයෝ අඩු වෙනවා, මිනිස්සු ආත්මාර්ථකාමී වෙනවා. ඒක නිසා හැම කෙනෙක්වම අතේ දුරින් ආශ්‍රය කරන එක හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්. 


මානව සම්බන්ධතා පිලිබඳ "බස්" න්‍යාය.



(Photo courtesy : Tahir Pirbhay)


"ලෝකය බස් එකක් වැනිය. අපි එහි මගීන් වෙමු" . හිතන්න අපි බස් 

රථයක යන මගීන් පිරිසක් කියලා. ජීවිතේ අපි පටන් ගන්නේ බස් රථයට නැගලා. අපිත් එක්ක බස් රථයේ ලඟන්ම ඉන්න මගීන් පිරිස අපේ සමීපතමයන් වගේ. එක එක කාලෙට ඒ එක එක පුද්ගලයින් අපේ ලඟ වාඩි වෙනවා. කල් යනකොට ඒ අය අපෙන් ඈත් වෙලා දුර ආසන වලට යනවා. එහෙම ඈත් වෙලා යන්න ලං වෙනකොට තමයි අපිට හිතෙන්නේ "දැන් එයා වෙනස් වෙලා" කියලා. ඒ වගේම් සමහර අය අපේ ජීවිතෙන් සදාකාලිකවම ඈත් වෙලා යන්නේ බස් රථයෙන් කෙනෙක් බහිනවා වගේ. අවසානේ කවදා හරි අපේ ජීවිතේ අවසානයේ අපිටත් බස් රථයෙන් බැහැලා යන්නට වෙනවා වෙනවා මයි. 

අපේ ජීවිතය හරිම කෙටියි. ඒ කෙටි ජීවිත කාලයේදී විශ්වාසවන්ත මිතුරෙක්, මිතුරියක්, සහකාරයෙක්, සහකාරියක් වීම තමයි වැදගත්. තමන්ට එන පීඩා තමන් වටේ ඉන්නා අයගේ පිටින් යවන එක තමයි නරකම දේ. ඒ වගේම තමයි තමන්ගේ හිතේ තියෙන සංහිඳියාව්, සතුට, යහපත් කම බාහිර අය නිසාම වෙනස් කරගන්න එකත් හොඳ නැහැ. තමන්ගේ වටේ ආරක්ෂක පලිහක් හදාගන්න උත්සාහ කරගන්න දුෂ්ට අයගෙන් වෙන උවඳුරු හමුවේ නොසැලී ඉන්න, නොවෙනස් ව ඉන්න. 
එතකොට ඔබත් ලස්සන වෙයි, ලෝකයත් මීට වඩා යහපත් තැනක් වෙයි. 




Friday, November 15, 2013

CHOGM - විමසා බැලීම



අද  පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඇරැඹිණි. 1976 දී පැවැත්වූ නොබැඳි රාජ්‍ය නායකයන්ගේ සමුළුවට පසුව මෙරට පැවැත්වෙන විශාලම ජාත්‍යන්තර සමුළුව මෙය වේ. මේ සමුළුවට රටක් වශයෙන් විශාල කැපකිරීම් කරමින්, කොළඹුන් තමන්ගේ ජීවන රටාවන් පවා වෙනස් කරමින් ක්‍රියා කල නිසාම මෙයින් ලැබෙන ප්‍රයෝජන හා මෙයින් පසු ලංකාව ගැන විමසීම වටී.

පොදුරාජ්‍ය මණ්ඩලය යනු අතීත බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල් 53 කින් සැදි ජාත්‍යන්තර සංවධානයකි. එය ලෝක ජනගහනයෙන් 1/4 ක් නියෝජනය කරයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය දැන් අවසන් වී බොහෝ කල් නිසාම හා ලෝක බලවතෙක් ලෙස බ්‍රිතාන්‍යය සතු තත්වය හීන වී ඇති නිසා පොදු රාජ්‍ය මණ්ඩලය යනු එතරම් බලවත් සංවිධානයක් හෝ වැදගත් සංවිධානයක් නොවේ. බ්‍රිතාන්‍යයට තමන් තවදුරටත් යටත් විජිත වල නායකයා කීමට හා අන් රටවල් වලට තමන් "හිරු නොබසින අධිරාජ්‍යයේ" කොටස්කරුවන් බව කියාපෑමට හැරෙන්නට මේ සංවිධානයෙන් ප්‍රයෝජනයක් නැත. පොදුරාජ්‍ය මණ්ඩලය යනු මෙකල "නොබැඳි ජාතීන්ගේ සංවිධානය" මෙන් නමට පමණක් තිබෙන්නා වූ සංවිධානයක් මිස ජාත්‍යන්තර වශයෙන් කිසිඳු වැදගත්කමක් හිමි සංවිධානයක් නොවන බවත් මෙහිලා කිව යුතුය.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ශ්‍රී ලංකාව මෙතරම් උනන්දුවක් දැක්වීමට හේතු කාරණා රැසක් ඇත. යුද්ධය අවසාන වීමත් සමගම සාර්තක රාජ්‍යයක් ලෙස ඉදිරියට එන බව ලෝකයට කීමට අවස්ථාවක් අවශ්‍ය වීම ප්‍රධාන කරුණයි. යුද්ධයෙන් පසුව භෞතික සංවර්ධනය අතින් මෙරට ගව් ගණනක් ඉදිරියට ආ බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. එමෙන්ම යුද්ධයේ භෞතික බලපෑම් හා දේපල/යටිතල පහසුකම් අහිමිවීමේ පාඩුව ඉතා කෙටි කලකින් වසා ගැනීමට ලංකාව සමත්වී ඇත. අවතැන් වූවත් බහුතරයක් පදිංචි කරමින් ලබූ ජයග්‍රහනය ද අමතක කල නොහැක.

මෙරට අවස්ථා ගනනාවක ම මානව හිමිකම් කඩවීම ගැන පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ගැටලු රාශියකට මුහුන දුන් රටකි. මීට පෙර දෙවතාවක් ම මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සම්මත කර තිබුණි. අපේ අසල්වාසී රටවල් පවා ඒ අවස්ථා වලදී අපට පිටුපෑවෝය. ලංකාවට මේ අවස්ථාවේදී ජාත්‍යන්තර පිළිගැනීම අත්‍යාවශ්‍ය නිසාම මෙවැනි සමුළුවක් පැවැත්වූවා කියා සිතිය හැක. ජාත්‍යන්තර ආයෝජන හා සංචාරක ව්‍යාපාරය අනෙක් අරමුණු ය.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වෙන දවස් කීපයේ හා ඊට පෙර සූදානම ට අති විශාල ධනස්කන්ධයක් වියදම් කිරීමට අපට සිදුවේ. කොළඹ නගරය සම්පූර්ණයෙන්ම වාගේ අලංකරණය කෙරේ. පාරවල් අලුතින් තාර දමා පදික වේදිකා වලට ගල් අතුරා මිහිබට සුරපුරයක් මෙන් අලංකාර කර තිබේ. සම්මන්ත්‍රණ ශාලා වල සිට අනෙකුත් ඉදිකිරීම් සඳහා වියදම් කල මුදල සුළුපටු නැත. නවීන පන්නයේ බෙන්ස් රථ ගෙන්වීමට රාජ්‍ය නායකයින් මෙන්ම අනෙකුත් අමුත්තන්ගේ ගමන් පහසුව, ආරක්ශාව, පරිපාලන කටයුතු වලට අති විශාල ධනයක් වියදම් වී තිබේ. මෙවැනි සමුළුවකට මුදල් වියදම් කරන්නට වෙන බව සැබෑව. නමුත් ලංකාවේ සෑම ව්‍යාපෘතියක් මෙන් ම මේ සමුළුව ද අකාර්යක්ෂමතාවෙන්, මුදල් යටිමඩි ගැසීමෙන්, නාස්තියෙන් පිරී පවතී. කුළී පදනමකින් තොරව නවීන වාහන මිලදී ගැනීමෙන්, මල් වෙඩි වලට කෝටි ගනන් වියදම් කිරීමෙන් හා රුපියල් 15000 කින් නිමකර ගැනීමට තිබුණු නිල වෙබ් අඩවියට ලක්ෂ 15 ක් වියදම් කිරීමෙන් හා තවත් එකී මෙකී නොකී ක්‍රම රාශියකින් ඒ බව ඔප්පු වේ.

පොදු රද මඩල සමුළුවෙන් අපි අපේක්ෂා කල ප්‍රයෝජන හා ඒවා ඇත්තටම ලැබෙන්නේ ද යන්න ගැන දැන් විමසා බලමු. ජාත්‍යන්තර වශයෙන් එතරම් ප්‍රභල නොවුනද ලංකාව ජාත්‍යන්තරයේ ගනුදෙණු කරල ප්‍රධාන රටවල් පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇත. එවැනි රටවල් වල පිළිගැනීම අනාගතයේ අපට වැදගත් වේ. නමුත් ඉන්දීය අගමැතිවරයාගේ නොපැමිණීම හා කැනඩාවේ වර්ජනය නිසාම සමුළුව පටන් ගන්නත් කලියෙන්ම ලංකාව ගැන පැතිරුනේ හොඳ ආකල්පයක් නොවේ.

බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදීන්ට ලංකාවට පැමිණීමට වීසා ලබාදීමෙන් රජය දැඩි අපහසුතාවයකට පත් විය. චැනල් 4 එන්නේ පොදු රද සමුළුව වාර්ථා කරීමට නම් නොවන බව ඕනෑම කෙනෙකුට තේරුම් යන කරුණකි. ලංකාව පීරමින් ඕපාදූප සොයා, ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණය වෙනවා යැයි ජාත්‍යන්තරය ට කීමට් මොවුන් සැදී පැහැදී සිටිති. යාපනයට යාමට ගිය එම නාලිකාවේ මාධ්‍ය කණ්ඩායමට අනුරාධපුරයේදී එල්ලවූ ප්‍රහාරය ඔවුනට තවත් ආශිර්වාදයක් ම විය. අවසානේ "කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ" කියන්නා වගේ ම රජයටත් පොදුවේ ලංකාවටත් සිදුවෙන්නේ තව තවත් ජාත්‍යන්තරය අහිමුව හෑල්ලුවට ලක්වීම ය.

ජාත්‍යන්තර සමුළුවකට අවශ්‍ය පහසුකම් හා අදාල පරිසරය සකස් වීම අනිවාර්ය ය. අප කොතරම් පාරවල් හැදුවත්, නගර අලංකාරණය කලත් සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයින් හා අදාල නිලධාරීන් ලංකාව කෙරෙහි ඇතිකරගන්නා ආකල්පයේ වෙනසක් වෙන්නේ ද නැත. අප භෞතික වශයෙන් කොතරම් දියුණු වුවත් එයින් අපේ රටට මිසක් ජාත්‍යන්තර ප්‍රජාවට වැදගත් කමක් නැත්තේ ය. අපට ලැබුණු එකම වාසිය කොළඹ පුරවරයේ යම් කොටසක් අලංකාර වීම පමණ ය.

ලෝක ආර්ථිකය ආගාධයක වැටී තිබෙන මේ යුගයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ බලවත් රටවල් සියල්ලම පාහේ වැටී ඇත්තේ බරපතල ආර්ථික අර්බුදයක ය.පොදු රාජ්‍ය මණ්ඩලයේ බලවත් රටවල් (ඉන්දියාව හැරුණු කොට.) ණය බරින් මිරිකී අභ්‍යන්තර ප්‍රශ්න වැලක පැටලී ඇත. මහා පරිමාණ ආයෝජන එවැනි රටවලින් බලාපොරොත්තු විය නොහැක. ආයෝජන ලබා ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක් තැබිය යුතු යැයි කොන්දේසියක් නොමැති නිසාත් සමුළුවක් අතරතුරදී නොව වෙනත් මාර්ග වලින් ද්වී පාර්ශික සාකච්චා වලින් ආයෝජන ලබා ගැනීම ඵලදායී වන නිසාම මේ සමුළුවෙන් ලැබෙන විදේශ ආයෝජන වාසි අවම වේ.

එමෙන්ම සංචාරක ව්‍යාපාරය නංවා තැබීමට සම් තල්ලුවක් මෙයින් ලැබුනත් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක් වැනි මහා ව්‍යාපෘතියකට වියදම් කල මුදලට සාපේක්ෂව සංචාරක ව්‍යාපාරයේ මහා වර්ධනයක් දැකිය නොහැක. සමුළුව අතරතුරේදී සිදුවූ සංසිද්ධි හා ලංකාවේ බලපෑම් කණ්ඩායක් වල සෘණාත්මක ක්‍රියාකලාපය නිසාම සංචාරයකින් නොපැමිණීමට ඉඩකඩක් ඇත. දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව පිරුණු සංවිධාන යාන්ත්‍රණයක් නිසා මේ සමුළුවට වියදම් කල මුදල සැලසුම් කල මුදලට වඩා වැඩි විය හැක. එමෙන්ම ඉදිකල යටිතල පහසුකම්, ගෙන්වූ වාහන නියමාකාරයෙන් රටේ ප්‍රයෝජනයට ගන්නවාට වඩා දේශපාලකයින් තමන්ගේ ප්‍රයෝජනය සඳහා පාවිච්චි නොකරතියි කිව හැක්කේ කාහට ද ?

ජාත්‍යන්තර සමුළු පැවැත්වීම රටට යහපත් වන බව ඇත්තකි. නමුත් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අඳුරු යුගයක් පසුකරන ලංකාව මේ අවස්ථාවේ අනවශ්‍ය අවධානය ලබා නොගෙන සූක්ෂමව ක්‍රියා කල යුතු වේ. තමන් ගැන මහා ඉහලින් වර්ණනා කරගන්නවාට වඩා සත්‍ය වශයෙන් යහපාලනයට යොමු වීම වඩාත් ප්‍රතිඵලදායක ය. මුහුද හත් ගව්වක් තිබියදී අමුඩ ගසන්නා සේ රටේ තව සංවර්ධන ව්‍යාපෘති වලට වියදම් කිරීමට තිබූ මුදල් වලින් තමන්ට ලැබෙන වාසි අවම වන සමුළුවක් පැවැත්වීම කොතරම් උචිත වන්නේ දැයි තවදුරටත් සිතා බැලීම වටී

Tuesday, September 24, 2013

උතුරු පළාත් සභා මැතිවරණය ... සිදුවූයේ කුමක්ද ? ( Analysis of the Northern Provincial Council Election )




පළාත් සභා ඡන්දය ගැන විශ්ලේෂණ දෙන්නට ඕනෑ තරම් අය ඉදිරිපත් වී තිබේ. පත්තරකාර මාමලාගේ සිට බ්ලොග්කරුවන් දක්වාම ප්‍රතිඵල විග්‍රහ කිරීමට අය සිටියත් මේ ගැන මගේ අදහසත් ප්‍රකාශ කලොත් යහපතියි කියා මට සිතෙනා නිසාම මෙය ලියමි. කාලය හරස් උනත් තවත් ප්‍රමාද වීමෙන් අවැඩක් සිදුවන නිසාම මැතිවරණ ඌෂ්ණය පහව යන්නට කලියෙන් ලියන්නට අදහස් කළෙමි.

රජය සලාක ක්‍රමයට මෙවරද උතුර, මධ්‍යම හා වයඹ පළාත් වල පුංචි ඡන්දය පවත්වන ලදී. මධ්‍යම හා වයඹ පළාත් වල සාමාන්‍යයෙන් සිදුවන බොරු පොරොන්දු, මනාප පොර, දන්සැල් ආදියෙන් සපිරි මැතිවරණයක් පැවැත්වූ නිසාත් ප්‍රතිඵලය අප හොඳින්ම දන්නා නිසාත් ඉහත කී පළාත් දෙකේ මැතිවරණ ගැන හෝ ඒවායේ ප්‍රතිඵල ගැන පසු විපරමක් මා නොකරන්නෙමි. නමුත් උතුරු පළාත් සභා මැතිවරණය අංශ කීපයකින් අපට වැදගත් වන නිසාම මෙතැන් සිට එහි විග්‍රහය අරඹමි.

උතුරේ මැතිවරණය පහත කරුණු නිසාම සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වැදගත් වේ.


  • අවුරුදු 26 කට පසුව උතුරු පළාත් සභාවේ පැවැත්වූ මැතිවරණය වීම ( ඉන්දියානු මැදිහත්වීම මත පළාත් සභා ක්‍රමය ඇතිකලත් උතුරේ ජනතාවට නිදහසේ තම මතය ඉදිරිපත් කිරීමට මේ මැතිවරණයේදී හැකි වුනු බව මගේ මතයයි. )
  • ත්‍රස්තවාදය යුධමය ආකාරයෙන් පරදවා ප්‍රථම වතාවට යුද්ධයෙන් පීඩිත උතුරේ ජනතාවගේ ජනමතය ප්‍රජාතන්ත්‍රවාදීව උරගා බැලීමට ලැබුණු ප්‍රථම අවස්ථාව නිසා.
  • දකුණේ අතිශයින්ම ජනප්‍රිය ආණ්ඩුවක් ගැන උතුරේ ජනතාවගේ ජනමතය දැන ගැනීමට හැකිවීම නිසා.
  • දෙමළ සන්ධානයෙන් ඉදිරිපත් කළ දේශපාලකයෙක් නොවන හිටපු විනිසුරුතුමා ගැන උතුරේ ජනතාවගේ මතය දැනගැනීමට හැකිවීම නිසා.

උතුරේ යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජයට දේශපාලන විසඳුමක් උදෙසා ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැඩි බලපෑම් එල්ල විය. උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වීම එහි ප්‍රධාන අංගයකි. විශේෂයෙන් ඉන්දියාවෙන් එල්ල වුනු බලපෑම් හමුවේ තමන්ට අවාසි වන බව දැන දැනත් ආණ්ඩුව උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උත්සුක වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පෙනී සිටීමට ද විය හැක. මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් වුවත් ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවේ සහය මේ අවස්ථාවේ හිමිවූයේ රජයට නොව දෙමළ සන්ධානයට බව නම් පැහැදිළිය.

උතුරේ ඡන්දයට ඉදිරිපත් කල අපේක්ෂකයින් සලකා බැලීමේදී ශක්තිමත් අපේක්ෂකයින් පිරිසක් තරඟ බිමට දැමීමට එ.ජ.නි.ස අපොහොසත් වී තිබුණි. විශේෂයෙන්ම මහ ඇමති අපේක්ෂකයා ලෙස දෙමළ ජනයා ආකර්ෂණය කර ගත හැකි නායකත්වයක් සොයාගැනීමේ අපහසු කම මෙහිදී දක්නට ලැබුණු අතර දෙමළ සංධානය විශිෂ්ට ලෙස ඉතා ආකර්ෂණීය චරිතයක් වන හිටපු විනිසුරු විග්නේෂ්වරන් මහතාව මහ ඇමති අපේක්ෂකයා ලෙස යෝජනා කලාය. දෙමළ සංධානයෙන් ඕනෑම අයෙක් මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවත් ඔවුන්ට ඡන්දය දිනීමේ හැකියාව තිබුනද ජාත්‍යන්තර ප්‍රජාව සමග මෙන්ම ලංකාවේ මධ්‍යම ආණ්ඩුව සමග ද හොඳින් ගනු දෙනු කල හැකි සුජාත භාවයකින් යුක්ත පුද්ගලයෙක් තෝරා ගැනීම සාධනීය ලක්ෂණයකි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ හා දෙමළ සංධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙස බැලීමේදී පැහැදිළි වෙනසක් දක්නට ලැබුණි. වඩුක්කෝඩෙයි සම්මුතියේම පිටපතක් යැයි කෙනෙකුන් තර්ක කරනා ආකාරයට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් දෙමළ සංධානය උතුර යනු දෙමළ ජනයාගේ සාම්ප්‍රධායික නිජ භූමිය යැයි ප්‍රකාශ කරයි. පොලිස් හා ඉඩම් බලතල ඉල්ලා සිටීමත් 13 න් වන ව්‍යවස්ථා සංශෝධනය අවසාන විසඳුම නොවන බවත් ඔවුන් පවසන අතරම මේ සියලු ඉල්ලීම ඒකීය රටක් තුලම ලබා ගන්නා බවට පරස්පර විරෝධී මත එල්ල කරයි. අවතැන් වූ මුස්ලිම් ජනයා උතුරු පළාතට පිළිගන්නා බව පවසන දෙමළ සංධානය උතුරින් පලා ආ සිංහල ජනයා ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.

අනෙක් අතට ආණ්ඩුවට සංවර්ධන "කාඩ් එක" සෙල්ලම් කරනවා ඇරෙන්නට වෙන මාර්ගයක් නොතිබුණි දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩුවේ එක එක පාර්ශවයන්ට ඇත්තේ එකිනෙකට වෙනස් අරමුණු නිසාම එවැනි දෙයක් ජනතාව අතරට ගෙන යාමට නිදහස් සංධානය අපොහොසත් විය. සංධාන රජය උතුරේ මැතිවරණය පැවැත්වූයේ නොතියාම බැරි නිසා බව මෙයින් පෙනී යයි.

ඡන්ද ප්‍රතිඵලය නම් බොහෝ දෙනා අපේක්ෂා කල පරිදි ම විය. 84% ක ඡන්ද ප්‍රතිශතයකින් දෙමළ සංධානය ජයගෙන විග්නේෂ්වරන් මහතාට මහ ඇමති වීමට ඉඩ සලසා දෙනු ලැබීය. එ.ජ.නි.ස 14%  ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන දෙවන ස්ථානයට පත්විය. ආසන 30 ක් දෙමළ සංධානය ලබාගන්න විට එ.ජ.නි.ස යට ලබාගත හැකි වූයේ ආසන 7 ක් පමණි. කෙසේ වෙතත් දෙමළ ජනතාව ගෙන් කොටසක් හෝ සිංහල බහුතරයකින් සමන්විත වූ රජයක් කෙරෙහි විශ්වාසය තබා ඡන්දය දීම විශේෂ වේ.

මේ ප්‍රතිඵලය තුලින් අපට නිගමන රාශියක් ගත හැක. ඉන් පලමුවැන්න නම් කොතරම් සංවර්ධනය දුන්නත් උතුරේ ජනතාවගේ ඉල්ලීම වන්නේ තමන්ට යම් ආකාරයකින් ස්වයං පාලනය ලබාදිය යුතු බවයි. නිර් ජාතීය පක්ෂයක් ලෙස සටන් වැදුනු නිදහස් සංධානය පරදවා දෙමළ ජාතිවාදය මුල් කරගනිමින් මැතිවරණ ප්‍රචාරණයේ යෙදුනු දෙමළ සංධානය ජයග්‍රහනය කරවීමෙන් දෙමළ ජනයා ගේ ජාතිවාදී හැඟීම් තවමත් සමනය වී නොමැති බවක් ද හැඟේ. මේ ප්‍රතිඵලයෙන් දකුණේ සිංහල ජනතාව කනස්සල්ලට පත්වන බව නොඅනුමනය. දකුණේ ජනතාවගේ බදු මුදල් වලින් උතුර සංවර්ධනය කරන්නේ මන්ද යැයි ඇතැමෙක් ප්‍රශ්න නගති.

කෙසේ වෙතත් අහිනව පළාත් ආණ්ඩුව ඉදිරියට කුමක් කරයි ද යන්න සැමට ගැටලුවකි. ඉඩම් හා පොලිස් බලතල ලබා ගැනීම මූලික කරගෙන පළාත් සභාවේ වැඩ ඇරඹීමට විග්නේෂ්වරන් මහ ඇමති වරයා සූදනම් වන බව නම් නොරහසකි. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවත් සමග ( විශේෂයෙන්ම ඉන්දියාවත් සමග ) සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවට අපි විශ්වාස කරමු. ජාත්‍යන්තර ප්‍රජාවත් උතුරේ ප්‍රාදේශීය ආණ්ඩුව කෙරෙහි වැඩි ඇඟෑලුම් කමක් පවත් වනු ඇත. එය නම් මධ්‍යම ආණ්ඩුව රුස්සන්නේ නැති දෙයකි. ජාත්‍යන්තර ප්‍රජාවට ඕනෑම දෙයක් කරගන්නට යැයි කියා රතු ඉර පැන්නහොත් උතුරු පළාත් සභාව විසුරුවා හැරීමට රජය ක්‍රියා කරනු ඇත. එම නිසාම මධ්‍යම ආණ්ඩුව සමග "හීන් නූලෙන්" වැඩකිරීමට පළාත් රජය උත්සාහ ගනු ඇත.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් මධ්‍යම ආණ්ඩුවත් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට දෙමළ සංධානය ට සිදුවේ. දෙමළ ජාතිවාදි මාර්ගයක නොයා සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට ඔවුන් ක්‍රියා කරන්නේ නම් යහපති. කොළඹ ආණ්ඩුව සමග මෙන්ම රටේ බහුතර සිංහල ජනයා සමග විශ්වාසය ගොඩ නගා ගැනීමට දෙමළ සංධානයේ සාම්ප්‍රධායික ජාතිවාදී දේශපාලනය උපකාරී නොවේ. රජයේ සංවර්ධන වැඩපිළිවෙළට සහය දක්වමින්, උතුරේ සිංහල හා මුස්ලිම් ජනයා කෙරෙහිද දෙමළ ජනයාට දක්වන සැලැකිල්ලම දක්වමින් ඒකීය රටක් තුල දෙමළ ජනයාට එකඟ විය හැකි විසඳුමක් කෙරෙහි ලඟා වෙනවා හැරෙන්නට දෙමළ සංධානයට වෙන මගක් නැත. දේශපාලකයෙකු නොවන උගත් ජාත්‍යන්තරය ද පිළිගන්නා විග්නේෂ්වරන් හිටපු විනිසුරු වරයා මෙහිදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. අනෙකුත් දෙමළ දේශපාලකයින් මෙන් නොව සමස්ථ දේශපාලන තත්වය අවබෝධ කරගත  හැකි නායකයෙක් ලෙස එතුමාට ඉදිරියට ඒමට හැකි නම් එය යහපත් දෙයකි.

අවුරුදු තිහක යුද්ධයකින් බැට කෑ දෙමළ සිංහල මුස්ලිම් සියලු ජනතාවට නැවත යුද්ධ බිය ඇති නොවී අභිමානයෙන් එකට ජීවත් වීමේ අනාගතයකට මෙය මූලාරම්භය වේ යැයි අප බලාපොරොත්තු වෙමු. මතු දිනක එය එසේම සිදුවේ නම් එහි ගෞරවය යුද්ධය හමාර කල මහින්ද රාජපක්ෂ ඇතුලු දේශපාලන හා හමුදා නායකත්වයට මෙන්ම විග්නේෂ්වරන් ප්‍රමුඛ දෙමළ සංධානයටත් දෙමළ ජනතාවටත් හිමිවනු ඇත.




Friday, September 13, 2013

අන්තර්ජාලික පෞරුෂය, මරණය හා එහි නීත්යාලනුකූල භාවය.(Virtual Personality, Death and Its Legitimacy)

(Photo courtesy : http://media.bestofmicro.com)


අන්තර්ජාලික පෞරුෂය.


අන්තර්ජාලය අද අපට නැතිවම බැරි මෙවලමකි. 70 දශකයේ සීමිත වපසරියකින් ඇරැඹුණු මෙය 1991 ලෝක ව්‍යාප්ත පොදු ජාලයක් බවට පත්විය (World Wide Web). වසර 22 ක් වැනි කෙටි කාලයකදී ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට මෙයට හැකිවීම සුවිශේෂ ය. ආහාර, ජලය, ඇඳුම් පැලැඳුම් වැනි මිනිස් මූලික අවශ්‍යතාවලට සම්බන්ධකතාව හෙවත් connectivity යන්න එකතු වූයේ අන්තර්ජාලය නිසා ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්වීමෙනි. අද අන්තර්ජාලය නොමැතිනම් නූතන ලෝකය නොපවතින තරමට ම එය අපේ ජීවිතයට සමීප වී තිබේ.

අන්තර්ජාලය අපට ස්පර්ශ කරන්නට, දකින්නට හෝ භෞතික වශයෙන් විඳින්නට නොහැකි දෙයකි (virtual) . එම නිසාම අන්තර්ජාලයේ සැරිසැරීමේදි අපට අපේ භෞතික පෞරුෂයෙන් මිදී අතථ්‍ය පෞරුෂයක් (virtual personality) ගැනීමට සිදුවේ. බොහෝ විට නූතන අන්තර්ජාල සරන්නාගේ පෞරුෂය දෙබිඩි ස්වහාවයක් ගනී. තමාගේ සාමාන්‍ය අනන්‍යතාවයට වඩා හාත්පසින්ම වෙනස් සයිබර් අනන්‍යතාවයකින් අන්තර්ජාලය තුල ජීවත් වීමට අපට හැක. සමාජ හා වෘත්තික ජාල අඩවි (social and professional networking ), අන්තර්ජාලීය මූල්‍ය ගිණුම්, වෙබ් පෝටල (web portals and online forums) මෙන්ම සමහර ක්‍රීඩා ආදියේ ( Second Life etc … ) මේ දෙබිඩි පෞරුෂය හොඳින්ම නිරූපණය වීමට පුලුවන. ඔබ මා දිනපතා කියවන, ලියන බ්ලොග් අඩවි පවා සයිබර් අනන්‍යතාවකට මග පාදයි. Face book, Twitter, Google+, MySpace වැනි සමාජ ජාල අඩවි වල සයිබර් අනන්‍යතාව හා තමාගේ සජීවී අනන්‍යතාව හොඳින්ම දැකගන්න ට හැකි වන්නේ ඒවායින් අනෙකුත් පුද්ගලයින් හා සයිබර් අනන්‍යතා කරුවන් හා කෙලින්ම සම්බන්ධ වෙන බැවිනි. තමාගේ සැබෑ ජීවිතයෙන් බැහැරව අන්තර්ජාලයේ වෙනත්ම පුද්ගලයෙක්, වෙනත්ම පෞරුෂයක් ලෙස පෙනී සිටීමට බොහෝ දෙනා ප්‍රිය කරති.

ඒ මන්ද යත් තමාට රිසි ආකාරයට තම පෞරුෂය වෙනස් කිරීමට, තමාට නැති පෞරුෂයක් ආරෝපණය කර ගැනීමට ඇති පහසුව නිසාම ය. සමාජයත් සමග එක්වීමට නොහැකි කුලෑටි, බියසුලු පුද්ගලයා අන්තර්ජාලයේ වෙනස් පෞරුෂයකින් මහා දැවැන්තයෙක් ලෙස පෙනී සිටිය හැක. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලික සමාජය අතර "ෆේස්බුක් වීරයා" යන වදන ජනප්‍රිය වූයේ එහෙයිනි.

සයිබර් මරණ‍ය.


පුද්ගලයෙක් අන්තර් ජාලයේ සිටිනා කාලය තුල සාදාගන්නා අත්ථ්‍ය ලෝකයට (virtual world)ඔහුගේ සැබෑ මරණයෙන් පසුව කුමක් වේ දැයි ඔබ මොහොතකට සිතුවා ද ? ඔහුගේ භෞතික පෞරුෂය වියැකී යන මුත් අන්තර්ජාලය තිබෙනා තාක් කල් සයිබර් පෞරුෂය නම් ඒ ආකාරය ට ම නොනැසී පවතීවි. විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි වල ගිණුම් ඔහු ජීවත් ව සිටි අවසාන දිනයේ තිබූ සැටියෙන්ම බවතීවි. අන් අයට ඔහුත් සමග ගනුදෙනු කිරීමටත් හැකි වේ. කෙනෙක් මරණයට පත් වූවත් සයිබර් අවකාශයේ ඒ පුද්ගලයා ජීවත් වීම ආන්දෝලනාත්මක කාරණයකි. ඔහුගේ සයිබර් ජීවිතයට ඇතුලුවීමට දන්නා මුරපද සියල්ලම ඔහුගේ මරණයත් සමගම වැලලී යාම නිසාම සයිබර් ජීවිතය ස්වාභාවික මරණයකට පත්කිරීම අපහසු වනවා. නීත්‍යානුකූලව කෙනෙකුගේ සයිබර් ජීවිතය සැබෑ ජීවිතයට සම්බන්ධ කිරීමට ක්‍රමයක් නොමැති වීම මීට ප්‍රධානම හේතුවයි. එනම් කෙනෙකුගේ අන්තර්ජාලික ජීවිතයට මරණ සහතිකය ලියා දීමට කිසිම කෙනෙකුට බලයත් නොමැති වීමයි. ඒ නිසාම රටක් නොමැති, පිළිගැනීමක් නොමැති සයිබර් පුරවැසියා අමරණීය වේ.

පුද්ගලයෙන් මිය ගිය හොත් ඔහුගේ සමීපතමයින්ට නීත්‍යානුකූල අයුරින් ඔහුගේ රහසිගත මූල්‍ය ගනුදෙනු හා අනෙකුත් පෞද්ගලික දේපල වලට අයිතිය කීමට හැකි වනවා සේම ඔහුගේ සයිබර් ජීවිතය හා සම්බන්ධව අයිතිය නීත්‍යානුකූලව ලබා දිය යුතු බව මගේ හැඟීමයි. ඒ මන්ද යත් ඔහු මිය ගියාටත් පසුව සයිබර් ජීවිතය හැක් කිරීමට හැකි අය සිටින නිසා ය. මිය ගිය පුද්ගලයෙකු ගේ අන්තර්ජාලීය ගිණුම් වල කොල්ලකා මරණකරුවා වලෙන් නැගිට්ටවීමට හැකි  හැකර් කරුවන් සිටින නිසා කෙනෙක් මියගිය හොත් භෞතික ජීවිතයට මෙන්ම අත්ථ්‍ය ජීවිතයට ද මරණ සහතිකය ලබා දීමට ක්‍රම වේදයක් සකස් කල යුතුය. මිය ගිය කෙනාගේ සමීපතමයින්ට ඔහුගේ සමාජ ජාල ගිණුම් හා අනෙකුත් තොරතුරු වල අයිතිය පැවරීමට හැකි නම් භෞතික මිනිසාගේ මෙන්ම සයිබර් මිනිසාගේ ද අවසන් කටයුතු සමීපතමයින්ට අවශ්‍ය පරිදි සිදු කල හැක. එමෙන්ම කෙනෙක් මිය යාමට පෙර අන්තිම කැමැත්ත ලිවීමේ දී තමාගේ සයිබර් ජීවිතයේ අයිතිය නීත්‍යානුකූලව පැවැරීමට ත් ක්‍රමයක් සම්පාදනය වෙන්නේ නම් අගනේ ය.


අන්තර්ජාලය සපයන සමාගම්, සමාජ ජාල හා අනෙකුත් අත්ථ්‍ය සේවා සපයන ආයතන හා රජයන් එක් වී සයිබර් පෞරුෂයට නීතිමය පිළිගැනීමක් ලබා දීම කාලීන අවශ්‍යතාවයකි. කෙමෙන් කෙමෙන් මිනිසා භෞතික ජීවිතයෙන් දුරස් වී අන්තර්ජාලීය ජීවිතයටක පුරුදු වන නිසාම සමාජ අවශ්‍යතාවයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඒ පිළිබඳ සලකා බැලීම වැදගත් ය. ඊ ආණ්ඩු සංකල්පය ගැන දක්වන උනන්දුව තරමටම ඊ පුරවැසියා හෙවත් අන්තර්ජාලික පෞරුෂය පිළිබඳ සැලකිලිමත් වීම ඉදිරියේ දී ප්‍රයෝජනවත් වනු ඇත.